ගල්කොරිත් එක්ක පුපුරණ ජීවිත | Page 2 | සිළුමිණ

ගල්කොරිත් එක්ක පුපුරණ ජීවිත

පරිසරය සහ මිනිසා අතර පවතින්නේ අන්‍යොන්‍ය සබඳතාව නිසා පරිසරයට සිදුවන අහිතකර බලපෑම් ඍජුව හෝ වක්‍රව නැවත මිනිසා වෙතම හැරී ඒම වළකාලිය නොහැකිය. බොහෝ විට ඒ සත්‍යය තේරුම් නොගන්නා පුද්ගලයන් විසින් සිදුකරන නොමනා ක්‍රියා නිසා බොහෝ ජන ජීවිත කටුක ඉරණමකට ලක්වේ. මෙයද එවැනි කතාවකි.

හොරණ කළුතර ප්‍රධාන මාර්ගයේ ගල්පාත හන්දියෙන් හැරී යන විට මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 639-බී මහදුරුපිටිය ග්‍රාමය හමුවේ. නිල්ල පිරුණු ගමක් වෙනුවට අපට දැකගත හැකිවූයේ පුරන් කුඹුරු සහ ගෙවතුය. දූවිල්ලෙන් වැසී ගිය මාවත්ය. පුපුරා දෙදරා ගිය බිත්ති සහිත

නිවෙස්ය. ගම ඇතුළට යද්දී තැන තැන කපමින් තිබෙන පස් කඳුය. ගමේ පටු පාරවල්වලට ඔරොත්තු නොදෙන තරම් බර පටවාගෙන යන බර වාහනය. තවත් තැනක පුරන් කුඹුරක් මිනිරන් පතලක් බවට පත්වෙමින් තිබෙන ලකුණුය. ප්‍රදේශයම ගිගුම් දෙමින් විටින් විට ඇසෙන්නේ ගල් පුපුරන හඬය.

“අපේ ගම දැන් අපිට අයිති නැහැ. ගල් කැඩිල්ල, පස් කැපීම්, වැලි හෑරීම් විතරක් නෙවෙයි මිනිරන් හෑරීමත් දැන් ගමේ සිදුවෙනවා. ඒ හැමදේකින්ම ලොකුම හානිය වෙන්නෙ ජල සම්පතට. වගා කරන්න වතුර නැහැ. බොන වතුරේ ගල්කුඩු. ගස් කපන නිසා පසේ වතුර රැඳෙන්නෙ නැහැ. අපේ ගමේ අද අපිට ජීවත්වෙන්න වෙලා තියෙන්නේ පිටස්තරයො වගේ. ජාවාරම්කාරයෝ ගමෙ හැම සම්පතක්ම හූරගෙන කනවා"

පී. කුසුමලතා මහත්මිය හඬ අවදි කළේ වේදනාවෙනි. මොකක්ද මේ අවනඩුව? අපි වැඩිදුර විස්තර සොයා ගම ඇතුළට ගමන් කළෙමු.

හිටපු සංවර්ධන නිලධාරියකු වන ජී. රංජිත් මහතා අපට ඒ කතාවේ අගමුල පැහැදිලි කර දුන්නේය.

“මේ වසමේ ගල්කොරි 4ක් වැඩ කරනවා. දෙල්ගොඩ වසමෙත් එක ගල්කොරියක් තියෙනවා. ඒ ගල්කොරි පහේම වැඩ කරන බර වාහන යන්න තියෙන්නේ එක පාරයි. පාරට ඔරොත්තු නොදෙන තරම් විශාල බරක් පටවගෙන නිතර නිතර එහෙම බර වාහන යනකොට පාර කැඩෙනවා විතරක්

නෙවෙයි පාර පටු නිසා ගමේ මිනිස්සුන්ට ජීවිත අවදානමකුත් තියෙනවා. ළඟදිත් ගමේ දරුවෙක් අනතුරකට ලක්වුණා. මීට පෙර කෙනෙක් මැරුණා. භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් කියන්නේ ගල්කොරි වැඩකරන්නේ බලපත්‍ර ඇතිව කියලයි. නමුත් අපිත් දන්න විදිහට ඒවාට කොන්දේසි තියනවා.

