කතුන් තිදෙනකුට දිවි අහිමි කළ මාලිගාවත්ත ඛේදවාචකයේ සුලමුල | සිළුමිණ

කතුන් තිදෙනකුට දිවි අහිමි කළ මාලිගාවත්ත ඛේදවාචකයේ සුලමුල

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව, පාස්කු දිනය පමණක් නොව බුදු තෙමඟුලද සැමරීමට මෙරට බෞද්ධ, හින්දු, කතෝලික සියලු බැතිමතුනට නොහැකි විය. ඒ, කොරෝනා මාරයා නිසාවෙනි. එසේම බෞද්ධ, හින්දු, කතෝලික බැතිමතුන් සේම මුස්ලිම් බැතිමතුන්ටද සිය රාමසාන් උත්සවය නිසි ලෙස සැමරීමටද නොහැකි වූයේ කොවිඩ් 19 වසංගතය නිසාය.

එහෙත් පසුගිය 21 වැනිදා පෙරවරුවේ ඉකුත් කාලයේ පාතාල ගැටුම් නිසාවෙන් නිතර කියැවුණු මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් මාර්ගය ගැන හා-හූවක් ගියේය. ඒ ජුම්මා මස්ජිඩ් මාර්ගයෙහි මුස්ලිම් පල්ලිය අසල අංක 248 දරන නිවෙසට මුස්ලිම් වැසියන් බොහෝ දෙනෙක් එක්රොක් වෙමින් සිටින බවයි. මාලිගාවත්තෙහි වතු නිවාස සහ මහල් නිවාස ආශ්‍රිතව වෙසෙන බහුතරයක් අඩු ආදායම්ලාභි පවුල්වල බොහෝ කාන්තාවන් එම ස්ථානයට එසේ රැස් වූවාය. ඇඳිරිනීති සහ නිරෝධායන නීතිරීති අමු අමුවේ උල්ලංඝනය කරමින් පන්සියයකට ආසන්න පිරිසක් එදින දහවල් දොළහ පමණ වෙද්දී එම නිවෙස අසලට රොක් වී පොදිකමින් බලා සිටියේය.

එලෙස පිරිස රැස්කකා බලා සිටියේ මුස්ලිම් අවුරුද්ද හෙවත් රාමසාන් වෙනුවෙන් එකී නිවෙසේ හිමිකරු විසින් එලෙස රැස්වූ මුස්ලිම් වැසියන්ට මුදල් පරිත්‍යාග කරන බවට වූ දැනුම් දීම මතයි. සාමාන්‍යයෙන් ධනවත් මුස්ලිම් වැසියන් අසරණ දුප්පත් මුස්ලිම් වැසියන්ට මුදල් පිරිනමන සිරිතක්ද පවතී. කෙසේ හෝ අදාළ නිවෙස තුළදී මුදල් පරිත්‍යාග සිදු කරන්නට සූදානම්ව සිටියේ දෙහිවල වෙසෙන කෝටිපති ව්‍යාපාරිකයෙක් විසිනි. මොහොමඩ් සරූක් මොහොමඩ් ඉමිතියාස් නම් වන ඔහු මෙරටට මෝටර් රථ අමතර කොටස් මහා පරිමාණයෙන් ගෙන්වන ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙකි. විදෙස් රටවලින් ගෙන්වන ලද මෝටර් රථ අමතර කොටස් රටපුරා බෙදා හැරීම සඳහා එක්රැස්කර තබාගන්නා ස්ථානය ලෙස සරූක් මෙකී නිවෙස පවත්වාගෙන ගොස් තිබේ. ඔහුගේ පවුලේ අයවලුන් විසින් මීට පෙර වසරවලදීද මෙකී ස්ථානයේදී අසරණ මුස්ලිම් වැසියන්ට රාමසාන් උත්සවය සැමරීම සඳහා මුදල් පරිත්‍යාග කර ඇත.

21 වැනිදාද සරූක් ඇතුළු කණ්ඩායම රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් අඩු ආදායම්ලාභීන්ට පරිත්‍යාග කිරීමට නියමිතව තිබිණි. මෙරටට පමණක් නොව ලෝකයටම අත්වී තිබෙන ඛේදනීය තත්ත්වය අනුව බොහෝ ජනයා සිටින්නෙ අගහිඟකමින් පමණක් නොව දැඩි ආතතියකින් සහ පීඩනයකිනි. අදාළ ස්ථානයේ මුදල් පරිත්‍යාගය ගැන කන වැකුණු අවට සැවොම එම ස්ථානයට රැස්ව තිබුණේ පෙරවරු 10 පමණ වෙද්දීයි. අනතුරුව සරූක් ඇතුළු පිරිස එම ස්ථානයට පැමිණ ඇත්තේ දහවල් 11ට පමණ වේ. පසුව ඔවුන් සූදානම් වී ඇත්තේ දහවල් එකට පමණ මුදල් පරිත්‍යාගය ආරම්භ කිරීමටයි. මුලින් සූදානම් වී ඇත්තේ රුපියල් 2500ක මුදලක් පිරිනැමීමටයි. එහෙත් පසුව එම මුදල රුපියල් දහසක් දක්වා අඩු වී ඇත්තේ වෙනදා නොදකින මහා ජනගඟක් එම ස්ථානයට රැස්ව සිටි හෙයිනි.

