ජෛව විවිධත්වයට අමතක වුණු පරාග වාහකයෝ | සිළුමිණ

ජෛව විවිධත්වයට අමතක වුණු පරාග වාහකයෝ

ජුනි 5 වැනිදාට යෙදෙන මෙවර පරිසර දින තේමාව ‘ජෛව විවිධත්වය, යි.

පාටින් පාටින් හැඩ වුණු සමනලුන් පසුපස දිව ගිය මගේ බාල කාලයේදී “ ඔය සමනලයින් අල්ලන්න එපා. සමනලයින් සිරිපාදේ වඳින්න යන්නේ.” යනුවෙන් මගේ මව පැවසූ අයුරු මට අද වගේ මතකය. සමනලයින් සිරිපාදය වැඳීමට යෑම කෙසේ වෙතත් නකල්ස් කලාපයේ දුම්බර අඩවිය, සිරිපාදය, සිංහරාජ වනය වැනි ප්‍රදේශ සමනලුන්ගේ විශේෂ කලාප බව මා දැනගත්තේ පසු කාලයේදීය. එදා අප සමනලුන් පසුපස දිව ගියද අද අපේ දරුවන්ට සමනලුන් පසුපස දිව යෑමට තබා දැක ගැනීමටද ඉතා අසීරු වී ඇත්තේ සමනල ගහනය අඩුවීම නිසාය. “අද සමනල්ලු විතරක් නෙවෙයි, මී මැස්සොත් අඩු වෙලා. අපි බක්මී ගස් වල මල් පිපෙන කාලය අළලා පරීක්ෂණ කර තිබෙනවා. සාමාන්‍යයෙන් බක්මී මල් පිපෙන කාලයට සනලයින් මීමැස්සන් රංචු පිටින් එන්නේ.ඒත් දැන් එන්න එන්න එම සතුන්ගේ අඩුවීමක් දකින්න ලැබෙනවා.” යනුවෙන් පැවසුවේ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධනය.

ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ සභාපති සුරංජන් කොඩිතුවක්කු සඳහන් කළේ මහවැලි කලාපය, බදුල්ල, මොනරාගල, උඩවලව, අම්පාර වැනි ප්‍රදේශවලින් මීමැස්සන් සහ සමනලයන්ගේ ගහනය අඩු වී ඇති බව වාර්තා වී තිබෙන බවය.

“ සාමාන්‍යයෙන් සමනලයින් ක්‍රියාකාරී වන්නේ සෘතු අනුව. අපි අගෝස්තු මාසයේ තලාව, එප්පාවල පැත්තේ ගියාම කහ මල් යායක් වගේ කහ සමනලයින් දකින්න පුළුවන්. ඒත් මීමැස්සන් දවස් 365ම ක්‍රියාකාරියි. ඒ නිසා පරිසරයට වටිනා මෙහෙවරක් සිද්ධ වෙන්නේ මීමැස්සන්ගෙන්. කොහොම නමුත් මීමැස්සන් සහ සමනලුන් වඳ වීම සුළු කොට තකන්න බැහැ.” යනුවෙන් පැවසූ සුරංජන් කොඩිතුවක්කු 80 දශකයේ අග භාගයේ සහ 90 දශකයේ මුල් භාගයේ පටන් මෙම වඳවීමේ ප්‍රවණතාව දක්නට ලැබෙන බවද සඳහන් කළේය.ඊට හේතු වශයෙන් ඔහු පෙන්වා දුන්නේ FM තරංග සහ ටෙලිෆෝන් කුලුනු ඉදි කිරීමෙන් ඇතිවන පරිසර දූෂණය, කෘමිනාශක සහ වල්නාශක භාවිතය ඉහළ යාම වැනි කාරණාය.

වන සම්පත විනාශ වීම, දැවැන්ත කෘමිනාශක භාවිතය සහ විසිතුරු මල්පැළ වගාව මීමැස්සන් සහ සමනලුන්ගේ ගහනය අඩු වීමට බලපාන බව සඳහන් කළේ බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ ලේකම් සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ මීමැසි පාලන උපදේශක තිස්ස බණ්ඩාර තඹවිටය.