හැමවෙලාවෙම පස්,ගල් පටවගෙන වාහනවලට යන්න බැහැ. ඒ වගේම දූවිල්ල නිසා වෙන හානිය අඩු කරන්න පාර තෙමන්න ඕන. නමුත් ඒ දේවල් ඒ විදිහට වෙන්නේ නැහැ. "

ඩබ්ලිව්.එච් ගුණපාල ද සිල්වා ද පස්, ගල් අදින විශාල ලොරි රථ ගම මැදින් ගමන් කිරීම නිසා මතුවී ඇති අන්තරාදායක තත්ත්වය ගැන කීවේය. ගම මුහුණ දී තිබෙන මෙම තත්ත්වයට එරෙහිව දිගුකලක සිට හඬක් නඟන ඩබ්ලිව්. එච්. රේණුකා දමයන්ති අප සමඟ අදහස් දැක්වූයේ මෙසේය.

“මේ ගැන අපි කතා කරන්නේ අද ඊයේ ඉඳලා නෙවෙයි. 2013 දී අපි ඒ විදිහට බර වාහන පාරේ යෑම ගැන උද්ඝෝෂණයක් කළා. ඒ දවස්වල ගල්වලවල් 10ක් තිබුණා. දවසකට වාහන 200ක් විතර යනවා. ඒ උද්ඝෝෂණය වෙලාවේ එක රියදුරෙක් මගේ අත ඇඹරුවා. තවමත් මගේ ඒ අතින් හරියට වැඩක් කරන්න අමාරුයි. දැනුත් මම මේ ගැන කතාකරන නිසා මට මරණ තර්ජන කරනවා. මගේ දරුවන්ට තර්ජනය කරනවා. ඒ හැමදේමත් එක්ක තවත් මම මේ ගැන කතාකරන්නේ මේ ගමේ හැමෝම වෙනුවෙන්. මේ ගල් කොරි අයිතිකාරයන්ට සමහර දේශපාලඥයන්ගේ හයිය තියෙන නිසා අපි කරන පැමිණිලිවලින් වැඩක් වෙන්නේ නැහැ. කිලෝමීටරයක් වගේ දුරක් අතර ගල් කොරි තුන හතරක් තියෙනවා. පස්වලට කන්ද කපනවා. පුරන් කුඹුරවල වැලි හාරනවා. මිනිරන් හාරනවා. අපි මේවා වෙනුවෙන් උද්ඝෝෂණය කරන්නේ කාලයක ඉඳලා. ඒත් කිසිම බලධාරියෙක්

අපිට සාධාරණයක් ඉෂ්ඨ කළේ නැහැ. "

ඇය පවසන ආකාරයට 1998 කාලයේදී සුළු පරිමාණයෙන් ගමේ සිදුවූ ගල් කැඩීම ව්‍යාප්ත කරමින් පළමු ගල් කොරිය 2001දී ආරම්භ වී තිබේ. 2012 වන විට ගල් කොරි සංඛ්‍යාව වැඩිවන්නට පටන් ගෙන ඇති අතර ඊට අමතරව අරඹකන්ද සහ යක්කල කන්ද කපා පස් ලබාගන්නටද පටන් ගෙන තිබේ. ඒ කන්දේ පවුල් 80ක් පමණ ජීවත් වී ඇති අතර පස් කැපීම නිසා ඔවුන් පදිංචිය අතහැර ගොස් ඇත. මේ වන විට පවුල් 11ක් පමණ ඒ කන්දේ ජීවත් වන්නේ ජීවිත අවදානමක්ද සමඟය. මේ පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රයේ හේමන්ත විතානගේ මහතාගෙන්ද අප විමසීමක් කළෙමු.

“ප්‍රදේශයේ ජල සම්පත දූෂණය වෙලා. මේ සීමාවේ ගෙවල් 170ක පවුල් 234ක් පමණ ජීවත් වෙනවා. පස් සහ ගල් ගෙනියන ලොරිවලට උදේ 8ත් 5ත් අතර පමණයි ප්‍රවාහනය සඳහා අවසර දී තිබෙන්නේ. දවල් 1.30 සිට 3.30 දක්වා පාසල් ළමුන් පාරේ ගමන් කරන කාලය තුළ එම රථ ගමන් කිරීම තහනම් කර තිබෙනවා. එම නීති කඩකිරීම මහජන පීඩා නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. නමුත් මේ දක්වා ඒවා නතර කරන්න බලධාරීන් කටයුතු කර නැහැ. පරිසර දූෂණය නිසා ගමේ ගොඩක් දරුවො රෝගීන් වෙලා. සමේ ප්‍රශ්න. ඇස්වල ආබාධ වගේම බොහෝ දෙනා ශ්වසන ආබාධවලින් පෙළෙනවා."

