‘රනිල් එක්ක දැන් ඉතුරු වෙලා ඉන්නෙ පාර්ලිමේන්තුව නියෝජනය කරපු එජාප මන්ත්‍රීවරුන් ගෙන් 15 දෙනෙක් විතරයි’ | සිළුමිණ

‘රනිල් එක්ක දැන් ඉතුරු වෙලා ඉන්නෙ පාර්ලිමේන්තුව නියෝජනය කරපු එජාප මන්ත්‍රීවරුන් ගෙන් 15 දෙනෙක් විතරයි’

- සමගි ජනවේගයේ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

රංජිත් මද්දුම බණ්ඩාර

සමඟි ජන බලවේගයේ නාම යෝජනා නීති විරෝධී බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔබ මොනවද කියන්නෙ?

ඡන්දයෙන් අපිව පරද්දන්න බැරි බව දැන ගෙන එජාය කුලියට ගත් පිරිසක් ලවා අපේ නාම යෝජනා නීති විරෝධී කියල නඩු දාල තියෙනවා. මේක සම්පූර්ණ බොරුවක්. ජනතාවගෙ මනස ව්‍යාකූල කරන්න තමයි මේ උප්පරවැට්ටිය යොදා ගෙන තිබෙන්නෙ. අපි අපේ පක්ෂයේ ව්‍යවස්ථාවට හා මැතිවරණ නීති වලට එකඟව කටයුතු කරල තිබෙන නිසා ඔය චෝදනා ගැන බය වෙන්න දෙයක් නෑ. පරාජිත දේශපාලන කණ්ඩායමකට කුලියට ගත්තු අයෙක් ගෙන් එල්ල වන චෝදනාව ගැන අපි කලබල වෙන්නෙ නෑ. අපේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙන්නෙත් නෑ. මේ මැතිවරණයේදී අපේ ජයග්‍රහණය කාටවත් වළක්වන්නත් බෑ.

රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වය ප්‍රතික්ෂේප කරල සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් ගොඩ නඟාගත්තු සමඟි ජන බලවේගයේ නායකත්වය ගැනත් දැන් අප්‍රසාදයක් මතු වෙලාලු නේද?

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී තමයි තීරණය කළේ අලුතින් සන්ධානයක් පිහිටුවලා එහි නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දෙන්න කියලා. අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසට මහ මැතිවරණයට තරඟ කරන්නත්; එතුමට කැමති අයකු මහ ලේකම්වරයා ලෙස පත් කර ගන්න කියල; මගේ මහ ලේකම්කමත් එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේදීම පත් කළ එකක්. අනෙක රනිල් වික්‍රමසිංහ ලිඛිතවත් අපිට සමගි ජන බලවේගය සමඟ දේශපාලන කටයුතු කරන්න අවසර දීල තියෙනවා. දැන් එජාපය තියෙන්නෙ මෙතැනයි. දැන් රනිල් එක්ක ඉතුරු වෙලා ඉන්නෙ පාර්ලිමේන්තුව නියෝජනය කරපු එජාප මන්ත්‍රීවරුන් ගෙන් 15 දෙනයි. එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අති බහුතරය ඉන්නෙත් අපිත් එක්කයි.

සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව විසුරුවා හරින විට මෙරටේ විපක්ෂනායක විදියටයි කටයුතු කළේ. කොරෝනා වසංගතයෙන් රටම අසීරුතාවට පත්ව ඇති මේ මොහොතේ විපක්ෂයේ වගකීම හොඳින් ඉටු වෙනවා කියල ඔබට කියන්න පුළුවන්ද?

ඔව්. සජිත් ප්‍රේමදාස මහතා තමයි ජනවාරි 27 හා පෙබරවාරි 4 දාත් කොරෝනා ⁣වයිරසය ගැන පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළේ. අද අපි මුහුණ දෙන තත්ත්වය එදා එතුමා පාර්ලිමේන්තුවේ දී කියන කොට සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු සමහර අය අවඥාවෙන් හිනා වුණා. එතුමා දුරදක්නා නුවණකින් යුතුව කොරෝනා ගැන යම්යම් කරුණු අනාවරණය කළත් රජය ඒ ගැන සලකලා කටයුතු කළේ නෑ. නමුත් කොරෝනා පාලනය කරන්න රජයට අවශ්‍ය සහය දෙන්න අපි සුදානම් කියල වාචිකවත් ලිඛිතවත් කියල තිබෙනවා.

