ලොවම කම්පා කළ අරන්තලා භික්ෂු ඝාතනයට වසර 33යි | සිළුමිණ

ලොවම කම්පා කළ අරන්තලා භික්ෂු ඝාතනයට වසර 33යි

1.භික්ෂූන් වහන්සේලා ගමන් කළ බස් රථය 2. කුඩා සාමණේර වහන්සේලා ඝාතනය කළ ඇති ආකාරය 3. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් භික්ෂු ස්මාරකය විවෘත කරන අයුරු

1987 වර්ෂය අප රටේ දැනට ජීවතුන් අතර සිටින අවුරුදු 45ක් පමණ වූ වයසේ සිටින සියලුම දෙනාගේ සදා මතකයේ පවතින ශෝචනීය වූ වර්ෂයක් බව කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. 1987 වර්ෂය 30 අවුරුද්දක් තිස්සේ මේ රට භීෂණයට ලක් කළ කුරිරු මිලේච්ච එල්ටීටීඊය විසින් විශාල වශයෙන් මිනිසුන් සමූල ඝාතනය කළ වර්ෂයයි. ගම්මාන පිටින් සමූල ඝාතනය කළ, මවගේ තන පුඩුවේ එල්ලී කිරි උරා බොමින් සිටි කිරි සප්පයින් පොළොවේ ගසා මරා දැමූ වර්ෂයයි. ගර්භනී මව්වරුන්ගේ බඩ කපා බිළිදු සිරුරු එළියට ඇද දැමූ ක්‍රෑරතර වර්ෂයයි. කාල බෝම්බ පුපුරවා දුම්රිය පොලවල් බස් රථවල්වල ගමන් කළ මගීන් සිය ගණනක් මරා දැමූ වර්ෂයයි.

එමෙන්ම මුළු ලොවම කම්පා කළ භික්ෂූන් වහන්සේලා 31ක් නමක් එකම ස්ථානයක දී කපා කොටා අපවත් කළ අති බිහිසුණු වර්ෂයයි. එය සිදු වූයේ මීට වසර 33කට පෙරදී ය. එදා එනම් 1987 ජූනි 02 දින අම්පාර මහඔය මාර්ගයේ ගමන් කරමින් සිටිය දී අරන්තලාව ප්‍රදේශයේ දී අම්පාර මඩකලපුව දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අම්පාර විද්‍යානන්ද පරිවේනාධිපති හෑගොඩ ඉන්ද්‍රසාර නා හිමියන් ප්‍රමුඛ සාමනේර භික්ෂූන් වහන්සේලා මිලේච්ඡ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් ඉතා කුරිරු ලෙස කපා කොටා ඝාතනය කළහ.

එවකට අම්පාර නගරයේ පිහිටි මහාවාපි මහා විහාරස්ථානයේ සහ විද්‍යානන්ද පරිවේනාධිපතිව වැඩ විසූ නා හිමි ඇතුළු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වාර්ෂික වන්දනා ගමනක් යෑම සිරිතක්ව පැවතිණි. විශේෂයෙන් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට දැනුම ලබා දීම ධර්ම ප්‍රචාරක කටයුතු පුහුණු කිරීම හා පාද යාත්‍රා කිරීම එහි විශේෂ අරමුණ විය. ඒ අනුව මහනුවර දළදා මාළිගය කැළණිය විහාරස්ථානය කළුතර බෝධීන් වහන්සේ වැද පුදා ගෙන කතරගම ගම් උදා භූමියට ප්‍රවිශ්ට වීමට සැලසුම් කරගෙන මෙම පිරිස එදා 1987 ජූනි 02 දින උදෑසනින්ම අම්පාර ලංගම බස් ඩිපෝවෙන් ලබා ගත් බස් රථයක් මගින් ගමන පිටත් වූහ.

