අටදෙනෙක් අතේ නැටවෙන සහල් මාෆියාවට තිත | Page 2 | සිළුමිණ

අටදෙනෙක් අතේ නැටවෙන සහල් මාෆියාවට තිත

මීට කලින් කිසිම දවසක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ හාල් මෝල් අස්සට එක අඩියක් තියලා නැහැ

-මොරගහ කන්ද ව්‍යාපාර
ගොවි සංවිධානයේ සභාපති ගාමිණි ජයලත්

අපිට ලොකු පොඩි බේදයක් නැහැ; වැරුද්දක් කරනවා නම් අපි එක සමානව ක්‍රියාත්මක වෙනවා
- පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සාලිය සරත් කුමාර

හාල් මාෆියාව කාලයක් තිස්සේ ජනතාව පීඩාවට පත්කළ ප්‍රශ්න අතර මුල් පෙළට ගැනෙන්නකි. කෙතරම් කතා කළත් හරි උත්තරයක් නොලැබුණු මේ ප්‍රශ්නය දැන් මඟහැරිය නොහැකි තැනටම පත්වී ඇත. මෙරට ක්‍රියාත්මක සහල් මාෆියාවේ පිට කොන්ද කැඩීමේ අරමුණින් පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය දිනක මහ පරිමාණ හාල් මෝල් වෙත කඩා පැනීම හා එම මොල් අධීක්ෂණයට ලක් කිරීම වත්මන් රජය ජනතාව වෙනුවෙන් ගත් නිර්භීතම තීන්දුවක් බව ජනතාවගේ අදහස වන්නේ ඒ නිසාය.

මේ වන විට මෙරට මහා පරිමාණ සහල් මෝල් හිමියන් අට දෙනකු විසින් රටේම ජනතාව අල්ලේ නැටවීමට තරම් බලගතු වීම සුළුපටු කාරණයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙරට මහා පරිමාණ සහල් මෝල් හිමියන් වැඩි දෙනකු අනුකම්පා විරහිත ලෙස සහල් මිල පාලනය තමන් නතු කර ගනිමින් මෙරට ජනතාවගේ බත් පතට වැලි දැමීම නතර කිරීමට මෙතෙක් කිසිදු රජයකට හැකියාවක් නොලැබුණු බව රහසක් නොවේ. පසුගිය කාලයේ පොලොන්නරුව කේන්ද්‍ර කර ගනිමින් මහා පරිමාණ සහල් මෝල් හිමියන් කිහිප දෙනකු විසින් ඇති කළ සහල් මාෆියාව අද වන විට මුළු රටටම වින කරන හා රටම කලඹන කාරණයක් බවට පත්වී තිබේ.

රට තුළ හදිසියේ පැන නැගුණු සහල් හිඟය හේතුවෙන් පාරිභෝගික සේවා අධිකාරිය හිටිහැටියේ, මහ පරිමාණ සහල් මෝල් වෙත කඩා වැදීම හා ඒවා නිරීක්ෂණය කිරීම ගැන සාමාන්‍ය ජනතාවට සිතා ගත නොහැකි තරම් ක්‍රියාවක් විය. අප රටට මේ වැනි දේ සුලබ අත්දැකීම්ද නොවීම ඊට හේතුවයි. සිය දේශපාලන බල පුළුවන්කාරකම්, මුදල් හා මැර බලය යොදා ගනිමින් මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් පිටස්තර ලෝකයෙන් බැහැරව පොලොන්නරුව කේන්ද්‍ර කර ගනිමින් ගෙන ගිය මනෝරාජික ලෝකය තම දෑස් ඉදිරිපිට කඩා වැට්ටවීමට හැකිවීම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු හා දූරදර්ෂි පත් කිරීම් හි ප්‍රතිඵලයක් බව ජනතාවගේ අදහසයි. මේ පිළිබඳ අදහස් දක්වමින් මොරගහ කන්ද ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ගාමිණි ජයලත් පැවසුවේ මෙවැන්නකි.

