මුහුදු මහා විහාරයේ මැනුම් ඇරැඹේ | සිළුමිණ

මුහුදු මහා විහාරයේ මැනුම් ඇරැඹේ

මුහුදු මහා විහාරයේ භූමිය සම්බන්ධව මතුව ඇති ගැටලුව නිරාකරණය කිරීම පිණිස එම භූමිය සම්බන්ධ මිනුම් කටයුතු සිදුකිරීමට විශේෂ සාකච්ඡාවක් හා අධීක්ෂණයක් පිණිස පසුගිය 27 වැනිදා බදාදා පොතුවිල් ප්‍රදේශයේදී සිදු කළ බව මැනුම්පතිනි ශ්‍යාමලී පෙරේරා මහත්මිය සිළුමිණට කීවාය.

අතිරේක මැනුම්පතිවරයාගෙන් යුක්ත කණ්ඩායමක් පොතුවිල් බලා ගොස් එම කටයුතුවලට සම්බන්ධ වූ බව ඇය කීවාය.

බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමක් අනුව මේ කටයුතු සිදු කරනු ලබන බවත් මේ සම්බන්ධ අනෙකුත් පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් මේ විමර්ශනාත්මක සාකච්ඡාව සිදු කළ බවද ඇය පැවසුවාය. ඒ අනුව ඉදිරියේදී එහි මැනුම් කටයුතු සිදු කර පුරාවිද්‍යා භූමිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද ඇය පෙන්වා දුන්නාය. 1951 වසරේ ජනවාරි 26 ගැසට් පත්‍රයෙන් මුහුදු මහා විහාරය ඇතුළත් භූමි ප්‍රදේශය අක්කර 72 යි රූඩ් 3යි පර්චස් 13ක භූමියක් ලෙස ගැසට් කර ඇති නමුත් 1965 වසරේ අංක 773 PP 1450 දරණ ගැසට් නිවේදනයෙන් එය අක්කර 30ක ප්‍රමාණයකට අඩු කර තිබේ.

වර්මානය වන විට එය පුරා විද්‍යා රක්ෂිතයද ඇතුළත්ව අක්කර 14 1/4ක් දක්වා අඩු වී ඇති බව විහාරාධිපති වරකාපොළ ඉන්දසිරි නා හිමියෝ සිළුමිණට පැවසූහ.

මුහුදු මහා විහාරයට අයත් පුරා විද්‍යා භූමි භාගයේ පවුල් 100ක් පමණ පදිංචි වී ඇති බවත් ඇතැම් රාජ්‍ය නිලධාරීන් විසින් ඊට අදාළ ඔප්පු පවා සකස් කර දී ඇති බවද නා හිමියෝ පවසති.

Comments