රජුන් තනන්නාගේ නික්ම යෑම | සිළුමිණ

රජුන් තනන්නාගේ නික්ම යෑම

ඉන්දීය සම්භවයක් ඇති වතු කම්කරු ජනතාවට වසර විසිපහකට අධික කාලයක් නායකත්වය දෙමින් එම ජනතාවගේ ජීවන තත්ත්වය හා ඉතිහාසය මුළුමනින්ම වෙනස් කරමින් තේ පඳුරට පමණක්ම කොටුවී සිටි වතුකම්කරු පරපුර මෙරටේ වෛද්‍ය වෘත්තීය දක්වා ගෙනයාමට මඟ සලසා දුන් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හා මහලේකම් මෙන්ම වත්මන් ආණ්ඩුවේ වතුයටිතල පහසුකම් හා ග්‍රාමීය සමාජ සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ඉකුත් අඟහරුවාදා රාත්‍රි තලංගම රෝහලේ දී අවසන් ගමන් ගියේය.

දියණියන් දෙදෙනෙකු හා පුතෙක් වශයෙන් දරුවන් තිදෙනෙකුගේ පියෙක් වූ සෞම්‍යමූර්ති ආරුමුගන් රාමනාදන් තොණ්ඩමන් උපත ලබන්නේ 1964 මැයි මස 29 වැනිදාය. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහුගේ පියා පළාත් සභා ක්‍රමය ආරම්භවීමෙන් පසු පළමු මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යවරයකු විය.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වැඩිකාලයක් පදිංචිව සිටි ආරුමුගම් තොණ්ඩමන් යළිත් ශ්‍රීලංකාවට පැමිණෙන්නේ ඔහුගේ සීයා වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ දුරදක්නා නුවණට අනුවය.

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධූරයට පත් ආරුමුගම් තොණ්ඩමන් මහතා පළමු වරට මැතිවරණයකට මුහුණ දෙන්නේ 1994 පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයට ය. එම මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කළ තොණ්ඩමන් මහතා මනාප ඡන්ද 72,000කට අධික සංඛ්‍යාවක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ පළමු තැනට පත්වන්නේ ය. 1999 දී තමන්ගේ දේශපාලන ගමනේ ගුරු පියාණන් වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මියයාමෙන් පසු එවකට ජනාධිපති ධූරයේ සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ පක්ෂය හා එක්ව සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගෙන් වතුකරයේ දෙමළ ජනතාවට ඇතිවූ හිඩස සම්පූර්ණ කරන්නට පියවර ගත්තේය.

ආරුමුගම් තොණ්ඩමන්ගේ දේශපාලන නායකත්වය යටතේ බිහිවූ දේශපාලඥයින් රැසකි. කොළඹ  ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුව සිටි වඩිවෙල් සුරේෂ් ව ලංකා කම්කරු කොංග්‍රසයේ පරිපාලන ලේකම් ධූරයට පත්කරන ආරුමුගන් තොණ්ඩමන් ඔහුට බදුලු දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන්නට අවස්ථාව සලසා දී මන්ත්‍රීවරයෙකු බවට පත්කරන්නේය. තම පෞද්ගලික හිතවතකු වූ ෆයිසර් මුස්තෆාව ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති ධූරයට ද ආරුමුගම් තොණ්ඩමන් මහතා නිවාස හා ඉදිකිරීම් ඇමතිව කටයුතු කළ අවදියේ නිවාස සංවර්ධන අධිකාරියේ උප සභාපති ධූරයට ද පත්කර ඔහුට ඊළඟ මැතිවරණයෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අවස්ථාව සලසා දී පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට පත්කරන්නටද කටයුතු කළේය. පසු කලෙක ඔවුන් දෙදෙනා තොණ්ඩමන්ගෙන් ඉවත්ව වෙනත් දේශපාලන මගක ගමන් කරන්නට වූහ.

2000 වසරේදී ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයට පත්වන ආරුමුගම් තොණ්ඩමන් වතු කම්කරු ප්‍රජාව වෙනුවෙන් මුලින්ම මැදිහත් වන්නේ උඩරට වතු පාලනය කරන වැවිලි සමාගම් 22 නියෝජනය කරන වතු හාම්පුතුන්ගේ සම්මේලනයත් සමග සාකච්ඡා කරමින් කිසිදු වෘත්තිය ක්‍රියාමාර්ගයකින් තොරව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 20%කින් වැඩිකිරිමෙන්ය.

