ඉන්දීය සිපිරිගෙට ගිය පළමු ශ්‍රී ලාංකේය දේශපාලඥවරිය කුසුමා ගුණවර්ධන | Page 2 | සිළුමිණ

ඉන්දීය සිපිරිගෙට ගිය පළමු ශ්‍රී ලාංකේය දේශපාලඥවරිය කුසුමා ගුණවර්ධන

වාමාංෂික දේශපාලනයේ නොමැකෙන නාමයක් වන කුසුමා ගුණවර්ධනගේ 108 වන ජන්ම දිනය නොබෝදා යෙදිණි. නිදහසින් පසු ලංකාවේ කාන්තා ප්‍රගමනය පිළිබඳ ප්‍රබලම නිර්ණායකයක් වන කුසුමා ගුණවර්ධන ගැන ඇයගේ දියණිය ලක්මලී පළ කල “ කුසුමා වාමාංශික දේශපාලන ජීවිතයක්” නම් අපදාන කෘතිය ඈ ගැන ලියැවුණු වටිනා මතක ගොන්නකින් සමන්විතය.

1942 දී ඉන්දියාවේ බොම්බාය නගරයේ ඉන්දියානු සමාජයේ සෑම තරාතිරමක් ම නියෝජනය කරන දහස් ගණන් පිරිමින් සහ සිය ගණන් ගැහැනුන් අතර, ලංකාවෙන් ගිය තරුණ කාන්තාවෝ තිදෙනෙක් ද සිටියහ. මේ මහත්මා ගාන්ධි විසින් පුරෝගාමීත්වය දෙන ලද ‘ඉන්දියාව හැර යනු’ (Quit India) ව්‍යාපාරය ඒ වර්ෂය තුළ දී පවත්වන ලද මහා පෙළපාළිවලින් එකකි. මේ කාන්තාවන් තිදෙනා ඉන්දියානු වාමාංශික කණ්ඩායම්හි රහසිගතව වැඩ කරමින් සිටියෝ ය. ඒ වනවිට ඔවුන් ගේ ස්වාමිපුරුෂයෝ අත්අඩංගුවට පත් වීමෙන් බේරීමට උත්සාහ ගනිමින් සිටිය හ. ඒ ස්වාමිපුරුෂයන් ගෙන් දෙදෙනෙක් ලංකාවේ දී සිරගෙයින් පළා ආ අය වුහ. ඔවුන් අත්අඩංගුවට පත් වන අවස්ථාව වන විටත් අනෙක් තැනැත්තා බේරීමට පළායමින් සිටියේ ය.

මේ සෙනඟ අතර සිටි ලාංකික කාන්තාවන් නම්, පිලිප් ගුණවර්ධන ගේ බිරිය වු කුසුමා ගුණවර්ධන, ආචාර්ය එන්. එම්. පෙරේරාගේ බිරිය වු සෙලීනා පෙරේරා සහ ලෙස්ලි ගුණවර්ධන ගේ බිරිය වු විවියන් ගුණවර්ධන යි. ඔවුහු සෙනඟ අතර කැපී නොපෙනෙන ලෙසට වෙස් වළාගෙන සිටියහ. එක් තැනැත්තියක පර්දාව පැළඳි මුස්ලිම් කාන්තාවක ලෙස ද, කෙනෙකු බෙංගාල ජාතික කාන්තාවක සේ සාරිය හැඳ තිලකයක් තබාගෙන ද සිටි අතර, තුන්වැන්නා යුරෝපීය ක්‍රමයට සායක් හැට්ටයක් ඇඳ ගෙලෙහි කුරුසියක් පැළඳගෙන සිටියාය.

හොඳින් වෙස් වළාගෙන සිටිය ද, තියුණු ඇසට මොවුන් සෙනඟ අතරින් වෙන් කරගත හැකි බවට සිතාගත හැක්කේ, බොහෝ කලකට පසු මේ සිදුවීම් මට පැවසු අන්සාර් හර්වානි, මොවුන් ඉන්දියානුවන් විය නොහැකි බවට සැක කළේ යැ යි සඳහන් කළ හෙයිනි.

