එක රැයෙන් ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය | සිළුමිණ

එක රැයෙන් ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය

ලොතරැයි පත් මිලදී ගෙන සිය වාසනාව උරගා බැලීම බොහෝ දෙනකුගේ පුරුද්දකි. ඇතැම් අය ක්ෂණික දිනුම් ලැබෙන සූරන ලොතරැයි මිලදී ගනිති; තවත් අය වැඩි විශ්වාසය තබා ඇත්තේ දිනුම් අදින ලොතරැයි පත් මිලදී ගැනීමටය. ලොතරැයි දිනුම් නිසා සිය ජීවිත එළිය කර ගත් බොහෝ පිරිසක්ද සිටිති.

ඒ අය එක්කෝ ලක්ෂ ගණනින් දිනුම් ලැබූ අයයි. නැතිනම් කෝටි ගණනින් දිනුම් ලැබූ අයයි. කෙසේ වුවත් ශ්‍රී ලංකාවට ලොතරැයිය හඳුන්වා දුන් දා සිට ලක්ෂ ගණනින් සිය දිණුම් උදා කර ගත් අය මෙන්ම කෝටි ගණනින්ද සිය දිනුම් උදා කර ගත් ජයග්‍රාහකයෝ අති විශාල පිරිසක් සිටිති. ලොතරැයිපත් මිලදී ගන්නා ජනතාව ලොතරැයියක් වෙනුවෙන් වියදම් කරන රුපියල් විස්ස නැවතත් ඔවුන් අතරටම ගෙනයන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම ලොතරැයි අලෙවි ආයතනයක් ලෙස පිළිගැනෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය. ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසකගේ ජීවිත එක් රැයින් වාසනාවන්ත කරයි. එමෙන්ම රට වෙනුවෙන් උත්කෘෂ්ට වූ සෞඛ්‍ය සහ අධ්‍යාපනික මෙහෙවරක ද නිරත වෙයි.

ජනාධිපති අරමුදල සහ මහපොළ භාරකාර අරමුදල මගින් රුපියල් මිලියන 2.2 බැගින් මුදල් ආයෝජනය කර 1983 වර්ෂයේ ජනවාරි 19 වැනිදා සංවර්ධන ලොතරැයි මධ්‍යස්ථානය ලෙස මෙම සුවිශේෂී ජාතික ආයතනය ආරම්භ කරන්නට යෙදුණි. එය ආරම්භ කිරීමේ මූලික අරමුණක් වූයේ ලොතරැයි අලෙවි කර ලැබෙන ලාභයෙන් ජනාධිපති අරමුදලේ සහ මහපොළ භාරකාර අරමුදලේ මූල්‍ය පදනම ශක්තිමත් කර ගැනීමයි. ඒ අනුව ජනාධිපති අරමුදල වෙනුවෙන් තම ලාබාංශයෙන් පරිත්‍යාග කරන එකම රාජ්‍ය ආයතනයද සංවර්ධන ලොතරැයි මණ්ඩලය වේ. ලොතරැයි දිනුම් තුළින් ලක්ෂපතියන්, කෝටිපතියන් ඇතුළු වාසනාවන්ත ජයග්‍රාහකයන් දස දහස් ගණනින් රටට බිහි කරමින් ගෙවුණු 37 වසරකට වැඩි කාලය ඇතුළත රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාන්විතය සාර්ථක කර ගැනීම සඳහා තමන්ට ලබා දිය හැකි උපරීම දායකත්වයද ලබා දීමටද සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමත්ව සිටී. තම මුඛ්‍ය අභිමතාර්ථ වූ ජනාධිපති අරමුදලට හා මහපොළ භාරකාර අරමුදලට මුදල් සැපයීම මේ වන විට කිසිදු ප්‍රමාදයකින් තොරව නිරන්තරයෙන් සිදු කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමත්කම් දක්වා තිබේ. එහිදී 1983 සිට 2019 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදල සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලබා දුන් නොමසුරු දායකත්වය රුපියල් 27,912,742,389/- කි. පසුගිය 2019 වර්ෂයේදී පමණක් ජනාධිපති අරමුදල වෙනුවෙන් ලබාදුන් දායකත්වය දළ වශයෙන් රුපියල් 2,668,792,667/- ක් පමණ වේ. ආරම්භයේ සිට මේ දක්වා සරසවි දූ පුතුන්ගේ උසස් අධ්‍යාපනය උදෙසා ලබාදුන් මහපොළ ශිෂ්‍යත්ව ප්‍රමාණයද තුන් ලක්ෂයකට ආසන්නය.

