කවි පිටුව | Page 2 | සිළුමිණ

කවි පිටුව

පොසොන් සඳ පායලා

නවරට සසුන් කෙත වපුරන සිතින් මුදු
අවසරයෙන් පැමිණි පිරිවර දෙවන බුදු
රුව දුටු එදා මහ වනමැද සිකරෙ කඳු
තවමත් පොසොන් දා දිදුලයි සුපුන් සඳු

තිත්මුව පැටියෙකුට අවිහිංසක ආලෙන්
අත් විහිදවූ දුණු හී යොමුකර දෑලෙන්
සත්ගුණ නුදුටු මහරජවෙත මුදුතාලෙන්
සිත් සනසවා දැය නැංවිණි සුළුකාලෙන්

ඉඩ කඩ ලත් සැනින් පෙරදා රජ කුලයේ
දඩ කෙළියෙහි යාම සිරිතකි පෙර හෙළයේ
වැඩ සිටි මිහිඳුහිමි හඬ ඇසි අඹතලයේ
උඩ බැලු රජ කැළඹිණි තුන් සිංහලයේ

තිස්සය කියා මා! අමතන්නට සූර
මිස්සක වනේ ඇත්තේ කවුරුද වීර
විස්මිත වූ රජිඳු සැළුනින් එක පාර
ගස් සන්නට හැදු හී ගිලිහුණි මාර

සිද බිද අවිදු තිරපට වැසි ගණ අදුරෙන් හද දුටු මහරජුගෙ ඇසු අඹ පැන සතරෙන් බිද බිද දහම් රස වෑහෙන යුරු මිහිරෙන් සද හම් දෙසූවේ සුළු ඇත් පද සුතුරෙන්

ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

*****************

කන්ථකට

දුකට
කසාවත් ඇන්ඳ
හිස මුඩු කළ
‍යශෝධරාගේ
ආදරය දැක්ක කවුරුත්,
දුකට
ළය පැළී මිය ගිය
උඹේ ආදරය
දැක්කෙ නෑ

ඉමල්ක විජේසේකර
 

***********

කුණු නොවන ආදරේ

කුණු ලොරියෙ පිටි පස්සෙ දොර
ළඟ යකඩ තට්ටුවෙ එල්ලිලා
එද්දි උඹ ගැස්සිලා බැලුවේ
තෝඩු කුට්ටම හොල්ලලා
තිබුණු ගායට ඇහැක් ගැහුවත්
ටකේටම නිළ අල්ලලා
හිතුවෙනම් නැහැ යයි කියා
උඹෙ හිතේ පළුවක් හෙල්ලිලා...
.
තාර වත්තේ මාර ගහ ළඟ
කඩේ පැත්තට අල්ලලා
නැවැත්තුව කුණු ලොරිය
ගුණයා බීඩි මිටියක් ඉල්ලලා
ඉබ්බ දැම්මා වගේ වතුරට
බැලුව මම කර උස්සලා
ලෑලි දොර ළඟ බලා උන්නා
රාධණී උඹ ගල් වෙලා....

එදා ඉඳලා ලොරිය එනකොට
පළාතම ගඳ ගස්සලා
ගෙයිත් නැති කුණු ගෙනත් දැම්මා
ඇවිත් බොරුවට පැද්දිලා
පච්ච පාටට සිලික් කමිසයෙ
කරත් ලාවට උස්සලා
මමත් බැලුවේ ක්‍රිෂ්ණ වාගෙයි
උඩු රැවුල හරි ගස්සලා....

දීපවාලී දවසෙ කෝවිල්
ආවෙ හරි බරි ගැස්සිලා
බලල යන්නයි හඳ දිලෙන හැටි
උඹේ මූණේ හැංගිලා
උනත් සිංහල උඹේ දෙමළත්
දන්න බව මම පෙන්නලා
අහපු ප්‍රශ්නෙට දුන්නෙ උත්තර
සිංහලෙන් උඹ ලන්වෙලා...
.
උඹට ඇල්මෙන් බැල්ම දාගෙන
උන්නු වත්තේ අයියලා
දාපු සෙල්ළං උනා සල්ලං
මාත් එක්කල හැප්පිලා
කම්බි වැට රිංගලා ගියෙ නෑ
හඳපාන යට හැංගිලා
මඟුල ගත්තේ ගහල කාවඩි
තාර වත්තම හොල්ලලා..
.
ආපු දවසෙම හිංදි පික්චර්
පෝළිමේ මුල අල්ලලා
ඒ දචස්වල කුරුලු ජෝඩුව
වගේ බැලුවේ ලන්වෙලා
දරුවො වැදුවා උන්ව හැදුවා
උනුන් දැන් පිටමංවෙලා
තියාගන්නට බැහැනෙ හැමදා
උන්ව බොක්කේ හංගලා....

