කොරෝනා වසංගතයෙන් බැට කන පාසල් වෑන් රථ හිමියෝ | සිළුමිණ

කොරෝනා වසංගතයෙන් බැට කන පාසල් වෑන් රථ හිමියෝ

කොවිඩ් 19 ගෝලීය වසංගතයේ ව්‍යාප්තියේ අවදානමත් සමඟ මෙරට පාසල් වසාදැමීමට රජය විසින් කටයුතු කරනු ලැබු‍වේ මාර්තු 11 වැනිදාය. එතැන් සිට මේ දක්වා පාසල් දරුවන් නිවෙස්වලය. පාසල් ළමුන් ප්‍රවාහන සංගම්වල දත්ත අනුව වාහන හිමිකරුවන්, රියදුරන් සහ සහායිකාවන් ඇතුළු හතළිස් අට දහසකට ආසන්න පිරිසක් මෙම සේවය තුළින් ජීවනෝපාය සරිකර ගනිති.

අප්‍රේල් මාසය වෙනුවෙන් පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන සඳහා කිසිදු ගෙවීමක් නොකරන ලෙස විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පසුගිය මාසයේදී ප්‍රකාශ කරනු ලැබිණ. පාසල් ළමුන් ප්‍රවාහන කරන වාහනවල රියදුරන් මවුපියන් පීඩාවට පත්කරමින් මුදල් අයකර ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව ද අමාත්‍යවරයා පැවසීය. වසංගත තත්ත්වය තුළ පාසල් දරුවන්ගේ මවුපියන් ද ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින බැවින් ඔවුන් තවත් පීඩාවට පත්කරමින් මුදල් අයකර ගැනීමට පාසල් වෑන් රථ රියදුරන්ට අවස්ථාවක් නොදෙන බව ද ඇමතිවරයා විසින් අවධාරණය කෙරිණ. ඒ වෙනුවට ජීවනෝපාය අහිමි වූවන් වෙනුවෙන් රජයෙන් පිරිනමන රුපියල් 5000 සහන දීමනාව ත්‍රීරෝද රථ රියදුරන්ට හා පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමේ කටයුතුවල නිරතව සිටින රියදුරන් සඳහා ද ලබාදීමට රජය තීරණය කළේය.

එහෙත් එම සහන දීමනාව බොහෝ දෙනකුට නොලැබුණු බවත් සුපුරුදු ජීවනෝපාය අහිමි වීමෙන් තමා බරපතළ ගැටලුවලට මුහුණ දී සිටින බවටත් දිවයින පුරා විසරී සිටින පාසල් ළමුන් ප්‍රවාහන සේවාවේ යෙදී සිටින්නෝ චෝදනා කළහ. මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින් අප්‍රේල් මාසය සඳහා වාහන ගාස්තු අයකර ගැනීම පිළිබඳ පැනවූ තහනම ද ඔවුන්ගේ දැඩි කණස්සල්ලට හේතු විය. ඒ අනුව තමන් මුහුණ දී සිටින අර් බුදකාරී තත්ත්වය පිළිබඳ අමාත්‍යවරයා දැනුවත් කිරීමේ අරමුණින් දිවයින පුරා පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නන් නියෝජනය කරමින් එම ප්‍රවාහන සංගම්වල නියෝජිතයන් පසුගිය 12 වැනිදා අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක නිරත වූහ.

ඒ අනුව අප්‍රේල් සහ මැයි මාස දෙක වෙනුවෙන් සම්පූර්ණ ගාස්තු අය නොකර ගාස්තුවෙන් අඩක් හෝ දෙමාපියන්ට හැකි පරිදි යම් මුදලක් අයකර ගැනීමට තීරණය කෙරිණ. පවතින තත්ත්වය හමුවේ එසේ මුදලින් අඩක් හෝ ගෙවීම අසීරු දෙමවුපියන් පිළිබඳ සානුකම්පිතව කටයුතු කිරීමට ද ඔවුහු තීරණකට එළැඹ සිටිති. මේ පිළිබඳව අප පාසල් ළමුන් ප්‍රවාහන සංගම්වල නියෝජිතයන්ගෙන් අදහස් විමසීමට අදහස් කළේ මෙම ගැටලුව දුරදිග යෑමෙන් එය පාසල් ප්‍රවාහන වාහනවල සේවය ලබාගන්නා සිසු දරුවන්ගේ අධ්‍යාපනයට ද යම් බලපෑමක් කළ හැකි තත්ත්වයක් උද්ගත විය හැකි නිසාය.