දුක්ගැනවිලි, පැමිණිලි සහ විරෝධතාවලින් නොනැවතී මේ වන විට මේ පිළිබඳ පැවසිය හැකි හැම බලධාරියකුටම මෙම ගැටලු පිළිබඳ අවධානය යොමුකර ඇති බව රේණුකා දමයන්ති මහත්මිය අප සමඟ කීවාය. ඒ අනුව මහා පරිමාණ ගල් කොරි මඟින් ජන ජීවිතවලට සිදුව ඇති අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඔම්බූඩ්ස්මන්වරයාද දැනුවත් කර තිබේ. ඊට පිළිතුරු ලෙස 2014.08.04 දින ඔම්බූඩ්ස්මන්වරයා විසින් එවා ඇති පිළිතුරු ලිපියේ සඳහන් වන්නේ එම ප්‍රදේශයේ සියලුම කළුගල් කැණීම් කටයුතු නීත්‍යානුකූල රාමුවක් තුළ සිදුකිරීම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව මගින් පත්කරන ලද කමිටුවේ අධීක්ෂණය යටතේ සිදුවන බවයි.

බලපත්‍ර නිකුත් කිරීම හෝ

අලුත් කිරීමේදී එම කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන ප්‍රාදේශීය ලේකම් විසින් නිර්දේශයන් ලබාදෙන බවද එහි සඳහන් වේ. එමෙන්ම ගල්කොරි මඟින් සිදුවන පාරිසරික හානි සහ අනෙකුත් අනතුරුදායක තත්ත්වන් අවම කිරීම සඳහා වරකදී ප්‍රවාහනය කළ හැකි උපරිම ඛනිජ ද්‍රවය ප්‍රමාණය කියුබ් 3කට සීමා කිරීමටත් කියුබ් 10 වැනි

විශාල වාහනවලින් ප්‍රවාහනය නොකිරීමටත් කොන්දෙස් පනවනවා තිබෙන බවද එම ලිපියේ සඳහන් වේ. එම කටයුතු අධීක්ෂණය කිරීමට පොලිස් මුර පොළක් ස්ථාපිත කිරීම, පිපිරවීම් සිදුකිරීමේදී ඇතිවන කම්පන තත්ත්වය කමිටුවේ නිරීක්ෂණයට ලක්කිරීම, බලපත්‍ර දීර්ඝ කිරීමේදී පරීක්ෂණ පිපිරුමක් සිදුකොට පිපිරවීමේ පරාමිතීන් තීරණය කිරීම ආදී ක්‍රමවේදයන් යටතේ පමණක් ප්‍රදේශයේ කළුගල් කැනීම් සඳහා බලපත්‍ර නිකුත් කරන බවත් එම ලිපිය මඟින් අවධාරණය කර තිබේ.

එහෙත් මේ කිසිවක් සිදුනොවන බව රේණුකා දමයන්ති අප සමග පැවසුවාය. මේ වන විට පොලිස් මුරපොළ මේ වනතුරු ස්ථාපිත කර නැත. එපමණක් නොව බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධව පසු විපරම් කටයුතු සිදුකිරීම සඳහා පත්කරනු ලැබූ ග්‍රාමීය කමිටුව සඳහා එම කමිටුවේ සාමාජිකත්වය දරන ගමේ කිසිවකුට කැඳවීමක් නොලැබෙන බවද ඇය කීවාය. කියුබ් 3ක ලොරි රථ ගමන් කිරීමට පමණක් අවසර දී තිබුණද අප දුටුවේ මහදුරුපිටිය ගමේ වේගයෙන් එහෙමෙහෙ යන කියුබ් 10 ලොරි රථය. එච්. රම්‍යා දමයන්ති ද පැවසුවේ ගල්, වැලි සහ පස් යන හෑරීම නිසා ගමේ උෂ්ණත්වය වැඩිවී ඇති බවයි.