ආරම්භක කාල වකවානුව තුළ සංවර්ධන ලොතරැයිය වඩාත්ම ජනතාව අතරට සමීප වූයේ ක්ෂණික ලොතරැයි පත් හඳුන්වාදීම නිසාය. එකල සංවර්ධන ලොතරැයි මධ්‍යස්ථානය විසින් එවැනි ක්ෂණික ලොතරැයි පත් වර්ග ගණනාවක් ජනතාව වෙත හඳුන්වා දී තිබුණි.

සංවර්ධන ලොතරැයි මධ්‍යස්ථානය 1993 වසරේදී සංවර්ධන ලොතරැයි භාරය බවට නීතිගත කරන ලද අතර 1997 අගෝස්තු 12 වැනිදා 1997 අංක 20 දරණ සංවර්ධන ලොතරැයි මණ්ඩල පනත මගින් එකී භාරය සංවර්ධන ලොතරැයි මණ්ඩලය බවට පරිවර්තනය වීම සිදු විය. සංවර්ධන ලොතරැයිය මගින් මෙරට ලොතරැයි පත් මිලදී ගන්නා ජනතාව වෙත හඳුන්වා දුන් වඩා

පෙරළිකාර හා ආකර්ෂණීයම ලොතරැයි ටිකට්පත වන්නේ “ශනිදා වාසනාව”යි.

1987 දී “ශනිදා වාසනාව” ලොතරැයි ටිකට් පත හඳුන්වාදීම හරහා ලොතරැයි වෙළඳපොළට රූපවාහිනිය මගින් දිනුම් අදින ලොතරැයි දිනුම් ඇදීම හඳුන්වා දුන් ප්‍රථම ලොතරැයි ව්‍යාපාරය බව බවට පත්වීමට එහිදී සංවර්ධන ලොතරැයියට හැකියාව උදා විය. එය මෙරට ලොතරැයිපත් වංශ කතාවේ සුවිශේෂම කඩඉම් සලකුණක් ලෙස මේ දක්වාම පිළිගැනේ. ශනිදා වාසනා දිනුම් ඇදීම මුලදී සෙනසුරාදා දිනවලදී පමණක් සිදු වුවත් අනතුරුව එම ලොතරැයි ටිකට්පත බදාදා හා සදුදා යන දිනවලදීද දිණුම් ඇදීමට තරම් ඉහළම ඉල්ලුමක් ඇති විය.

ශනිදා වාසනාවෙන් පසු සංවර්ධන ලොතරැයිය මගින් මෙරට ලොතරැයිපත් මිලදී ගන්නා ජනතාව අතරට පත් කළ දෙවැනි දිනුම් අදින ලොතරැයිය වූයේ “සංවර්ධන වාසනාව”යි. අගහරුවාදා සහ සිකුරාදා දිනයන්හි මෙම“සංවර්ධන වාසනාව” ලොතරැයියේ දිනුම් ඇදීම සිදු කෙරුණු අතර ජයග්‍රාහකයන් හඳුනා ගැනීම සදහා අංක සමඟ, ලග්න සංකේත හඳුන්වාදීම මෙම ටිකට් පතෙහි විශේෂිත ලක්ෂණයක් විය.

“ශනිදා වාසනාව”, “සංවර්ධන වාසනාව” මෙන්ම සංවර්ධන ලොතරැයිය සතු රුව, ගුණ හා තේජස තවදුරටත් ජනතාව අතරට ගෙන යාමට සමත් විශේෂ ලොතරැයි ටිකට්පත් ගණනාවක්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයි වෙළෙදපොළට හඳුන්වා දෙනු ලැබීය. ඒ අතර සුපිරි ජයමල්ල ලෙස රුපියල් කෝටි ගණනින් ත්‍යාග පිරිනැමෙන සදුදා සහ බ්‍රහස්පතින්දා යන දිනයන්හි දිනුම් අදින "ජයෝදා"ලොතරැයිය ලොතරැයි මිලදී ගන්නා ජනතාව අතර ජනප්‍රියතම ටිකට්පතකි. එමෙන්ම තවත් ලක්ෂ ගණන් ජයමලු මෙරට වාසනාවන්තයින් අතර බෙදා දුන් "ලග්න වාසනාව" ලොතරැයියද මෙරට ලොතරැයි වෙළෙදපොළ තුළ සුවිශේෂ නාමයක් සටහන් කිරීමට සමත්ව ඇත.