අපේ ජීවන ගඟ ගලාගෙන
ඇවිත් කඳුහෙල් පහුවෙලා
යන්න කිට්ටුයි මෝය අස්සෙන්
මුහුදු පතුලට රිංගලා
ජීවිතේ ගැටගසා ගත්තත්
කුණු ලොරියෙ අපි එල්ලිලා
කුණු නොවන ආදරේ තියනව
තාම හිත්වල හැංඟිලා.....

සුනිල් හෙට්ටිආරච්චි
 

*************

අනේ ඉතිං

තල්ලුකර මුල්ලකට
මූසලම කළුවර
චිමිනි ලාම්පුවේ
දැල්ල අඩුවෙන් පත්තු කර
තෙත් කළෙමි යළි
ඔඩිකලොන් පැලැස්තර

තෙමාගෙන පොඩි එකී
මේ තුන්වෙනි වතාවට
එබුනෙ මං කුස්සියට
ලිප නිවෙන සද්දෙට
කොත්තමල්ලි මුට්ටියත් ඉතිරිලා
ඉහේ අත ගැහුනේ
ලාම්පු තෙල් ඉවර මතකෙට

ඒ. ඒ. බදුර්නිශා

******************

මමයි අම්මා උඹේ

නුගේ යට බංකුවේ
රැහැයියන් තනි රැක්ක
පුංචි නංගිගෙ හැඬුම්
නෑසුනිද "පබ් එකට"....

පාං වාටියක් ළඟ
නතර වුණු සිඟිති මුව
කිරි සුවඳ හොයනවා
අමාවක පැදුර උඩ ...

අපිව නාඳුනන ඔබ
අපි හොඳින් හැඳින්නෙමු
ඒත් දොස් කියන්නට
නෑ හිතක් අම්මේ නුඹට...

නෝනලා හාමුලා
වීසි කල කඩමාලු
යාන්තමට වහගත්ත
පුංචි නංගිගෙ විලිය...

තාම මට එකොළහයි
පුංචි නංගිට දෙකයි
මට බරක් නෑ උඹව
නැලවියන් උකුල උඩ...

සුවඳ වත්සුනු පිරුණ
අඩක් නිරුවත වැසුණ
සුරඟනන් හිදින තැන
ඕනනෑ ඉඩක් උඹට මට...

හිරු කඳුළු මෝදුවෙන
නුගේ යට හෙට දවසෙ
මමයි අම්මා උඹේ
උඹයි අම්මා මගේ.....

ජනක චමින්ද
රාජකරුණා

*********************

ආරාධනා

ඈත ඉදන් අපි ආවේ
බුදු බණ පදයක් අහන්න
අනුබුදු හාමුදුරුවනේ
මිහින්තලාවට වඩින්න..

ද්වේශ වෛර මෝහ ගින්න
ඇවිලෙනවා බැහැ මිදෙන්න
දහම් අමා වැසි වස්සා
මුළු මිහිතලයම තෙමන්න..

උනුනුන් පරයා නැගෙනා
තරග නිමක් නැහැ දකින්න
පුහුදුන් මිනිසුන් වූ අප ගැන
අනුකම්පා කර වඩින්න..

අවිඳු අඳුරදෑස වසා
පවිටු සිතින් බැහැ මිදෙන්න
එදා වගේ මිහිතලයට
දම් ආලෝකය බෙදන්න

බඹරැන්දේ
ජගත් පත්මසූරිය

****************

ප්‍රශ්නාර්ථය

සිනිදු සියුමැලි
මල් පෙති මත
ඔබ ලියු හද කවිය
පරව ගියේ කවදාද

සිහිලැල්ව මෘදු සරින්
හමා ගිය සුළං රැළි වල
ගැට ගැසු ඔබේ පැතුම
ගසා ගෙන ගියෙ කොහේද

ශ්වේත මේඝයන් සරන අහසක
මේඝයන් හැඩ කොට තැනු
ආලයක හද හැඩය
අනෝරා වැස්සක්ව ඇද හැලුණේ කොහොම

