‘නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අපේ ප්‍රමුඛ අරමුණක්’ | සිළුමිණ

‘නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අපේ ප්‍රමුඛ අරමුණක්’

පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල

කොරෝනා වසංගතයට මුවා වෙලා ජනාධිපතිවරයා කටයුතු කරන්නෙ නීතියටත්, ව්‍යවස්ථාවටත් පටහැනිව බවට චෝදනා එල්ල වී තිබෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

කොරෝනා වසංගතය පාලනය කරන්න රජය සාර්ථක පියවර ගැනීමත් එක්ක තමයි ඇතැම් අය ඔය චෝදනාව එල්ල කරන්න පටන් ගත්තෙ. මේ අය අපේ රටේ කොරෝනා පාලනය සාර්ථකව සිදුවනවා දැකල ඊර්ෂ්‍යාවෙන් පෙළෙනවා. මේ වන විට අපි කොරෝනා වසංගතය පාලනය කිරිම අතින්⁣ ලෝකයේ අන් රටවලට වඩා ඉදිරියෙන් ඉන්නවා. මේ නිසා ලෝක සෞඛ්‍යය සංවිධානයේ හා විවිධ රටවල රාජ්‍ය නායකයින්ගෙන් ලැබෙන පැසසුම් දරා ගන්න බැරිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී කටයුතු කරනවා කියල චෝදනා කරනවා. නීතිය ගැන අවබෝධයකින් කටයුතු කරන අය හෝ ව්‍යවස්ථාව කියවලා ඒ ගැන අවබෝධයක් තියෙන අය හෝ කිසි දිනක ඔය චෝදනා අනුමත කරන්නෙ හෝ චෝදනා කරන්නෙ හෝ නෑ.

ඉකුත් අප්‍රේල් 30දායින් පසුව රාජ්‍ය මුදල් වියදම් කිරීමේ බලය ජනපතිට අහිමි බවට කරන චෝදනාව බොරුවක් කියලද ඔබ කියන්නෙ?

ඒක බොරුවක් විතරක් නොවෙයි ඒක ඔවුන් ගේ පරාජිත දේශපාලන උප්පරවැට්ටියක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150/3 වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා අය වැයක් සම්මත කර නොමැති මොහොතක, රාජ්‍ය සේවා සඳහා මුදල් වෙන් කර නොමැතිව තිබියදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිය විට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය දිනයේ සිට මැතිවරණය පවත්වා අලුත් පාර්ලිමේන්තුව රැස්වුවද එතැන් සිටත් ඉදිරියට මාස තුනක් ගතවන තුරු රාජ්‍ය මුදල් වියදම් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙන බව. මේ අය අප්‍රේල් 30දායින් පසුව රාජ්‍ය මුදල් වියදම් කරන්න ජනාධිපති⁣ට බලයක් නෑ කියන්නෙ අප්‍රේල් 30දා දක්වා මුදල් වියදම් කරන්න අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවේ සමිමතව තිබු නිසයි. ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවැරී ඇති බලය එතුමා පාවිචිචි කරන්නෙ මැයි පළමුදා ඉඳලා.

එතකොට මේ දිනවල පනවන ඇඳිරි නීතීයත් නීත්‍යානුකූල නෑ කියලයි ඔවුන් චෝදනා කරන්නෙ?

