ලොක්ඩවුන් කළ මරදානේ නිරෝධායනට ගිය 324කගේ සජීවී අත්දැකීම් | සිළුමිණ

ලොක්ඩවුන් කළ මරදානේ නිරෝධායනට ගිය 324කගේ සජීවී අත්දැකීම්

‘හමුදා නිලධාරීන් අපට බොහොම ආදරයෙන් සැලකුවා.’

‘කෑම බීම ඕනතරම්; එක එක අතුරුපස වර්ග; අපි ගෙදරදිවත් මෙච්චර හොඳට ඉදලා නෑ’

කොරෝනා තුන්වන මරණය වාර්තා වුයේ මරදාන සුදුවැල්ල ප්‍රදේශයේ ඉමාමුල් අරූස් මාවතේ මහල් නිවාස සංකීර්ණයෙන් වන අතර ඒ රෝග කීපයකින් පෙළුණු බී. එච්. එම් යුනුස්ය. ඔහුගේ මරණයත් සමඟ පවුලේ අය කොවිඩ් පරීක්ෂණය සඳහා රෝහල් ගත කෙරිණි. අසල්වාසින් 314 දෙනෙකු නිරෝධායනය සඳහා පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණු අතර ඔවුන් සියලු දෙනා නැවත පැමිණ ඇත. එහිදී ඔවුන් ලද අත්දැකීම් අප සමඟ මෙසේ බෙදා ගත්තේය.

ෆෝබස් පටුමග පදිංචි කේ. ඉන්ද්‍රානි ද සිල්වා නිරෝධායනය ගැන පැවසුවේ මෙවැන්නකි. “එදා මම සතොසෙ රාත්‍රී වැඩ මුරයේ සිටියේ. රෑ ප්‍රවෘත්ති වලින් දැක්කා ලේන් එකේ කෙනෙක් මැරිලා කියලා. පහුවදා දුව කෝල් කරලා කීවා අපිව නිරෝධායනයට ගෙනියන්න හදන්නේ ගෙදර එන්න කියලා. මෙහෙන් යද්දී සවස 6.30 විතර වුණා. හබරණ කැලේ ළඟ නවත්තලා පොල් රොටියි සිනිසම්බෝලයි වතුර බෝතලේකුයි දුන්නා. පූනානි වලට යද්දී පාන්දර 3.30 විතර වුණා. පවුලකට එක ගානේ සැප පහසු කාමර, සැප පහසු ඇදන්, සුපිරි වැසිකිළි, නාන කාමර, ආහාර පාන ගෙදරට වඩා හොඳට ලැබුණා. උදේට උණ බලනවා, ප්‍රෙෂර් බලනවා හැම ලෙඩකටම බෙහෙත් දුන්නා.

ප්‍රධාන ආහාර වේල්වලින් පසුව ඇපල්, දොඩම්, යෝගට් හැමදෙයක්ම දුන්නා. අමතර කෑම හදාගන්න ඕනෙ නම් කාමරයේ ගෑස් ලිප්, ශීතකරණ තිබුණා. නාන්න බොන්න ඇල්වතුර වගේම උණුවතුරත් නොඅඩුව ලැබුණා. මෙහෙ හිටිය නම් අපට බඩගින්නේ මැරෙන්න වෙන්නේ. ඇත්තටම හමුදාවේ අයට, රජයට පින් දෙන්ඩ ඕනේ. ආපහු එන දවසේ කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ නවත්තලා දවල්ට කෑමත් දුන්නා. ගෙදර අවාට පස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇවිත් අපිව නැවත පරික්ෂා කළා. මුදල් ආධාර, වියළි ආහාරත් දුන්නා. ඇය පවසන්නේ හද පිරි සතුටිනි.

කිසිදාක කැලෑවක්, වන සතුන් හැබැහින් නොදුටු අපේ ළමයින් ඒවා හැබැහින් දුටු බවත්, නොමිලේ විනෝද ගමනක් ගොස් ඒවා නැරඹු බව පැවසුවේ මියගිය යුනුස්ගේ පවුලේ අය රෝහලට රැගෙන ගිය නෙයි මෙරීනාය. ඇගේ දරුවන් අප සමඟ මෙසේ පැවසුවාය.. “මම කිසිදාක කැලෑවක් හැබැහින් දැකලා නෑ. මොනරෙක් දැකලා තිබුණේ පින්තූරයකින් විතරයි. අපි හිටිය මඩකලපුව කෑම්ප් එක වටේටම කැලෑව; හරි ලස්සනයි. අලි දැකලා තිබුණේ පෙරහරේ විතරයි. කැලෑවේ අලි දැකලා තිබුණේ නැහැ. වඳුරෝත් හිටියා. යාලුවොත් එක්ක සෙල්ලම් කළා. හමුදාවේ මාමලා අපට හොඳට සැලකුවා.”

“හරිම දුකින් හිටියේ මොකද වුණේ; කොහෙද යන්නේ කියලා. ඒත් ආපහු ආවේ හරිම සතුටින්. අපේ අසනීප ගැන හොයලා බෙහෙත් දුන්නා. අපිව ආදරයෙන් රැක බලාගත්තා අපිට උදව් කළා.” එසේ පැවසුවේ ඉස්මයිල් ආජු උම්මා මහත්මියයි.