මේ දක්වාම ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලනය වූයේ එක්සත් ජාතික පක්ෂය හා එක්ව මැතිවරණයට තරග කිරීම වුවත් ආරුමුගන් තොන්ඩමන් එම ඉතිහාසය වෙනස් කරමින් 2000 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණ හා එක්ව තරග කරමින් එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණට පමණක් හුරුව සිටි වතු කම්කරු ජනතාව වාමාංශික දේශපාලනයට හුරුකරවීමට පියවර ගැනීමෙන් තමන් සතු පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව 08 සිට 04 දක්වා අඩුවුවද එම පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව බලයට පත්කිරීමේ තීරකයා වශයෙන් පත්විය.

එතැන් පටන් වුවද වතුකරයේ ජනතාවගේ සියලු අයිතිවාසිකම් ලබාදීම සදහා තම සීයා ගෙන ගිය අවිහිංසාවාදී සටන දේශපාලන මුහුණුවරකින් පාර්ලිමේන්තුව තුළට රැගෙන විත් 17 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නැංවූ අවස්ථාවේ රටක් නැතිව ජීවත් වූ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාව වෙනම ජාතියක් ලෙස රජය පිළිගන්නා තැනට පත්කරමින් ඉන්දීය සම්භවයක් ඇති නියෝජිතයෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඇතුළත් කිරීමටද පියවර ගත්තේය.

2001වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයට යළිත් එක්සත් ජාතික පක්ෂය හා එක්ව තරග කිරීමට තීරණය කළ ආරුමුගම් තොණ්ඩමන් මහතා එම මැතිවරණයෙන් පිහිටුවන ලද එජාප ආණ්ඩුවේ නිවාස හා වතු යටිතල පහසුකම් අමාත්‍යධූරයට පත්වන්නේ ය. එම ඇමති බලය ද ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයේ බලයද උපයෝගී කරගනිමින් 2002 වසරේදී යළිත් වතු හාම්පුතුන්ගේ සම්මේලනය සමග සාකච්ඡා කරමින් එතෙක් රුපියල් 121ක්ව පැවති වතු කම්කරු දෛනික වැටුප රුපියල් 147 දක්වා වැඩිකිරිමට පියවර ගත්තේය.එපමණක් නොව එවකට පැවති රජය විසින් පෞද්ගලික අංශයේ සේවකයින් සදහා ලබාදෙන ලද වැටුප් වැඩිවීම වතුකම්කරුවන්ට ද ලබාදෙන ලෙස බලකරමින් දැවැන්ත අරගලයක් දියත් කිරීමට ද ආරුමුගම් තොන්ඩමන් මහතා පියවර ගත්තේය.

වතුකරයේ ජනතාව වසර සිය ගණනක් මෙරටේ ජීවත් වුවද 1970 දශකයේ සිරිමා - ශාස්ත්‍රී ගිවිසුමට අනුව ශ්‍රීලංකාවේ කොටසකට ඉන්දියානු පුරවැසිභාවයත් කොටසකට ලංකාවේ පුරවැසිභාවයත් ලබාදීමෙන් අනතුරුව රටක් නැති ජාතියක් ලෙස වතුකරයේම සිටි 96 000 කට ශ්‍රිලංකාවේ පුරවැසිභාවය ලබාදීමට ආරුමුගන් තොන්ඩමන් මහතා පියවර ගත්තේ 2003 වසරේදී ය.

ආරුමුගම් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු කොංග්‍රසය යළිත් මහ මැතිවරණයකට මුහුණ දෙන්නේ 2004 දී ය. එහිදී ඔහු යළිත් එක්සත් ජාතික පක්ෂය හා ගිවිසුමකට එළඹ තරග කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 08ක් දිනා ගැනීමට සමත් වන්නේ ය.එසේ වුවද එවකට බලයට පත්වන පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ අමාත්‍යධූරයක් ලබා ගැනීමට ආරුමුගම් තොණ්ඩමන් කැමැත්තක් නොදැක්වුව ද පක්ෂයේ බහුතරයකගේ මතයට හිස නමමින් එහි මූල්‍ය ලේකම් ලෙස කටයුතු කළ මුත්තුසිවලිංගමව වතු යටිතල පහසුකම් අමාත්‍යධූරයට පත්කරන්නට පියවර ගන්නේය.