දිවයින පුරා විසිරී සිටින සාමාජිකයන් 27, 000ක් පමණ නියෝජනය කරන සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රි ද සිල්වා මහතා ඒ පිළිබඳ මෙසේ අදහස් දැක්වීය. "වසංගතය නිසා මාර්තු මාසයේ 2 වැනි සතියේ පාසල් වසන විට ඒ මාසයට මුදල් නොදුන් දෙමවුපියන් ද හිටියා. කොහොමටත් අපි අවුරුදු නිවාඩු මාසයේ අය කරන්නේ ගාස්තුවෙන් අඩක් පමණයි. ඇතැම් දෙමවුපියන් පත්ව සිටින අසීරුතාව තේරුම් අරගෙන සිය කැමැත්තෙන්ම අපිට මුදල් දුන්නා. ඊට හේතුව අප හා ඔවුන් අතර පවතින්නෙ සේවයට එහා ගිය බැඳීමක්. නමුත් අවාසනාවකට මෙන් මෙම ප්‍රශ්නය ජනාධිපති කාර්යාලය දක්වා ගියා. ඒ හරහා ඇමතිතුමා ප්‍රකාශයක් නිකුත් කළා අප්‍රේල් මාසය සඳහා ගාස්තු ගෙවන්න එපා කියලා. සංගමයක් ලෙස අපි මුදල් සම්බන්ධ කාරණාවලට අතපොවන්නේ නැති වුණත් ඉහත කී තත්ත්වය තුළ ඇතිවූ ගැටලුකාරී තත්ත්වය නිසා අපට ඒ සඳහා මැදිහත් වීමට සිදුවුණා. වාහන හිමියන්ට දෙමවුපියන්ගෙන් මුදල් ලැබුණේ නැත්නම් රියදුරන්ට, පාලිකාවන්ට වැටුප් දෙන්න බැහැ. රුපියල් 5000 දීමනාව නොලැබුණු බොහෝ පිරිසක් සිටිනවා. ඔවුන්ගේ දරු පවුල් ඉතාම අසරණ තත්ත්වයට වැටී සිටිනවා. මේ ගැන හිතලා තමයි අපි ඇමතිතුමා හමුවෙලා එතුමාගේ අවධානය නැවත මේ පිළිබඳ යොමු කළේ. "

කොවිඩ් 19 වසංගතය නිසා බිඳ වැටුණු රටත් ජනතාවත් ශක්තිමත් කිරීමට රජය විසින් පියවර රාශියක් ගනු ලැබිණ. ඒ තුළින් පාසල් ළමුන් ප්‍රවාහන සේවයේ නිරත වූවන්ට සහනයක් ලැබුණේම නැද්දැයි කෙනෙකු ප්‍රශ්න කළ හැකිය. ඒ ගැන මල්ශ්‍රී ද සිල්වා මහතා මෙසේ කීවේය.

"කොළඹ ව්‍යාපාර සමුළුව මැදිහත් වෙලා රජය ලබාදුන් කල්බදු වාරික සහනය අපිටත් ලබාදෙන්න කටයුතු කළා. ඒ ගැන ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. නමුත් ඒ සහනය හරහා දැන් අපි තවත් ප්‍රශ්න රැසකට මැදිවී තිබෙනවා. රජයෙන් පොළිය අය කරන්න එපා කිව්වත් ෆිනෑන්ස් සමාගම් වාරික මුදලට පොළියක් එකතු කරනවා. අපේ සංගමයේ ගාල්ල ශාඛාවේ සාමාජික මහත්මයකුට ෆිනෑන්ස් සමාගමෙන් කියලා තියෙනවා එයා සාමාන්‍යයෙන් ගෙවපු මාසික වාරිකය වන රුපියල් 85,000 වෙනුවට 1,15,000ක් ගෙවන්න කියලා. ෆිනෑන්ස් සමාගම්වල ඒ අසාධාරණ කටයුත්ත නිසා රජයෙන් දීපු සහනය අපිට ඇත්තටම සහනයක් වෙලා නැහැ."

දිවයින පුරා දිස්ත්‍රික්ක 21ක් ආවරණය වන පරිදි ශාඛා සමිති 174කින් සමන්විත විසි දහසකට ආසන්න සංඛ්‍යාවක් සාමාජිකත්වය දරන සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් කමල් ඉලංගරත්න මහතාගෙන්ද අප මේ පිළිබඳ විමසුවෙමු.

