කිරි මවක් වෙනුවෙන් කළ අපූරු මානුෂීය මෙහෙයුමක් | සිළුමිණ

කිරි මවක් වෙනුවෙන් කළ අපූරු මානුෂීය මෙහෙයුමක්

ඉකුත් 16 වැනි සිකුරාදා සවස නුවර පාරේ මහර කිරිබත්ගොඩ ගාල හන්දියට සමීපව පිහිටි ඇවිදින මංතීරුව අසල මහා මාර්ගයේදී ගවයන් තිදෙනකු වාහනයක ගැටිණ. ගවයන් දෙදෙනකු නිරුපද්‍රිතව දිවි ගලවා ගත්තද එක් ගවයකු අසල වූ ඇවිදින මංතීරුව වෙත දිව එන්නේ බිඳුණු පයක් සහිතවය. ඒ වන විටත් ඇවිදින මංතීරුවෙහි රැඳී සිටි කිහිපදෙනා වහා ගවයා වෙත සමීප වන්නේ ඒ පිළිබඳ කම්පාවෙනි. දෙකට කැඩී සමෙන් එල්ලෙමින් තිබූ පය සහිත ගවයා පැටවකු කුස දරාගෙන සිටින කිරි මවක බව දැනගැනීමත් සමඟ ඒ කම්පාව සෙනෙහසක් බවට ද පත්විය. එතැන් සිට එම ගවයා සුවපත් කරගැනීමට ඔවුහු විවිධාකාරයෙන් උත්සාහ කළද ඒ සියල්ල නිෂ්ඵල කරමින් පසුගිය ඉරිදා(25) ගවයා මරණයට පත්විය.

 

"එය ඉතා ඛේදනීය සිදුවීමක්. ගවයා අනතුරට ලක්වූ අවස්ථාවේ සිට මා ඇතුළු විශාල පිරිසක් ඒ සතාගේ ජීවිතය රැකගැනීමට පුළුවන් උපරිමයෙන් කටයුතු කළා. අපි කවුරුත් එකිනෙකා හඳුනන අය නෙවෙයි. නමුත් මේ ගවයා නිසා අපි හැමෝම එකතුවෙලා උත්සාහ කළේ ඒ අසරණ සතාගේ ජීවිතය බේරාගන්නයි. ඇවිදින මංතීරුවට යන එන කිහිපදෙනෙක්, කැලණිය රොටරි සමාජයේ කිහිපදෙනෙක්, සුමනසාර ස්වාමීන්වහන්සේ, සතාව ප්‍රතිකාර කිරීමට නිවසේ ස්ථානයක් ලබාදුන් දිප්පිටිගොඩ නිශාන්ත මහතා ඇතුළු පිරිසක් ඒ සඳහා උපරිමයෙන් කටයුතු කළා. නමුත් අවාසනාවකට වගේ අපිට ගවයා ජීවත් කරගන්න බැරිවුණා. අනතුරට ලක්වෙලා දින 12කට පසුව සතා මියගියා. ගවයාගේ අවසන් කටයුතු අපි ඊරියවැටිය සුසාන භූමියේදී සිදු කළා."

අප සමඟ එසේ පැවසුවේ මහාචාර්ය හේමන්ති රණසිංහයි. ගවයා අනතුරට පත්වූ බව දැනගත් මොහොතේ සිටම ඇය ඒ වෙනුවෙන් වෙහෙස වූවාය.

"මෙවැනි සිදුවීමක් සිදුවූ පළමු අවස්ථාව මෙය නොවෙයි. මේ, එකී ස්ථානයේදීම අනතුරට ලක්වී මියගිය තුන්වැනි ගවයා. මගේ අත්දැකීම අනුව පළමු වතාවට 2018 දී මී ගවයෙක් ඒ ස්ථානයේදී අනතුරට ලක්වුණා. ඒ වෙලාවේ නම් මේ වගේ ලොකු පිරිසක් එකතු වුණේ නැහැ. ඒ වෙලාවේ දොස්තර කිව්වේ සතා දවස් 3ක්වත් ජීවත් වෙන්නෙ නැහැ කියලා. නමුත් මමත් තවත් පුද්ගලයෙකුත් මාස 6ක් පමණ ඒ සතාට සාත්තු කරමින් ජීවත් කළා. ඊළඟට මේ වගේම පැටියෙක් බිහිකරන්න සිටි කිරි එළදෙනක් අනතුරට ලක්වුණා. එයත් දවස් 3යි ජීවත් වුණේ. දැන් මේ ගවයත් මිය ගියා."

