කොරෝනාවෙන් පසු පාසල් යළි විවෘත කිරීමට පසුබිම සැකසෙන හැටි | Page 2 | සිළුමිණ

කොරෝනාවෙන් පසු පාසල් යළි විවෘත කිරීමට පසුබිම සැකසෙන හැටි

- පාසල් ආරම්භ කිරීමට පෙර සෑම පාසලකටම සෞඛ්‍ය සහතිකයක් අවශ්‍යයි
- කොවිඩ් හා ඩෙංගු වෙනුවෙන් පාසල් පිරිසුදු කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කරලා
- පාසල් විෂබීජහරණයට සියලු ප්‍රතිපාදන රජයේ වියදමින්

කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දමා මේ වන විට මාස දෙකකටත් වැඩි කාලයක් ගතව ඇත. මේ වන විට පාසල් දරුවෝ ක්‍රම ක්‍රමයෙන් දුරස්ථ අධ්‍යාපනය හරහා පාසල් වැඩවලට හුරු වෙමින් සිටියත් ලංකාවේ දස දහස් ගණනකට අධික පාසල් සියල්ල කොවිඩ් වසංගතයෙන් අනතුරුව යළි සජීවී වන දිනය වැඩි ඈතක නැත. අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් මත මේ කටයුතු වඩාත් සක්‍රීය වෙමින් තිබේ. මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාශය මීට සූදානම් වෙමින් කොවිඩ් වසංගතයෙන් පසු පාසල් විවෘත කළ යුත්තේ කෙසේද, ඒ සඳහා අනුගමනය කළ යුතු විශේෂ ක්‍රියා පිළිවෙත් මොනවාද යන්න පිළිබඳ විශේෂ චක්‍රලේඛයක් ඇතුළත් උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇත.

පාසල් මෙන්ම අධ්‍යාපන ආයතන යළි විවෘත කළ යුතු වන්නේ සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් පවතින බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව විසින් ලබා දෙන සහතිකයකට අනුව බව මෙම චක්‍රලේඛයේ සඳහන් වෙයි. ඒ අනුව සෑම පාසලකම පිවිසුම් ගේට්ටුව අසල, වැසිකිලි පද්ධති අසල මෙන්ම පන්ති කාමර අසල අත් සේදීමේ පහසුකම් සවි කළ යුතු බව සඳහන්ය. එසේම සුදුසු පරිදි අඛණ්ඩ ජල සැපයුම් ක්‍රම සකස් කළ යුතුය. 

පාසල ආරම්භයට පෙර සියලු ස්ථාන විෂබීජහරණය කිරීම ඇතුළු සෞඛ්‍ය බලධාරීන් පවසන සියලු පහසුකම් ස්ථාපිත කළ යුතුය.

මෙහි ගිලන් කාමර පිළිබඳවද දැඩිව අවධාරණය කර ඇති අතර එහිදි බාලක බාලිකාවන් සඳහා වෙනමම ගිලන් ඇඳවල් පැවැතිය යුතු අතර මෙම කාමරය සඳහා ප්‍රථමාධාර ‍පෙට්ටියක් පැවැතිය යුතු බව අවධාරණය කර ඇත. එසේම මේ කටයුතු අධීක්ෂණය සඳහා වෙනමම කාර්ය මණ්ඩලයක අවශ්‍යතාව මතුකර ඇති අතර ඔවුන් විසින් මේ කටයුතු අධීක්ෂණය කළ යුතුය. එසේම උණ රෝගි තත්ත්වයෙන් පෙළෙන යම් දරුවන් වේ නම් ඔවුන් පිළිබඳවද මෙහිදි අධීක්ෂණය විය යුතු ය.

පාසල් ආපන ශාලා විවෘත නොවිය යුතු බවත්, එම නිසා සිසුන් විසින් තම ආහාර නිවසින්ම රැගෙන ආ යුතු බවත් මෙහිදි දැඩිව අවධාරණය කර ඇත. දරුවන්ට ජලය ලබා ගැනීමට, පුද්ගලික පරිහරණයට දරුවාටම කෝප්පයක්, වතුර බෝතලයක් එවිය යුතු අතර නිවසින් ගෙනෙන ආහාර වේලද සමබර විය යුතු බවයි.