"ලග්න වාසනාව" මගින්ද සුපිරි ජයමල්ල ලෙස රුපියල් ලක්ෂ ගණනින් ත්‍යාග පිරිනැමෙන අතර මෙම ලොතරැයිය සතියේ දින හත පුරාම දිනුම් ඇදීමට කටයුතු කර තිබීම සදහන් කළ යුතු විශේෂිත කාරණාවකි.

එපමණක් නොව ලොතරැයි වෙළෙදපොළ තුළ විවිධ අත්හදා බැලීම් සිදු කරමින් හා නිර්මාණශීලී ලෙස ජනතා හදවත් හී ළැඟුම් ගනිමින් පියවරෙන් පියවර ඉදිරියටම ගියේය. සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් මෙරට ලොතරැයි අලෙවියේ තවත් නැවුම් සලකුණු සනිටුහන් කරමින් දිනපතාම දිනුම් අදින "අද කෝටිපති" ලොතරැයිය මෙන්ම මිලදී ගන්නා ලොතරැයි ටිකට්පත් සඳහා නිරතුරු වැඩි ත්‍යාග අවස්ථාවන් ඇති "සුපර් බෝල්" ලොතරැයියද ගනුදෙනුකරුවන්ගේ රුචි,අරුචි කම් හඳුනා ගනිමින් ඉදිරිපත් කළ ලොතරැයි වේ. වර්තමානය වන විට ශ්‍රී ලාංකික ලොතරැයි වෙළෙදපොළ තුළ වැඩිම අලෙවියක් ඇති ලොතරැයි ගොන්න අතරට එක් වීමට මේ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය අවස්ථාව උදා කර ගෙන ඇත.

"ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාසනාව උදා කිරීමේ රාජ්‍ය ආයතනයක් බවට පත්වීම "සිය දැක්ම කර ගනිමින්ද "ඉහළපෙළේ තාක්ෂණය උපයෝගී කරගනිමින් විශ්වාසනීයභාවය ද රකිමින්, සියලුම අවස්ථාවල දී නව නිර්මාණාත්මක හා ආකර්ෂණීය ලොතරැයි පැවැත්වීම" මෙහෙවර කරගනිමින්ද වර්තමානය වන විට සාර්ථක සංධිස්ථානයකට පැමිණ ඇති සංවර්ධන ලොතරැයි මණ්ඩලය "ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය" යන තේමාවෙන් සාමාජීය, ආර්ථික හා තාක්ෂණික ප්‍රවණතාවන්ට අනුව හැඩගැසුණු, මෙරට ජන ජීවිතය හා ඉතා සමීප ලෙස ලෙංගතු වුණු ලොතරැයි ආයතනයක් ලෙසද අපි හඳුන්වා දෙන්නෙමු.

ආරම්භයේ පටන්ම ලොතරැයිපත් මුද්‍රණය කිරීම සඳහාත්, මහජනයා වෙත ලබාදෙන සියලූම ත්‍යාග මුදල් ප්‍රධානය සඳහාත් සංවර්ධන ලොතරැයිය උපයෝගී කරගෙන ඇත්තේ එම එක් එක් කාල වකවානුවලදී භාවිතයට යොදා ගන්නා ලද නවතම තාක්ෂණයයි.

වර්තමානය වන විට පියවරෙන් පියවර අති නවීන තාක්ෂණයක් බවට පත්ව ඇති එම නව තාක්ෂණය සමගින් එක්ව ජ්‍යාත්‍යන්තර ලොතරැයි ව්‍යාපාරයේ පූර්වාදර්ශ පවා උකහා ගනිමින් තවදුරටත් ලොතරැයි ව්‍යාපාරයේ නව මාන කරා ගමන් කිරීමට අපේක්ෂා කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඒ වෙනුවෙන් දැනටමත් මුල්ගල් තබා තිබේ. දුරකථනයෙන් ලොතරැයි ප්‍රතිඵල දැනගැනීමේ ස්වයංක්‍රීය හඩ සම්බන්ධතා සේවාව (IVR) හා ලොතරැයි ප්‍රතිඵල සහිත SMS පණිවිඩ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමේ පහසුකම් වැනි සේවාවන් ඒ අනුව ඉතා සාර්ථක ලෙස මේ වන විටත් මෙරට ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කර තිබේ.