ඇය පැවසුවේ සංවේගයෙනි. එහෙත් අවසන ඔවුහු ඒ කිරි මවට ගෞරවනීය අවසානයක් ලබාදුන්හ. ඇය මිහිදන් කිරීමට ඊරියවැටිය සුසාන භූමියේ ඉඩක් ලබාගත් ඔවුහු පාංසකූලය ද දෙමින් බෞද්ධාගමානූලව අවසන් කටයුතු සිදුකොට පින්පෙත් පැමිණ වූහ. ඒ සඳහා සම්බන්ධ වූයේ කැලණිය තොරණ හන්දියේ අමරසේකරාමයේ වැඩ සිටින හග්ගිතකන්දේ සුමනසාර හිමියෝය.

"මේ ගවයා අනතුරට ලක්වූ අවස්ථාවේ සිට මට ඒ සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. නිශාන්ත කියන දායක මහත්මයා තමයි මට මේ ගැන කිව්වේ. ඒ අවස්ථාවේ මම එතැනට වැඩම කරලා ඒ ගැන සොයා බැලුවා. එතැන් සිට විශාල පිරිසක් සතියක් පුරාවට තමන්ගේ කාලය, ධනය සහ ශ්‍රමය වැය කරමින් ගවයා සුවපත් කරගැනීමට වෙහෙස වුණත් එය සාර් ථක වුණේ නැහැ. මෙය ඉතා ඛේදනීය තත්ත්වයක්. කෙනෙක් සතකු හදනවා නම් ඒ සතාගෙන් ප්‍රයෝජන ගන්නවා වගේම ජීවිතාන්තය දක්වා ඒ සතා රැකබලාගත යුතුයි. එහෙම සතෙකුට මෙහෙම විපතක් වුණාම අයිතිකාරයන් අහක බැලීම අමානුෂිකයි. වැරදීමකින් වුණ අනතුරක් වුණත් ඒ අනතුර සිදුවූ වාහනයේ රියැදුරු මහතාටත් යුතුකමක් තිබුණා මේ සතා ගැන හොයා බලන්න. ස්වාමීන්වහන්සේ කෙනෙක් විදිහට මම ජීවිතයේ පළමු වතාවටයි සත්ත්වයකු වෙනුවෙන් පාංසකුලය දීලා ආගමික වතාවත් සිදුකළේ. එවැනි දේකින් හෝ ඒ ගවයාට මනුෂ්‍ය ආත්මයක් ලබන්න ප්‍රාර්ථනා කරන්න හැකිවීම ගැන මම සතුටු වෙනවා. ඒත් අපි හැමෝගෙම උත්සාහය ඵල දරා ගවයා සුවපත් වෙලා තවත් කාලයක් ජීවත් වුණා නම් ඒක ඊටත් වඩා ලොකු සතුටක් "

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන දිප්පිටිගොඩ පදිංචි නිශාන්ත ජයවීර ගවයා අනතුරට පත්වූ මොහොතේ සිට ගවයා සුවකර ගැනීමේ පවිත්‍ර චේතනාවෙන් කටයුතු කළ අයෙකි.

