විපක්ෂයට ඕනෑ කොරෝනා වසංගතය පෙන්වා මැතිවරණය කල් දැමීමටයි | සිළුමිණ

විපක්ෂයට ඕනෑ කොරෝනා වසංගතය පෙන්වා මැතිවරණය කල් දැමීමටයි

මේ රටේ නව දේශපාලන ගමන් මගක් ආරම්භ කර තිබුණේ කොරෝනා වසංගතය ට පෙර නව ජනාධිපතිවරයාගේ පත් වීමත් සමඟය. ඇත්ත වශයෙන්ම පසුගිය 2015 වර්ෂය සම්බන්ධව අපි කතා කළොත් එම මැතිවරණය මේ රටේ ජනතාව නොමඟ යවන ලද එක්තරා දේශපාලනික සිදුවීමකි.

බහුතරයක් සිංහල ජාතිය පමණක් නොව සුළු ජාතීන් වශයෙන් ගත්විට මේ සියලු ජනතා බලවේගය නොමඟ යවන මැතිවරණ ජයග්‍රහණයකි. අපේ රටේ දේශපාලන බලය ලබාගැනීම සඳහා දේශපාලන යථාර්ථය කෙතරම් විකෘති කර ඇති ද යන්න එහිදී ඉතා පැහැදිලිවම දක්නට ලැබුණි. වසර තිහක් පුරා මේ රටේ පැවති විශාලතම ත්‍රස්තවාදය පරාජය කොට මේ රට බේරාගත් නායකයාව හෑල්ලුවට ලක්කරමින්, විවිධ අවලාද අපවාද නඟමින් බොරු චෝදනා නඟමින් මේ දේශපාලන ව්‍යාපාරය ඔවුන් හැසිරවූ බව ඉතා පැහැදිලිය. මෙය බටහිර ගැති වෙනම දේශපාලන න්‍යාය පත්‍රයකි. ඒ න්‍යාය පත්‍රය ජයග්‍රහණය කර ගැනීමට සහ එම න්‍යාය සාක්ෂාත් කර ගැනීමේ පරිශ්‍රමයක ඔවුන් නිරත විය.

මේ රටේ ත්‍රස්තවාදීය පරාජය කොට තිබුණද අද අපි ඉන්නේ පශ්චාත් ත්‍රස්තවාදී තත්ත්වයකය. ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර සහ ජාතික කුමන්ත්‍රණ පරාජය කිරීම නිසා ජාත්‍යන්තරව තිබුණ ප්‍රසාදනීය තත්ත්වය විකෘති කරමින් එදා පැවැති ජනාධිපති මැතිවරණයේදී එවකට සිටි මහින්ද රාජපක්ෂ මහතාට විවිධ අපවාද කරනු ලැබිය. මෙයට බලවේග රාශියක් එකතු විය. ඔවුන්ට අවශ්‍ය වුණේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස්කොට උතුරු-නැගෙනහිර එක පළාතක් කරමින් ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ජයග්‍රහණය කිරීමටයි. ඒ අසාර්ථක පාලන කාලය තුළ ඒ දේ ඔවුන්ට ඉටු කර ගැනීමට නොහැකි විය. එහිදී එකතු වූ දේශපාලන කණ්ඩායම් අතර ද මත බේද ඇති විය. එයට විවිධ දේශපාලන කණ්ඩායම් අතර හා පක්ෂ තුළ පවා පැවති අර්බුදකාරී තත්ත්වය එයට බලපානු ලැබිය.

තවත් පැත්තකින් එවකට සිටි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර දේශපාලන මත ගැටුම් පැවතිණි. ඊට සම්බන්ධ වූ බොහෝ කණ්ඩායම් පසු කාලයේදී මේ අසාර්ථක ගමනින් ඈත් විය. ඉන් පසු ප්‍රගතිශීලී නව ජාතික බලවේගයක් ගොඩනැගුණි. ඒ බලවේගය පහුගිය මැතිවරණයේදී ජයග්‍රහණය කරනු ලැබුණි. ඒ බලවේගය මා හඳුන්වන්නේ ජනතාවාදී ජාතිකත්වය නමිනි. පසුගිය ජනාධිපති මැතිවරණය දක්වා පැවති කාලය තුළ පැවතියේ රාජ්‍ය විරෝධී රජයකි. රටේ ජනතාවගේ බහුතර කැමැත්ත පසෙක දා ඔවුන්ගේ දේශපාලන අභිමතය ක්‍රියාත්මක කිරීමට උත්සහ කරනු ලැබුණු ආණ්ඩුවකි.