එස්. පියසේන තවදුරටත් මෙසේ සඳහන් කරයි. මට පළමුවෙන් ම හර්වානි මුණ ගැසුණේ 1940 දී ඉන්දියානු ජාතික කොන්ග්‍රසයේ රාම්ඝත් සැසිවාරයේ දී ය. මම එකල ශිෂ්‍යයෙක්මි. ඔහු නැඟි එන ශිෂ්‍ය නායකයෙක් විය. ඒ කාලයේ දී ඔහු සුභාෂ් චන්ද්‍රබෝශ් ගේ අනුගාමිකයෙක් විය. පසු ව බොල්ෂෙවික් ලෙනින් පක්ෂයට බැඳි, අන්තිමේ දී කොන්ග්‍රස් පක්ෂයේ නියෝජිතයකු වශයෙන් 1965 දී පාර්ලිමේන්තුවට ඇතුළු විය. ඉහත සඳහන් කළ සිද්ධිය, තම ක්‍රියාකාරී ජිවිතයේ අමතක නොවන සිදුවීමක් සේ ඔහු පැවසීය. තමා හා සමීප සම්බන්ධතා පැවැත්වූ වෙනත් ලාංකික වාමාංශිකයන් පිළිබඳ ව ද නොයෙක් විනෝදජනක සිදුවීම් රැසක් ඔහුට කීමට තිබිණි.

‘ඉන්දියාව හැර යනු’ ව්‍යාපාරයට පස් අවුරුද්දකට පසු 1947 දී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුවට මහ මැතිවරණයක් පැවැත්විණි. මැතිවරණ ආසන අනුග්‍රහයෙන් පහළොවකට ලංකා සමසමාජ පක්ෂයේ හා බොල්ෂෙවික් ලෙනින් පක්ෂයේ, නියෝජිතයෝ තේරී පත්වූහ. මෙය බ්‍රිතාන්‍ය පාලකයන්ගේ හා පත්ව ආ දක්ෂිණාංශයට බර ලංකා ආණ්ඩුවේ මවිතයට හේතු වු කරුණක් විය.විශාල වැඩි ඡන්ද ප්‍රමාණයක් සහිත ව පිලිප් ගුණවර්ධන අවිස්සාවේල්ලෙන් තේරී පත් විය.

මැතිවරණයෙන් මාස තුනකට පසු, ලංකා සමසමාජ පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සවුත් වෙස්ටර්න් බස් කොම්පැණියේ වැඩ වර්ජනයක් දියත් කිරීමට පෙලඹවීම පිළිබඳ චෝදනා ඔහුට එල්ල විය. මතභේදයට ලක් වු නඩු විභාගයකින් පසු ව පිලිප් වරදකරු වී හිර දඬුවමකට යටත් විය. මෙයින් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමටත්, එහි ඡන්දය පාවිච්චි කිරීමටත්, ඔහු නුසුදුස්සකු බවට පත්විය. නුසුදුස්සකු වීම වැළැක්වීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වහා ම පාර්ලිමේන්තුවට ගෙන ආව ද ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් වැළකී සිටියේ ය.

හිස් වු අවිස්සාවේල්ල ආසනයට අතුරු මැතිවරණයක් පැවැත්වෙන බව ප්‍රකාශ වු කල්හි ලංකා සමසමාජ පක්ෂයේ තේරීම කුසුමා ගුණවර්ධන බවට සැකයක් නො වී ය.

ඇයගේ සැමියාට විඳීමට සිදු වූ අයුතු දඬුවම් පිළිබඳ නැඟි ආ මහජන මතය කොතරම් බලවත් වූවා ද යත් ඇය නිතරගයෙන් ම අවිස්සාවේල්ල ආසනයට පත් වූවාය.