"එදා මම මංතීරුව ඉදිරිපිට ටයිල් කඩෙන් බඩු අරගෙන ඇවිත් වාහනේට නඟින්න යනකොට තමයි මේ අනතුර වෙලා තියෙනවා දැක්කේ. ඇවිදින මංතීරුවේ ටිකක් ඇතුළට වෙන්න වැටිලා හිටිය ගවයග් කකුලක් දෙකට කැඩිලා තිබුණා. ඒ වෙද්දි පොලිසිය ඇතුළු ගොඩක් අය එතැනට ඇවිත් හිටියා. ඩොක්ටර් කෙනෙක් ඇවිත් කකුලට බෙහෙත් දැම්මට පස්සේ අපි කට්ටිය එකතු වෙලා හට් එකක් ගහලා ගවයව ඒක ඇතුළින් තිබ්බා. තරුණ ළමයි ටිකක් එළිවෙනකම් ගවයව බලාගත්තා. පහුවදා උදේ අපි කට්ටිය ආපහු රැස්වෙලා මොකද කරන්නේ කියලා සාකච්ඡා කළා. එතැන දිගටම සතාව තියන්නත් බැහැ. කෙනෙක් ගවයාට සාත්තු කරන්න බාරගත්තා.

ඒ වෙලාවේ මම කිව්වා සතාට සනීප වෙනකම් ඕනතරම් කාලයක් මගේ ගෙදර වත්තේ තියාගෙන බලාගන්නම් කියලා. ඒ විදිහට සතියක් අපේ ගෙදර වත්තෙ අට්ටාලයක් ගහලා සතා එහි තියාගෙන අපි හැමෝම පුළුවන් උපරිමයෙන් සාත්තු සප්පායම් කළත් ඉරිදා පාන්දර මියගියා. ඒක අපි හැමෝටම ලොකු දුකක්. අපි හැමෝම සතාගේ ජීවිතේ රැකගන්න මහන්සි වුණේ මනුෂ්‍යත්වය වෙනුවෙන්. සල්ලි තියෙනවා නම් අපිට අටපිරිකර දාහක් හරි පූජා කරන්න පුළුවන්. ඒත් කොච්චර සල්ලි තිබුණත් මේ වගේ පිනක් කරගන්න බැහැ. සතාගේ අවසන් කටයුතු අපි හැමෝගෙම උදවවෙන් කිසිම අඩුවක් නැතිව සිදුකළා. සෙනසුරාදාට පන්සලට දානයක් දෙනවා. ඒ වගේම මරණයට නියම වෙලා ඉන්න ගව පැටියෙක් නිදහස් කරන්නත් බලාපොරොත්තු වෙනවා. "

කැලණිය රොටරි සමාජය නියෝජනය කරන නන්දන කනකරත්න, සරත් ගුණවර්ධන සහ මෙල්රොයි පීරිස් යන මහත්වරු මෙම සද්කාර්යය සඳහා දායක වන්නේ රොටරි සමාජය නියෝජනය කරන වට්ස්ඇප් සමූහය තුළ සාමාජිකයකු තැබූ සටහනක් දැකීමෙන් පසුවය. රොටරි සමාජයේ හිටපු සභාපතිවරයකු වන නන්දන කනකරත්න මහතා ඒ පිළිබඳ මෙසේ පැවසීය.

"මේ සිදුවීමේදී අපිට ඉක්මනින් වෛද්‍යවරු සොයාගැනීම දුෂ්කර වුණා. ඊට හේතුව මේ විදිහේ අනතුරුවලට ලක්වූ සතුන් මියයෑම නිසා බොහෝ වෛද්‍යවරු ඒ ගැන උනන්දු නොවීමයි. මුලින්ම අපි කඩවත මහර පශු වෛද්‍ය සුදුරාජිත මහත්මයා ගෙන්වලා ප්‍රතිකාර කළා. ඊටපසුව අපි කොඩිකාර නමැති දක්ෂ පළපුරුදු වෛද්‍යවරයෙක් ගෙන්වගෙන ගවයාගේ කැඩුුණු කකුලට ප්ලේට් එකක් දැම්මා. පළමු වර ගවයා එය ගලවාගත්තත් නැවතත් දැම්මා. නමුත් අපිට ඒ ජීවිතය බේරාගන්න බැරිවුණා. සතුන්ට ආදරේ නිසා මේ සිදුවීමට මැදිහත් වුණාට මේ වගේ අවස්ථාවක කටයුතු කරන ආකාරය ගැන අපිටත් පුළුල් දැනීමක් නැහැ. ඒ නිසා මේ වගේ අනතුරට ලක්වන සතුන් ගැන කටයුතු කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කර ගැනීමේ අවශ්‍යතාව අපි තේරුම් ගත්තා. ඉදිරියේදී ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. "