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේදී නොරෝධායනයට ලක්වූ ෆෝබ්ස් පටුමගේ පදිංචි සුදර්ශනී ජයසිංහ මහත්මිය අපට්ට පැවසුවේ වෙනස්ම කතාවකි.“ පූනානි යන්න සුදානම් වෙන්න තිබුණේ විනාඩි 15යි. ඒත් අපි ඉක්මනට අවශ්‍ය දේවල් රැගෙන දොරවලට ඉබි යතුරු දාලා ගියේ. දවස් 4කට පස්සේ ගෙවල් පැත්තේ අය කිව්වා කඩේ ළඟ දොරේ ඉබ්බා එල්ලෙනවා කියලා. එයාලා පොලිසියට කියලා තිබුණා. මමත් එහෙ ඉඳලා පොලිසියට කෝල් කළා. කඩේ කඩලා ක්‍රීම් වර්ග, චොකලට්, ෆෝන් කාඩ් ටික අරන්. අල්මාරිය කඩලා හෑන්ඩ් බෑග් එකයි; ඩිජිටල් කැමරාවයි අරන්. බෑග් එකේ රුපියල් 10,000ක් තිබුණා. දැන් හොරු අල්ලගෙන තියෙන්නේ. හමුදාවේ නිලධාරින් අපට එහෙදි හොඳට සැලකුවා. දරුවොත් හොඳට සතුටු වුණා.”

ඉමාමුල් අරූස් මාවතට සමීප දෙමළ පවුල් කීපයකුත් නිරෝධායනයට පූනානි රැගෙන ගිය අතර එහිදී ලද අත්දැකීම් විස්තර කළේ ආර්.ටී මුනයන්ඩිය.“ එදා පොලිසියෙන් ඇවිත් ඉක්මනට ලෑස්ති වෙන්න කිව්වා; හමුදාවෙනුත් ආවා. ග්‍රාම සේවක ඇතුළු තවත් අය ආවා. බස් එකක අපි එක්ක ගියේ. අපිට දුන්න කාමර අපේ ගෙවල්වලට වැඩිය හොඳයි. කෑම, බීම ඕනතරම්. බත් අමතරව ඇපල්, දොඩම්, යෝගට්, කෙසෙල්, පාන් හැමදෙයක්ම දෙනවා කාලා ඉවර කරන්න බැරි තරම් හැමදාම උණ බලනවා. බෙහෙත් දෙනවා. හැමෝටම එකවගේ සැලකුවා වෙනසක් නැතුව. ආපහු ආවාම රුපියල් 5000ක් දුන්නා.

නිරෝධායනය සඳහා යොමු කළ තවත් මුස්ලිම් පවුල් කීපයක්ම නිරෝධායනය ඉහළින් වර්ණනා කළ අතර එම්. ආර්. එම් රිසාන් මහතා මෙසේ අදහස් දැක්වීය.“හදිසියේ ගිය නිසා සුදානම් වෙන්න බැරි වුණා. ඒත් අපට කිසිම අඩුවක් නොදැනෙන්න සැලකුවා. බබෙක් ලැබෙන්න හිටිය අක්කා ගැන දිනපතාම සොයා බැලුවා. නෝම්බි අල්ලද්දී කෑම බීම පවා ගෙනත් දුන්නා. ආමි වෛද්‍යවරයෙක් දිනපතා හෝ දින දෙකකට වරක් ඇවිත් උණ බලනවා; බෙහෙත් දෙනවා. පොදුවේ බලන්න රූපවාහිනියක් තිබුණා. අපිට කලින් එහෙ ගිය අය ඉද්දී සංගීත සන්දර්ශන පවා තිබිලා තියෙනවා. හමුදාවේ අය ජාති, ආගම් භේදයකින් තොරව අපට හොඳට සැලකුවා. කෑම රස නෑ කියද්දී කෑම වෙනස් කරලා හදලා දුන්නා. පොඩි ළමයිට වෙනමම කෑම. කුකුළු මස්, මාළු පෝෂ්‍යදායී ආහාර දුන්නා. ලුතිනන් කර්නල් නිමල් සමරසිංහ මහතා ඇවිත් අපේ ගැටලු ගැන සොයා බැලුවා. අයිස් ක්‍රීම්, යෝගට්, ඇපල්, දොඩම්, කොමඩු, තේ, කෝපි, කොත්තමල්ලි හැම දෙයක්ම දුන්නා. පූනානිවල වතුර හිඟ වුණාට අපිට බවුසර් වලින් පැය භාගෙන් භාගෙට වතුර ගේනවා. වැසිකිළි පහසුකම් නාන්න හොඳටම තිබුණා. හමුදා නිලධාරින් අපට බොහොම වැදගත් ලෙස සැලකුවා. ආගම කියන්න පවා පහසුකම් සලසා දුන්නා. නිරෝධායනය ගැන ඉහළින් අගය කරනවා.”