“වනය විනාශ කරන විට මීමැස්සන්ට සමනලයින්ට ජීවත් වෙන්න පරිසරය නැති වෙනවා. සමනලයින් හැම ගහකම බිත්තර දාන්නේ නැහැ. ඌ කොළ කාලා හැදෙන්නේ. ඒ නිසා ඊට ගැළපෙන ගස්වල පත්‍රවල තමයි බිත්තර දමන්නේ. වනය විනාශ වුණාම එය ලොකු සත්වයන්ට වගේම මීමැස්සන්ට, සමනලයින්ට, කෘමීන්ට බලපානවා. කෘමිනාශක වල්නාශක මෙම සතුන්ගේ ඇගේ තැවරුණාම උන් මැරෙනවා. අනිත් භයානකම කාරණය තමයි විසිතුරු මල් වගාව. මෙය අපේ පරිසරය ආක්‍රමණය කරන්න ආපු විනාශයක්. මේ මල්වල පැණි නැහැ. මල්පැණි බොන්න සමනලයින් මීමැස්සන් එන්නේ නැතිවාම පරාගනයක් සිද්ධ වෙන්නේ කොහොමද? පරාගනයක් නැති වුණාම ගෙඩි හට ගන්නේ නැහැ. ගෙඩි නැතිවාම අපිට ආහාර නැතිව යනවා. ගෙඩි නැතිව ගියාම ඇට නැතිව යනවා. ඇට නැතිවුණාම අනාගතයට ගස්වැල් ආහාර ඇතිවන්නේ කොහොමද? එහෙම වුණාම අපිට පිරිසිදු වාතය කෝ? අපිට පිරිසිදු ජලය කෝ? අපිට ආහාර කෝ? මීමැස්සෝ සමනලයෝ නැතිවුණාම මේ හැම දෙයක්ම නැතිවෙලා අපේ රට කාන්තාරයක් වේවි” යනුවෙන් විස්තර කළේ තිස්ස බණ්ඩාර තඹවිටය.

මී මැස්සන් ලෝකයෙන් වඳ වුවහොත් මිනිසාට ජීවත් විය හැක්කේ වසර 4ක් බව ඇල්බට් අයින්ස්ටයින් විද්‍යාඥයා පැවසූ බව ඔහු පෙන්වා දුන්නේ එම නිසාය. ලෝකයේ පැවැත්ම සඳහා මීමැස්සන්ගෙන් සිදුවන මහගු කාර්ය භාරය වන්නේ පරාගනයයි. සුළගින්, පැණි කුරුල්ලන්ගෙන්, සමනලයින්, සලබයින් හා මීමැස්සන්ගෙන් පරාගනය සිදු වුවද එයින් 90%කින් පරාගන ක්‍රියාවලියට දායක වන්නේ මීමැස්සන්ය. සමනලයින් මල් පැණි බී තවත් මලක් කරා පියඹා යෑමේදී උගේ සිරුරේ තැවරෙන පරග වෙනත් මලක තැවරීමේ ක්‍රියාවලිය සිද්ධ වුවද මීමැස්සන් පරාග රැගෙන යන නිසා පරාගනයට සක්‍රීය දායකත්වය දරන්නේ මීමැස්සන්ය. එමෙන්ම මීමැස්සන්ට පාද 6ක් තිබේ. පිටුපස පාද වල බැකෝ වැනි කොටසක් පිහිටා තිබීමෙන් පරාග රැගෙන යෑමට සෘජු මැදිහත් වීමක් මීමැස්සන්ගෙන් සිදුවේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය ජයන්ති එදිරිසිංහ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ඉනෝකා කරුණාරත්න මීමැස්සන් සම්බන්ධයෙන් සුවිශේෂී පර්යේෂණයක් සිදු කළේ මෙම වැදගත්කම නිසාය.

“පරාග මැස්සන් විශේෂ 144ක් ඉන්නවා. පරාග මීමැස්සො විශාල වද හදන්නේ නැහැ. ගස්වල කෝටු, මඩ බිත්තිවල ගුල් හාරාගෙන ජීවත්වෙන්නේ. මීමැස්සන්ට පියාඹන්න ශක්තිය ලැබෙන්නේ සුර්යාලෝකයෙන්. ඒ නිසා දහවල් කාලයේ තමයි මීමැස්සො එළියට එන්නේ. ඒත් දහවල් කාලයේ ගොවිතැන් සඳහා පළිබෝධ නාශක, වල්නාශක යොදන විට ඒවා මීමැස්සන්ගේ සිරුරේ තැවරෙනවා. එවිට ඒ සතුන් මැරෙනවා. ගුල් හදාගෙන ඉන්න පරාග මැස්සන්ට ස්ථාන නැතිව යනවා. කැලෑ විනාශ කළාම ගස්වල මීවද බැදගෙන ඉන්න මීමැස්සන්ට ස්ථාන නැතිව යනවා. සමහර වෙලාවට උෂ්ණත්වය වැඩිවීම වැනි පාරිසරික වෙනස්කම් එක්ක වායු දුෂණය වීම එක්ක මීමැස්සන්ට එකී පරිසරයේ ජීවත් වෙන්න බැරි වෙනවා. මී මැස්සන් නැති වුණොත් පරාගනය සිද්ධ වෙන්නේ කොහොමද? කුරුල්ලන් කාලා පහ කරන ඇට වලින් ගස් හැදුණත් පරාගනයක් සිද්ධ නොවී මල්, ගෙඩි හට ගන්නේ කොහොමද?” යනුවෙන් මහාචාර්ය ජයන්ති එදිරිසිංහ විමසුවේ මීමැස්සන් පිළිබඳ දීර්ඝ වශයෙන් විස්තර කරමිනි.