ඔව්, ඒකත් ඔවුන් ගොතන ලද බොරුවක්. මහජන ආරක්ෂාව යටතේ ඇඳිරි නීතීය පනවන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්න ඕන. නමුත් මේ දිනවල ඇඳිරි නීතීය ක්‍රියාත්මක කරන්නෙ නිරෝධායනය හා රෝග වළක්වා ගැනීමේ ආඥා පනතේ තුන්වන වගන්තිය යටතේයි. සාම්ප්‍රදායිකව නීතිය දෙස බලමින් ඇතැම් අය ඇඳිරි නීතීය ගැන චෝදනා එල්ල කළත් දැනට රටේ ක්‍රියාත්මක වන ඇඳිරි නීතීය මා ඉහත සඳහන් කළ ආඥා පනත යටතේ රාජ්‍ය නායකයාට පැවැරී ඇති බලතල අනුව පනවන ලද ඇඳිරි නීතීයක් බව නීතිය හා ව්‍යවස්ථාව ගැන දන්නෝ දන්නවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 150/3 වගන්තියෙන් කියවෙන්නෙ අලුත් පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු ඉදිරියට මාස තුනක් රාජ්‍ය මුදල් වියදම් කිරීමේ බලය ජනපතිට පැවරෙන බව නොවේද?

ඔබ ඔය කියන කතාවත් 150/3 වගන්තියේ තියෙනවා. ඊට අමතරව තමයි එහි සඳහන් වන්නෙ පාර්ලිමේන්තුව විසුරුවා හැර රාජ්‍ය මුදල් වෙන්කර නොමැති අවස්ථාවක; රාජ්‍ය මුදල් වියදම් කිරීමේ බලය ජනපතිට පැවරෙන බව. රාජ්‍ය මුදල් වෙන් කර නොමැති අවස්ථාව උදාවන්නේ මැයි මාසේ 1දා ඉඳලයි. එදින සිට රාජ්‍ය මුදල් වියදම් කිරීමේ බලය ව්‍යවස්ථානුකූලව ජනාධිපතිට පැවරිලා තිබෙනවා. මේ අනුව මැයි පළමුදා සිට අලුත් පාර්ලිමේන්තුව පත්වෙලා මාස තුනක් ගතවන තුරු රාජ්‍ය මුදල් වියදම් කිරීමේ බලය ජනපතිට පැවරෙනවා. මේ තිබෙන තත්ත්වය අනුව අලුත් පාර්ලිමේන්තුව කවදා පත් වුණත් එතෙක් මුදල් වියදම් කිරීමේ බලය ජනපතිට තිබෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් 25දා මැතිවරණය පවත්වන්න ජනපතිතුමා දිනය නියම කරල තිබුණා. ඒ අතරේ අනපේක්ෂිතව කොරෝනා වසංගතයට රට ගොදුරු වීම නිසා මැතිවරණය කල් දාන්න මැතිවරණ කොමිසම තීරණය කළා. මෙවැනි අවස්ථාවක විනිවිඳභා⁣වයෙන් යුතුව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නොවිමසා කටයුතු කිරීම ඔබ දකින්නෙ කොහොමද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 129 වගන්තියේ කියනවා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවේ යම් කාරණයක් පිළිබඳව ගැටලුවක් මතු වුණොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න පුළුවන් කියලා.

මේ අවස්ථාවෙ ගැටලුව මතු වුණේ ජනාධිපතිවරයාට නොවෙයි. ජනාධිපතිවරයා මැතිවරණයට දින නියම කළාට පස්සෙ රටේ උද්ගතවූ තත්ත්වය සමඟ මැතිවරණය පවත්වනවාද නැද්ද කියල ගැටලුවට මුහුණ දුන්නෙ මැතිවරණ කොමිසම. එහෙම නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මැතිවරණ කොමිසම ඒ වෙලාවෙ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගන්න ඕන. ඒ කාරණය ගැන මැතිවරණ කොමිසම දැනුවත් වුණාට පස්සෙ තමයි නාම යෝජනා පිළිබඳ ප්‍රශ්නය මතු වූ අවස්ථාවෙ කොමිසම ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගත්තෙ.

මැතිවරණ කොමිසමට ස්වාධීනව කටයුතු කරන්න බලයක් තිබෙනවා. නමුත් ඔවුන් කිසියම් බාහිර බලවේගයක මෙහෙයුමකට නතු වෙලා කියල චෝදනා නැඟෙනවා. මේ චෝදනා ඇත්තද?