“ඔය කියන මහා පරිමාණ සහල් මෝල් හිමියෝ එයාලගේ සහල් මෝලකට පිටස්තර කිසිදු පුද්ගලයකුට ඇතුළු වෙන්න ඉඩ දුන්නේ නැහැ. අඩුම තරමින් සහල් මිළදී ගන්න එන ලොරියක රියදුරෙක්වත් ඇතුළට ගත්තේ නැහැ. රියදුරා එළියේ තියලා සහල් මෝලේ රියදුරෙක් තමා වාහනේ ඇතුළට ගෙනියන්නේ. මේවට කවදාවත් නිලධාරියෙක් ඇතුළු වෙන්නවත් හිතුවේ නැහැ. අපි ඇත්තටම අවංකව සතුටු වෙනවා මේ මාෆියාවට අභියෝග කරන්න ජනාධිපතිතුමාට හැකිවීම පිළිබඳව. මොකද ඉතිහාසයේ කිසිම දවසක පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මේ හාල් මෝල් අස්සට එක අඩියක් තියලා නැහැ. හැබැයි,මෙතන තියෙන ඊළඟ ප්‍රශ්නය තමයි,මෙහෙම එක පාරටම හාල් මෝල් වලට පැන්නා කියලා මේ ප්‍රශ්නය විසදෙයිද කියන එක.

ගොවිතැන් කරන්න වතුර ටික දෙන්නේ, පොහොර ටික දෙන්නේ, අඩු පොලියට වගා ණය දෙන්නේ රජය නම් ඇයි රජයට බැරි මේ රටේ නිෂ්පාදනය කරන වී ටික එක වර මිලදී ගන්න. රජයට වී කොටන්න මෝල් නැති වුණාට වී ටික ගබඩා කරන්න ඕන තරම් රජයේ ගබඩා තියෙනවා. රජය මේ වී ටික මිලදී අරගෙන රජයේ වී සංචිතයක් හදලා ඒ සංචිතය හරහා පුද්ගලික සහල් මෝල් හිමියන්ට සම්මත මිලකට වී ටික විකුණන්න පුළුවන්. “

2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ ස්ථාපිත කළ මෙම ආයතනයේ මූලික වගකීම පාරිභෝගිකයා ආරක්ෂා කිරීමයි. මෙම අධිකාරිය සපයන සේවා අතර පාරිභෝගික පැමිණිලි විමර්ශනය,වෙළද විෂමාචාර පාලනය මෙන්ම මිල කළමනාකරණය ද වේ. වෙනත් විෂයන්හිලා අදාළ අධිකාරිය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වුවද, මෙරට මහ පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සහල් මාෆියාව නියාමනය සම්බන්ධයෙන් දැක්වූයේ ඇල්මැරුණු ප්‍රතිපත්තියකි.

මෙරට ගොවි ජනතාව දහඩිය මහන්සියෙන් නිෂ්පාදනය කරන සහල් කුණු කොල්ලෙට ගෙන එය අවස්ථානුකූලව සඟවා රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බතට වින කරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරියේ නීතිරීති වලට අනුකූලව කටයුතු කිරීම මෙම මෙහෙයුමේ අරමුණ වු බව පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සාලිය සරත් කුමාර කියා සිටී.

“මෙය මාධ්‍ය සන්දර්ශනයක් ලෙස යම් අයකු හුවා දැක්වීමට උත්සාහ කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. මේක අප ආයතනයේ වගකීමක්. මීට පෙර අධිකාරිය විසින් මෙවැනි මෙහෙයුමක් නොකරපු බවත් ඇත්ත වෙන්න පුළුවන්. මේ මෙහෙයුම පාරිභෝගික කටයුතු අධිකාරියේ වත්මන් සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි ක්‍රියාත්මක කළේ. එතනදි අපි පොලොන්නරුවේ පිහිටි මහා පරිමාණ සහල් මෝල් අටක විශේෂ විමර්ශනයක් සිදු කෙරුවා. ඒකේ සැබෑ අරමුණ රටේ විටින් විට මතුවෙන සහල් මාෆියාවෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමයි.