ඔබේ රජයෙන් සමෘද්ධි සහනාධාරය ලෙස ලබා දුන්නෙ රුපියල් 3500/=යි. එදා ඒ දීමනාව රුපියල් 5000/=ක් දක්වා ඉහළ නොදැමු ඔබලා කොරෝනා සහනාධාර ලෙස රුපියල් 20,000 ක් දෙන්න කියල කියන්නේ දේශපාලන වාසියකට නේද?

ඇයි ඔබ දන්නෙ නැද්ද අපේ රජය බලයට පත් වෙන විට සමෘද්ධි සහනාධාර ලෙස ලබා දුන්නෙ රුපියල් 1500/=ක් කියලා. අපි තමයි ඒ සහනාධාර මුදල 3500/=ක් කළේ. අද මේ රජය රුපියල් 5,000/=ක් දෙන්නෙ තාවකාලික දීමනාවක් හැටියටයි. අද මිනිසුන්ට වැඩක් පලක් කර ගන්න විදියක් නෑ. තිබුණ ආදායම් මාර්ග සියල්ල නතර වෙලා. අපි 3500 දෙන කොට ඔවුන්ට වෙනත් ආදායම් මාර්ග ස්වයං රැකියා ආදිය කරන්න නිදහස තිබුණා.

අද ජනතාව ගෙවල්වලට දාල හිර කරලා. ඒ නිසයි අපි කියන්නෙ පවුලේ සාමාජිකයින් හතර දෙනෙක් ඉන්න පවුල්වලට රුපියල් 20000ක් බැගින් දෙන්න කියල.

ව්‍යාජ කරුණු සමාජගත කරන්න දරපු උත්සහයක් නිසා රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා සිර ගත කිරීම ගැන මොකද හිතන්නෙ?

රාජිත සේනාරත්න තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීම කොහොමද ව්‍යාජ කරුණු සමාජගත කරන්න දරපු උත්සාහයක් කියන්නෙ. ඔහු හොරකම් කරලත් නෑ; මිනී මරලත් නෑ; වෙන වැරදි කරලත් නෑ.

හොරකම් කරපු අය අල්ලනවා කියල මහ ලොකුවට අඬහැර පාපු අය අද ඒවා අමතක කරල දේශපාලන පලිගැනීම් කරමින් අපේ අය හිර කරනවා.

රාජිත හා මංගල තමන්ගේ මතවාද නිර්භයව ඉදිරිපත් කරන අය. මේ විදියටම 2010 සරත් ෆොන්සේකාවත් හිර කළා. අපි ආණ්ඩුවට කියන්නේ මේ වාගේ දේශපාලන පලිගැනීම් නොකර මැතිවරණයට මුහුණ දෙන්න කියලයි.

ඔබ සඳහන් කළා මංගලත් ඔහුගේ මතවාද නිර්භයව ප්‍රකාශ කරන දේශපාලනඥයෙක් කියලා. ඒ කියන්නෙ සංඝ කල්ලියක් ගැන මංගල කියන මතවාදයට සමඟි ජන බලවේගයේ එකඟතාව තිබෙනවා කියන එකද?

එක් එක් දේශපාලකයන් කියන හැමදේම සමඟි ජන බලවේගයේ මතවාද නොවෙයි.

අපේ සාමාජිකයන් වුණත් ඔවුන් කියන හැමදේම අනුමත කරන්න බෑ. මංගල අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ගැන කියන කියපු දේවල් මම අනුමත කරන්නෙ නෑ. මම ඒකට විරුද්ධයි.

පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වාසි ගත්තෙ පොහොට්ටුව කියල ඔබල චෝදනා කරනවා. පොහොට්ටුවට දේශපාලන වාසියක් වෙන බව දන්නවා නම් මේ ප්‍රහාරය වළක්වා නොගත්තෙ ඇයි?