වැලිතලප වල වැලි නෑනේ; ගල්බනිස්වල ගල් තියෙනවද? නෑනෙ. ඒ වාගේ තමයි ස්වාධීන මැතිවරණ කොමිසම ස්වාධීන නෑ. මේ තත්ත්වය මැතිවරණ කොමිසමට උදාවෙලා තිබෙන්නේ ඒ කොමිසමේ සාමාජික රතනජීවන් හූල් මහතා ගේ ක්‍රියා කලාපය නිසා බව අපි නිර්භයව සඳහන් කරනවා. ඔහු තමන් ගේ දේශපාලන පක්ෂග්‍රාහී බව එළිපිට ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒකට හොඳම නිදසුන තමයි හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියම මැතිවරණ කොමිසමේ රාජකාරිය විය යුතුව තිබුණේ මැතිවරණයට සූදානම් වීමයි. නමුත් මැතිවරණ කොමිසමේ සමාජික රත්නජීවන් මහතා මැතිවරණය පවත්වනවාට එරෙහිව උසාවි ගියා. ඒ වගේම ඔහු තමන්ගේ දේශපාලන මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයාට, රටේ හමුදාපතිවරයාට ජාතිවාදි ස්වරූපයෙන් අපහාස කරනවා. මෙවැනි පුද්ගලයන් මැතිවරණ කොමිසමට පත්කිරීමෙන් සමස්ත කොමිසම හාස්‍යයට ලක්ව තිබෙනවා.

මැතිවරණ කොමිසම ස්ථාපිත කරන ලද පනතේ සඳහන් වන්නෙ කොමිසමේ සාමාජික සංඛ්‍යාව තුනක් විය යුත් බවත්; එහි රැස්වීමක ඝනපූර්ණය තුනක් විය යුතු බවත්. මේක නීත්‍යානුකූලද?

ඔය වාගේ සාමාන්‍ය කාරණයක් ගැන පවා නොසලකා කටයුතු කිරීමෙන් ඒ අය ගේ දැනුමේ තරම මැන ගන්න පුළුවන්නෙ. ඔය කාරණය නීත්‍යානුකූලයි. නමුත් ප්‍රායෝගික නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 19 වන සංශෝධනය සිදුකර ඇත්තේ ව්‍යවස්ථා විශාරදයන් කීවාට ඔවුන්ට ආණුඩුක්‍රම ව්‍යවස්ථා ගැන අවබෝධයක් තිබු බවක් පෙනෙනට නෑ. මම මේ ගැන අධිකරණයට කරුණු වාර්තා කරල බොහෝ අඩුපාඩු සකස්කර ගන්නත් පුළුවන් වුණා. මැතිවරණ කොමිසමට අදාළ කරුණු ගැන බැලුුවාම යම් හේතුවකින් කොමිසමේ සමාජිකයකු අසනීප වුවහොත් හෝ මියගිය හොත් එහෙමත් නැත්නම් ඉල්ලා අස්වුවහොත් සමස්ත මැතිවරණ ක්‍රියාවලියම අකර්මණ්‍ය වෙනවා.

එදා යහපාලන ආණ්ඩුවෙ සිටි ව්‍යවස්ථා විශාරදයන් විපක්ෂයේ දේශපාලනඥයන් සමඟ අද ව්‍යවස්ථා අර්බුදය ගැන කතා කරන්නෙ නෑ නේද?

එදා ආණ්ඩුව සමඟ සිටි ඊනියා විශාරදයින් අද ගලේ පහරපු බළලුන් ගේ තත්ත්වයට පත්වෙලා. ඔවුන් එකතු වෙලා රටට හඳුන්වා දුන් 19 වන සංශෝධනය රටට ශාපයක් කියල එදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනම සඳහන් කරල තියෙනවා. අද වෙන කොට ඔය විශාරදයින් කියා ගත්තු අය හදපු 19 වන සංශෝධනය විහිලුවක් බවට පත්ව තිබෙනවා. මේ නිසා අදවන විට එය පියෙක් නැති අනාථ දරුවකුගේ තත්ත්වයට පත්ව තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ ගැටලුව විසදී ඇති බව නිල වශයෙන් ප්‍රකාශයට පත්ව තිබියදී විපක්ෂය ඔහු ජනාධිපති ධුරයට පත්වීම නැවත අභියෝගයට ලක්කරන්න දරණ උත්සහය ඔබ දකින්නෙ කොහොමද?

ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියල තිබියදී එදත් මොවුන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිලිබදව ගැටලු මතු කළා. නමුත් අධිකරණය අපක්ෂපාතීව බුද්ධිමත් තීන්දුවක් ප්‍රකාශයට පත් කළ නිසා රටේ බහුතර ජනතාවට ඔවුන්ෙගේ ප්‍රාර්ථනය සථල කර ගන්න පුළුවන් වුණා. ඒ දවස්වලත් රාජිත, අජිත් පී. පෙරේරා, ලක්ෂ්මන් කිරිඇල්ල වැනි එජාප ප්‍රබලයෝ කයිවාරු ගැහුවේ ගෝඨාභය ජනාධිපති වුණත් ඔහු ගේ ඇමරිකානු පුරවැසිභාවය නිසා ජනාධිපති ධුරය අභියෝගයට ලක් කරනවා කියල. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වෙලා මාස හයක් වෙනවා. අදවන තුරු කිසිවෙක් ඔහු ජනාධිපති ධුරයට පත්වීම අභියෝගයට ලක් කරල නෑ. ඒකෙන් පැහැදිලියි ඔවුන් එදා හිතාමතා ජනතාවට බොරු කියල ජනතාව නොමඟ යවන්න උත්සහ කළ බව.

මේ වසංගත සමයේ ආණ්ඩුවේ ඇතැම් අය කියනවා ආධාර ලැබුණා කියලා. තව සමහර අය කියන්නෙ ආධාර ලැබුණෙ නෑ කියල. මේ කොයි කාරණය ද හරි?

ඔය දෙපිරිසම කියන කාරණය හරි. චීනයෙන් අපට ද්‍රව්‍යමය ආධාර විශාල ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. ඇමරිකාව අපිට ඩොලර් මිලියන 5ක මුදලක් ලබා දීමට එකඟව සිටිනවා. ඒ මුදල ලැබෙන්නෙත් කොරෝනා පාලනයට අවශ්‍ය උපකරණ හැටියටයි. ලෝක බැංකුව ඩොලර් මිලියන 128ක් ලබා දීමට එකඟත්වය පළ කර තිබෙන අතර එය ලබා ගැනීම සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කරන්න කියල ශ්‍රී ලංකා රජයට දැනුම් දීල තිබෙනවා. ඒ අනුව ඔබට පැහැදිලියිනෙ; මෙතෙක් ලැබිල තියෙන්නෙ ද්‍රව්‍යමය ආධාර පමණක් බවත් මුදල් ආධාර කිසිවක් තාම ලැබිල නෑ කියන කාරණයත්.

මහින්ද සුළඟේ ඉදලා රාජපක්ෂවරු සමඟ දේශපාලනයට කැප වු ඔබ ගෝඨාභය රාජපක්ෂ රජයේ අමාත්‍ය ධුරයක් ප්‍රතික්ෂේප කළේ ඇයි?