නිතර ආ ගිය මගේ
පටලවා ගෙන දෙයත්
කොදුරාපු පෙම් ගීයේ
රසය වහ කදුරු වුනේ කෙලෙස

දිවි මගේ අතර මැද
හමුවු ගිරි දුර්ගයේ
වෙහෙස කර වන විට ජිවිතය
හැර ගියේ හිතකින්ද

පෙම් කලේ නැතිද ඔබ
කියු තරම්

පරාක්‍රම ඒකනායක

*****************


මගේ ප්‍රාර්ථනාව

මිහින්තලේ බුදු රැස් විහිදේවා
සිහින් පොදේ දාහය දුරු වේවා
සිතින් කයින් සිත සංවර වේවා
පොසොන් සඳේ ලක බැතිබර වේවා

බුදුන් වැඩිය පින් බිම බැබළෙන්නයි
දහම් බෙලෙන් සිත සුවපත් වෙන්නයි
සඟුන් මුවින් බුදු පිරිත ගැයෙන්නයි
පැතුම් බලෙන් රෝ බිය දුරු වෙන්නයි

තිසා වැවෙන් රත් පියුම නෙළාලා
බසවක් කුලමෙන් පැන් දෝවාලා
සිරිමා බෝ මුලසුනේ තබාලා
අනුබුදු නමදිමු සිරස නමාලා

රජරට මහ වැව් පිරීතිරියන්
පුරන් කුඹුරු හැම අස්වැද්දීයන්
රෝ බිය සාගිනි දුක් දුරුවියන්
බදු දහමෙන් මගෙ රට සැනසීයන්

රුවන් මුතුනායක
 

****************

නිවනේ දොර ඇරේවා

සාර කෙත් මැද නිසරු කෙත් බිම්
කිසිම දවසක හමු නොවේවා
ගලන ගංඟා බසින දිය ඇළි
කිසිම දිනයක නොම සිඳේවා
සුදෝ සුදුවන් වලාකුළු මැද
කළු වළාකුළු නොම රැඳේවා
වතක සිනහව තවත් වතකට
දුකක් කඳුලක් නොම ගෙනේවා

නෙක විහඟ කැල නගන නද මිස
කනට රළු නද නොම ඇසේවා
නෙලා ගන්නට හැකි මලක් ලෙස
නොහැකි මල් විකසිත නොවේවා
දකින දසුනෙන් නිවීමක් මිස
නෙතට පීඩා නොම ගෙනේවා
සදාකල් වේදනා දෙන්නට
යළිඳු මෙලෙසින් හමු නොවේවා

කරන පින් මහිමයේ බලයෙන්
සසර සංකා දුක් නිවේවා
පෙර සසර කළ පවක් වී නම්
මේ සසර තුළ එය ගෙවේවා
ඉදිරි බවයක උපත ලදහොත්
දුකම උරුමව නොඉපදේවා
නුදුරු දිනයෙක සසර කතරෙන්
එතෙර නිවනෙහි දොර ඇරේවා

කල්‍යාණි විද්‍යාරත්න
 

***************

පොසොන් සඳෙන් විහිදේ සදහම් සිසිල!

බක් මස වෙසක් මස පිබිදුන පරිසරය
මල් ඵල පිරි තුටින් සපිරී සුන්දරය
ළඟ එන පොසොන් මස අසිරියෙ අඬහැරය
දැන්මම දැනී සැරසෙයි ලක් පුරවරය

සුදු සඳවතින් විහිදේ සොමි රැස්කිරණ
ඒ සඳරැසින් බැබළේ මුළු ලක්දෙරණ
රෑ ඝන අඳුරු සඟවා තුටු කර නයන
පෑ ඔද සිහි කරයි අනුබුදු හිමි ගමන

බුදු වස් දෙසිය තිස්හයවන වසරේදී
මුටසිව නිරිඳු දම්සෝ නිරිඳුගෙ සබැඳී
දෙව්පියතිස් කුමරුහට සිහසුන ලැබදී
සිහසුන් පත් කළේ ලක්මව පින් පරිදී

උතුම් බුදු දහම ලොව අන් රටවලට
බෙදා දම් රසය දීමට ලෝ දනට
දම්සෝ නිරිඳු තෝරාගත් රටවලට
අප රට අයත් වූයේ අපෙ පෙර පිනට