එසේම නිවසින් පිටත් වීමට ප්‍රථම මුඛ ආවරණ පැළදීමට දරුවා නිරන්තරයෙන් යොමු කරවීම මෙන්ම ඒවා සෞඛ්‍යාරක්ෂිතව පරිහරණයට සැලැස්විය යුතු අතර දෛනිකව පිරිසුදු කරන ලද ඇදුම් නිරන්තරයෙන් දරුවාට ඇඳිමට සැලැස්විය යුතුයි. එසේම නිවසට පැමිණි පසු පාවහන් අව්වේ තබා වියළීම, නිවසට පැමිණි වහාම දරුවාට අත් සබන් යොදා සේදීමට හුරු කිරීම මෙන්ම පාසලට යාමේදි අත් ඔරලෝසු වැනි දැ නොපැළදීමට උපදෙස් දීම කළ යුතු බව අවධාරණය කර ඇත.

මෙම චක්‍රලේකයට අනුව පුද්ගල දුරස්ථභාවයද අවධාරණය කර ඇත. පන්ති කාමරයේ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගත හැකි ආකාරයට සිසුන් යෙදීම, විවේක කාලය සියල්ලන්ටම එකවර ලබා නොදීම, පුද්ගල දුරස්ථභාවය සඳහා සිසුන් ගමන් කළ යුතු දිශාවන් ඊතල මඟින් පෙන්වා දීම, ක්‍රිඩා පිටි භාවිතයේදි මෙන්ම වැසිකිලි භාවිතයේදීද මීටරයේ දුරස්ථතාව රැක ගැනීමට සිසුන් දිරිමත් කිරීම කළ යුතු බව මෙහිදී අවධාරණය කර ඇත. මේ අනුව අධ්‍යාපන බලධාරීන් මෙන්ම පාසල් බලධාරීන්ද මේ වනවිට රට සාමාන්‍යකරණයට පත්කිරීමේ සංවේදී අවස්ථාවට මුහුණ දී ඇත. ඒ අනුව තව දෙසතියකින් අනතුරුව පාසල් යළි විවෘත වන දිනය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ඇත.

“අපිට පාසල් යළි විවෘත කිරීම සම්බන්ධව අවශ්‍ය උපදෙස් ඇතුළත් නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබුණා. ඒ මත පදනම්ව අපි චක්‍රලේඛයක් සකස් කර පාසල්වලට යැව්වා. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විටත් මේ සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන පාසල්වලට ලබා දී තියෙනවා. පාසල් ආරම්භ කිරීමට පෙර සෑම පාසලකම මේ අවශ්‍යතා සම්පූර්ණ වු බවට සහතිකයක් අවශ්‍යයි.

විදුහල්පති විසින් තම පාසලේ මේ අවශ්‍යතා පිළිබඳ ලොග් සටහනක් සකස් කර කලාප කාර්යාලවලට යැවිය යුතුයි. එසේම මේ වන විට කොවිඩ් පමණක් නොවෙයි, ඩෙංගු උවදුර පිළිබඳවද අපි සැලකිලිමත් විය යුතු නිසා පාසලේ විෂබීජහරණය හා පිරිසුදු කිරීම් සම්බන්ධව ගුරුවරු දෙමවුපියන් මෙන්ම අධ්‍යයන කාර්ය මණ්ඩලයද දැනුම්වත් කළ යුතු වෙනවා.....“ ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ඒකකයේ අධ්‍යක්ෂිකා රේණුකා පීරිස් මහත්මියයි.

පාසල් දරුවන්ගේ අධ්‍යාපනය නැවතත් යථා තත්ත්වයට පත් කිරීමේ වගකීම කරට ගත් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට කොවිඩ් වසංගතයෙන් පමණක් නොව ඩෙංගු වැනි වසංගත වලින් දරුවන් ආරක්ෂා කිරීමේ කටයුත්තට මුල පුරා ඇත.

එහෙයින් මේ වන විට මාස දෙකක් මුළුල්ලේ වසා දමා තිබූ තම පාසල් නැවතත් පිරිසුදු කිරීමේ කාර්යයට බොහෝමයක් පාසල් අත ගසා ඇත.