මරදාන ෆෝබස් පටුමඟ ඉමාමුල් අරුස් මාවතේ මිය ගිය යුනුස් මහතාගේ ඥාතින්ද නිරෝධායනයට ලක් කෙරිණි. එහිදී නම හෙළි නොකළ මුස්ලිම් ගුරු යුවළක් නිරෝධායනය පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේය. “පූනානි වලට කලින් ගිහින් නැහැ. ගියාම හිතට සතුටක් දැනුණා. අපට උපරිම පහසුකම් දුන්නා. අපිට හොඳට සැලකුවා හැම අතින්ම. ඒ ගැන නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් මෙහෙන් එහෙ ගිය මේ ප්‍රදේශයේම සමහරු අපට අංකොං පානවා. අපේ දිහා වපර ඇහින් බලනවා.අපේ ඥාතීන් නිසා හිනා වෙන්නේ නෑ; කතා කරන්නේ නෑ; ළමයිට සෙල්ලම් කරන්න දෙන්නේ නෑ. ඇත්තටම ඒ ඇති හමුදාවේ අය අපට හරිම මානුෂික වුණා. නෝම්බි නිසා පාන්දර දෙක හමාරට කෑම දුන්නා. පොදුවේ අපට දුන් දේවල් ( කිරිපිටි, පැම්පස් ) හැම දෙනාම බෙදාගත්තා. නිරෝධායනය හොඳ දෙයක්. අපි ආසාදිතයන් නොවන බව ඔප්පු වුණා. හොඳ අත්දැකීම් ලැබුණා. දරුවෝ චිත්‍ර ඇන්දා, සෙල්ලම් කළා. ප්‍රවෘත්ති බැලුවා, කාරුණික වෛද්‍යවරු හිටියේ. අන්තිමට සහතිකයකුත් දුන්නා; අපි නිරෝගියි කියලා.”

මරදාන ෆෝබස් පටුමඟ ඉමාමුල් අරූස් මාවතේ නිවැසියන්ට නිරෝධායනය තම ජිවිතයට අලුත් අත්දැකීමක් වූ අතර එහිදී ඔවුන් බොහෝ සතුටට පත් වූ බව ඔවුන් සමඟ කළ කතා බහෙන් අපට වැටහිණි. මෙම නිවැසියන්ගේ නිරෝධායන කටයුතු හා සියලු පහසුකම් සැපයීම සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරින් සමඟ පොලිසිය සහය වූහ. විශේෂයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ධම්මික අධිකාරි වත්තගේ, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන්ත කුමාර, කොළඹ නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල, ජෙය්ෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා, සහකාර පොලිස් අධිකාරි කරුණාසිංහ, මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර, ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉලුක්කුඹුර යන මහත්වරුන් ඇතුළු සියලුම නිලධාරීහු උපරිම කැපවීම් කළහ.

අප එහි යන විටත් මරදාන ප්‍රජා පොලිස් ඒකකයේ සැරයන් (52953 ) එච්. බි විමලසේන මහතා පාපැදියකින් ෆෝබස් පටුමඟ සැරිසරමින් ප්‍රදේශවාසීන්ගේ සුවදුක් සොයාබලනු දක්නට ලැබුණි. විමලසේන මහතා අපි ගමන් කළ සෑම නිවෙසකටම අප සමඟ යමින් අපට සහාය විය. මේ ඔහුගේ හඬයි. ‘මරදාන පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ෆෝබ්ස් පටුමඟ භාරව කටයුතු කරන්නේ මමයි. මෙම ප්‍රදේශයේ පවුල් 71ක පුද්ගලයන් 302ක් නිරෝධායනයට යැවීම සිදු කළා. ඉන් පසු කිසිම ආසාදිතයෙක් හමු වුණේ නැහැ. ඔවුන් නිරෝධායනයට ගොස් ආපසු පැමිණි පසුවද අපි පිරිස පිළිබඳ පසු විපරම් කරනවා. පිට පළාතකින් කවුරු හරි මෙහෙට ආවොත් දින 14ක් නිරෝධායනය කරනවා. එක් අයකු ඕස්ට්‍රේලියාවේ ඉදලා ඇවිත් රාජගිරියේ නිරෝධායන ආයතනයේ දින 14 ඉදලා මෙහෙ ගෙදර ඇවිත් ගෙදරම තව දින 14ක් නිරෝධායනය කරනවා. අපි නිතරම උසස් නිලධාරීන්ගේ උපදෙස් පරිදි ජනතාවගේ ඒකරාශී වීම් වළක්වා දුරස්ථභාවය රැකගැනීමට හා සෞඛ්‍ය පුරුදු වලට උපදෙස් දෙනවා. මේ ප්‍රදේශය දැන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා වුණත් අපි දිගින් දිගටම අධීක්ෂණය කරනවා.” පොලිස් සැරයන් විමලසේන මහතා නිලධාරි මහත්මයකුටත් වඩා ප්‍රදේශ වාසීන්ගේ ළෙංගතු හිතෛෂිවන්තයකු ලෙස කටයුතු කරන බව බොහෝ දෙනකු අප සමඟ පැවසූහ.

 

සේයාරූ - සමන් ශ්‍රී වෙදගේ

Comments