“ඉංග්‍රීසි වෙස් ගත් සිංහල තරුණියකගේ කතාව” ලියුවේ ඔහුය | සිළුමිණ

“ඉංග්‍රීසි වෙස් ගත් සිංහල තරුණියකගේ කතාව” ලියුවේ ඔහුය

ඔහු පිහිනුම් ශූරයෙකු නොවුයේ මන්දැයි පැහැදිලි නැත. කෝට්ටේ දියවන්නා ඔය ඇසුරේ හැදුණු වැඩුණු ඔහු ඔයට පැන පිහිනීමට මෙහා වෙන කරපු කිසිවක්ම නොවු තරම්ය. ඔහු දක්ෂ පිහිනුම් ශූරයෙකු නොවී නාට්‍යකරුවෙකු වුයේ පුදුම සහගත ඉරණමක් නිසා යැයි සිතේ. එතැනදීත් මුලින්ම ගුරුවරයෙකු වූ ඔහු ඒ අතරතුර කවි ද ලිවීය. ඇබ්බැහිකමක් වශයෙන්ම කවි ලිවීය. එහෙම බැලුවම ඔහු කවියෙකු නොවුයේ මන්දැයි සිතේ. පසුව නීතිඥයෙකු වුයේය. ඔහු නාට්‍යකරුවෙකු වන්නේ ඉන් පසුවය. මේ අපුරු පුද්ගලයා නමින් ජෝන් ද සිල්වාය.

සමකාලීන අධ්‍යාපනය අනුව යමින් පාසැලේ 4 වැනි පංතිය දක්වා පොදු අධ්‍යාපනය ලද ඔහු කෝට්ටේ චර්ච් මිෂන් සමාගමේ එංගලන්ත සභා පාඨශාලාවට ඇතුළු වී ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය හදාරමින් එම මිෂනාරි පාසැල තුළ දීම බෞතීස්ම බව ද ලැබීය. නමුත් පසුව පණ්ඩිත හෙන්රි පෙරේරාගේ හා බටුවන්තුඩාවේ දේව රක්ඛිත පඬිතුමාගේ ඇසුරේ සිංහල භාෂාවත්, පාලි හා සංස්කෘත යන භාෂාවත් හදාරන්නට යොමු වුයේය. ගුරු වෘත්තිය සිය මුල්ම රැකියාව බවට පත් කරගත් ඔහු මුල් කාලයේ දී සිංහල පාඨකයා අතර ජනප්‍රිය වූයේ කවියෙකු හැටියටය. මහත් ආස්වාදයකින් යුතුව දිගින් දිගටම කවි ලියූ ඔහු ඒවා පුවත්පත්වල ද පල කරවීය. විශේෂයෙන්ම බටහිර යටත් විජිතවාදයේ සමාජ සංස්කෘතික ආක්‍රමණය හමුවේ නාගරික ක්ෂේත්‍රයේ සිදු වෙමින් පැවැති විපර් යාසය පසුබිමේ ලියැවුණ ස්වභාවයක් පෙන්වන ඔහුගේ මුල්ම කාව්‍ය සංග්‍රහය නම් කොට තිබුණේ “ඉංග්‍රීසි වෙස්ගත් සිංහල තරුණියකගේ කතාව” යන නමිනි.

මේ කියන කාලයේ දී මුද්‍රණයෙන් පොත පත එළි දැක්වීම දියුණු තත්වයකට පත් වෙමින් තිබුණි. ඉනුත් මුද්‍රණ ක්ෂේත්‍රය සිංහල ව්‍යාපාරිකයන් අතට පත් වීම කැපී පෙනෙන තැනක තිබුණි. ගුරුවරයෙකු වශයෙන් සිටින අතරවාරයේ දීම පොතපත මුද්‍රණයට යොමු වු ඔහු ඒත් සමගම වෘත්තීයෙන් සාහිත්‍යකරුවෙකු වීම ගුරු වෘත්තියට වඩා පොහොසත් රැකියාවක් වෙනු ඇතැයි සිතුවේය. ඇත්තටම ඒ සිතුවිල්ල ක්‍රියාවට නංවන්නට ද ඔහු කටයුතු කළේය. නමුත් වැඩිකල් නොගොසින්ම තමන්ගේ ඒ සිතුවිල්ල නිවැරැදි නොවේ යැයි ඔහුට ඒත්තු ගියේය. එකල කවි පොත් විකිණුණේ මුත්, සිතූ තරම් ආර්ථික ප්‍රතිලාභයක් ඒ නිසාම ලැබීමට හැකියාවක් තිබුණේ නැත.

