පොත් ලෝලීන්ගේ සිහින කොරෝනා සොරා ගනීද? | සිළුමිණ

පොත් ලෝලීන්ගේ සිහින කොරෝනා සොරා ගනීද?

කොරෝනා වසංගයත් සමඟ අපට යන්නට එන්නට තිබු බොහෝ ගමන් බිමන් පමණක් නොව මෙදා බක්මහ මංගල්‍යයත්, වෙසක් මංගල්‍යයත්, පොසොන් උදාවත් අහිමි විය. එළියට බැසීම අකැප වූ යුගයක සැමට සිදු වුයේ නිවෙසේ රැදෙන්නටය. මේ ලියන මොහොත වන විට රට යළිත් යථා තත්ත්වය පත්වේයැයි කියා සිතන්නට හැකිය. නමුදු හෙට වන්නේ කුමක්දැයි කියා සිතන්නට අසීරු මොහොතක පොත පතට ඇළුම් කරන්නෝ මෙන්ම, ලේඛකයෝ පොත් ප්‍රකාශකයෝ මෙන්ම පාඨකයෝ බලා සිටින්නේ මෙදා පොත් වසන්තයට එනම් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත් වීමට නියමිත ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට කුමක් වේවිද කියාය.

“ගිය පාර පොත් ගන්න ගිහිල්ලා සල්ලි මදි වුණා. මම දැන් කාලයක් තිස්සේ මම පොත් ගන්න යන්නේ අවුරුද්දක් පුරා මුදල් එකතු කරලා. මාසෙට රුපියල් දාහ ගාණේ කැටයක එකතු කරනවා. මේ පාරත් එහෙම කරා. එත් පොත් ප්‍රදර්ශනය තියෙයිද කවුද දන්නේ...ඒ ගමන හරි සුන්දරයි. යාළුවෝ හමු වෙනවා; ලේඛකයෝ හමු වෙනවා... මම ගමේ ඉදලා සැප්තැම්බර් මාසේ පොත් වසන්තයට දවස් දෙකක්වත් කොළඹ එනවා.”බාල වියේ සිටම පොත පතට ඇළුම් කරන මා යෙහෙළිය පවසන්නට වුයේ කනගාටුවෙනි.

සැබැවින්ම කොරෝනා වසංගය නිසා රටේ සාමාන්‍ය ජන ජීවිතය උඩුයටිකුරු වු මෙවන් කලා වකවානුවක මෙදාපාර අන්තර්ජාතික පොත් ප්‍රද්ශනයට කුමක් වේවිද? එමෙන්ම පොත් ප්‍රකාශකයෝ මේ වන විට ඒ සම්බන්ධයෙන් දරණ අදහස කුමක් විය හැකි ද? ඒ පිළිබඳ පසුගියදා පොත් ප්‍රකාශකයන් කිහිප දෙනෙකු සමඟ මෙන්ම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන කමිටුවේ කිහිප දෙනකු සමඟ කතා බහ කළෙමු.

“මෙවර විසි දෙවැනි වරට තමයි පොත් ප්‍රදර්ශනය පවත්වන්නේ. නමුත් කොරෝනා වසංගත තත්වය නිසා කුමන තත්වයක් උදා වේවිද කියලා කියන්න බැහැ. රජය සෞඛ්‍ය බලධාරින් පොලීසිය සමඟ සාකච්ඡා කර ඒ ලැබෙන උපදෙස් අනුව ප්‍රදර්ශනය පැවැත්වීමටයි අපි සුදානම්ව සිටින්නේ. මේ ගෙවන කාලයේ වාතාවරණයත් බලලා අගෝස්තු මාසයේ අග වන විට අපට නිශ්චිත තිරණයකට එන්න පුළුවන්. කොහොම වුණත් නුවරදී පවත්වන්නට නියමිත ප්‍රදර්ශනය පවත්වන්නේ නෑ මෙවර. ඒ වගේම ස්වර් ණ පුස්තක උලෙළ පවත්වන්නෙත් නැහැ.”යනුවෙන් පැවැසුවේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ පරිපාලන ලේකම් ලෙස කටයුතු කරනු ලබන උපාලි වනිගසූරියයි.