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වෙන කොට එතුමා සමඟ හිටපු කැබිනට් ඇමැතිවරු පනස් පස් දෙනෙක් හිටියා. ඒ අතරින් 28 දෙනෙකුට තමයි අමාත්‍යධුර දෙන්න පුළුවන් කම තිබුණේ. පනස් පස් දෙනෙකුගෙන් 28 කට අමාත්‍යධුර දුන්නාම අනෙක් අයට අසහනයක් වගේම මැතිවරණයක් අබියස එසේ කිරීමෙන් අගතියකුත් ඇති වෙනවා. මේ නිසා තමයි ජනාධිපති තීරණය කළේ දහසය දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කරන්න. මේ කුඩා කැබිනට් මණ්ඩලයට ඇතුළු වෙන්නත් අපේ අය අතරේ ලොකු තරඟයක් ඇති වුණාම ඒක ජනාධිපති අගමැති දෙදෙනාටම ලොකු කරදරයක් වුණා. ජනාධිපති හා අගමැති ඒ ධූරවලට ගෙන එන්නට කැප වු කෙනෙක් විදියට සෙසු අයටත් අදර්ශයක් දීල ඔවුන්ට සහය විය යුතු යැයි මම තීරණය කරල තමයි මට අමාත්‍ය ධුරයක් එපා කියල කීවෙ.

හමුදා නිලධාරියකු වු ගෝඨාභය රාජපක්ෂ මහතා පරිපාලන විභාගය නොකර මෙරට පරිපාලාලන සේවයේ ඉහළම තනතුරකට පත් වුණා. ප්‍රාදේශීය සභාවකටවත් තරඟ කර අත්දැකීම් නැතිව මෙරට දේශපාලනයේ ඉහළම තනතුරට පත් වුණා. මේ ගැන ඔබ මොනවද හිතන්නෙ?

අපිට මෙරට පරිපාලන නිලධාරීන් ගැන දීර්ඝ කාලයක අත්දැකීම් තිබෙනවා. ඒනිසා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට වැඩ බාර ගෙන කටයුතු කරන කොට අපි හිතුවෙ එයත් සාමාන්‍ය විදියට කටයුතු කරාවි කියලයි. නමුත් ඔහු ක්‍රියාවෙන්ම අපේ ඒ සිතුවිලි වෙනස් කළා. ඒ වගේම ඔහු නාගරික අමාත්‍යාංශයේ ලේකම් විදියට පත් වෙලා ඔහු පරිණත පරිපාලන නිලධාරියකු ගේ භූමිකාව ලෝකයටම පෙන්නුම් කළා. මම 2005 ඉදල ඔහු ළඟින් ඇසුරු කළ නිසා ඔහුගේ පෞරුෂය පිළිබඳව විශාල පැහැදීමක් තිබුණා. මහින්ද රාජපක්ෂ මහතා තෙවනවර ජනාධිපති ධුරයට පත් වීම වළක්වන්න පිඹුරුපත් හදන කොට මම තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟට රටෙි ජනාධිපතිවරයා බවට පත් කරගත යුතුයි කියල අදහස් ප්‍රකාශ කළේ. එතුමා දේශපාලනය නොකළත් පරිපාලන නිලධාරියකු ලෙස ඔහු මේ රටේ සාමාන්‍ය ජනහදවත් වලටත් සමීපව සිටි නිසා ජනාධිපතිවරණය ඉතා විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා කොතරම් දක්ෂ දුරදක්නා නුවණක් ඇති නායකයෙක් ද කියල කොරෝනා වසංගතය පාලනය කරන්න ආණ්ඩුවෙ මැති ඇමතිවරු හා රාජ්‍ය නිලධාරීන් මෙහෙයවන ආකාරයෙන් හොඳින් මැන ගන්න පුළුවන් .

කොරෝනා වසංගතය පරාජය කරන්න ජනාධිපතිවරයා අනුගමනය කළ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල මනින්න මිනුම් දඬු තිබෙනවාද?

