පෞද්ගලික අංශයේ ලක්ෂ 35කගේ රැකියා සුරක්ෂිතයි | Page 2 | සිළුමිණ

පෞද්ගලික අංශයේ ලක්ෂ 35කගේ රැකියා සුරක්ෂිතයි

කෝවිඩ් 19 නිසා අඩපණ වී ඇති මෙරට කර්මාන්ත ශාලා සහ සේවා ස්ථානයන්හි ලක්ෂ 35ක පමණ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය රැක ගැනීමට රජය මැදිහත් වී තිබේ. එමෙන්ම මැයි හා ජූනි මාසවල සේවයට යොදා නොගත් සේවකයන්ටද මූලික වැටුපෙන් 50%ක් හෝ රුපියල් 14,500ක අවම දීමනාවක් ලබාදීමට කටයුතු යොදා තිබේ.

පෞද්ගලික අංශයේ කර්මාන්ත, ව්‍යාපාර හා සේවා ස්ථානවල හාම්පුතුන්ගේ සංගමය, වෘත්තීය සමිති සහ කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැති ත්‍රෛපාක්ෂික කමිටු සාකච්ඡාවේදී මේ පිළිබඳ එකඟතාවක් ඇති කරගත් බව විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිළුමිණට ප්‍රකාශ කළේය. එමෙන්ම සියලු සේවකයන්ගේ අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදලේ දායකත්වයද පෙර පරිදිම අදාළ ගිණුම් සඳහා බැර කිරීමට මෙම ත්‍රෛපාක්ෂික කමිටු සාකච්ඡාවේදී එකඟ වූ බවද අමාත්‍යවරයා හෙළි කළේය.

මේ වැඩපිළිවෙළේදී හාම්පුතුන්ට හෝ සේවකයන්ට ඇතිවූ ගැටලු 4,802ක් කම්කරු දෙපාර්තමේන්තුවට ලැබී ඇති අතර, ඉන් බහුතරයක්ම විමර්ශනය කර සමථයකට පත්කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙරට මුළු ශ්‍රම බලකායෙන් 72%ක් පෞද්ගලික අංශයට අයත් අතර ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කර, නිෂ්පාදන ප්‍රවේශ හඳුන්වා දීමටද රජය කටයුතු යොදමින් සිටී.

(ජයසූරිය උඩුකුඹුර)

Comments