යම් කිසිවෙක් මේක දේශපාලන අරමුණකින් කලා කියලා ඒත්තු ගන්වන්න උත්සහ කරන එක වැරදියි. මොකද මේ හාල් මෝල් කරුවෝ වැඩි දෙනෙක් අපි දන්න හැටියට දේශපාලන බලකණු...එහෙම ගත්තොත් මේක සිදු නොවෙන්න තිබුණා. ඒ වගේම ආණ්ඩු පක්ෂයට වගේම විපක්ෂයට හිතවත් මෝල් හිමියොත් මේ අතර සිටිනවා. මේ හාල් මෝල් සම්බන්ධයෙන් අපි එදා සිදු කළේ මූලික විමර්ශනයක් පමණයි. ඇත්තටම සමහරක් හාල් මෝල් ගත්තොත් ඒ වල සැබෑ තොරතුරු අනාවරණය කර ගැනීමට දවස් දෙක තුනක් ගත වෙනවා.මේ විමර්ශනයේ මූලිකම අරමුණ වුණේ,මේ අය රජයේ පාලන මිල ඉක්මවලා වෙනත් ක්‍රමවේද තුළින් සහල් මිල තීරණය කරන්න විවිධ වියදම් මේවට ඇතුළත් කරනවා. උදාහරණයක් විදිහට කියනවා සහල් කිලෝ එකක් එක් ස්ථානයකදී රුපියල් 89 ට බිල් කරලා ඊට පස්සේ වෙනත් ස්ථානයකදී අමතර ගාස්තු විධිහට ප්‍රවාහණ ගාස්තු, හිග මුදල්, අර වියදම් මේ වියදම් කියලා සහල් කිලෝවක් රුපියල් 95ට 96ට වගේ තමා මිල කරලා තිබුණේ. සමහරක් තැන්වල බිල් නොකඩා කට වචනෙට මේක කරනවා. ස්ථාන දෙක තුනක විවිධ ආකාරයෙන් බිල වෙනස් වෙනවා. තවත් තැනක එකම හාල් ලොරියට බිල් දෙකක් කඩනවා. මේ මෙහෙයුම හරහා අපි ඔවුන්ට අවධාරණය කළේ,මේ සම්බන්ධයෙන් අපි දැනුවත්; නැවත ඒ අන්දමින් විවිධ වියදම් ලෙස අමතර ගාස්තු පෙන්නලා සහල් මිල තීරණය නොකළ යුතුයි කියන කාරණයයි.

ඒ වගේම ඔවුන් විවිධ කොන්දේසි පනවලා මෙම කටයුත්ත සිද්ධ කරනවා. නාඩු මෙච්චරක් ගත්තොත් කීරි සම්බා මෙච්චරක් ගත යුතුයි. කීරි සම්බා වැඩිපුර ගන්නවා නම් නාඩු මේ මිලට ලබා දිය හැකියි වගේ කාරණා. අපි මෙතනදී ආයතන බලධාරින්ව දැනුවත් කළා එහෙම කොන්දේසි පැනවිය නොහැකියි; නැවත එවැනි දේ නොකළ යුතුයි කියලත්. ඒ වගේම රටේ මතයක් ගොඩ නැගිලා තිබුණා ලොකු ව්‍යාපාරිකයන්ට එක නීතියක්; පොඩි අයට තව නීතියක් ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපිට ලොකු පොඩි බේදයක් නැහැ; වැරුද්දක් කරනවා නම් ආයතනයක් විදියට අපි එක සමාන ලෙස ක්‍රියාත්මක වෙන බව අප මේ මෙහෙයුම මගින් රටට පණිවිඩයක් ලබා දුන්නා.“

පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා එසේ කියා සිටියද,මෙම මෙහෙයුමේදී ඇතැම් සහල් මෝල් හිමියන් එම කොන්දේසි වලට අවනත නොවන බවක් මාධ්‍ය මගින් දක්නට ලැබුණි. ඇතැම් සහල් මෝල් හිමියන් රජයට අභියෝග කරන බවක්ද පෙනුණි.ඇතැම් අභියෝග රජයට බැහැර කළ නොහැකි තරම් තියුණුය; ප්‍රබලය. තම අභිමත මිලට මිස රජය කියන මිලට සහල් ලබාදිය නොහැකි බවටත් ඇතමුන් තර්ජනය කරන බවක්ද පෙනුණි. එක්තරා මහ පරිමාණ සහල් මෝල් හිමියෙක් මාධ්‍ය ඉදිරියේ කියා සිටියේ රජය නියම කරන මිලට සහල් ලබා දීම කිසිසේත් සිදුකළ නොහැකි බවත් එසේ කිරීමට රජය බල කරන්නේ නම් සහල් මෝල වසා දැමීමට තමන් සූදානම් බවත්ය.

“ඔවුන් මාධ්‍ය ඉදිරියේ මොන ප්‍රකාශ සිදුකළත් අපි ඔවුන්ට ඕනෑ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් අපේ නියමයන් පිළිගන්නෙ නැත්නම් අපි ඊළඟ පියවර ගැනීමට සූදානම්..“ පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සාලිය සරත් කුමාර මහතා අවධාරණය කරයි.

