කොවිඩ් සමඟ දිවි ගෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස් | සිළුමිණ

කොවිඩ් සමඟ දිවි ගෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

කොව්ඩ් රෝගය සමග අකමැත්තෙන් හෝ ජීවත් වීමට මිනිස් වර්ගයාට සිදුවී තිබේ. මේ වන විට එන්නත් කිහිපයක්ම සාර්ථක හෝ ඊට ආසන්න බවට වාර්තා ලැබෙමින් පැවතියද රෝගය සම්පූර්ණයෙන් තුරන් කිරීමට තවත් වසර ගණනාවක් ගතවන බව නිසැකය. ඒ දක්වා රටවල් වසා දැමීම කිසිසේත් ප්‍රායෝගික නොවන බැවින් වයිරසය පවතින සමාජයක් තුළ ආරක්ෂිතව ජිවත් වීමට හුරු වීමට මිනිසාට සිදුවී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය තම වෙබ් අඩවියේ විශේෂ ඉඩක් මේ සඳහා වෙන් කර ඇත්තේ වයිරසය සමග දිවි ගෙවන්නේ කෙසේද යන්න සම්බන්ධව ලෝකය දැනුම්වත් කිරීම වෙනුවෙන්මය. වයිරසය පැතිර යෑමට පෙර ලෝකය සහ ඉදිරි අනාගත ලෝකය බෙහෙවින් වෙනස්කම් සහිත වනු ඇති බවට පැවසූ අනාවැකි සනාථ කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවට ලබා දෙන උපදෙස් පිළිපැදීම සැමගේ සෞඛ්‍යට හිතකර වනු ඇත. වයිසරයේ පැතිර යෑම ආරම්භ වූ දින සිට ජනතාවට දැනුම් දුන් අන්දමට නිරතුරුව දෑත් සේදීම වයිරසයෙන් ආරක්ෂා වීමේ ප්‍රධාන පියවර වේ. එහෙත් අමතරව තවත් කරුණු රාශියකට එදිනෙදා ජීවිතයේදී වැදගත් තැනක් ලබා දෙමින්, අවධානය යොමු කරමින් කටයුතු කිරීමට ජනතාවට සිදු වනු ඇත. එවැනි කරුණු කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

1. ඔබේ දෑත ගැන වැඩිම අවධානය

වයිරසය ඔබ වෙත ගෙන එන ප්‍රධාන මාධ්‍යය ඔබේ දෑත වනු ඇත. එබැවින් වයිරසය සමග ජීවත් වීමේදී ඔබ වෙනදාට වඩා ඔබේ දෑත සම්බන්ධව කල්පනාකාරී විය යුතුය. ඔබ නිතර ඔබේ දෑත් සේදිය යුතු වන අතර ඒ සඳහා සබන් හෝ ඇල්කොහොල් මිශ්‍ර දෑත් සෝදන දියර භාවිත කළ යුතුය. සේදීම සඳහා ගලා යන ජලය භාවිත කළ යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසන්නේ දෑතේ කුණු තැවරී ඇති බව දිස් වේ නම් ජලයෙන් සේදිය යුතු බවත් නැතහොත් නිරතුරුව ඇල්කොහොල් මිශ්‍ර පිරිසිදු කිරීමේ දියර දෑතේ තවරා පිරිසිඳු කර ගත යුතු බවත්ය. අතට අත දීමේ ආචාර ක්‍රම නවත්වාදැමිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවට කල් තබාම උපදෙස් ලබා දුන් අතර කොවිඩ් සඳහා එන්නතක් සොයා ගන්නා තෙක් බටහිර රටවල ජනතාවට පෙරදිග ආචාර ක්‍රම අනුගමනය කිරීමට සිදුවනු ඇත. දෑත්වල වයිරසය තැවරීම වැළැක්වීමට අත්වැසුම් භාවිත කිරීම මේ වන විට ජනප්‍රිය වී තිබේ. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ අත්වැසුම් දමා සිටිමින් තම මුහුණ අතපත ගාන්නේ නම් අත්වැසුම් දැමීමෙන් පළක් නොවන බවය. එබැවින් අත්වැසුම් දැමීමට වඩා තම දෑත නිරතුරුව පිරිසිදුව තබා ගැනීමට අවධානය යොමු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවට පවසා සිටින්නේය.