මනුෂ්‍ය ආත්මයක් ලැබීම විසල් පුණ්‍යකර්මයක් වන්නා සේම කිසිවකු හෝ අකාලේ මියයෑමට ඇති ඉඩකඩ ඇහිරීම ද මනුෂ්‍යත්වයේ වගකීමකි. මෙය කතාබහට ලක්කළ යුතු සිදුවීමක් නොවේ යැයි කෙනෙකුට සිතිය හැකිය. එහෙත් ඒ සිදුවීම අපට කියාදෙන්නේ වගකීම් සහ යුතුකම් ගැන පාඩමක් බව මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය අවධාරණය කළාය.

"නිදැල්ලෙ හැසිරෙන බොහෝ ගවයන්ට අයිතිකාරයෙක් ඉන්නවා. නමුත් අනතුරක් වුණාට පස්සේ අයිතිකාරයාවත් ඒ ගැන බලන්නෙ නැහැ. ඒ විදිහට වගකීම් පැහැර හරින පුද්ගලයන් ගැන සොයා බලා පොලිසිය විසින් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගත යුතුයි. එහෙම වුණොත් තවත් පුද්ගලයන් ඒ විදිහට කටයුතු නොකරන්න පාඩමක් ඉගෙන ගනියි. ඒ වගේම මහා මාර්ග අසල මේ වගේ අනතුරු සිදුවීමේ අවදානම තේරුම් ගෙන ඒවා වැළැක්වීමට මාර් ග සංවර්ධන අධිකාරිය ඒ සඳහා ආරක්ෂිත පියවර ගත යුතුයි.

විශේෂයෙන් මාර් ගය දෙපස වෙල් යායන් තිබෙන ස්ථානවල සතුන් පාර මාරුවීම සිදුවෙනවා. ඒ නිසා සතුන් පාර මාරුවන ස්ථානයක් කියලා බෝඩ් එකක් හෝ සවිකර තිබෙනවා නම් රියැදුරන් ඒ ගැන සැලකිලිමත් වෙයි. ඒ වගේම ඒ ආසන්නයේදී රියේ වේගය අඩුකිරීමට මාර්ග බාධක පැනවීමත් සුදුසුයි.

සතුන්ට මෙහෙම අවාසනාවන්ත ඉරණමක් අත්වුණාම එය සතුන්ට ආදරය කරන අපිට ලොකු වේදනාවක්. අපි ඒ වෙනුවෙන් මැදිහත් වුණාට අපිට ඒ අනතුරට ලක්වෙන සතාට සාත්තු කිරීම, රැකබලාගැනීම ගැන නිසි දැනුමක් නැහැ.

ඒ වගේම වෛද්‍යවරු සොයාගැනීම ඉතාම දුෂ්කරයි. බළලුන් සහ බල්ලන් වෙනුවෙන් පශූ රෝහල් තිබුණාට ගවයන් වෙනුවෙන් බෙහෙත් කිරීමට පවා ඇතැම් පශු වෛද්‍යවරු දක්වන්නෙ අඩු සැලකිල්ලක්. රටේ ආර්ථිකය තුළ කිරි කර්මාන්තය ගැන ඉහළින් කතාකළාට මෙහෙම අනතුරට ලක්වන ගවයන් වෙනුවෙන් වගකියන ආයතනයක් නැහැ. ඒ නිසා ගවයන් වෙනුවෙන් රජයේ පශු රෝහලක් ස්ථාපිත ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස රජයට යෝජනා කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා. ගවයෙක් කියන්නේ විශාල ආර්ථික සම්පතක්. ඒ වගේම අතීතයේ සිට අපේ ජන ජීවිතය හා බැඳුණු සත්ත්වයෙක්. ඒ නිසා ඒ ගැන රජයේ අවධානය යොමුකර සිටිනවා. "

Comments