තමා නියෝජනය කෙරෙන දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම සහල් මාෆියාවට එරෙහිව හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා දියත් කළ හුදෙකලා සටන විවාදාත්මකය. අප මේ සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු. මේ ඒ සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දැක්වූ අදහසයි.“රටට බත සපයන පොලොන්නරුව දිස්ත්‍රික්කය ලංකාවේ දරිද්‍රතාවෙන් ඉතාමත් පහළ අඩියක තියෙන්නේ. අධ්‍යාපන මට්ටමින් ගත්තොත් පොලොන්නරුව දිස්ත්‍රික්කය දිස්ත්‍රික්ක 25 අතරින් 23 ස්ථානයේ පසුවන්නේ. ඒකට හේතුව ළමයිට සලකන්න දෙමව්පියන්ට සල්ලි නැහැ. මිනිස්සුන්ට සල්ලි නැති වෙලා තියෙන්නේ බහුතරයක්වු ගොවියෝ වී මාෆියාවේ ගොදුරක් බවට පත්වෙලා නිසයි. අද රජය වී මිලදී ගැනීමට කලින් මේ මහා පරිමාණ වී මෝල් හිමියෝ කමතට ගිහින් අඩු මිලට අත්පිට මුදලට ගොවියාගේ වී ටික මිලදී ගන්නවා. රජය මිලදී ගන්නේ මුළු නිෂ්පාදනයෙන් 4% යි. ඉතින් මේ හරහා මහ පරිමාණ වී මෝල් හිමියන්ට හැකියාව ලැබිලා තිබෙනවා බලයට පත්වෙන ඕනෑම ආණ්ඩුවක් සහල් මාෆියාව හරහා අල්ලේ නටවන්න. හැබැයි වී මෝල් හිමියන්ට ඕනෑ විදියට රජය නටවන්න වත්මන් රජය ඉඩ දෙන්න නැහැ කියන එක විශ්වාසයි“

හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කියන අන්දමට ගොවියා වී ටික සාධාරණ මිළකට විකුණා ගත නොහැකිව වී ටිකට ගිනි තබා වස පානය කර මිය ගිය යුගය අවසන් කළේ 2005 වසරේ බලයට පත්වු මහින්ද රාජපක්ෂ මහතාගේ රජයයි. ගොවියාගේ වී අස්වැන්නට සහතික මිලක් නියම කර ගොවියා කෘෂිකර්මාන්තයට නැවත යොමු කිරීමට කටයුතු කළේ ද මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විසිනි. එදා මෙදා තුර කිසිදු ගොවියකු වී අස්වැන්ට ගිනි තබා නැත. වස පානය කර නැත. එහෙත් මහ පරිමාණ වී මෝල් හිමියන්ගේ ඒකාධිකාරය හා බලපුළුවන්කාරකම හරහා මේ වන විට රට තුළ සහල් මාෆියාවක් නිර්මාණය කර ඒ තුළින් පාරිභෝගියා සූරාකෑමට දරන උත්සහයට ජනතා හිතවාදි ආණ්ඩුවක් ලෙස තම රජය කිසිසේත් ඉඩ ලබාදිය නොහැකි බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.

“පසු ගිය යහපාලන රජය මේ වී මාෆියාකාරයන්ට මේ මාෆියාව බාධාවකින් තොරව කර ගෙන යන්න වී අලෙවි මණ්ඩලය අකර්මණ්‍ය කළා. වී අලෙවි මණ්ඩලය මිලදී ගත්තු අති විශාල වී අස්වැන්න මත්තල ගුවන් තොටුපලේ ගබඩා කරලා පසුව ඒවා සත්ව ආහාර හැටියට මේ වී මෝල් හිමියන්ට හොර පාරෙන් නිකුත් කෙරුවා. වී අලෙවි මණ්ඩලය රුපියල් 35 සහතික මිලට මිලදී ගත්තු වී රුපියල් 24 ට සත්ව ආහාර හැටියට මේ මහ පරිමාණ වී මෝල් හිමියන්ට නිකුත් කරනවා. මේ වී සත්ව ආහාර හැටියට කිසිම ගොවිපලකට ගියේ නැහැ. මේ සත්ව ආහාර හැටියට නම් කරපු වී ටීක මෙයාලා ඊට පස්සේ කොටලා සහල් කිලෝව රුපියල් හැත්තෑවට අසූවට නියම කරලා අති විශාල ලාබයක් ගත්තා. මේකෙන් 2016 වසරේ වී අලෙවි මණ්ඩලය විශාල පාඩුවක් ලබලා ඒක නැවත වරක් අකර්මණ්‍ය වුණා. මට දේශපාලන වශයෙන් පොලොන්නරුවේ කිසිවෙක් හෝ සමග තරගයක් හෝ සීතල යුද්ධයක් නැහැ. මගේ එකම අරමුණ මේ මාෆියාවෙන් ජනතාව බේරා ගැනීම විතරයි..“