ඒ ඇති කිරීමට උත්සාහ කළ විකෘති තත්ත්වය නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීමේ ව්‍යායාම නැවත ගොඩනැගීම සිදුවූයේ පසුගිය ජනාධිපති මැතිවරණයෙන් අනතුරුවය. ජනතාවගේ අභිලාෂය අනුව දේශීය සහ විදේශීය රටවල ජීවත්වන ජනතාවගේ සහභාගිත්වයෙන් ඒ ජන බලවේග ගොඩ නැගිණි. එය මා එය නම් කරනුයේ ජනතාවාදී ජාතිකත්වයක් ලෙසයි. සිංහල ජනතාව පමණක් නොවේ, සිංහල බෞද්ධ ජනතාවම පමණක් ද නොවේ; මෙය මූලික වශයෙන්ම සිංහල බෞද්ධ සහ ක්‍රිස්තියානි සහ ජනතාවාදී ජනතාවගේ ජනකොටස්වල සහභාගීත්වයෙන් ගොඩ නගන ලද බලවේගයකි. අනෙක් ජන කොටස්වල මේ සඳහා සහභාගීත්වය අඩු වුවද ඒ අතරද ප්‍රගතිශීලී ජනතාව මේ සඳහා සහයෝගය ලබාදුන් බව ඉතා පැහැදිලිය. මේ ජනතාවාදී ජාතික බලවේගයන් ගේ ආශිර්වාදය අනුබලය කලාපයේ අනෙකුත් රටවල්වලින් ද ලැබුණු බව පෙනෙයි. 2015 පමණ වනවිට ඉන්දියාවේ ජනාධිපතිතුමා පවා දැනුවත් හෝ නොදැනුවත්ව ඒ මතවාදයන්ට අනුගත වී තිබුණි. නමුත් ඇත්ත වශයෙන්ම අද වන විට අනුගමනය කරනු ලබන්නේ ජනතාවාදී ජාතිකත්වයයි.

මේ වන විට පවතින කොරෝනා වසංගතයට මර්දනය සිදුවීම සම්බන්ධයෙන් කතා කිරීමේදී ඇතැම් පෙරදිග සහ අපර දිග බලවත් රටවල් අනුගමනය කරනු ලබනුයේ ක්‍රමවේද දෙකක් බව පැහැදිලි කරුණකි. බටහිර පාලකයන්ගේ අභිලාෂය ඔවුන්ගේ ආර්ථික කටයුතු සහ ආර්ථික ඉලක්ක ඒ අයුරින් පවත්වා ගැනීමයි. අපේ වැනි ජනතාවාදී ජාතිකත්වයක් එහි දකින්නට නැත. නව ලිබරල් වාදයේ ප්‍රධානත්වය ලැබෙනුයේ වෙළෙඳපොළ කටයුතු වලට පමණකි. ඒ නිසා ඔවුන් රජයට ඉහළින් වෙළෙඳපොළ සලකනු ලබයි. ජාතික රාජ්‍යය අපි දකින්නේ ජාතිකත්වයයි. එම රටවල් වලට ප්‍රධාන වන්නේ ආර්ථික වෙළඳපොලයි.

මේ රටේ ආර්ථිකය ගැන සඳහන් කළහොත් ආර්ථිකය ඇද වැටී තිබුණේ පසුගිය රජය කාලයේදී ය. පසුගිය වසර කිහිපය තුළ මේ රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්වයන් අධෛර්යයට පත් කර තිබුණි. එනම් ඒ හා සම්බන්ධ බලධාරීන්ට උපදෙස් දී තිබුණේ වී ගොවිතැන කිරීමට වඩා වෙනත් ගොවිතැන් කිරීම සුදුසු බවයි. ඊට හේතුව වෙනත් රටවලින් ආනයනය කිරීමට ඇති හැකියාවයි. එසේ කීමෙන් ඔවුන්ට අවශ්‍ය වුණේ මේ රටේ නිෂ්පාදනය කිරීම නෙවෙයි; මේ රට වෙළඳපොළක් කිරීම පමණයි. ඔවුන්ට ජාතික ආර්ථිකයක් පිළිබඳ කිසිදු විශ්වාසයක් තිබූ බවක් පෙනෙන්නට නැත.