අනුබුදු මිහිඳු මහ රහතුන් හිමි සමිඳූ
කුළුණැස උතුම් සිරිලක් ජන වෙත විහිදූ
මෙහි වැඩමවා හමු වී පෑතිස් නිරිඳු
අරඹා බුදු සසුන ලෝ දන සිත් පැහැදු

සැදැහැති දනන් උත්තම බුදු දම් වැළඳ
දා ගැබ් වෙහෙර පුදබිම්ඉදිකර නැමද
සෙනසුන් දන් පැනින් සඟරුවනද පමොද
කරවා අදත් බුදු දම් සුරකී සබඳ

ලෝවා මහා පා රන්වැලි මියුගුණද
මහබෝ මිරිසවැටි ථූපාරාමයද
නාගදීප රන්වැලි පුදබිම් සැමද
නමදිමු! දිවා රෑ සැදැහෙන් සිත් පැහැද

විමල් රූබසිංහ
 

*************

සනසන හදවත

සිරි ලක එළිකළ
අනුබුඳු සමිඳුන්
හමිනැහෙන වැනි සුදු
සඳ එළියයි

රන්වැලි සෑයේ
රන් කොත මුදුණේ
සවනක් සම්බුදු
රැස් විහිදෙයි..

සිරිමා බෝ හිමි
පවනේ ලෙළෙමින්
හදවත් සනසන
සිලි සිලියයි...

පොසොන් පෝය දා
අට මහ පුද බිම්
පුරා නැගෙන
සාධුකාර හඬ රැව් දෙයි

ප්‍රේමසිරි කාරියවසම්

************

සිත් නිවේවා!

කොත් පුරා බුදු රැස් පිරේවා
නෙත් පුරා දම් රැලි නැගේවා
වත පුරා හසරැල් පිරේවා
සිත් නිවී මෙත් මල් පිපේවා..

මිහින්තලයම එළිය කරනා
මුනිඳු සඳහම් දහම දිලෙනා
මිනිස්කම දස අතට ඇදෙනා
කලකි මේ සඳ එළිය කරනා..

දහම් සුවඳින් ලොවම නහවා
මිහිඳු හිමියන් වැඩම වුවා
ඒ සුවඳ දම සිතෙහි රඳවා
අපිත් අනුබුදු පුදට ආවා

ඕෂධි දිප්තීකා
 

**********

සඳුගේ රැයේදී අපි හමු වෙමූ

ගොඩබිම වසා පොරවා රෑ කළු සළුව
අළු පෑ මුහුදු දිය මත රන් සඳ පළුව
ඔරු බඳ ගැටී අවදිව රළ රැළි රළුව
ගිණි ගත් සේලයකි දිය කඳ මත එලුව.

හෙමිහිට සයුරුඉම වෙත ඔරුව පදවන
වැලි තල මත ගටා එය හෙමින් නවතන
මුහුදේ සුවඳ රැඳි වෙරළත දිගේ යන
තව සැතපුමක් ඈතයි ඈ සිටින තැන.
.
ගොවිබිම් තුනක් පසු කර යා යුතුයි තව
දැන් ඈතින් පෙනේ මට ඈ හිඳින ඉම
ළං වී ගෙපැල වෙත කවුළුව වෙතට පැන
හෙමිහිට සන් කරන සඳ හදවත ගැහෙන

සැණෙකින් ඇසෙන මුදු පිය හඬකිය ගෙතුල
දිස් වේ දල්වනා පහනෙහි එළියෙ නිල
කෙඳිරිලි හඬකි බිය හා සතුට එක් කල
දෙහදක් එක්ව ගැහෙනා හඬද මුසු කල

Robert Browning (1812-1889)
එංගලන්තයේ විසූ වික්ටෝරියානු යුගයේ කවියෙකි. ආදරය හා ජීවිතය පිළිබඳ ඔහු ලියූ බොහෝ රොමාන්තික කවි අතරින් ඉතා සුන්දර කවියකි, Meeting at night.මේ ඔහු ලියු කවි අතරින් එකකි.

කුමුදුනි වේලාරත්න.