සෑම වසරකදීම නවකතා රචනා කරන බොහෝ ලේඛකයෝ මෙන්ම පාඨකයෝ මෙන්ම විචාරකයෝ ද බලා සිටින්නේ ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ දෙසය. කවියෝ බලා සිටින්නේ රජත පුස්තක සම්මාන උලෙළ දෙසය. නමුදු මේ වසරේදි රජත පුස්තක මෙන්ම ස්වරණ පුස්තක සම්මාන වලට කුමක් වේවිද? අප මේ ගැන විමසුවේ පොත් ප්‍රකාශන සංගමයේ හිටපු සභාපති සරසවි ප්‍රකාශන ආයතනයේ අධිපති එච්. ඩී ප්‍රේමසිරි ගෙනි.“මේ වන විට ස්වරණ පුස්තක සම්මාන ලබාදීම සඳහා පොත් තේරීම කරන්නට බාර දීලා තියෙන්නේ. ඒ වගේම රජත පුස්තක සම්මානය සඳහාත් කවි පොත් තේරීම ඒ ඒ අදාළ අයට බාර දීලා තියෙන්නේ. රටේ වාතාවරණය බලලා ප්‍රදර්ශනය තැබීම ගැන තීරණයක් ගන්න තමයි මණ්ඩය සුදානමින් සිටින්නේ. ස්වරණ පුස්තක, රජත පුස්තක උත්සව නොපැවැත්වුවන් මේ සම්මාන ලබන පොත් ගැන අප ප්‍රසිද්ධියට පත්කරනවා ඉදිරියේදී. ප්‍රකාශකයකු විදිහට අප මෙවරත් අලුත් පොත් ප්‍රකාශයට පත්කරනවා. අපි වගේම සාහිත්‍ය මාසය වෙනුවෙන් අනෙක් පොත් ප්‍රකාශකයනුත් අලුත් පොත් මේ වන විට මුද්‍රණය කරමින් සිටින්නේ. අපි සුබවාදීව හිතමු. අපට පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට පුළුවන්කම ලැබෙයි කියලා”

අලුත් පොත් වල සුවඳ දන්නේ පොතට ඇල්ම දක්වන්නෝය. බොහෝ දුර බැහැර සිට වුව පාඨකයෝ පොත් වසන්තයට කොළඹ එන්නේ පොත් වලට ඇති ඇල්ම නිසාමය. නමුදු මේ වසරේ පෙර වසර වල මෙන් තෙරපෙමින්, පෝලිම් වල යමින් පොත් පොත් තෝරන්නට එකිනෙකා හමු වී වරු ගණනන් කතා කරමින් කාලය ගෙවන්නට බැරි වනු ඇත.“ රටේ වාතාවරණය බලලා ප්‍රදර්ශනය තැබීම ගැන තීරණයක් ගන්න තමයි මණ්ඩය සුදානමින් සිටින්නේ. කොහොමත් රජය, සෞඛ්‍ය බලධාරීන් පොලිසිය කියන උපදෙස් පිළිපැදිම් දුරස්ථ භාවය තබා ගනිමින් තමයි මේ කටයුතු කරන්නට පුළුවන් කම ලැබෙන්නේ. අපි හැමෝම කැමතියි ප්‍රදර්ශනය පවත්වන්ට පුළුවන්නම්. දැන් රටේ ඇඳිරි නීතියත් ඉවත් කර තිබෙන නිසා මේ ගෙවන කාලය දිහා බලාගෙන ඉදලා ඉදිරි මාස කිහිපයේදි අපට පොත් ප්‍රදර් ශනය ගැන තීරණයකට එන්නට පුළුවන්.” යැයි පැවැසුවේ දයාවංශ ජයකොඩි සමාගමේ අධිපති දයාවංශ ජයකොඩිය.

පාඨකයන් ලේඛකයන් අතර ජනප්‍රියව සිටින ප්‍රකාශකයකු වන සුරස ප්‍රකාශන ආයතනයේ අධිපති ප්‍රේම් දිසානායක පවසන්නේ මෙවැනි අදහසකි. “කොරෝනා වසංගත තත්ත්වය නිසා ජනතාව ඒකරාශි වීම ප්‍රශ්නයක්. කොහොම වුණත් අධ්‍යක්ෂ මණ්ඩලය මේ වන විට තීරණ ගනිමින් ඉන්නේ ඉදිරි වැඩ කටයුතු ගැන. තවත් මාස කිහිපයක්ම තියෙන නිසා අපි බලමු. අපි දැන් පොත් සාප්පු විවෘත කරලා තියෙන්නේ. පසුගිය කාලේ ඇදිරිනීතිය තිබුණත් ඔන්ලයින් හරහා අපෙන් පොත් ගෙන්වා ගත් අය හිටියා. කොහොම වුණත් රටේ තත්වය යහපත් වේවා යන්න තමයි අපේ ප්‍රාර්ථනය.පොතට පතට ඇලුම් කරන්නෝ කුමන ප්‍රශ්න තිබුණ ද ඉන් ලෙහෙසියෙන් බැහැර වන්නේ නැත.