ලෝකයේ ආහාර බෝගවලින් 35%ක් පරාගනය වෙන්නේ මීමැස්සන්ගෙනි. ස්වාභාවික වෘක්ෂලතාවලින් 80%ක් පරාගනය කරනු ලබන්නේ මීමැස්සන්ය. වගාවකට මීමැස්සන්ගෙන් සිදුවන යහපත් බලපෑම පිළිබඳව සිදුකළ පර්යේෂණයක විස්තර මහාචාර්ය ඉනෝකා කරුණාරත්න ගෙනහැර පෑවේ මෙලෙසිනි. “ අපි බටුවර්ග දෙකකුත් බණ්ඩක්කාත් මීමැස්සන්එන තැනක වගාකළා ඒ කරල්වල හැඩය ලස්සන වුණා. බටු බණ්ඩක්කාවල ගුණාත්මක තත්ත්වය වැඩි වුණා. ඇතුළේ තිබෙන ඇට ප්‍රමාණය වැඩි වුණා. ඒ ඇටවල පැළවෙන ප්‍රමාණය ඉහළ ගියා. එයින් අපිට ඔප්පු වුණා මීමැස්සන්ගෙන් ගොවිතැනට යහපත් බලපෑමක් සිද්ධ වෙන බව.”

“හැමෝම පරිසරය ගැන කතා කරනවා. පරිසරය රකින පරාග වාහකයෝ ගැන කතා කරන්නේ නැහැ. ඒ ගැන අවබෝධ කරගෙන නැහැ. පිරිසිදු වාතය ලැබෙන්නේ, ආහාර ලැබෙන්නේ ජලය ලැබෙන්නේ ගස් වැල් නිසා.ගස් වැල් ඉතිරි වෙන්නේ පරාගනය නිසා. මේ දේ තේරුම් නොගෙන අපිට පරිසර සංරක්ෂණය ගැන කතා කරන්න බැහැ. පරාග වාහකයන් රැක ගැනීමට ජාතික වැඩ පිළිවෙළක් අවශ්‍යයි. පරිසර අමාත්‍යාංශය මේ සඳහා සැලැස්මක් හැදුවා. එත් එය පරිසර අමාත්‍යාංශයට විතරක් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු සෑම ආයතනයකම අපි හැමෝම කැප විය යුතුයි.” යනුවෙන් පැවසුවේ පරිසරවේදී, නීතිඥ ජගත් ගුණවර්ධනය.

2020 වර්ෂයේ ජුනි 05 දාට යෙදෙන ජගත් පරිසර දින තේමාව වන ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමයි.ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමෙන් සමනලයන්, මීමැස්සන්, සලබයන් ඇතුළු කෘමින් සුරක්ෂිත වන්නේ නිරායාසයෙනි. මධ්‍යම පරිසර අධිකාරිය ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව විමසීමට තීරණය කළේ එබැවිණි.“කොරොනා නිසා රට වහපු වෙලාවේ වාතය පිරිසිදු වුණා; පරිසර දූෂණය අවම වුණා කියලා කිව්වේ අපි ඒවා මැන බලන නිසයි. ඒ තුළින් අපට ජෛව විවිධත්වය ආරක්ෂා කරගන්න පුළුවන්. මොකද මීමැස්සන් වැනි කෘමීන්ට ජීවත් වෙන්න පිරිසිදු වාතය අවශ්‍යයි. ඊට අමතරව ස්වාභාවික සම්පත් කළමනාකරණය යටතේ තෙත් බිම් ආරක්ෂා කරනවා. ඊට අදාළව පරිසර ආරක්ෂණ ප්‍රදේශ 10ක් අපි ආරක්ෂා කරනවා. කර්මාන්ත ශාලා ඉදිකිරීමේදී පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාදෙනවා. පරිසරය නියාමනය කරනවා. මීමැස්සන්, සමනලයින් කියලා විශේෂ නොවුණත් ජෛව විවිධත්වය යටතේ සියලුම කෘමින් ඇතුළු සතුන් රැක ගැනීමට අපි කටයුතු කරනවා.” යනුවෙන් පැවසුවේ මධ්‍යම පරිසර අධිකාරියේ ජනරාල් හේමන්ත ජයසිංහය.

Comments