**********

කවියකි නුඹ මහද

 

කර්තෘ

ප්‍රියංක නලින් පීරිස්

පන්හිඳ ප්‍රකාශනයකි

 

කවිය දැන් අලුත් වෙමින් තිබේ. එදා බහුතරයක් කවි ලියන්නෝ සඳැස්කවියට නැඹුරු වි සිටියද අද වන විට කවි නිර්මාණයට පිවිසෙන ආධුනිකයෝ වැඩි පුරම පෙළැඹි ඇත්තේ නිසඳැස් කවි නිර්මාණය කරන්නටය.

වර්තමානයේ මුහුණු පොතේ ඉහළ පහළ යද්දි අපට බොහෝ නිසදැස් නිර්මාණකරුවෝ හමුවේ. ඒ අතරින් සාර්ථක නිර් මාණ බොහෝමයක් දක්නට ලැබේ. අද සතියේ කවි පොත ලෙසින් හඳුන්වා දෙන්නේ කලක් තිස්සේ මුහුණු පොතෙ කවි ලියූ ඒ කවි එක්කර කාව්‍ය සංග්‍රහයක් ලෙසින් එළි දැක්වූ නිර්මාණකරුවෙකි. ඔහු ප්‍රියංක නලින් පීරිස්ය.

නිර්මාණකුරුවන්ට ප්‍රේමයෙන් තොරවූ සිතුවිල්ලක් නැත. මේ විශ්වය රදා පවතින්නේ ද ආදරය ප්‍රේමය සෙනෙහස මතය. ජිවිතේ අප පතන සියළු දේ අපට ලැබෙන්නේ නැත. බොහෝ යෞවනයෝ අද ප්‍රේමය නිසා ජීවිතය විඳිති විදවති. නිර්මාණකරුවෝ ඒ අත්දැකිම් ඔස්සේ ලියති. කවිය නුඹ කාව්‍ය සංග්‍රහයේ එන සෑම කවියක්ම පාහේ ලියැවි ඇත්තේ ආදරය ප්‍රේමය සෙනෙහස ගැනය. එමෙන්ම හිමි වීම්. අහිමි විම් ගැනය. විදීම් විදවීම් ගැනය.

ඔහු විටෙක ඇගේ ආදරය අහිමි වීම දකින්නේ මෙලෙසිනි. එය විද ගත්නේ

උලලේනී මහ රෑම

හඬන් ඇති

රව සුළඟ සරදම්

කරන්නැති

ඔය පාළු සොහොන ළඟ

මහා තනියක දැනෙන් ඇති...

ප්‍රේමය සුන්දරය. නමුදු ඒ ප්‍රේමය අහිමි වූ දා ඇත්තේ දුකකි වේදනාවකි. කවියා ප්‍රේමයේ විදවීම මෙලෙසින් ලියයි.

හිනැහුන දෙනෙතට

සිතුවම නුඹය

නෙත් මත ගිලුණු

කඳුළැලි ඇසට

හිමිහිට ගලපු

විරහව නුඹය

හදවත නොපැතු

කවියකි නුඹ මහද

ප්‍රේමය ඇසුරේ ලියැවුණ කාව්‍ය සංග්‍රහයක් වුවද එය ගැඹුරින් අධ්‍ය්‍යනය කර නැත. සුන්දර වචන පෙලකට මුල් තැන දී වචන හරඹයක් පෑවා මිස ගැඹුරක් නැත.

මා දරාගත් නුඹේ ප්‍රේමය

මහමෙරක් වගේ දැනෙනා

හිතක් තිබුණොත්

ඇවිත් යනවද

ඉස්සරම ඉස්සර වගේ...

කෙසේ වුවත් කවි පොත් වලට වෙළෙද පොළක් නැතැයි ද? කවි කියවන්නට පිරිසක් නැතැයිද කියමින් මැසිවිලි නගන කාල වකවානුවක මෙලෙසින් හෝ නිර් මාණකරුවන් කාව්‍ය සංග්‍රහ එළි දැක්වීම අගය කළ යුත්තකි.

නලින්ට තවත් මේ කේෂත්‍රය තුළ දිගු ගමනක් යන්නට ඉඩ ප්‍රස්ථාව ඇත.

ඔහු මීට වඩා කවිය ගැඹුරින් අධ්‍යයනය කිරීම ඔහුගේ නිර්මාණකරණයට අත්වැලක් වනු ඇත.

ඉසවි

ඔබේ කවි නිර්මාණ පහත ලිපිනයට එවන්න

සිළුමිණ, 

ලේක්හවුස්,

කොළඹ 10.

[email protected]

Comments