දැනුම වැඩුම | Page 3 | සිළුමිණ

දැනුම වැඩුම

නියගලා අල විෂ වන්නේ ඇයි?

 

මදූෂානි අලහකෝන්- පිළියන්දල.

 

නියගලා අලයේ සහ ඇටවල 'කොල්විසීන්' නම් රසායනික ද්‍රව්‍යයක් අඩංගු වේ. එහි මාත්‍රාව මිලිග්‍රෑම් හතක් ඉක්ම වූ පසු ශරීරයට අහිතකර වේ. එනිසා ඇති වන බඩේ කැක්කුම හා තදින් බඩඑළිය යෑමත් හේතුවෙන් වකුගඩු අක්‍රීය වීම නිසා මරණය සිදු වේ. මෙම නියගලා අල කැවුණු විට ඉක්මණින් වමනය කරවා ආමාශයෙන් ඉවත් කළ යුතුයි. මෙම කොල්විසීන් මාත්‍රාව පාලනය කර බෙහෙතක් ලෙස යොදා ගැනීමද සිදුවේ. යූරික් අම්ලය නිපදවීම ද මෙමගින් පාලනය වීම සිදු වේ.

 

අකුණු ගැසීමෙන් පස සාරවත් වේද?

 

නදුනි මාරසිංහ- කඩුවෙල

 

විදුලි කෙටීමේ දී ඇති වන අධික තාපය හේතුවෙන් අකුණු පහරට ලක් වන වාතයේ ඇති නයිට්‍රජන් හා ඔක්සිජන් එක්වී ඔක්සයිඩ සෑදීමක් සිදුවේ.

මෙම ඔක්සයිඩ ජලයේ දීයවී සෑදෙන නයිට්‍රික් අම්ලය වැසි දිය සමඟ පොළොවට එකතු වී පස්වල ඇති භස්ම සමඟ ප්‍රතික්‍රියා කිරිම සිදුවේ. ඉන් සෑදෙන නයිට්‍රේට් ලවණ ශාක වැඩීමට අවශ්‍ය පෝෂණ පදාර්ථයකි. එනිසා අකුණු ගැසීමෙන් පස සාරවත් වීම සිදුවේ.

 

අලුත උපන් දරුවකුට එළකිරි දෙන විට දියාරු කර දිය යුත්තේ අයි?

 

වත්සලා නානායක්කාර- මහර

 

අලුත උපන් ළඳරුවකුගේ ආහාර මාර්ග පද්ධතිය දුර්වලය. මේ නිසා මේදය වැඩි ආහාර දිරවීම අපහසු වේ. එළකිරිවල මව් කිරිවලට වඩා මේදය වැඩි ප්‍රමාණයක් අඩංගු වේ. එනිසා එළකිරි දියාරු කර ලබා දිය යුතු වේ. ළදරුවනට දෙන කිරි ආහාරවල මේදය අඩුවන අතර පහසුවෙන් දිරවන ප්‍රෝටීන් හා සීනිවර්ග අඩංගු වේ.

 

නාදවන බයිසිකල් සීනුවක් අතින් ඇල්ලූ විට ශබ්දය හීන වේ ද?

 

සීනුව කම්පනයට ලක්වී‍මෙන් නාදය ඇතිවේ. එය අතින් ඇල්ලූ විට ශබ්දයෙන් කොටසක් අත දිගේ ද ගලායාම නිසා ශබ්දය හීන වීමට හේතු වේ.

 

හිසකෙස් පිළිස්සෙන විට අධික ගඳක් ඇති වන්නේ ඇයි?

 

චන්දිමා දිසානායක - මාතලේ

 

හිසකෙස් සැකසී තිබෙන්නේ කෙරටින් නම් ද්‍රව්‍යයකිනි. එය මිය ගිය ප්‍රෝටීනයකි. එහි ගෙන්දගම් හා නයිට්‍රජන් අඩංගු වේ. හිසකෙස් පිළිස්සුණු විට ගෙන්දගම් හා නයිට්‍රජන් අඩංගු වාෂ්පශීලී සංයෝග ඇති වේ. මේ අතුරින් පිරිඩින් නම් සංයෝගය ඇතිවේ.

එය ඉතා කටුක ගඳක් ඇති සංයෝගයකි. හිසකෙස් පමණක්කොව මළ සිරුරක් දැවීමේ දි ද කටුක ගඳක් ඇති වන්නේ මෙම ගෙන්දගම් හා නයිට්‍රජන් අඩංගු වාෂ්පශීලී රසායන එහිදී ජනිත වන නිසාය.

 

පහනක භූමිතෙල්වලට ලුණු ස්වල්පයක් දැමු විට පහනේ දීප්තිය වැඩිවේ ද?

 

පහනක භූමිතෙල්වලට ලුණු ස්වල්පයක් දැමු විට පහනේ දීප්තිය වැඩිවේ. ලුණු වල සෝඩියම් හා ක්ලෝරීන් අඩංගුය. ලුණු භූමිතෙල් සමඟ වැටිය දිගේ ගමන් කරයි. සෝඩියම් ලෝහය දැවෙන විට ඇති වන්නේ කහ පාට දැල්ලකි. මෙනිසා ‍ලුණු සහිත භූමිතෙල් දැවෙන විට වැඩි කහ පාටක් ඇති වී දැල්ලේ දීප්තිය වැඩිවේ.

 

රාත්‍රී කාලයේ දී ගෙතුළ ඇති මල්පෝච්චි එළියට දමන්නේ ඇයි?

 

ගාමිණී රාජනායක - වත්තල

 

සජීවී සියලුම ශාක අශ්වාස ප්‍රාශ්වාස සිදු කරයි. මෙහිදී ඔක්සිජන් වායුව උරාගෙන කාබන්ඩයොක්සයිඩ් වායුව පිටකරයි. දිවාකාලයේදි ශාක ප්‍රභාසංස්ලේෂණය සිදු කළ ද රාත්‍රියේදී එය සිදු නොකරයි. එහෙත් ශ්වසනය දිගටම පවත්වාගෙන යයි. එහෙයින් මල් පෝච්චි රාත්‍රී කාලයේ දී ගෙයි තැබුව හොත් ඒවා එක්සිජන් උරා කාබන්ඩයොක්සයිඩ පිට කිරීමක් සිදු කරයි. එවිට නිවෙස තුළ ඔක්සිජන් වායුවේ අඩුවීමක් හා කාබන්ඩයොක්සයිඩ් වායුවේ වැඩිවීමක් ඇති වේ.

රාත්‍රී කාලයේ නිවෙස තුළ නිදන්නන්ගේ සෞඛ්‍යයට එය තර්ජනයක් විය හැකිය. මෙය වැළැක්වීම සඳහා රාත්‍රී කාලයට මල් පෝච්චි එළියට දමයි.

 

Comments