රට පුරා කෘත්‍රිම සහල් හිඟයක් මවා පෑමට මෙම වී මෝල් හිමියන් යොදා ගන්නා තවත් එක් උපක්‍රමයක් වන්නේ,වී තොග සහල් බවට පත් කිරීමට දිගු කාලයක් වැය කිරීමයි. පාලනයෙන් තොර සහල් මිලෙහි වග උත්තර කරු මෝල් හිමියා මිස සිල්ලර වෙළෙන්දා නොවේ. එහෙත් බොහෝ විට සහල් මිල සම්බන්ධයෙන් ප්‍රහාරයට ලක්වන්නේ සිල්ලර වෙළෙන්දා හෝ රජයයි.

මහ පරිමාණ මෝල් හිමියන් සියලු ගිනි අවුලවා කරබාගෙන සිටිති.කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දැවැන්තම සහල් මෝල් හිමියා වන ඩඩ්ලි සිරිස මාධ්‍යට පුන පුනා කියා සිටින්නේ රජය ප්‍රකාශ කරන මිලට සහල් නිකුත් කළ නොහැකි බවත් රජය කියන අන්දමින් වී හෝ සහල් සංචිත තමා සන්තකයේ හෝ අනෙකුත් මෝල් හිමියන් සතුව නොමැති බවත්ය. පසුගියදා කඩවත ප්‍රදේශයේදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඩඩ්ලි සිරිසේන අවධාරණය කර සිටියේ මේ අන්දමින් තම ව්‍යාපාරයට කෙනහිලිකම් කරන්නේ නම් මෙම ව්‍යාපාරය රජයට පවරා ගන්නා ලෙසයි.

“දැන් රජයේ සංඛ්‍යා ලේඛන වලට අනුව ඊට තුළ වී මෙට්‍ර්ක් ටොන් ලක්ෂ 32 ක් තියෙන්න ඕනේ. මේ සංඛ්‍යා ලේඛන කවුරු හැදුවත් මේක පට්ටපල් බොරුවක්. ජනාධිපතිතුමා නොමග යවන්න හදපු වාර්තාවක්. මගේ ගබඩා තුළ දැනට තියෙන්නේ වී මෙට්‍ර්ක් ටොන් අසූපන්දහසක් විතරයි. අනෙක් මෝල් හිමියන්ගේ ඒවත් එකතු කළොත් රටේම තියෙන්නේ වී මෙට්‍රික් ටොන් හය ලක්ෂ පනස් දාහයි.

මේ බොරු වාර්තා වලින් ජනාධිපතිතුමා නොමග හැරලා යම් යම් දේශපාලන ඉලක්ක සපුරා ගැනීමට උත්සාහ කරන අයට මම අභියෝග කරනවා පුළුවන්නම් ඔය කියන වී මෙට්‍ර්ක් ටොන් ලක්ෂ 16 රටට පෙන්නන්න කියලා. මම මේ කියන කාරණා සාවද්‍ය නම් , ඕනෑම අවස්ථාවක මගේ මේ ව්‍යාපාරය රජයට පවරා දෙන්න ලැහැස්තියි..“

මහ පරිමාණ වී මෝල් හිමියන් කෘත්‍රිම සහල් හිගයක් රට තුල නිර්මාණය කිරීම හා ඒ තුලින් මිළ ගණන් ඉහළ දැමීම ඇති කොට පාලන මිල ඉක්මවා අලෙවි කිරීම පාලනය කිරීමට හැකියාව ඇත්තේ පාරිභෝගික කටයුතු අධිකාරියේ ක්‍රියාකාරිත්වය මතයි. සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පාරිභෝගික කටයුතු අධිකාරියේ වත්මන් ක්‍රියා කලාපය දකින්නේ සුබවාදි ඇසකිනි.“මේක ඉතාමත් හොද වැඩක්. ඉතිහාසයේ කිසිදු දිනක පාරිභෝගික කටයුතු අධිකාරිය පොඩි පොඩි වෙළෙන්දෝ පස්සේ ගියා මිසක මේ වගේ තෝරු මෝරු ගාවට ගියේ නැහැ. මේ රටේ ජනතාව තුන්වේලටම කන්නේ බත්. වී කියන්නේ ජාතික දේපලක් මිස පුද්ගලික දේපලක් නොවෙයි. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේක දිගටම ක්‍රියාත්මක කරලා රජයේ අවංකකම රටට පෙන්නන්න කියලා...”

Comments