ජාතික වගකීම් හඳුනාගත් හා ඒ වෙනුවෙන් සිය යුතුකම් හා කැපකිරීම් ඉටු කරන රාජ්‍ය ආයතනයක් ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙරට ජාතික ආර්ථිකය හා කෙතරම් දුරට සමීපව බැදී සිටිනවාද කිවහොත්; තමන් සමඟ අත්වැල් බැඳ සිටින බෙදාහැරීමේ අලෙවි නියෝජිතයින් 89 දෙනෙක්ට සහ 2500 කට අධික අලෙවි නියෝජිතයින්ට හා ඒ යටතෙහි සිටින විසිදහසකට අධික අලෙවි සහායකයින්ට රැකියා නිර්මාණය කර දීමටද සමත් වී තිබේ. එසේ සඳහන් කරන ලද බෙදාහැරීමේ අලෙවි නියෝජිතයින්, අනෙකුත් අලෙවි නියෝජිතයින් මෙන්ම අලෙවි සහායකයින් යන සියලු දෙනා මත යැපෙන තවත් ලක්ෂයකට අධික පිරිසක් අභිමානය මෙන්ම ගෞරවයද හිස් මුදුන් හි තබා ගනිමින් සිය ජීවිත සතුටිනුත්, සාර්ථකවත් පවත්වා ගෙන යනු ලබන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශක්තිය නිසාමය. එසේම ආයතනික වශයෙන් සේවයේ නියුතු තුන් සියයකට අධික පිරිසක් සඳහාද ජීවන වෘත්තීන් නිර්මාණය කර දුන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි මිළදී ගන්නන්ගේ මෙන්ම තම කාර්ය මණ්ඩලයේත්, අලෙවි ජාලයේත් ලක්ෂ ගණනක් ජීවිත සතුටින් පුරවා,වාසනාවන්ත කර ඇති බවද කිව යුතුය. මෙහිදී සඳහන් කළ යුතු තවත් විශේෂම කාරණාවක් වන්නේ විවිධ ශාරීරික දුර්වලතා සහිත 550 කට ආසන්න පිරිසකටද ආත්ම ගරුත්වයකින් යුතුව සේවයක් ඉටු කර සිය ජීවනෝපාය සරි කර ගැනීමේ මහගු අවස්ථාව සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් උදා කර දී තිබීමයි. මීට අමතරව නොයෙකුත් අධ්‍යාපනික, සමාජ, සංස්කෘතික, ආගමික හා ක්‍රීඩා වැනි වැඩසටහන් රැසක් සදහා ස්වකීය දායකත්වය ලබා දෙමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය නිබදවම මහපොළවට බරක් නැති මිනිසුන් තනමින් මුදලට මනුෂ්‍යත්වය දෙවැනි නොකළ ආයතනයක්ද වේ.

*************************

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජාතික සම්පතක්

 ජගත් පී විජේවීර

සභාපති - සංවර්ධන ලොතරැයි මණ්ඩලය

සංවර්ධන ලොතරැයි මණ්ඩලය යනු තවත් එක් ලොතරැයි හඳුන්වා දෙන හා අලෙවි කරන ආයතනයක් පමණක් නෙවෙයි. වසර 37 ක් පුරා මේ රටේ ජනතාවගේ හද ගැස්ම හඳුනා ගෙන එම ජනතාව වෙනුවෙන් සිය යුතුකම් හා වගකීම් හරි හරියට ඉටු කළ ජාතික ආයතනයක් වගේම ජාතික සම්පතක් හැටියටත් සංවර්ධන ලොතරැයි මණ්ඩලය හඳුන්වා දෙන්න පුළුවන්.

