ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලේ දී ලාංකේය වෛද්‍යවරයකු හා අයර්ලන්ත හෙදියක් විවාහ වෙයි | සිළුමිණ

ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලේ දී ලාංකේය වෛද්‍යවරයකු හා අයර්ලන්ත හෙදියක් විවාහ වෙයි

ගතවෙමින් ඇත්තේ ජීවිත යථාර්ථය යළි සමාලෝචනය වෙමින් පවතින අවදියකි. මේ වකවානුවේ දී මරණය මෙන්ම මංගල්‍යය ද සිදුවන්නේ ලෝකයෙන් හුදකලා වෙමිනි. උවදුරු සමයේ සිදුවූ එවන් විශේෂ මංගලෝත්සවයක් පිළිබඳව බී.බී.සී ලෝක සේවය වාර්තා කළේය. ඒ ලාංකේය සම්භවයක් සහිත වෛද්‍යවරයෙක් හා අයර්ලන්ත ජාතික හෙදියක් අතරය.

මේ යුවල පවතින ලෝක ව්‍යවසනය අබියස සිය විවාහ මංගලෝත්සවය අවලංගු කළහ. අනතුරුව සිය මංගල්‍ය පැවැත්වීම සඳහා ඔවුන් සේවය කරන රෝහල තෝරා ගනු ලැබූහ. ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලේ දී එම රෝහලේ ඇති දේවස්ථාන පරිශ්‍රයේදී මෙසේ විවාපත් වූයේ 34 හැවිරිදි හෙදියක වූ ජෑන් ටිපිං සහ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයෙක් වූ 30 හැවිරිදි අන්නාලන් නවරත්නම් ය.

විශේෂ අවසරයක් ලබාගෙන පැවති මංගලෝත්සවයට ආරාධිතයන් සහභාගී වූයේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමිනි. විවාහයට සාක්ෂි දැරූ එක් සාක්ෂි කරුවෙක් මංගල අවස්ථාව ආරාධිතයන් වෙත සජීවීව සමාජ මාධ්‍යය ඔස්සේ මුදා හැරියේය.

ජෑන් ටිපිං ශාන්ත තෝමස් රෝහලේ ගිලන් රථ හදිසි සේවා හෙද නිලධාරිනියකි. අන්නාලන් නවරත්නම් එම රෝහලේම වෛද්‍යවරයෙකි. ඔවුන් දෙදෙනා කලක් තිස්සේ පෙමින් බැඳී වුන්හ. ඔවුන් මේ අගෝස්තුවේ දී ස්වකීය විවාහ මංගල්‍ය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ මේ උවදුරු සමය උදා වන්නට පෙරය.

එහෙත් පවතින තත්වය මත සියලු සැලසුම් යථාර්ථවාදීව වෙනස් කිරීමට මේ දෙපළ කටයුුතු කළහ. උත්සවය අවලංගු විය. දකුණු ලන්ඩනයේ පදිංචි ඔවුන් සිය මංගල උත්සවය අගෝස්තු මාසයට පෙර පෞද්ගලික උත්සවයක් වශයෙන් පැවැත්වීමට තීරණය කළේය. “අපේ දෙමව්පියන්ට ලංකාවේ ඉඳන් සහ උතුරු අයර්ලන්තයේ ඉඳන් මේ අවස්ථාවට ආරක්ෂිතව සහභාගී වෙන්න බැරි වේවි කියලා අප කල්පනා කළා. ඉතින් අපි මෙහෙම හිතුවා. ලෝකයම සුවපත් වෙච්චි වකවානුවක අපි අපේ කල් දැමූ මංගල උත්සවය පවත්වනවා.“ මංගල උත්සවය ලෝකය සුවපත් වනතුරු කල් තබා යුග දිවියට පිළිපන් මේ යුවළ තමන් ලැබූ අත්දැකීම පිළිබඳ බී.බී.සී ලෝක සේවයට මෙසේ පවසා තිබිණි.

ටිපිං මෙසේ කීවාය. අප්‍රේල් 24 වන දා පැවති විවාහ උත්සවය "ආදරණීය" එකක්... අපි දෙන්නා සේවය කරන ස්ථානයේ ම විවාහ වීම මුලින්ම මට දැනුණෙ "අසාමාන්‍ය" දෙයක් විදිහට. අපිට අවශ්‍ය වුණේ අපට ආදරය කරන සියලු දෙනාට තිරයක් හරහා හෝ අපේ විවාහ සැමරීම දැකගන්න සැලැස්වීමටයි. අන්නාලන් නවරත්නම් පැවසුවේ, "අපි දෙන්නා අපි වෙනුවෙන් ම කැපවුණ එක ඉතාමත් සතුටක්" බවය. විවාහ උත්සවයේදී නර්තන සහ මංගල කතා ද පැවැත්වුණි. එය දුරස්ථ මංගල සාදයක් පිළිබඳව වූ අදහස විශිෂ්ට ලෙස අත්හදා බැලූ අවස්ථාවක් විය. විවාහය ලියාපදිංචි කළ මියා හිල්බර්න් දේවගැතිවරිය පැවසුවේ මේ අපූර්ව විවාහයේ කොටස්කරුවකු වීම ගැන අතිශය සතුටට පත්වන බවය. බ්‍රිතාන්‍යයේ බොහෝ ජනමාධ්‍ය මෙම මංගලෝත්සවය සිය ප්‍රධාන පුවතක් ලෙස පළ කළහ. එය සැල වූ බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් ට්විටර් පණිවිඩයක් ඔස්සේ මෙසේ කියා තිබිණි. “ආදරණීයයි... එය ඉතා අගනා දෙයක්...“ ලෝකය ජීවිත සම්ප්‍රදායන් වෙනස් කිරීම සඳහා ආදර්ශ සපයමින් ඇත.

Comments