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ‍මේ දක්වා කරන ලද හැම පරික්ෂණයකින්ම වැරදිකරු බවට මුලට එන්නෙ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. එයා තමයි ආරක්ෂාව බාර ඇමති. එයාට එවැනි බරපතළ චෝදනා තිබියදී පොහොට්ටු සන්ධානයේ සභාපති කරලා. දේශපාලන වාසියට මොන මොන දේවල් කළත් පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අයට දඬුවම් කරන්න කියලයි අපි කියන්නෙ.

ඔබ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිට ඇඟිල්ල දිගු කළත් ඔබලාම පත් කර ගත්තු කතානායක පොලිසියට බලපෑම් කළ බවට තොරතුරු හෙළි වෙනවා. වැරදි කරලා අත පිහදා ගන්නද හදන්නෙ?

කතානායක බොහෝම ප්‍රජාතන්ත්‍රවාදීව සාධාරණව කටයුතු කරන කෙනෙක්. අපි අපේ කාලේ පොලිසියට නිදහසේ රාජකාරි කරන්න ඉඩ දීල තිබුණා. මම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා විදියට කටයුතු කරන කාලේ පොලිසිය ස්වාධීනව රාජකාරි කළා. අද තමයි පොලීසිය දේශපාලනීකරණයකට ලක්වෙලා තිබෙන්නෙ.

විපක්ෂය රටේ කොරෝනා වසංගතය පාලනය ගැන විවේචන එල්ල කරත් මුළු ලෝකයම පැසසුම් කරනවා මැඬ පැවැත්වූ ආකාරය ගැන. ඒ ගැන මොනවද කියන්නෙ?

ජනාධිපතිවරයා තමයි මුලදි කිව්වෙ කොරෝනා අසාධිතයන් 28 දෙනයි ඉන්නෙ ඒක මර්දනය කරලා නියමිත පරිදි මැතිවරණය පවත්වනවා කියල. සෞඛ්‍ය ඇමතිවරිය කීවා අප්‍රේල් 19වන විට කොරෝනා පාලනය කරනවා කියලා.

ඒ විදියට තමයි ඒ අය දේශපාලන න්‍යාය පත්‍රයකට කොරෝනා පාලනය කරන්න පටන් ගත්තෙ. සාක් නායකයෝ එක්කත් මැතිවරණය ගැන කතා කළා මිසක් කොරෝනා ගැන කතා කළේ නෑ. මුල ඉඳලම නිවරදි විදියට කොරෝනා පාලනය කරන්න රජය කටයුතු කළා නම් මේක වසංගතයක් වෙන්නෙ නෑ.

වත්මන් රජයේ මුදල් වියදම් කිරීමේ අක්‍රමවත් බව ගැන ඔබලා කතා කරනවා. 2015 ඔබලාගේ ආණ්ඩුව මුල් මාස දෙකේදීම මහ බැංකුව කොල්ල කාලා කරපු විනාශය අමතක කරන්න පුළුවන්ද?

දැන් ඔය මහ බැංකු මුදල් කොල්ලය ගැන මේ අය 2015 ඉදලම කතා කරනවානෙ. ඒ කාලේ රාජ්‍ය බලය නොතිබ්බ නිසා මොනවත් කරන්න බැරි වුණත් දැන් ඒ අය ඒ ගැන කතා කරන්නෙවත් නෑනේ. දැන් අපි කියන්නෙ අපි ජනතාවට කරපු සේවය මේ අයට කරන්න තියා හිතන්නවත් බෑ වාගේ. අපි ඩීසල් පැට්‍රල් මිළ අඩු කළා; වැටුප් වැඩි කළා. මේ ආණ්ඩුවට මාස හයක් ගතවෙලා. කිසිම දෙයක් කරල නෑ.

ඔබ ඔය සංසන්දනය කරන්නේ ඔබලාගේ වසර 4 1/2 ක් හා මේ රජයේ මාස හයක්නෙ. ඒ මාස හයෙනුත් මාස තුනක් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වෙලා. ඕකට නේද බොර දියේ මාළු බානවා කියන්නෙ.?

අපි කරපු දේ කියන එක බොර දියේ මාළු බාන එකනම් මොනවත් නොකර මහ දේවල් කළා වගේ කතා කරන එකට මොනවද කියන්නෙ. හොඳයි අපේ මුල් මාස හයේදි අපි කරපු දෙයින් භගයක්වත් මේ අයට කරන්න පුළුවන් වෙලා තියෙනවාද?

Comments