විශාල ගේට්ටුවේ අඩි දෙක තුනක කුඩා ප්‍රමාණයක් විවෘතකොට එම ඉඩෙන් නිවෙස් භූමියට සෙනඟ ඇතුළු කරගැනීමට සූදානම් වූවා පමණි. ඒ මොහොතේ ගේට්ටුව අසල දැඩි තෙරපීමක් ඇතිවී ඇත. ඊට බොහෝ සේ බලපා ඇත්තෙ මුදල් ලබාගැනීමට නිවෙස් භූමියට ඇතුළු වූ පිරිස පමණක් නොව මුදල් ලබාගත් පිරිසටද එම නිවෙස් භූමියෙන් පිටතට නොයා රඳවා ගැනීම නිසායි. එසේ මුදල් පිරිනැමුණු අයට පිටතට යාමට ඉඩ දී නැත්තෙ නැවතත් ඔවුන් මුදල් ලබාගැනීමට පැමිණෙතැයි මුදල් පරිත්‍යාගශීලින්ට ඒත්තු ගිය බැවිනි.

එම ස්ථානයේ අධික තදබදයට හසුව වැඩිහිටි වයෝවෘද්ධ කාන්තාවන් කිහිප දෙනෙක්ම බිම ඇද වැටෙන ආකාරය රැස්ව සිටියවුන්ද මනා සේ දුටුවාය. එහෙත් ඔවුන් මනුසත් ගති පසෙකලා මුදල් ලබාගැනීමට පොර කෑහ.

ඇතැම් කාන්තාවක් බිම වැටි පැය භාගයක් පමණ වී තිබුණ ද කිසිවකුට ඒ ගැන නිනව්වක් නොවූහ. ඒ අතරේ පස්වරු එක පමණ වෙද්දී එම ස්ථානයට පැමිණියේ මාලිගාවත්ත පොලිස් නිලධාරින් කණ්ඩායමකි. ඔවුන් දුටුවේ ඇඳිරිනීති මෙන්ම නිරෝධායන නීතිරීති ඇස්පනාපිටම උල්ලංඝනය කරමින් පිරිසක් රැස්ව සිටි ආකාරය සහ කාන්තාවන් කිහිප දෙනෙක්ම තැන තැන වැටි සිටින ආකාරයයි. පොලිස් නිලධාරින් වහා ක්‍රියාත්මක වී පිරිස රෝහල්ගත කිරීමට කටයුතු කෙරිණි.

එලෙස රෝහල්ගත කළ කාන්තාවන් 14 දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් අතුරින් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ කාන්තාවන් තිදෙනෙක් රෝහල්ගත කරන විටත් මියගොස් තිබුණේ අවාසනාවන්ත ලෙසිනි. එලෙස මරණයට පත්ව තිබුණේ මාලිගාවත්ත, ලක්සිත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 62 හැවිරිදි උමා අකිලා, එම නිවාස සංකීර්ණයේම විසූ 68 හැවිරිදි මොහොමඩ් ෆරීනා මුසම්මිල් සහ ජුම්මා මස්ජිඩ් පෙදෙසෙහි විසූ 59 හැවිරිදි මොහොමඩ් ෆවුසියා නීසා යන තිදෙනායි.

එම අවාසනාවන්ත සිදුවීම සිදුවූ සැණින් බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, කොළඹ මධ්‍යම කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරින් සැවොම එම ස්ථානයට පැමිණියහ. ඒ මොහොතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා සිටියේ, කොරෝනා වැනි භයානක වසංගත තත්ත්වයක් පැතිරයන මොහොතක... ඇඳිරිනීති රෙගුලාසිවලට පටහැනිව සිදුකළ එම මුදල් බෙදාදීමට එරෙහිව ඔවුන් අත්අඩංගුවට ගැනීමට මාලිගාවත්ත පොලිසියට නියෝග කළ බවයි.