මෙසේ කාලය ගෙවී යද්දි ඔහු නාට්‍ය නිෂ්පාදනයට පිවිසෙන්නේ ද ඒ නිසා හටගත් ආසාවෙන් නිසා බව පැහැදිලි වේ. ඒ අනුව යමින් තැනූ මුල්ම නාට්‍යය වන රාමායනය ට නොසිතූ විරූ අන්දමේ මහජන විරෝධතාවක් ඇති වූයේය. වෙන එකක් තබා එය පෙන්වු පුෂ්ප ශාලාවට ගිනි තබන්නට ද කලහකාරී පිරිස් ඉදිරිපත් වුහ. ඒ නිසාම එය ගිනිගත් රාමායනය ලෙසින් ප්‍රසිද්ධියට පත් වුයේය යන්න ද ප්‍රසිද්ධ කතාවකි.

ඔහු නීතිය ඉගෙන නීතිඥ වෘත්තියට පිවිසෙන්නේ ද මේ කියන කරදර කාලයේ දීය. ජෝන් ද සිල්වා නාට්‍යකරුවෙකු වන්නේ අහඹු ආස්වාදනීය තත්ත්වයකිනි. තවද කවි ලියු ඒ අත්දැකීමෙන් සන්නද්ධ වූ පසුබිමකය. අනිත් අතට එකල මෙරට ජනප්‍රිය වී තිබු නාට්‍ය වෙසෙසක් හැටියට නූර්ති හඳුනා ගැනෙයි. එහි කිසියම් ගීතමය ස්වභාවයක් අත්විඳිය හැකි වු අතර කවි හැඟුමෙන් යුත් නාට්‍ය රචකයෙකුට ඒ නිසාම දෘශ්‍ය කාව්‍ය යැයි කිව හැකි ශෛලියකින් මතු වීමට මේ කියන නුර්ති සම්ප්‍රදාය යම් පසුබිමක් සලසා දුන් බව සනාථ කරන නිදර්ශනයක් වේ නම් ඒ ජෝන් ද සිල්වා ය. එසේ දෘශ්‍ය කාව්‍යමය ස්වභාවයකින් ඉදිරිපත් වූ ජෝන් ද සිල්වාගේ නාට්‍යය, අවසානයේ දී ඊටම හිමි අනන්‍ය ශෛල්‍යයකින් සිංහල නාට්‍ය ඉතිහාසයේ වෙනම පරිච්ඡේදයක් බවට පත් වූයේය. එසේ ගත් කල ජෝන් ද සිල්වා නාට්‍යය යනු වෙනම පරාසයක වෙසෙස් හැසිරීමකට ලක් කළ යුතු නාට්‍ය ධර්මයක් බවට විවාදයක් නැත.

ජෝන් ද සිල්වා නිර්මාණය වන්නේ වෙනස් ඉනුත් යුරෝපා සමාජ සංස්කෘතීන් තුනක් තුළ සම්මිශ්‍රණය වූ ඉතිහාස කාල වකවානුවකය. නිසි මුදුන් මුලකින් පෝෂණය නොවූ විසිරී ගිය එවැනි පැවැත්මක් තුළ ඔහුගේ නාට්‍ය තුළ පවා ඒ අනන්‍යතාවක් නැතිකම දැකිය හැකි යැයි සිතමි. (පසු කාලයක දී සරච්චන්ද්‍රයන් ජාතික අනන්‍යතාවක් සහිත නාට්‍ය කලාවක් වෙනුවෙන් හඬක් නගන්නේ මෙවැනි අතීත අත්දැකීම් ගැන සලකා බැලීමෙනි.) කෙසේ වෙතත් අපට මේ තත්ත්වය විසදෘශ බවක් ලෙසින් වටහා ගැනීමට පුළුවන. ජෝන් ද සිල්වා කරන්නේ ඒ විසදෘශ බවම සිය කාව්‍යමය හැකියාවෙන් ඔපමට්ටම් කොට අර කියන්නට යෙදුණු දෘශ්‍ය කාව්‍යමය මුහුණුවරකින් ඉදිරිපත් කිරීමය. පහත දැක්වෙන්නේ ඊට උදාහරණ දෙකකි.