අධ්‍යාපන ඇමැතිගේ මෙන්ම අධ්‍යාපන ලේකම්වරයාගේ මූලිකත්වයෙන් හා පළාත්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගේ සෘජු අධීක්ෂණයෙන් මේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

“පාසල් ආරම්භ කරන දිනය ඉදිරියේදි සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර රජය විසින් ප්‍රකාශයට පත් කරාවි. ඒ සඳහා අවශ්‍ය පසුබිම අපි මේ වනවිට සකස් කරමින් යනවා. අපි සෞඛ්‍ය අංශ වලින් නිකුත් කළ චක්‍රලේඛය කලාප කාර්යාල වලට යැව්වා. ඒ වගේම පාසල් පසුබිම කෙසේ සකස් විය යුතුද කියා කොට්ඨාශ මට්ටමින් විදුහල්පතිවරු දැනුම්වත් කළා. බස්නාහිර පළාතට මේ සඳහා රුපියල් මිලියන 13 ක් ලැබුණා. ඒ අනුව පාසලේ සිටින ළමුන්, පාසලේ පහසුකම් ලබා ගැනීමේ හැකියාවන් යන කරුණු කිහිපයක් පදනම් කරමින් අපි පාසලකට රුපියල් 20,000 සිට 60,000 අතර මුදල් ප්‍රමාණයක් ලබා දෙනවා. මේ මුදල් වියදම් වෙන්නේ පාසල් සංවර්ධන සමිතිය මඟිනුයි. සමහරක් පාසල්වලට මුදල් මදි වුවහොත් පළාත් සභාවෙන් හෝ ඒ ප්‍රමාණය ලබා දෙන්න අපි සූදානම්......“ ඒ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතාය.

ඒ අනුව මේ වන විට ලැබුණු මුදල් හා පරිත්‍යාගශිලීන්ගේ ආධාර උපකාර ලබා ගෙන බොහෝමයක් පාසල් මේ කටයුත්තට සූදානම් වෙමින් සිටිති. එසේම පාසල් ආරම්භයට පෙර සිසුන්ගේ උණ බැලීම සඳහා අවශ්‍ය උපකරණ සියල්ලම සියලුම පාසල්වලට රජයේ වියදමින් ලබා දීමටද අපේක්ෂිතය.බස්නාහිර පළාත් සභාව පමණක් නොව සියලූම පළාත් සභාද පාසල් යළි සජීවිකරණ ක්‍රියාවලියට අත ගසා ඇත. මේ ඌව පළාත් සභාව මේ කාර්යයට සුදානම් වන ආකාරයයි. “ අධ්‍යාපන අමාත්‍යාංශයේ හා සෞඛ්‍ය අංශ නිර්දේශ අනුවයි පාසල් යළි විවෘත කරන්නේ. මේ වන විට භෞතික පහසුකම් ලබා දී සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු පිහිටුවමින් අපි ඒ කටයුත්තට සූදානම් වෙනවා. අපි කලාප අධ්‍යාපන කාර්යාල වලට දන්වා තියෙනවා, කරදරයකින් තොරව ආරම්භ කළ හැකි පාසල් පිළිබඳ වාර්තාවක් සකසන්න කියා. අපේ පළාතේ බොහෝමයක් හුදකලා පාසල් තියෙනවා. මේවායේ ඉන්නේ අඩු සිසුන් ප්‍රමාණයක්. ප්‍රවාහන ක්‍රම භාවිත නොකරන දරුවන්. සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර අපිට ඒ පාසල් මුලින්ම ආරම්භ කළ හැකියි. ඒ කෙසේ වෙතත් දරුවන් වෙනුවෙන් අපි මේ වන විට විකල්ප අධ්‍යාපන ධාරාවන් ක්‍රියාත්මක කරමින් යනවා. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 24 ක් ඌව පළතේ විෂබීජහරණයට වෙන් කර තියෙනවා. වෙනත් ප්‍රවේශ මාර්ග වලින් ලැබුණු ප්‍රතිපාදන සමඟ රුපියල් මිලියන 35 ක මුදලක් මේ කටයුතු සඳහා මේ වන විට ලැබී තිබෙනවා.....“ ඒ ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එම්.පි රත්නායක මහතාය.

කොවිඩ් වසංගතයෙන් අනතුරුව පාසල් යළි විවෘත කිරීමේ වගකිම සුළු පටු නැත. වගකීම් රැසක් දරා ගනිමින් මේ කාර්යය සිදු කළ යුතුව ඇත. මීටරයක දුරස්ථතාව ලබා ගනිමින් පාසලේ දරුවන් මෙහෙයවීම පමණක් නොව ඔවුන්ගේ මගහැරුණු පාඩම් ඇතුළත් විෂයය මාලා ආවරණය කිරීමේ කාර්යයද ඉතා ඉක්මනින් සිදු කළ යුතුව ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ සූදානම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( පාසල් කටයුතු) අර්.එම්.එම් රත්නායක මහතා පැහැදිලි කළේ මේ අයුරිනි. 