විවිධ ප්‍රකාශකයන්ගේ පොත් එකම වහලක් යටදි මිලට ගැනීමට ලැබීමද, ලේඛක පාඨක හමුවට මඟ සකස් වීම ආදී බොහෝ දේ නිසා කවුරුත් සැප්තැම්බරයේ පොත් වසන්තය එනතුරු බලා හිදී. එහෙත් මෙවර කුමක් වේවිද? අප එසේ ඇසු විට ඊට පිළිතුර දුන්නේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික අතුල ජයකොඩිය.“මේ වන විටත් අපි ඉන්නේ ප්‍රදර්ශනය තියෙනවා කියන මතයේ. සැප්තැම්බර් මාසයේ 18 සිට 27 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට දින වෙන් කර තිබෙන්නේ. ඉදිරියේදි රටේ වාතාවරණය බලා අපි රජය සමඟ, සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර සැප්තැම්බර් මාසයේ ප්‍රදර්ශනය පැවැත්වීම ගැන තීරණය කරනවා. සතියක් දෙකක් තිබියදී අපට ප්‍රදර් ශනය පවත්වන්න කියලා දැනුම් දුන්නත් සියල්ලම සුදානමින් තිබෙන නිසා ප්‍රදර්ශනය පැවැත් වීමට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. සම්මාන උත්සව පවත්වන්නේ නැහැ කියන එක නම් දැනටමත් තිරණය කර තිබෙන්නේ. රටේ ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ දැන් පොත් ප්‍රදර්ශනාගාර විවෘත කර තිබෙනවා. පහුගිය කාලේ බොහෝ පාඨකයෝ ඔන්ලයින් හරහා පොත් ගෙන්වා ගත්තා. අපි අපේ පොත් ඔන්ලයින් අලෙවිකරන තරුණයකුහට බාර දුන්නා. එයත් සාර්ථකව කෙරුණා.

කන්න නැතත් පොතක් කියවන්නේ නැතිව ඉන්න බැරි පුරුද්ද ඇති පාඨකයෝ කොයි රටෙත් සිටිති. රටේම ඇඳිරි නිතිය තියෙද්දි අලුත් පොත් කියැවීමේ පිපාසයෙන් පෙළුණ පාඨකයන්ට යම් අස්වැසිල්ලක් ගෙන ආවේ ඔන්ලයින් හරහා පොත් බෙදා හැරි අයය. මෙහිදි අපට එවැන්නකු හමු විය. ඔහු කවීෂ නඳුන් කග්ගොඩආරච්චිය. ඔහු මියුසස් ප්‍රකාශන ආයතනය පවත්වාගෙන යයි. “ගිය අවුරුද්දේ තමයි මට ප්‍රථම වතාවට පොත් ප්‍රදර්ශනයේ ස්ටෝල් එකක් දාන්න ලැබුණේ. මේ වරත් එහි යන බලා පොරොත්තුවෙන් ඉන්නේ. නමුත් රටේ පවතින කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් කුමන තත්වයක් උදා වේවිද කියන්න බැහැ. අපි අලුත් පොත් කිහිපයක්ම ප්‍රකාශයට පත් කරමින් සිටිනවා. පහුගිය දවස් වල අපි ඔන්ලයින් පොත් බෙදා හැරීම කෙරුවා. අපේ පොත් වගේ අනෙකුත් පොත් ප්‍රකාශන ආයනවල පොතුත් රට පුරාම බෙදා හැරියා. බොහෝ අය ඔන්ලයින් ඔස්සේ අපෙන් පොත් ගෙන්වා ගත්තා. නමුත් ඔන්ලයින් පොත් බෙදා හැරීම ලොකු ලාභයක් ඇති දෙයක් නෙමෙයි. කොහොම වුණත් පොත් ප්‍රදර්ශනය කියන්නේ අද අපේ රටේ වෙනමම සංස්කෘතියක්. පොත් ප්‍රදර්ශනයේදී දවසට පොත් 300 ක් 400 ක් විතර අලෙවි කර ගන්න පුළුවන්. ” කවිෂ පවසන්නේ එසේය. කවිෂලා වැනි පොත් ප්‍රකාශනයට ආධුනිකයෝ මෙන්ම, පාඨකයෝ ද දැන් බලා ඉන්නේ එළැඹෙන සැප්තැම්බරය දෙසය.

 

Comments