කේ. විමලාවතී මේ ගමේන් බිහිවූ පළමු උපාධිධාරියාගේ මවය. ඇය පැවසුවේද ගමට සිදුව ඇති අයහපත ගැනයි. ඩබ්ලිව්.එච්. ශිරානි දුක් මහන්සියෙන් නිවසක් හදාගෙන ඇත්තේ වසර ගණනක් විදේශ රටවල ගෘහ සේවයේ යෙදීමෙනි. එසේ තනාගත් නිවස ගල්බෝර දැමීම නිසා දෙදරීමට ලක්වී ඇති අතර නිවසේ ස්ථාන කිහිපයක්ම පුපුරා ගොස් තිබේ. එපමණක් නොව ඇගේ ළිඳද හිඳී ගොසිනි.

ගල්, පස්, වැලිවලට අමතරව මිනිරන් පතලක්ද ගමේ ඉදිවෙමින් තිබෙන බව ගම්වැසියන් කීහ.

"අපි මේ කිසිම දෙයක් හොර රහසේ නීති විරෝධිව කරන දේවල් නෙවෙයි. භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ, මධ්‍යම පරිසර අධිකාරියේ ඇතුළු අදාළ ආයතනවල අනුමැතිය යටතේ ලබාගත් බලපත්‍ර මතයි අපි කටයුතු කරන්නේ. දෙසැම්බර් මාසයේ අපි මේ මිනිරන් කර්මාන්තය ආරම්භ කරනවා. ඒ

තුළින් ඍජු සහ වක්‍රව 200කට පමණ රැකියා අවස්ථා සැලසෙනවා. එයින් මේ ගමත් සංවර්ධනය වෙනවා." එම ස්ථානයේදී අපට හමුවූ එම ව්‍යාපාරයේ හිමිකරු එසේ පැවසීය. පාතකඩ කපුහේන ප්‍රදේශයේ පුරන් වූ කුඹුරු යායක්ද වැලි හෑරීම සඳහා යොදාගෙන ඇති අයුරු අපි දුටුවෙමු.

ප්‍රදේශයේ ළිං සිඳී යෑමට එයද හේතුවක් වන බව ගම්වැසියන්ගේ විශ්වාසයයි. ඊට විරුද්ධව හඬක් නැඟුවද බලධාරීන්ගෙන් පිහිටක් නැති බව ඔවුහු කීහ.

මහදුරුපිටිය ග්‍රාමයේ ජනතාව ඉල්ලා සිටින්නේ ඒ මහදුරුපිටය ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ මාර්ගය කඩිනමින් සකස් කරදෙන ලෙසයි. ගල්කොරිවලට අයත් බර වාහන ගමන් කිරීම නිසා මාර්ගය කැඩී ඇති බැවින් ඉදිරි වර්ෂා සමයේදී එය මඩගොහොරුවක් වීමට ඉඩ තිබෙන බැවින් මාර්ගය පුළුල් කර ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

කළුගල් කැඩීම හේතුවෙන් මෙවැනිම ගැටලුකාරී තත්ත්වයක් දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද වාර්තා විය. දොඩන්ගොඩ මාකිල්ල කන්දේ අක්කර අනූ ගණනක කළුගල් කොරි 12ක් පමණ ඇති අතර ඒ අසලම නිවාස 13ක් පිහිටා තිබේ. එමෙන්ම බදුගම, තුඩුගල, නෑහින්න,

බෙල්ලන, වඩුගම ආදී ප්‍රදේශවල පිහිටි ගල්කොරිත් සමඟ එහි ඇති ගල් කොරි ගණන 27කි. ඒ නිසා නිවාස 47ක් පිපිරීම්ට ලක්වී තිබේ. එපමණක් නොව උදේ 6.00 සිට සවස 6.00 දක්වා අසන්නට ලැබෙන ගල් පිපිරවීමේදී ඇතිවන අධික ශබ්දය සහ දෝංකාරය පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටද ඉමහත් බාධාවක් බව මානිල්ල ලක්ෂ්මී වත්තේ රමේෂ් ක්‍රිශාන්ත සහ අනුර ජයලාල් පැවසීය.

කළුගල් කැඩීම නිසා මානිල්ල දොල සිඳී සේ ඇති අතර දැකුම්කළු තුඩුගල ඇල්ලද සිඳී යෑමේ අවදානමට ලක්වී ඇත.