 

2. කඩේ යනවා නම් මෙහෙම යන්න

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පශ්චාත් කොවිඩ් ලෝකයේදී ෂොපිං කිරීම යනු ඉතා පරීක්ෂාකාරීව කළ යුතු දෙයකි. ඔබ සුපිරි වෙළෙඳ සැලකට යන්නේ නම් හැකිතාක් එහි සිටින අනෙකුත් පාරිභෝගිකයන්ගෙන් ඈත්ව අවශ්‍ය කළමනා ලබා ගැනීමට කටයුතු කරන ලෙස එම සංවිධානය ජනතාවට දැනුම් දේ. එමෙන්ම ඔබ තෝරා ගන්නා භාණ්ඩ දැමීමට යොදා ගන්නා කුඩා කරත්තයේ අල්ලුව භාවිතයට පෙර පිරිසිඳු කිරීමේ දියර යොදා පිරිසිදු කර ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයයි. එහෙත් එහි ප්‍රායෝගිකත්වය රටින් රටට වෙනස් වනු ඇති බව නිසැකය. නිවසට භාණ්ඩ රැගෙන ඒමෙන් පසුව සහ එම භාණ්ඩ ඇසිරීමෙන් පසුව හොඳින් දෑත් පිරිසිඳු කර ගත යුතුය. ලෝක ‍සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ආහාර සහ ඒවායේ ඇසුරුම්වලින් වයිරසය පැතිරෙන බවට මේ දක්වා සාක්ෂි ලැබී නැති බවය.

 

3. එළවළු, පලතුරු මෙහෙම සෝදන්න

ආහාරයට ගැනීමට පෙර එළවළු සහ පලතුරු හොඳින් සේදීම අනාදිමත් කාලයක සිට මිනිස් වර්ගයාගේ පුරුද්දකි. වයිරසය පැතිරීමත් සමඟ ආහාරවල ආරක්ෂිත බව සම්බන්ධව සැක මතු වන්නට විය. එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටින්නේ ආහාරයට ගැනීමට පෙර එළවළු සහ පලතුරු වඩා හොඳින් පිරිසිදු කර ගත යුතු බවයි. විශේෂයෙන්ම ඔබ පිසීමෙන් තොරව අනුභව කරන ආහාර ඉතා හොඳින් පිරිසිදු කර ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.

 

4. ඇඳුම් පිරිසිදු කරගන්නේ කොහොමද

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ තමන් සමීපයේ කොවිඩ් ආසාදිතයන් සිටියද සාමාන්‍ය පරිදි තම ඇඳුම් සහ ඇඳ ඇතිරිලි සේදීම ප්‍රමාණවත් වන බවයි. ඒ සඳහා උණු වතුර හෝ විශේෂ සේදුම්කාරක යෙදීමක් අවශ්‍ය නොවන බව ඔවුන් පැහැදිලිවම පවසා සිටී. එහෙත් ඔබ නිවසේ රෝගියකු සිටීනම් රෝගියාගේ ඇඳුම් සහ ඇඳ ඇතිරිලි වෙනම සේදීමට වග බලා ගත යුතු බව ඔවුන්ගේ මතයයි.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව පවසා සිටින්නේ වයිරසය සමග ජීවත් වීමේදී කරුණු තුනක් සම්බන්ධව දැඩි අවධානය යොමු කළ යුතු බවයි. ඒ යටතේ ප්‍රථමයෙන්ම රෝගය සම්බන්ධව දැනුම්වත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවට පවසා සිටී. දැනුම්වත් වීම ඉතාම වැදගත් වන්නේ රෝගයෙන් ආරක්ෂා වීමටය.

රෝගය සම්බන්ධව දැනුම්වත් නම් රෝගයෙන් ආරක්ෂා විය හැකි අතර අංක දෙක වන්නේ තමන් වයිරසය ආසාදනය වීමෙන් ආරක්ෂා වීමය. මේ අන්දමින් තමන් ආරක්ෂා වීමෙන් පසු තමන් අවට සිටින සෙසු පුද්ගලයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වීමට ජනතාවට හැකි වනු ඇත. මේ අන්දමින් සමාජයක් සංවිධානය වීම යනු සැබවින්ම රෝගය පරාජය කිරීමය.

හෙට දිනයේදී යළි සාමාන්‍ය ජන ජීවිතය වෙත පිවිසෙන ඔබ වයිරසයත් සමග ජීවිතය පවත්වාගෙන යෑමට සූදානමින් සිටිය යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ උපදෙස් අනුව තම ජීවන රටාව සකසා ගැනීමෙන් එය එතරම් අපහසු කටයුත්තක් ද නොවනු ඇත.

 

Comments