2006 වසරේදී යළි ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග එක්වන ආරුමුගම් තොණ්ඩමන් ඔහුගේ රජයේ යෞවන කටයුතු හා සමාජ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය බාරගෙන වතුකරයේ ජනතාව ආර්ථික හා සමාජීය මට්ටමින් ඉදිරියට ගෙන ඒමට කටයුතු කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ආර්ථික සංවර්ධන ඇමති ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා සමඟ එක්ව සුවිශේෂි වැඩ කොටසක් වතුකරයටද හිමිකරදීමටද තොණ්ඩමන් සමත්විය. විශේෂයෙන් ද්‍රෂ්කර ගම්මාන ඉලක්ක කරගෙන ආරම්භ කරන ලද ගම නැගුම, මග නැගුම වැනි ව්‍යාපෘති වතුකරයටද ලබා ගත්තේය. ඉන්දීය රජය විසින් උතුරු නැගෙනහිර අවතැන් ජනතාව වෙනුවෙන් නිවාස 50000 ක් ඉදිකර දීමට තීරණය කළ අවස්ථාවේ වතුකරයේ ජනතාවටද එරට ආධාර යටතේ නිවාස ඉදිකරදීමට ක්‍රියාකාරී විය. අතීතයේ ලංකාවේ වැඩිපුරම සියදිවිහානි කරගැනීම් වාර්තා වූ වතුකරය එයින් මුදාගැනීමට ඉවහල් වූයේ ද ආරුමුගම් තොණ්ඩමන්ගේ වැඩපිළිවෙලය.

වතු විදේශීය පාලකයින් විසින් ආරම්භ කරන ලද අඩි 10 X 10 ප්‍රමාණයේ කාමර වලින් සමන්විත ලයිම් නිවාස වෙනුවට තනි නිවාස සහ මහල් නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළේද ආරුමුගම් තොණ්ඩමන් විසිනි. ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ වියෝව වතුකරයට දරාගත නොහැකි පාඩුවකි.

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කැපකිරීමකින් කටයුතු කළ ආරුමුගම් තොන්ඩමන් 2015 ජනාධිපතිවරණයේ දී සුළු ජාතික සියලු පාර්ශ්වයන් එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ඉදිරිපත් කරන ලද පොදු අපේක්ෂකයාට සහාය දීමට තීරණය කර තිබුණද තමන්ගේ ප්‍රතිපත්තිය පාවා නොදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් වතුකරය මෙහෙය වූ ආරුමුගම් තොණ්ඩමන් කිසිදු අවස්ථාවක ඒ යහපාලන රජයේ කිසිදු නිලයක් නොලබා ස්වාධීනව විපක්ෂයට වී සිටිමින් සිය ප්‍රතිපත්තිය රකින ලද ප්‍රවීණ දේශපාලකයෙකි.

තොණ්ඩමන් හා ඉන්දීය රජය අතර ඇත්තේ සුවිශේෂි සබඳතාවකි. ඔහුගේ ජීවිතයේ අවසන් හමු දෙකක් විය. එහි එක් හමුවක් වූයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟද අනෙක අලුතින් පත්ව ආ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සමඟය. ඉන්දීය මහ කොමසාරිස් සමඟ සාකච්ඡා කර ඇත්තේ ද ඉන්දීය ආධාර යටතේ සිදුකෙරෙන වතු නිවාස ව්‍යාපෘතිය ගැනය.

ඇමති ආරුමුගම් තොණ්ඩමන් ගෙන් පසු ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය සඳහා එම පක්ෂයේ උප සභාපති හා ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා පත්කිරීමට ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩල අදහස් කරන අතර ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ආරුමුගම් තොණ්ඩමන් මහතා තරඟ කිරීමට නාමයෝජනා භාර දී සිටි නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා ඔහුගේ එකම පුත් ජීවන් තොණ්ඩමන් මහතා ඉදිරිපත් කිරීමට ද දේශපාලන මණ්ඩලය ගනු ලැබූ තීරණය ඉකුත් බදාදා සවස අග්‍රාමාත්‍ය නිල නිවසේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු දේශපාලන මණ්ඩලය නිල වශයෙන් දැනුම් දී තිබුණි. මෙම තීරණය ලිඛිතව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා සභාපති මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා ඉදිරියේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත බාරදෙනු ලැබීය.

තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මැයි 31 දා සවස රාජ්‍ය ගෞරව සහිතව නොර්වුඩ් ක්‍රීඩාංගණයේ දී සිදුකිරීමට තීරණය කර ඇත.

Comments