" දිය ඇල්ලේ ඉහළ කළුගල් කැඩීම ජයටම කෙරෙනවා. තව ඉතිරිවෙලා තියෙන්නේ දිය ඇල්ලට මීටර් 50ක් විතරයි. දැන් කළුගල කඩාගෙන යන විදිහට තව මාස තුන හතරක් ගියොත් දිය ඇල්ලක් තිබුණා කියලා ලකුණක්වත් හොයාගන්න බැරිවෙයි.අවුරුදු 25ක් තිස්සේ අපි මේ දුක විඳින්නේ. අපේ දරුවො ඉපදුණ දවසේ ඉඳන් ලෙඩ ගාණේ ඉන්නේ. අවුරුදු තිස් ගාණක් තිස්සේ අපි නාපු ඇලදොල අද විනාශ වෙලා. අද මේ ඇලේ මාළුවෙකුටවත් ජීවත් වෙන්න බැහැ."

එන්.ඒ. ජේන් නෝනා (85) පැවසුවේ කම්පාවෙනි. ගල්කොරිවල බලපෑම නිසා නෑහින්න ප්‍රදේශයේ අක්කර 30ක් පමණ 2017 වසරේදී නායයෑමටද ලක්වී තිබේ. කළුගල් කැඩීම නිසා ඇතිවී තිබෙන වලවල් වැසි කාලයට මදුරුවන්ට තෝතැන්නකි.

මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තා අනුව දිවයින පුරා මේ වන විට කළුගල් කැඩීම සඳහා බලපත්‍ර දෙදහසට අධික සංඛ්‍යාවක් නිකුත් කර ඇති අතර ඒ අතර බස්නාහිර පළාතේ පමණක් බලපත්‍ර 469ක් නිකුත් කර තිබේ. එයින් කළුතරට බලපත්‍ර 139ක් නිකුත් කර ඇති අතර එයින් දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ගල්කොරි 27කට බලපත්‍ර නිකුත් කර ඇත.

පසුගියදා හිටපු පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා කළුගල් පතිත වීම නිසා පුපුරා ගොස් ඇති නිවාස පරීක්ෂා කිරීමට එහි ගියේ ජනදුක විමසා බැලීම වෙනුවෙනි. ඒ අනුව ඒ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය, භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය යන ආයතන තුනම එක්ව නැවත ඒකාබද්ධ පරීක්ෂණයක් පැවැත්වීටත් ජන ජීවිතයට සහ පරිසරට සිදුවන ව්‍යසනය නතර කිරීමටත් ගතහැකි උපරිම උත්සාහය යෙදවීමට ඒ මහතා එහිදී ජනතාවට පොරොන්දු විය. ඉකුත් 5 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා කළුගල් කැණීමේ කර්මාන්තකරුවන් සමඟ පැවති හමුවේදී පරිසරය සුරැකෙන ආකාරයට කළුගල් කැණීමේ කර්මාන්තය සිදුකළ යුතු බව අවධාරණය කළේය. රජයේ සහ පෞද්ගලික ඉඩම්වල සිදුකෙරෙන කළුගල් කැණීම් කර්මාන්තය සඳහා බදු

දීමට සහ අයකර ගැනීමට විධිමත් සහ පහසු ක්‍රමවේදයක් සැකසීම සඳහා ඉඩම් කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද එහිදී පත්කරනු ලැබිණ. අක්‍රමවත් ආකාරයට එම කර්මාන්තයේ නිරත වීම නිසා ජලපෝෂිත ප්‍රදේශ විනාශ වීම් සහ නානයෑම් වැනි පාරිසරික වෙනස්වීම් සිදුවීම පිළිබඳව එම හමුවේදී අගමැතිවරයාගේ විශේෂ අවධානයට යොමුවිය. අගමැතිවරයා විසින් පත්කළ කමිටුව ඔවුන්ගේ වාර්තාව තුළින් පරිසරයත් ජනතාවත් කර්මාන්තකරුවාත් රැකගැනීම සඳහා සුදුසු පියවර කඩිනමින් ගනු ඇතැයි අපේක්ෂා කරමු.

 

ඡායාරූප-රංජිත් අසංක

නන්දන ශ්‍රී කෝට්ටේගොඩ

 

Comments