ඔව්; දැන් ඔබත් දන්න සංඛ්‍යා ලේඛන අනුව ලෝකයේ ජනජනගහනයෙන් සැම මිලියනයකටම කොරෝනා රෝගීන් 538ක් ඉන්නවා. නමුත් ලංකාවෙ ජනගහනයෙන් මිලියනයකටම ඉන්නෙ කොරෝනා රෝගීන් 40ක් පමණයි. ලෝකයේ මෙම රෝගයෙන් මිය ගිය අයගේ ප්‍රතිශතය සියයට 7ක් වෙද්දි එම ප්‍රතිශතය සියයට 1 යි. රෝගය සුවවීමේ ප්‍රතිශතය ලෝකයේ සියයට 36ක් වෙද්දී එම ප්‍රතිශතය ලංකාවෙ සියයට 40ක් වෙනවා. මේ අනුව කොවිඩි 19 පාලනය කිරීමේ දර්ශක අතරින් අපේ රට ඉදිරියෙන් ඉන්නවා.

මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගන්න බල කරන ඔබලා පාස්කු ප්‍රහාරයට වගකිවයුතු බවට චෝදනා එල්ලවන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔබත් නියෝජනය කරන දේශපාලන සන්ධානයේ සභාපති ලෙස පත් කර ගැනීම ඔබ දකින්නෙ කොහොමද?

අපේ රටේ 1978 දී ඇති කර තිබෙන විධායක ජනාධිපති ධුරයට පත් වන්නෙකු අපරාධ නීතිය හෝ වෙනත් නීතියක් යටතේ අධිකරණයට කැඳවන්න හෝ ඔහුට විරුද්ධව ඇති පැමිණිලි විභාග කරන්න අධිකරණයට බලයක් නෑ. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට එරෙහිව කුමන චෝදනා ගොඩ නැඟුවත් ඔහුව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමේ නොහැකියාවක් තිබෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාට එවැනි තත්ත්වයක් නෑ. එනිසයි අපි රජයක් විදියට මහ බැංකුවේ බැඳුම්කර වංචාව ඇතුළු ඊනියා යහපාලන ආණ්ඩුවේ වංචා දුෂණ සම්බන්ධයෙන් ඒවාට සම්බන්ධ මැති ඇමතිවරු අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නෙ.

විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් ඔබ දරන්නෙ මොන වාගේ මතයක්ද?

විධායක ජනාධිපති ධුරයට එරෙහිව මුලින්ම කරුණු ඉදිරිපත් කළ අය අතරේ මමත් ඉන්නවා. රටේ සංවර්ධන හා පරිපාලන කටයුතු සම්බන්ධයෙන් විධායක ජනාධිපති ධුරය අපේ රටට ගැළපෙනවා. නමුත් ජනාධිපති ධුරය; අධිකරණයට යටත් පාර්ලිමේන්තුවට වගකියන ධුරයක් බවට පත් කරන්න ඕන. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ජනතාවට පොරොන්දු වූ ඉකුත් ඊනියා යහපාලන ආණ්ඩුව අඩුම තරමින් මේ තනතුර පාර්ලිමේන්තුවට වගකියන ධුරයක් බවටවත් පත් කරන්න අසමත් වෙලා තිබෙනවා.

ඔබ ඇතුළු බොහෝ අය අපේ රටට අලුත් ආණ්ඩුවක් ඕන කියල කීවාට යල් පැන ගිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අලුත් කරන්න හඬ නගන්නෙ නැත්තෙ ඇයි?

අපේ රටේ 1978 සම්මත කර ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට 19 වතාවක් සංශෝධනය කර තිබෙනවා. දැන් මේ ව්‍යවස්ථාව කඩමාල්ලක් බවට පත් වී හමාරයි. අපි මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න මෙයට කලිනුත් කතා කරලා තියෙනවා. ඒ නිසා මේ දැන් තිබෙන ව්‍යවස්ථාව පසෙකලා ජනතා අභිලාසයන් මුදුන් පත් කෙරෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අපේත් ප්‍රමුඛ අරමුණක්.

ඔබලා විපක්ෂය නියෝජනය කරන කොට පළාත් සභා මැතිවරණය ගැන මහ හඬක් නැගුවත් දැන් ඒ ගැන ශබ්දයක් නෑ. මොකක්ද හේතුව?