ජාත්‍යන්තර ආනයන සහ අපනයන වෙළඳාම හා සම්බන්ධ වූ ඔවුන්ගේ මඩිය තරකර ගැනීම ඔවුන්ගේ අරමුණ යි. ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් මඟින් ලැබෙන කෝටා වලින් හා ඒ හරහා ඔවුන්ට මුදල් ලබාගැනීම මිසක මේ රටේ කුළු බඩු ටික සහ අපනයන බෝග නිෂ්පාදනවලට වලට වෙළඳපොළක් ඇති කිරීම සහ වෙනත් අපනයන බෝග නිෂ්පාදනය කර ගැනීමට උත්සාහ නොකළ බව පෙනෙයි. උදාහරණයක් ලෙස ලෝකයේ ඉතාමත් ඉහළ ප්‍රමිතියකින් යුතු මෙරට කුරුඳු වලට ceylon cinaman වලට ලෝකයේ ඉතා ඉහළ මිලක් තිබුණි . කන්ද උඩරට පවා කුරුඳු වගා කර කෙරිණි. නමුත් ඒ සියල්ලම අකර්මණ්‍ය කර කෙසේ හෝ වෙනත් රටවලින් බඩු මෙරටට ගෙන්වා මේ රටේ විකිණීම ඔවුන්ගේ උත්සාහය විය .මෙරට නිෂ්පාදකයා අකර්මණ්‍ය කර නිෂ්පාදනය නොකරන තත්ත්වයක් ඇති කිරීමේ තත්ත්වයකට පත් විය.

මේ කොරෝනා වසංගතය මොහොතේ සියලුම රටවල් වලට තමන්ගෙ රටේ ආර්ථිකය නගා සිටුවීමේ ක්‍රමවේදයන් පිළිබඳ ව සිතීමට සිදුව ඇත. එසේ මේ වන විට ලෝකයේ සෑම රටකටම සිතන්නට සිදුවී ඇති ප්‍රධානම කරුණ රටේ ආර්ථිකය දියුණු කළයුතු වන්නේ කෙසේද කියන කරුණයි. ලෝකයේ මේ කොරෝනා වසංගතය හරහා ජාත්‍යන්තර ආර්ථික මොඩලය බිඳ වැටුණි. එය තවම ඉස්මතු නොවන්නේ මේ වසංගත තත්ත්වය තවමත් ලොව පුරා පැතිරෙමින් පවතින නිසාවෙනි.

නමුත් අපිට ඉතා පැහැදිලිව දක්නට ලැබෙන කරුණක් නම් පෙරදිග රටවල් මූලික වශයෙන් තමුන්ගේ ඇද වැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීමට මූලික වශයෙන් ජාතිකවාදී ස්වරූපයෙන් කටයුතු කිරීමට උත්සාහ දරන බවයි. එසේ කිරීමට පෙර සමාජ ප්‍රජාතන්ත්‍රවාදය රාජ්‍ය සුබ සාධකවාදී සංකල්පය මත පදනම් වන නිෂ්පාදනයකට ප්‍රමුඛත්වය තිබිය යුතු. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක ඒ සඳහා නායකත්වය ලබා දිය යුතු වන්නේ කවුරුද කියන කාරණාව සම්බන්ධයෙන් ජනතාවට අසමාන්‍ය බලයක් හිමිවී ඇත.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බලයට පත් කරනු ලැබුවේ මෙවැනි රට ගොඩනැඟිය යුතුයි යන කරුණ ගැන අවශ්‍යතාවයක් පැවැති දේශපාලන කොටස් කරුවන් විසිනි. ඒ නිසා අද වන විට එක්සත් ජාතික පක්ෂයට පවා ඡන්දය ලබා දුන් එක්සත් ජාතික පාක්ෂිකයන් පවා වර්තමාන ජනාධිපතිවරයා නිසා අද අපි ජීවතුන් අතර සිටිනවා කියන තත්ත්වයට පත්වී තිබෙයි. එතුමාගේ නායකත්වය නොවන්නට මේ වසංගත තත්ත්වය මීට වඩා ලොකු ව්‍යපෘතියක් විය හැකි බවත් එසේ ම මීට වඩා ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් විය හැකියි බවත් ඔවුන්ගේ විශ්වාසය විය. එසේම එම අසාර්ථක පාලනය හමුවේ මේ ව්‍යසනය පාලනය කරගත නොහැකි තත්ත්වයක් රට තුළ මතුවන බවත් බහුතරයකගේ අදහස විය. ලෝකයේ බලවත් රටවල් පවා අන්ත අසරණ කළ මේ රෝගය අපේ රටේ මර්දනය කළ ආකාරය ඉතා විශිෂ්ටය. එහෙත් විපක්ෂයේ ඇතැම් අය මීට කලින් නිරෝධායනය කළ යුතුව තියෙන බව සඳහන් කරයි.

විපක්ෂයේ ඇතැම් පිරිස් කිසිදු ආකාරයකින් සත්‍ය විවේචනයක් ඉදිරිපත් ඉදිරිපත් නොකරන දේශපාලන වශයෙන් ප්‍රගතිශීලි අදහස් නොදක්වන පිරිසක් බව ඉතා පැහැදිලිය. විපක්ෂයේ වාමාංශික කියන දේශපාලන පක්ෂත් ජනතාවගේ පැත්තෙන් බලන ආකාරයක් මා දුටුවේ නැත. රජය ගන්නා ක්‍රියාමාර්ගයකට යම්කිසි ආශිර්වාදයක් වන ශක්තියක් වන ප්‍රකාශයක් සිදු කරනු ලබන ආකාරයක් වත් අපි දුටුවේ නැත. ඔවුන්ගේ අදහසද අප්‍රිකානු රටවල මීට වඩා හොඳට මේ නිරෝධායන ක්‍රියාමාර්ගය සිදුකරන බව යි. ඒ ඇතැම් රටවලට තවම කොරෝනාව පැතිරෙමින් පවතින රටවල් වන අතර එවැනි රටවල් සමඟ සැසඳීම කෙතරම් පහත් තත්ත්වයක්ද යන්න පෙනෙයි.