දහසක් බලාපොරොත්තු සමඟ සතුටු සිතින් සිටි පුංචි සාමනේරයන් වහන්සේලා පිරිත් සජ්ජායනා කළහ. මෙසේ අම්පාර සිට කිලෝ මීටර් 40ක් පමණ ගිය බස් රථය මංගලගම පසු කොට අරන්තලාව පෙදෙසට ළඟා වූවා පමණි. එහි දී දෙපස සිටි හමුදා ඇදුම් ඇදගත් දෙදෙනෙකුත් බස් රථය නතර කරන ලෙස සංඥා කළ අතර ඒ අනුව බස් රථය නතර කරනවාත් සමග දෙපස සැගව සිටි අවිගත් පිරිසක් කඩි මුඩියේ බස් රථයට ගොඩ වී රියදුරුට ගිනි අවියක් එල්ල කර බසය අසල වූ කැළෑ රොදකට හරවා ධාවනය කරන ලෙස අණ කළහ. කිසිවක් කර කියාගත නොහැකි වූ රියදුරු තැන අණට කීකරු විය. සිදු වන්නට යන දේ තේරුම් ගත් කුඩා සාමණේර හිමිවරු දැඩි සේ තැතිගෙන කම්පනයට පත් විය. අදෝනා නඟමින් අඩන්නටත් විලාප තබන්නටත් පටන් ගත් හ. ඒ කිසිවක් ත්‍රස්තවාදීන් ගණනකට ගත්තේ නැත. එතැන් සිට සිදු වූ සිද්ධිය එම සිද්ධියට මුහුණ පා අහඹු ලෙස දිවි ගලවා ගත් අම්පාර උදයපුර විහාරස්ථානයේ විහාරාධිපති හගුරන්කෙත පුණ්‍යසාර හිමියෝ කෙටියෙන් මෙසේ සදහන් කළ හ. (මේ වන විට උන්වහන්සේ රෝගාතූර තත්වයෙන් පසුවන හෙයින් සිද්ධිය පිළිබද විස්තරාත්මක තොරතුරු ලබා ගැනීමට නොහැකි විය.) තමන් ඉතාමත් භයානක අවස්ථාවකට මුහුණ දී ඇති බව සියලු දෙනාම තේරුම් ගෙන හිටියා. කුඩා පාර දෙපස පදුරුවලට මුවා වී තව තවත් අවි ගත් පිරිසක් තැනින් තැන ඉන්නවා දැක්කා. තේක්ක කැළෑවේ දී 20ක් පමණ පිරිසක් ඇවිත් බස් එක වට කරගත්තා. ඒ හරියේ ගෙවල් දොරවල් මොකවත් තිබුණේ නැහැ. සියලුම දෙනාම මර බියෙන් පසුවද්දී ‘‘මාව මරන්න මේ පොඩි උන්වහන්සේලාට කරදරයක් කරන්න එපා‘‘ යැයි නායක හාමුදුරුවෝ ප්‍රකාශ කළා. උන්වහන්සේට කියන්න ලැබුණේ එපමණයි. හාමුදුරුවන්ගේ හිස දෙබෑ වෙන්නට කඩු පහර දුන්නා. අනෙක් එවුනුත් පැන පැන පුංචි සාමණේරයන් වහන්සේලා කෑමොර දෙද්දී ඉවක් බවක් නැතිව කපා කොටා දමන්නට පටන් ගත්තා. සමහර හිමිවරුන් බස් එකේ සීට් යට සැඟවුණා. මැරී වැටුණ හිමිවරුන්ගේ මළ කඳන් අපේ ඇඟවල් උඩට වැටුණා. උන් වැටිලා හිටපු අයට පයින් ගගහා කැපුවා. අපි මැරුණු විදියටම හිටියා. උන් අපි ඔක්කොම මැරුණු බව හිතාගෙන බස් එකෙන් බැහැලා ගියා. නැවත බස් එක වටේටම උන් වෙඩි තිබ්බා. උන් ගියාට පස්සේ හමුදාවෙන් ඇවිල්ලා අපිව රෝහලට ගෙනාවා. වාසනාවකට අපි 10 දෙනෙකුගේ ජීවිත බේරුණත් කායිකව හා මානසිකව ඔත්පල වෙලා දැන් තැන් තැන්වල වැඩ ඉන්නවා.

අපවත් කරන ලද හෑගොඩ ඉන්ද්‍රසාර නායක හිමියන්ගේ ප්‍රධාන ගෝල නමක් වූ එවකට 23 වියේ පසු වූ වත්මන්හි අම්පාර විද්‍යානන්ද පිරිවෙන්හි අධිපති උතුරු නැගෙනහිර පිරිවෙන් අධ්‍යාපන නිලධාරි අරන්තලා භික්ෂු ස්මාරක ජාත්‍යන්තර මධ්‍යස්ථානය අධිපති, ශාස්ත්‍රපති කිරිදිවෙල සෝමරත්න නා හිමියන් මෙම සිද්ධිය හා වත්මන් සැලසුම් පිළිබද මෙසේ අදහස් දක්වන ලදී.

අම්පාර මහාවාපි විහාරය, කල්මුණේ ශ්‍රී සුධර්මාරාම විහාරය ආදී පුද බිම් ගණනාවක අධිපතීත්වය දරමින් දිගාමඩුල්ලේ ඉපැරණිම ප්‍රාචීන් අධ්‍යාපන ආයතනය වන දිගාමඩුලු ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන ආරම්භ කොට එය දියුණු කරමින් ප්‍රදේශයේ ආගමික පුනරුදය සඳහා මහා මෙහෙවරක් කළ අපේ නායක යතිවරයා‍ණෝ හෑගොඩ ඉන්ද්‍රසාර නා හිමියෝ; ප්‍රදේශයේ සමස්ත ගරුතර මහා සංඝරත්නය අතර සම්භාවනාවක පාත්‍ර වී සිටි අතර ප්‍රදේශයේ ජන හදවත් වලට ද සමීප වී සිටියා. ඒ අතරතුර තමයි සිය දරුවන් සේ ඇති දැඩි කළ සාමණේර භික්ෂූන් වහන්සේලා 31ක් නමක් සමඟ මේ කුරිරු ත්‍රස්තවාදීන්ට ගොදුරු වුණේ. එය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව සමස්ත ලෝක වාසී ජනතාව ද කම්පනයට පත් කළ සිද්ධියක්.

