බුදුන් අත්හළ තැන ප්‍රාර්ථනා කන්දක් | සිළුමිණ

බුදුන් අත්හළ තැන ප්‍රාර්ථනා කන්දක්

කොරෝනා තවමත් සිය අණසක මුළුමනින්ම ඉවත් කර නොගත් නිසාදෝ බෙල්ලන්විල පූජා භූමිය වෙනදා තරම් ජනාකීර්ණ නැත. වෙනදා පොසොන් පොහොයට මුළු පන්සල් භූමියම වෛර්ණ විදුලි බුබුළුවලින් අලංකාර වන්නා සේම ජනාකීර්ණ ද වෙති. තම තමන්ගේ ලෝකවල තනි වූ කිහිප දෙනකු තවකකුගේ ක්‍රියා ගැන හාංකවිසියක් හෝ නොදැන, නොදැක තම ලෝකයේ හුදෙකලාව සැරිසරනු පමණක්ම පෙනේ.

පුද පූජා පවත්වන්නන් මෙන් ම බෝධිය දෙස නිසොල්මනේ බලා සිටින කිහිපදෙනෙක් ද මෙහි වෙයි. බෝධියෙන් වැටෙන බෝ පත් අහුලා දමන පිරිස් හා පරවුණු මල් ඉවත් කරන පිරිස් ද පරිසරය ගැන සවිඥානක බැව් පෙනේ.

එහෙත් වියළුණු එක් බෝ පතක් අහුලා ඉවත් කළ සැණින් තවත් බෝ පත්‍රයක් සුළඟට ගසා විත් බිම වැටෙනුත්; ඒ පත්‍රය ගැන නිනව්වක් නැති ව ගාථා මුමුණමින් බෝධිය වටා යන පිරිස් ඒ පත්‍රය පාගනුත් මම බලා සිටියෙමි.

ඇත්තෙන් ම ඒ සිතිවිලි දෙකට ම අයත් වූ පිරිස මේ සිහින් වැලි පොළොව මත බුදුන් නමදිමින් නොසිටින්නේ ද? බෝපත් පෑගේවි යැයි බියෙන් ඒවා ඉවත් කරන්නන් ද, ඒ බෝපත් පෑගෙනවා යැයි නොදැන ම බෝධියට වන්දනා කරන්නන් ද අවසන අරමුණු කරන්නේ එකක් ම නොවේ ද? එහෙත් මෙතැන වන්දනාමාන කරන පිරිස් අතර මේ සංසාරය කෙටි කර ගැනීමේ අරමුණින් වැඳුම් පිදුම් කරන කී දෙනෙක් සිටී ද? බුදුන් වහන්සේ සියල්ල අතහැර දැමීමට ප්‍රාර්ථනා කළ බෝ රුක යට සිට ම අප බොහෝ දේ ලබාදෙන්න යැයි ප්‍රාර්ථනා කරනවා නො වේ ද; ම සිත විමසයි.

මිනිසා මෙහෙයවන බලවේගය ගැන ඔබට යමක් සිතී තිබේ ද? මිනිසා මෙහෙයවන්නේ ආශාව විසිනි. ආශාව, සතුට උපද්දවන බොහෝ දේ නිර්මාණය කරනු ලැබ ඇත. එපමණක් නොවේ; සැපත තකා යන ආශාව, මිනිසා සමඟ ඇති සබඳතාව මත ‍මහත් ගැටලු‍, වියවුල් සහ අභාග්‍යය ද නිර්මාණය කර ඇත. ලෝකයේ ශ්‍රමණයෝ හා විවිධ ආගමික මත දරන්නෝ ආශාව අබිබවා යෑමට ද වෑයම් කළහ.

ඒ අනුව ඔවුහු කිසියම් පරමාදර්ශයකට, ප්‍රතිරූපයකට හෝ සංකේතයකට වැඳුම් පිදුම් කිරීම සඳහා තමන් ව පොලඹවා ගත්හ. එහෙත් ඔබ සිතනවාද ආශාව එසේ පහසුවෙන් යටපත් කර ගත හැකි ය කියා. එය ගිනි දැල්ලක් මෙන් නිරතුරු ව අප පුළුස්සමින් ආ වටා ම සැරිසරයි.

ආශාවෙහි සංකීර්ණතාව, අධික බලකාමය, කීර්තිය, තත්ත්වය සහ තවත් බොහෝ ‍දෑ පමණක් නොව එදිනෙදා ජීවිතයට එහායින් පවතින දේ පිළිබඳ ‍සොයා බැලීම සඳහාත්, ඊළඟ භවය ගැන සොයා බැලීම සඳහාත් මිනිසා නානා මාදිලියේ අශෝභන, සාහසික ක්‍රියාවලට පෙලඹී ඇත.