“කොවිඩ් පමණක් නොවෙයි අපි මේ අවස්ථාවේ ඩෙංගු උවදුර ගැනත් අවධානය යොමු කළ යුතු නිසා සියයට 20 ක පමණ සේවක සංඛ්‍යාවක් කැඳවා පාසල් පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන්න පාසල්වලට උපදෙස් ලබා දුන්නා. පාසල් 500 කට පමණ ජලය නැහැ. ඒවාට ජලය දීම සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. ඒ වගේම සිසුන් 50 කට එක් අත් සෝදන බේසමක් අවශ්‍යයයි. මේ වන විට මේ කටයුතු සිදු කරන්න පාසල් 3000 කට රුපියල් මිලියන 4 ක පමණ ප්‍රතිපාදන පළාත් සභා වලට යවා තියෙනවා. ඒ වගේම රතු කුරුස සමාජයෙන්ද අවශ්‍ය සහය ඉල්ලා තියෙනවා. සෑම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුටම පාසල් 20-25 ක් අයිතියි.

ඔවුන් විසින් ඒ කටයුතු අධීක්ෂණය කළ යුතුයි. පාසල් ඇරීමට සුදුසු වාතාවරණයක් ඒ පාසල තුළ තිබේද යන්න සහතිකයක් ලබා ගත යුතුයි. “ ඒ අතිරේක ලේකම් (පාසල් කටයුතු) අර්.එම්.එම් රත්නායක මහතායි.

“අපි සැම පාසලකටම මේ ප්‍රතිපාදන ලබා දෙනවා. ඒත් සමහර පාසල්වලට සම්පත් දායකයන්ගෙන් මේ සඳහා ආධාර පවා ලැබිය හැකියි. ඒවගේම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අපට පැවැසුවා, විෂබීජහරණ කුටි පාසල්වලට අවශ්‍ය නැති බව. එයින් යම් යම් හානි දරුවන්ට ඇති විය හැකි බව පැවසුවා. ඒ වගේම ආර්ථික අපහසුකම් ඇති සිසුන් ලක්ෂ 12 කට මුඛ ආවරණ තුන බැඟින් ලබා දෙනවා. පාසල තුළ දරුවා විදුහල්පති ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටිනවා. ඒ ගැන බිය විය යුතු නැහැ. නමුත් දරුවා පාසලට යාමේදි හා ආපසු ඒමේදි ප්‍රවාහන මාධ්‍ය පිළිබඳව දෙමවුපියන් අවධානයෙන් සිටිය යුතුයි....“ ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එච්.එම් චිත්‍රානන්ද මහතාය.

පාසල් ආරම්භ කළ පසු ගුරුවරුන්ට සේම දෙමවුපියන්ටද දැඩි වගකීමක් ඇත්තේය. ඒ දරුවන් පාසලට ඇතුළත් කිරිම හා ඉන් පිටවීමේදි දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් හොඳම ක්‍රියා මාර්ගය ගැනීමය. අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ පාසල් නැවතත් විවෘත කිරීම තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් ඒ සඳහා සුදුසු පසුබිමක් ඇති බවට සහතික කිරීමෙන් පසුව පමණක් බවත්ය. ඒ නිශ්චිත දිනය සති දෙකක් ඇතුළත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

සෑම පාසලකටම ශරීර උෂ්ණත්ව මැන බැලීමේ උපකරණ, අත් සේදීමේ බේසම්, ගිලන් කාමරයක් බැගින් ලබා දිමට පියවර ගන්නා බවත්, එම සනිපාරක්ෂක පහසුකම් ලබා දීමෙන් අනතුරුව කොවිඩ් වසංගතයේ අවසන් සටන වන පාසල් යළි විවෘත කිරිම සිදු කෙරෙන බවත් ඇමැතිවරයා පවසයි. ඒ සඳහා දෙමවුපියන්ගෙන් කිසිදු මුදලක් අය කර නොගන්නා බව අධ්‍යාපන ඇමැතිවරයා පවසා ඇත. මේ සඳහා සිසු දරුවන් 200 ට අඩු සෑම පාසලකටම රුපියල් 30,000 බැඟින් ලබා දිමටද පියවර ගන්නා බව පවසා ඇත. එසේම දිවයිනේ සියලු පාසල් වෙත මෙම සෞඛ්‍යරක්ෂණ පහසුකම් සැපයිම වෙනුවෙන් රුපියල් මිලියන 680 ක්ද ඇස්තමේන්තු ගත කොට ඇති බව ඇමැතිවරයා පවසයි.

Comments