නා හිමියන්ගේ අපවත් වීමත් සමඟ සිදු වුණේ අතිශයින් ඛේදනීය තත්ත්වයක්. ඇති වූ බිය සැක සංකාව නිසා ළාබාල හා තරුණ භික්ෂූන් වහන්සේලා සිවුරු හැර යාමත් විහාරස්ථාන හැර දමා යෑම නිසා අපි මුහුණු දුන්නේ අතිශය ගැටලුකාරී තත්වයකටයි. නමුත් අපි මානසිකව ශක්තිමත්ව ඉතිරිව සිටි භික්ෂූන් වහන්සේලා ශක්තිමත් කරමින් විනාශ වූ භික්ෂු පරපුර යළි ගොඩ නංවා ජාතික හා ශාසනික යුතුකම වහ වහා ඉටු කළා. ඒ තුළින් ගෙවී ගිය දශක 03 කට අධික කාලය තුළ ආපසු හැරී බැලීමේ දී ඇති වී තිබෙන බෞද්ධ පුනරුදය පිළිබද අපිට සතුටු විය හැකි බව නිහතමානීව සඳහන් කරනවා.

එසේම ඛේදනීය හා සාහසික ක්‍රියාව සිදු කොට ලෙයින් තෙත් කළ එම ස්ථානයේ ස්මාරකයක් ඉදි කොට භික්ෂු ඝාතන අනුස්මරණ ආරාමයක් සහිත වන්දනීය පින් බිමක් ස්ථාපිත කරන්න අපිට හැකි වුණා. මේ වන විට 30 අවුරුදු ශාපලත් කුරිරු යුද්ධය නිසා වැඩියෙන්ම ඝතනයට ලක් ව අත්තේ දිගාමඩුලු ශ්‍රී විද්‍යානන්ද මහ පිරිවෙණට සම්බන්ධ සඝ පරපුරට අයත් භික්ෂූන් වහන්සේලායි. එය ගණනින් 60 නමකට අධික වෙනවා. එයට අම්පාරේ පමණක් නොව පොළොන්නරුව, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් අපවත් කළ භික්ෂූන් වහන්සේලා අයත් වෙනවා.

ඒ නිසා එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළ ලංකාවේ සියලුම භික්ෂූන් වහන්සේලා ස්මරණය කිරීම සඳහා සෑම වර්ෂයකම ජූලි මස 02 වෙනිදා ජාතික භික්ෂු ස්මරණ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරවන්න අපි ගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා. එම සැමරුම් උත්සවය සෑම වසරකම ජූලි දෙවෙනිදා අරන්තලාව භික්ෂූ ස්මාරකය අසල දී පවත්වන්න කටයුතු කිරීම මගේ බලාපොරොත්තුවයි.

රට තුළ පවතින විශේෂ තත්වය තුළ වුව ද මෙවරත් 33 වෙනි සැමරුම් උත්සවය ජූනි 1 වෙනිදා හා 2 වෙනිදා සෞඛ්‍ය බලධාරීන්ගේ හා ආරක්ෂක අංශවල උපදෙස් අනුව ඉතා චාම් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. යළි මේ ධරණී තලය තුළ මෙවැනි ත්‍රස්ත ක්‍රියා සිදු නොවීමටත්, දිවි පුදා අපවත් වී වදාළ මහා සඝරුවනට පින් පෙත් පැවැත්වීමටත් දිනා ගත් නිදහස රැක ගැනීම පිළිබඳව ආශීර්වාද කිරීමටත් රට තුළ පවතින කොරෝනා වසංගතයෙන් තුරන් වීම පිණිසත් අරමුණු කොටගෙන මහා සංඝරත්නය ප්‍රභූන් ආරක්ෂක අංශ නිලදරුවන් හා සීමිත දායක කාරකාදීන් පිරිසක් සහභාගි කරවාගෙන මෙම දෙදින පින්කම් මාලාව පැවැත්වීමටත් කටයුතු කර තිබෙන බව ද ගරුතර කිරිදිවෙල සෝමරතන නායක හිමියෝ ප්‍රකාශ කළ හ.

අප රට මෙන්ම සමස්ත ලෝකයේම බෞද්ධ ප්‍රජාව කම්පනයට පත් කළ මේ මහා මිලේච්ච කුරිරු ඝාතනයට මේවන විට වසර 33ක් ගත වී ඇත. 2009 මැයි 19 වෙනි දින මේ ත්‍රස්ත ව්‍යාපාරය මුලිනුපුටා දැමිමට අප වීරෝධාර ත්‍රිවිධ හමුදාවන් හා පොලීසිය සමත් විය. එහෙත් ඒ අනුවේදනීය සිද්ධිය කිසිදා කෙසේ සිතින් අමතක කරන්නද? කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගත් සියල්ලන්ම ජාතියේ වීරයන් බව අමතක නොකළ යුතුය.

Comments