අනතුරුව උසස් පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර උදය කුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණරත්න මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සිදුවීමට අදාළව චෝදනා කිහිපයක් මත හත්දෙනෙකු අත්අඩංගුවට ගැනිණි. එසේ අත්අඩංගුවට පත්වූයේ කෝටිපති ව්‍යාපාරික සරූක් සමඟ ඔහුගේ පුත් මොහොමඩ් ඉමිතියාස් මොහොමඩ් නසීර්, මාකුඹුරේ පදිංචි රාමලිංගම් යෝගේශ්වරම්, දෙහිවල වෙසෙන මොහොමඩ් රිස්වාන්, නුවරඑළියේ පදිංචි මුබාරක් සන්තුස්, ලිඳුල විසූ මරදමුත්තු ස්වාබලම් සහ මට්ටක්කුලියේ පදිංචි ඉමාර් පාරුක් අහමඩ් යන පිරිසයි. ඔවුහු සත්දෙනා කොළඹ අලුත්කඩේ අංක හතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජි ද සිල්වා මහත්මිය විසින් ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝගකොට තිබුණාය. ඊට අමතරව පොලිසිය විසින් ව්‍යාපාරිකයා ඇතුළු පිරිස බෙදා දීම සඳහා රැගෙනවිත් තිබූ රුපියල් දහසේ කොළ පන්සියයක පමණ ප්‍රමාණයක්ද සිය බාරයට ගත් බව අධිකරණය දැනුවත් කෙරිණි.

එම අවාසනාවන්ත සිදුවීම සියැසින් දුටුවෙක් පැවැසූවේ, “රුපියල් 2500ක් දෙනවා කියලා කීවේ... ඇත්තටම සල්ලි බෙදන්න වුණේ නෑ... ගෑනු කට්ටියයි පිරිමි කට්ටියයි දෙපැත්තකින් පෝලිමේ ආවේ... ගේට්ටුව කුඩා ප්‍රමාණයක් ඇරලා තිබුණේ... කට්ටිය වැඩිවුණාම ගේට්ටුව ළඟ පොරකාලා ඇතුළට යන්න දැඟලුවා. ඒ වෙලාවෙ ගෑනු පෝලිමේ ආව කීපදෙනෙක් එතැන වැටුණා. අන්තිමට සමහරු ඒ වැටිච්ච කාන්තාවන්ගේ ඇඟ උඩින් පැනලා සල්ලි ගන්න දිව්වා... කොහොමහරි ඒ වැටිච්ච අය පැය භාගයක් විතර එතැන හිටියා. අන්තිමට පොලිසියෙන් ඇවිල්ලා තමයි අසල තිබුණ වාහනවලින් ඒ අය ඉස්පිරිතාලෙට යැව්වෙ...“ එම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් කාන්තාවන් තිදෙනාගේ මරණවලට හේතුව ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරි රාවුල් හක් මහතා සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව හෙළි වී තිබුණේ අධික තදබදය නිසාවෙන් ශ්වසන මාර්ගය සිරවීම නිසා හුස්ම ගැනීමට අපහසුතාවෙන් සිදුවූ මරණ බවයි.

කෝටිපති ව්‍යාපාරික සරුක් ඇතුළු පිරිස රමසාන් උපවාසය නිසාවෙන් සිය සහෝදර වැසියන් හට මුදල් පරිත්‍යාග කරන්නට ඇත්තෙ සද්භාවයෙන් විය හැකිය. එහෙත් ඇතිවී තිබෙන ව්‍යසනකාරි තත්ත්වය හමුවේ ඔවුහු ක්‍රියා කර තිබුණේ ඉතාම අමනෝඥ ආකාරයකටයි. අඩුම තරමේ ඔවුනට එසේ මුදල් පරිත්‍යාග කිරීම පිළිබඳව පොලිසිය හෝ දැනුවත් කරන්නට තිබුණේය. එම ව්‍යාපාරිකයා දෙහිවල සිට ඇඳිරිනීති පවතින මොහොතක මාලිගාවත්තට පැමිණ ඇත්තේද දෙහිවල පොලිසියට සත්‍ය වසන්කොට ඇඳිරිනීති බලපත්‍රයක් ගෙනයි. ඒ, ව්‍යාපාරික කටයුත්තක් සඳහා මාලිගාවත්තට යන බව සඳහන් කරමිනි. අවසානයේ රමසාන් සමරන්නට ජනතාවට උදව් කරන්නට ගිය සරුක් ඇතුව කණ්ඩායමට බන්ධනාගාරයේ කූරු ගනින්නට වෙද්දී අහිංසක දුප්පත් කාන්තාවන් තිදෙනෙක් නිරපරාදේ මෙලොව හැර ගියේය.

 

ඡායාරූප - නිරෝෂ් බටේපොළ

 

Comments