මේ වන විට අපි දිනපතා හා සතිපතා වෙළෙදපොළට නිකුත් කරන ලොතරැයි ටිකට් අලෙවිය සිදු කරනවා වගේම ක්ෂණිකව දිනුම් හිමි වන ලොතරැයි ටිකට් වර්ග ගණනාවක්ම වෙළෙදපොළට නිකුත් කරනවා. ඒ වගේම එම ලොතරැයි අලෙවිය මගින් ලැබෙන ලාභයෙන් වැඩි ප්‍රතිශතයක් ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නඟා සිටුවීම සඳහා ජනාධිපති අරමුදලටත් ලබා දෙනවා. තවත් මුදලක් මහපොළ ශිෂ්‍යත්ව අරමුදල වෙතද බැර කෙරෙනවා.

ඒ වගේම අපගේ බෙදා හැරීම් නියෝජිතයින්,අලෙවි නියෝජිතයින් හා අලෙවි සහයකයින් යන පිරිස හා ඔවුන්ගේ පවුල් වල තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා අත්වැල් බැද ගනිමින් ඔවුන්ගේ ජීවිත සාර්ථක ලෙස එළිය කර ගෙන තිබීම අපට ඉමහත් සතුට දනවන කාරණාවක්.

එම ලොතරැයි ටිකට් මගින් මුළු දිවයින පුරාම නොයෙක් ප්‍රදේශ වල,නොයෙක් දිස්ත්‍රික්කවල, නොයෙක් පළාත් වල ලක්ෂ ගණනින් දිණුම් හිමි වූ වාසනාවන්තයින් වගේම රුපියල් කෝටි ගණනින් දිණුම් හිමි වූ වාසනාවන්තයින්ද අපි බිහි කර තිබෙනවා. එපමණක් නොව මෝටර් රථ, ත්‍රීරෝද රථ, යතුරු පැදි, රත්‍රන් ආභරණ, රුපියල් දහස, දහස, පනස් දහස වැනි තවත් ත්‍යාග හිමි වුණු වාසනාවන්තයින් දහස් ගණනක් සංවර්ධන ලොතරැයි දිණුම් ඇදීම් නිසා බිහි වුණා.

ලොතරැයි මුද්‍රණය, අලෙවිය, ත්‍යාග ලබා දීම, ජනාධිපති අරමුදලට හා මහපොළ අරමුදලට මුදල් බැර කිරීම පමණක් නොව තවත් සමාජ සත්කාරක කටයුතු ගණනාවකටම ඉතා උද්යෝගීමත් ලෙස සහභාගී වීම හා එම කටයුතු වෙනුවෙන් හැකි උපරිම දායකත්වයක් ලබා දීම අපගේ විශේෂිත සමර්ථකමක් ලෙස හඳුන්වා දීමට කැමතියි.

විශේෂයෙන්ම කොරෝනා වයිරසය සමඟ ඇති විය හැකි විවිධ තත්ත්වයන්ට මුහුණ දීම සඳහා රජය විසින් ඉදිරියට ගෙන යන වැඩපිළිවලට සහය පළ කරමින් 2019 දෙසැම්බර් මාසයේ හා 2020 ජනවාරි මාසයේ මෙහෙයුම් ලාභය වන රුපියල් මිලියන 637 ක මුදලක් පසුගියදා අප ජනාධිපති අරමුදල වෙත පරිත්‍යාග කළා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකා පොලීසිය සමග එකතුව වයිරසයේ ව්‍යාප්තිය තුළ පීඩාවට පත්ව සිටි විශාල පිරිසකට එදිනෙදා පරිභෝජනය සදහා අවශ්‍ය එළවළු පරිත්‍යාග කිරීමටද අපි කටයුතු කළ බව සඳහන් කළ යුතුයි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ඉදිරිය ගැන කතා කළොත් අපි මේ වන විටත් ඇප් එකක් භාවිතයෙන් ලොතරැයියක් හඳුන්වා දීම සඳහා කටයුතු කරමින් යනවා. මෙය ජංගම දුරකථන, පරිගණක හා ලැප්ටොප් වැනි නවීන තාක්ෂණය භාවිතා කරන බොහෝ දෙනෙකුට ලොතරැයි සඳහා අවධානයක් ලබා දීම සඳහා හොඳ ප්‍රවෘත්තියක් වේවි. එමගින් මෙරට පමණක් නොව විදේශ රටවල පදිංචි ශ්‍රී ලාංකික ජනතාවටද සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මිලදී ගැනීම සදහා අවශ්‍ය පසුබිම උදා වෙනවා.

Comments