“දන්නෝ බුදුන්ගෙ ශ්‍රී ධර්මස්කන්දා

පේවී රකිති සොඳ සීලේ නිබන්දා ” ඔහුගේ සිරිසඟබෝ නාට්‍යයේ එන මේ ගීතය අර කියන්නට යෙදුණු දෙය මැනවින් ස්ඵුට කරන්නකි.

“ක්ලේෂ නස්නා භික්ෂු ඇත්තේය බෝ සේ

රහතුන් නිවසනා පාය ප්‍රකාෂෙ ”

දෙවැනි උදාහරණය හැටියට ඔහුගේ දුටුගැමුණු නාට්‍යයේ පහත දැක්වෙන ගීතය ද පෙන්වා දීමට පුළුවන.

“සුවඳ පත්ම ඕලු ආදි

නොයෙක පුෂ්පයෙන් සැදී

සරන හංස සේරු බෝම

පොකුණු ශීත පැන් පිරී” යි ලියන ඔහු ඒ දෘශ්‍ය කාව්‍ය අපූර්වත්වය තවදුරටත් ඊට එක් කරමින් මේ ආකාරයට ද ලියයි.

“මම ද නාග ලෝකයෙන් මෙපුර ආමි නාන සේ”

කාලයට සාපේක්ෂව ඔහු විසින් ගොඩ නගන්නට යෙදුණු ඒ නිර්මාණාත්මක සුගායනය ඔහුට වඩා බොහෝ ඇකඩමික් අධ්‍යාපන පසුබිමක් ඇතිව නාට්‍යකරණයට බට මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට පැහැදිලි අභියෝගයක් එල්ල කළේය යන්න අතිශයෝක්තියෙන් තොරවම ඇත්තක් වේ. දුර්දාන්ත යටත් විජිතවාදී ආණ්ඩුව 1815 දී ඔහුට එරෙහිව ජාතිවාදය අවුස්සන්නෙකි යනුවෙන් චෝදනා කොට සිරගත කරන්නේ එකල පැවැති කලබලකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. කෙසේ වුව නිදහස් වී පැමිණි පසුත් ඔහු සිය අපූර්ව නාට්‍යකරණය අත් නොහළ අතර කෙමෙන් වයස්ගත වෙමින් මෙලොව අත්හැර යන්නේ ස්වදේශීය නිදහස් රාජ්‍යයක රුව ලක්ෂණයක සේයාවක්වත් දැකිය නොහැකි කාල වකවානුවක දීය. ඒ 1922 ජනවාරි 22 දාය.

යටත් විජිතවාදී ආණ්ඩු සමයක ඔවුන්ගේ පාලන මූලස්ථනය වු කොළඹ නගරයේ වෙසෙමින් මුල් ඇදෙමින් නොව මුල් සිඳෙමින් පැවැති විසදෘශ සමාජ සංස්කෘතියක් හමුවේ ඒ තුළින්ම නුහුරු නුපුරුදු අපුර් වත්වයකින් ප්‍රතිනිර්මාණය කලා වු ඒ නාට්‍ය අලංකාරය කලාව සම්බන්ධයෙන් පමණක් නොව ඵෙතිහාසිකව ද ගත යුතු විමසීමක්ම වන්නේය. එය නිදහස් අලංකාරයකි. පොදු මානසිකත්වය තුළ රසිකත්වය අවදි කළ විදග්ධ ස්වරූපයක් ද යම් පමණකට හෝ එහි දැකිය හැකි විය. ඒ වෙනුවෙන් විජාතික නුර්ති සම්ප්‍රදාය තුළ වුව ඔහු ඉඩක් හදාගෙන තිබුණි.

ඒ ඉඩ අවසරය තුළ ඔහුටම අනන්‍ය වූ රුව ගුණ අලංකාරයක් නිර්මාණය කරගැනීමට ඔහු සමත් වුණි. ඒ නිදහස් දෘශ්‍ය කාව්‍ය රිද්මයෙන් සුගායනීය නිර්මාණ ඇත්ත වශයෙන්ම සනාතනික කලා නිර්මාණයෝ වෙති. එහි සැකයක් නම් නැති.

Comments