මෙවැනි අවස්ථාවක මෙවැනි වසංගතයක් මර්දනය කළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනාට ත්‍රිවිධ හමුදාවට ස්තුතිවන්ත විය යුතුයි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් නිසි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා සහ හමුදාවේ සහ පොලිසියේ සහයෝගය ඇතිව මෙ ව්‍යවසනය ඉතා සාර්ථකව මැඩ පැවැත් විය හැකි විය. නාවික හමුදා නිලධාරින් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් යුතු වද බුද්ධි අංශ ඉතා හොඳින් ක්‍රියාත්මක වීම මේ රෝගය සමාජගත නොවෙන ආකාරයට පාලනය කිරීම ඉතා විශිෂ්ටයි. මේ නව දේශපාලනික වෙනස දැකීමට තරම් මේ රට ඇතැම් පිරිසකට නොහැකි වී ඇත.

විශේෂයෙන් මා දකින දෙයක් වන්නේ රටේ නිවැරදි දේශපාලන සංවාදයක් ඇතිවී නොතිබීමයි. එමෙන්ම ජනතාවට ඒ සම්බන්ධව දැනුවත් වීමක් නොතිබීමයි. පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය හෝ වෙනත් මාධ්‍ය වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පමණක් නොවෙයි; මේ රටේ ප්‍රගතිශීලී ජනතාව උගතුන් බුද්ධිමතුන්ට ද ඔවුන්ගේ සංවාද සම්බන්ධව අවකාශ ලබා දී යුතුයි. දේශපාලනඥයාට වේදිකාවක් ඇත. අද කතා කතිකාවක් ගොඩ නැගී තියෙනවා විද්වතුන් දේශපාලනයට පැමිණිය යුතුයි කියන කාරණාව සම්බන්ධයෙන්. නමුත් ඔවුන්ගේ අදහස් එළිදැක්වීමට වේදිකාවක් සකස් කර දී නැත.

එමෙන් ම කොළඹට පමණක් විද්වතුන් සීමා විය යුතු නැත. ඒ කණගාටුදායක තත්ත්වයකි. නිවැරදි මහජන මතයක් ගොඩනැගීමට අලුත් අදහස් මතවාද මේ රට නැවත ගොඩනැගීමට අවශ්‍ය යි. අලුත් දේශපාලනයක්, අලුත් ආර්ථිකයක්, අලුත් දර්ශනයක් ගොඩනැගීමට කාලයේ අවකාශයට පැමිණ ඇත. එය අපිට ගොඩනැඟිය හැකි වන්නේ වත්මන් ජනාධිපතිවරයාට සහයෝගය දෙන පාර්ලිමේන්තුවක් පත් වීමෙනි. ජනාධිපතිවරයා ගේ අභිලාෂය මේ රට ගොඩ නැඟීමයි. මේ සඳහා සහයෝගය දිය හැකියි පිරිසක් පාර්ලිමේන්තුවට යා යුතු වෙයි. මේ වන විට බොහෝ අය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළද ඔවුන් උත්සාහ කරනු ලබනුයේ කොරෝනා වසංගතය හරහා මැතිවරණය කල් දැමීමට යි. පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීමට ඔවුන්ට උත්සාහ කරන්නේ ද ඔවුන්ගේ පුද්ගලික අරමුණු ඇතිවය.

මේ අවස්ථාවේදී කොරෝනා වසංගතය ඔවුන්ගේ දේශපාලන වාසියට හරවාගෙන ඇත. නමුත් ආණ්ඩුව එය ඉතා හොඳින් මැඩ පවත්වා ගෙන ඇත. විපක්ෂය හැටියට මේ අවස්ථාවේ කළ යුතු වන්නේ රජයට සහයෝගය ලබා දීමයි. තවත් කල් ගතවන්නට පෙර පාර්ලිමේන්තුව පැවැත්වීමට කටයුතු සම්පාදනය කිරීමට රජයට සහයෝගය ලබා දීමයි. මේ රටේ ජනතාවට ඔවුන්ගේ අභිලාශය අනුව නව පාර්ලිමේන්තුවකට සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමට එවිට අවකාශය ලැබෙනු ඇත.

Comments