මෙතැන් සිට කුසුමා ජනතාව වෙනුවෙන් ව්‍යවස්ථාදායකය තුළ නැඟෙන මහා හඬ වූවා ය. තීරණාත්මක වු සියලු අතුරු මැතිවරණවල, විශේෂයෙන් ම වැඩි අවධානයට ලක් වූ 1948 හා 1949 දී මහනුවර ආසනය සඳහා වූ අතුරු මැතිවරණයන්හි දී ද ඡන්ද ප්‍රචාරක කටයුතුවලට ක්‍රියාකාරී ලෙස සහභාගී වූවා ය. 1952 මහ මැතිවරණයේ දී ඇය අවිස්සාවේල්ලෙන් නැවත තේරී පත් වූවා ය.

1948 නිදහසෙන් පසු පාර්ලිමේන්තුව තුළ, සිංහලෙන් හා දෙමළෙන් කතා කිරීමට අවකාශ ලැබුණ අතර ඒ කතා විනාඩි පහළොවකට සීමා කෙරිණ (ප්‍රමාණවත් තරම් ලඝු ලේඛකයන් බඳවාගන්නා තෙක්). එකල සභානායක එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනා ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවෙන් ම සිංහලෙන් කතා කළේ ය; කුසුමා ඔහු අනුගමනය කළා ය.

1956 මහ මැතිවරණයේ දී තමා ගේ නුසුදුසු කාලය අවසන් කර සිටි පිලිප් ගුණවර්ධන නැවැත, අවිස්සාවේල්ල ආසනයට තරග කිරීමට ඉදිරිපත් විය. කුසුමා ඊට ආසන්න කිරිඇල්ල නියෝජනය කිරීමට ඉදිරිපත් වූවා ය. මෙය 1947 දී ප්‍රථම කාන්තා පාර්ලිමේන්තු නියෝජිතවරිය තෝරා පත් කරගැනුණු ආසනය විය. 1960 සිට 1965 දක්වා කිරිඇල්ල, දෙහිඕවිට හා කොලොන්නාව ආසන වලට තරග වැදුණු ඇය පිලිප් ගුණවර්ධන මැතිතුමා 1965 දි කර්මාන්ත හා ධීවර අමාත්‍යවරයා ලෙස පත්වීමත් සමග එතුමාගේ කටයුතු වලට පූර්ණ සහය දෙමින් කාලය ගත කළේ ය.1960 දක්වා කුසුමා ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කළා ය.

මේ කුසුමා ගුණවර්ධන පිළිබඳ ඇති ළැබැඳි මතක සිතිවිලි කිහිපයකි. තම සැමියන් හෝ පියවරුන් හෝ මියගිය නිසා බලයට පත් වූ කාන්තා අගමැතිනියන් සහ ජනාධිපතිනියන් බිහි කිරීම ගැන ප්‍රසිද්ධ රටක හා කලාපයක කුසුමා තම ජීවන සහකරු සමඟ මුල සිට ම අත්වැල් බැඳගෙන ජනතා ව්‍යාපාර මෙහෙයවු ප්‍රබල පුරෝගාමි කාන්තාවක් වූවා ය.පිලිප් ගුණවර්ධන, කුසුමා ගුණවර්ධන ගෙන ගිය ජනහිතකාමී ව්‍යාපාරයේ නූතන නියමුවා ඇයගේ පුත්, අද විදේශ සබඳතා සහ කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන්ය. තම පුත් දිනේෂ් ගුණවර්ධනයන් මහජන එක්සත් පෙරමුණ නායකත්වය දෙමින් මහරගම මන්ත්‍රීවරයා ලෙස 1983 දි පාර්ලිමේන්තුවට පත් විමේ සතුට එතුමිය අත්වින්දේ ය.තම ජීවිත කාලය පුරාම විවිධ අභියෝග හමුවේ නො සැලෙමින් උපන් බිමට සේවය කළ එතුමිය 1984 මැයි මස 01 වන දි දැයෙන් සමු ගත්තේය.

කුසුමා ගුණවර්ධන ගේ ජීවිතය ලේඛනගත කිරීමට ඇය ‍ගේ දියණිය තීරණය කිරීම එක් යුගයක සමාජ දේශපාලන කතාව සේම එදා දේශපාලනයට බලපෑ ප්‍රබල කාන්තාවකගේ ජීවන අන්දරය සංගෘහිත කරන්නක් ද වනු නිසැකය.

සුගීස්වර පී. සේනාධීර

Comments