ආශාව යනු කුමක්ද? නිසොල්මනේ සිතා බලන්න. එය සිතිවිලි විසින් ගොඩනඟන ලද සියලු‍ ප්‍රතිරූප සහිත ඉන්ද්‍රිය සංවේදනාවේ ප්‍රතිඵලයයි. මේ ආශාව, නොපෑහීම පමණක් නොව භංග බලාපොරොත්තු සහිත බවක් ද ඇති කරන්නේ ය. එය මැඬ නොපැවැත්විය යුතු යැයි වරෙක ම සිතට දැනේ. හික්ම වීම, මැඬ පැවැත්වීම සාර්ථක දෑ නොවේ.

කළ යුතු වන්නේ එහි ස්වභාවය, මූලාරම්භය සහ සංකීර්ණ බව ගැන ගවේෂණය කිරීම නොවේද? එහෙත් ඔබට සිතේවි, ආශාව ගැන සෙවීමත් ආශාවක් නො වේ ද කියා. එය එසේ වන්නේ නැත. එයට හේතුව ඒ සොයා බැලීම සඳහා අරමුණක් නැති බැවිනි. එය මලෙක ලස්සන තේරුම් ගැනීමට ඒ අසලින් හිඳ ඒ දෙස බලා සිටීම වැනි ක්‍රියාවකි.

මල කිසිවකුගේ බලපෑමට නතු නොවී සොබා දහමේ කොටසක් ව පිපෙයි. එයට ඔබට හෝ මට බලපෑම් කළ නොහැකි ය. මලකට එහි සියුම් බව, සුවඳ, සූක්ෂ්ම රේණු ගොන්න, නටුව සහ එය වැටුණු පස ආදිය ගැන කිසිවකුටත් වසන් කිරීමේ හැකියාවක් නැත. ඒ ගැන අවධානයෙන් සිටින ඕනෑ ම අයකුට ඒ මලේ සැබෑ ස්වරූපය ගැන අවබෝධ කර ගැනීම අපහසු කරුණක් නොවේ. මන්ද මල තමා ම අනාවරණය කරන බැවිනි.

එබැවින් තමාගේ ඉඳුරන් ගැන, සංවේදිතා ගැන, සතුට, වේදනාව, පසුතැවිල්ල, ආත්මාර්ථකාමී බව ආදී මේ සියල්ල ගැන හැඩගස්වන ලද සිතිවිලිවලින් තොර ව ආශාව සහ එහි ස්වරූපය දෙස බලා සිටිනු මැනවි.

එසේ නිසොල්මනේ බලපෑමකින් තොර ව බලා සිටින විට ආශාව ඇතිවීමට හේතු හෙවත් එහි මූලය, වචනාර්ථයෙන් හෝ බුද්ධියෙන් හෝ තොර ව මුළුමනින් ම වටහා ගත හැකි ය; අවබෝධ කරගත හැකි ය. ඒ පිළිබඳ සියුම් ව සිතීමම, සංජානනය කිරීම ම බුද්ධිය වන්නේ ය. ආශාව පිළිබඳ නොතිත් කතා බහේදී, ක්‍රියාවේදී ඔබ හා මා ඒ ලබාගත් බුද්ධිය නිරතුරු ව ම හොඳ සිහියෙන් හා තර්කාන්විත ව ක්‍රියා කිරීමට මඟ පාදනු ඇත.

ආශාවට අප ජීවිත පාලනය කිරීමට නොදීමට නම් ඒ ගැන වන තියුණු අවබෝධය හා සංවේදනාව ඔබට, මට අවශ්‍ය වන්නේ ය. එවිට මේ සංසාරය කෙටි කර ගැන්මට බුදුන් සියල්ල අත්හැර දැමූ තැනදී අප සියල්ල ප්‍රාර්ථනා කරන තැනට පත් වීමට අවශ්‍ය නොවේ.

බෙල්ලන්විල බෝ සමිඳු ඉදිරිපිට දහස් ගණන් ජනී ජනයා පුද පූජා පවත්වන අයුරුත් ඒ දනන්ගේ මුවග රැව් දෙන ප්‍රාර්ථනාත් දුටු, ඇසූ විට ම සිතට බොහෝ දේ කල්පනා වෙයි. ඒ අතරින් ලේඛනයේ රන්සුනු සොයන මට දැනෙන්නේ අපේ ජීවිත අප ක්ෂුද්‍ර වශයෙන් හෝ අවබෝධ කරගෙන නැති බව ය. වෙන කවරාදාවත් නැති තරම් අවබෝධාත්මක පොසොන් පොහොයක් අබියස අපි සිටින්නෙමු.

එකී අවබෝධය අප ලබාගත් දා අපට ලේඛනයේ පමණක් නොව ජීවිතයේද බොහෝ රන්සුනු පෙනෙන්නට, දැනෙන්නට පටන් ගනු ඇත. මඳක් සිතන්න, ඔබේ සිතිවිලි ගැන ඔබ ම සවිඥානක ද කියා.

Comments