අපි විපක්ෂයේ ඉන්න කොට පළාත් සභා මැතිවරණය ගැන හඬ නැගුවෙ අපිට වෙන කරන්න දෙයක් නැති නිසයි. අද අපි ඒ ගැන හඬක් නොනඟා මේ මහ මැතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණය පවත්වන්න සුදානම් කර ගෙන යනවා. උතුරේ ජනතාව ගේ ප්‍රශ්නවලට විසදුම් ලබා දීම කඩිනම් කරන්නයි පළාත් සභා ස්ථාපිත කළේ. අපි අද පුදුම වෙන්නෙ මේ පළාත් සභා මැතිවරණය අහෝසි කරන්න ඊනියා යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ දී යෝජනා සම්මත කර ගන්නා අවස්ථාවෙ ⁣උතුරේ දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ අයත් ඊට සහාය දීම ගැනයි. ඒ වගේම උතුරේ ජනතාව මුලික කරගෙන බිහිවු පළාත් සභා මැතිවරණය පවත්වන්න කියල උතුරේ ජනතාවගෙනුත් කිසිම බලපෑමක් නෑ. එයින් ගම්‍ය වන්නෙ පළාත් සභා සුදු අලියෙක් කියන එක පළාත් සභාවලට පදනම වු උතුරේ ජනතාවම තහවුරු කර තිබෙන බවයි.

ඔබ සඳහන් කළා යහපාලනය රටේ ආර්ථිකය විනාශ කරලයි රට බාර දුන්නෙ කියල. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වාගේ කොරෝනා නිසා ආර්ථික අර්බුදය තවත් උග්‍ර වෙලා. එහෙම නම් ඔබ හිතන විදියට රටේ අනාගත ආර්ථිකය කෙබදු තත්ත්වයට පත් වෙයිද?

යහපාලනය අපිට බාර දුන්නෙ කඩා වැටිචිච ආර්ථිකයක් සහිත රටක් කියල කීවෙම ඒ අයම පත් කළ මහ බැංකුවේ මුදල් මණ්ඩලය සකස් කළ වාර්ෂික මහ බැංකු වාර්තාවයි. ඔබ දන්නවාද 2015 සිට 2019 නොවැම්බර් දක්වා අපේ රටේ ඒක පුද්ගල ආදායම වැඩිවෙලා තිබෙන්නෙ ඩොලර් 33 කින් පමණයි. ඒ කාලය තුළ අපේ රටේ ආර්ථිකය ඇෆ්ගනිස්ථානයටත් වඩා පහළට වැටුණා. මේ නිසා කොරෝනා වසංගතයත් සමඟ අපෙ රටේ අනාගතය අඳුරුයි කියල තමයි බොහෝ දෙනා කියන්නෙ. නමුත් මම ඒ අඳුරු වළාවන් අතරේ රීදි රේඛාවක් දකිනවා. අපේ රටේ ජනතාවගෙන් අති බහුතරය වගකීම් සහගතව ක්‍රියා කරන නිසාත් ආණ්ඩුවට සාර්ථක වැඩපිළවෙලක් තිබෙන නිසාත් කොවිඩි19 වසංගතයෙන් ඉක්මනට නිදහස් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ලෝකයේ අද ඇතිව තිබෙන අලුත් ප්‍රවණතාව අනුව අපට අලුත් ආදායම් මාර්ග හදා ගන්න පුළුවන්. ඇඟලුම් කර්මාන්තය හා රබර් කර්මාන්තය අතින් විතරක්ම අපිට අනාගතයේදි ධනවත් රටක් වෙන්න පුළුවන්. ඒ අතර ආසියාවේ ආර්ථික මර්මස්ථානය ලෙස ලංකාව පිළි ගැනෙන නිසා අපිට අලුත් නායකත්වය සමඟ ජාත්‍යන්තර සබඳතා පුළුල් කර ගෙන ජයග්‍රහණ රැසක් අතපත් කර ගන්නත් හැකියාව තිබෙනවා.

Comments