" අප්‍රේල් මාසය තියා තවම අපිට පෙබරවාරි, මාර්තු මාසවලත් මුදල් නොගෙවූ දෙමවුපියෝ ඉන්නවා. නමුත් මාර්තු මාසය වෙනුවෙන් නම් අපි අනිවාර්යයෙන්ම ගාස්තුවෙන් සියයට 75ක් අය කරනවා. අප්‍රේල්, මැයි මාස සඳහා ගාස්තු ගෙවීම අනිවාර් යයි කියලා අපේ සංගමය කියලා නැහැ. අපි කියලා තියෙන්න‍ෙ ඇතිහැකි දෙමවුපියෝ මේ වෙලාවේ පුළුවන් විදිහට අපිට උදව් කරන්න කියලයි. මේ අවස්ථාවේදී අපේ සාමාජිකයන් අසාධාරණ විදිහට දෙමවුපියන්ගෙන් මුදල් අයකරනවා නම් අපි එය දැඩිව හෙළා දකිනවා. ඒ වගේම ගෙවන්න පුුළුවන්කමක් තියෙන අය ගෙවීම මඟහරිනවා නම් ඒකත් වරදක්. ඒ විදිහේ තුලනාත්මක ස්ථාවරයකයි අපි ඉන්නේ. රජය විසින් අපටත් රුපියල් පන්දහසේ දීමනාව ලබාදෙන්න කිවුවත් එය ලබාදීමේ ක්‍රමවේදය අවිධිමත් සහ අර්බුදකාරියි. ඒ වගේම කල්බදු වාරික සහනය තුළින් අපි කබලෙන් ලිපට ඇද වැටුණා කිව්වොත් හරි. එයින් වෙලා තියෙන එකම දේ ෆිනෑන්ස් ගෙවුවෙ නෑ කියලා වාහනේ ගෙනියන්නේ නැති එකයි දඩ පොළියක් අයකරන්නේ නැති එකයි විතරයි. නමුත් දැන් අපිට තිබුණ වාරික මුදලට වඩා වැඩි ගාණක් ගෙවන්න වෙලා තියෙනවා."

මෙම සියලු ප්‍රශ්නවලට මූලික හේතුව මෙම සේවාව කර්මාන්තයක් ලෙස නියාමනය නොවීම බව ද ඔහු කීවේය. වසර ගණනාවක සිට බලධාරීන්ට ඒ පිළිබඳ හඬ නඟන සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා ද ඒ පිළිබඳ කතා කළේ කනස්සල්ලෙනි.

"නියාමනය කරන ආයතනයක් තිබුණා නම් මෙවැනි අසීරු අවස්ථාවක අපිට මීට වඩා ශක්තියක් ලැබෙනවා. බෙහෝ දෙනා සිතන්නේ මේක සුර සැප විඳින රැකියාවක් කියල. පාන්දර 4ට 4.30 ට වගේ රස්සාව පටන් ගන්න අපි ගෙදර යන්නේ හවස 4ට,5ට. හැම වාහනයකටම පාලිකාවක් සිටිය යුතුයි කියලා රජයෙන් කිව්වට පාලිකාවක් ගෙනියන්න බැරි අවස්ථාත් තියෙනවා. ගොඩක් තැන්වල අපිට පාක් එකක් නැහැ. ඒ තැන්වල සනීපාරක්ෂක පහසුකම් නැහැ. ඒ තත්ත්වය යටතේ කාන්තාවක් පාලිකාවක් විදිහට ගෙනියන්න අපහසුයි. මේ වෙලාවේ මේ වාහනවල වැඩකරන රියැදුරෝ අන්ත අසරණ වෙලා ඉන්නෙ. වාහන හිමිකරුවන්ට ඔවුන්ට වැටුප් දෙන්න ආදායමක් ලැබෙන්නේ නැහැ. නමුත් අමාරුකම් මැද්දේ ඒ යුතුකමත් පුළුවන් විදිහට ඉටු කරනවා. අපේ සංගමයේ රියැදුරු මහත්මයෙක් මට කතාකරලා කිව්වා හවසට චූන්පාන් එනකොට එයා හැංඟෙනවලු, දරුවෝ ඒකෙන් කෑම අරන් දෙන්න කියල අඬන නිසා."

දස වසරකට අධික කාලයක් තිස්සේ පාසල් ළමුන් ප්‍රවාහන කරන රථයක පාලිකාවක ලෙස කටයුතු කරන මාවතගම පදිංචි බී.එච්.අයි බණ්ඩාරගේ මහත්මිය මේ දිනවල ගතකරන දුෂ්කර ජීවිතය ගැන කීවේ මෙසේය.

"මගේ මහත්තයාට රැකියාවක් නැහැ. අපිට සමෘද්ධි සහනාධාරය ලැබෙන්නෙත් නැහැ. අපි ජීවත් වුණේ, දරුවට උගන්වන්නෙ මම ස්කූල් වෑන් එකේ වැඩකරලා ගන්න වැටුපෙන්. දැන් ඒකත් නැහැ. රජයෙන් දෙන රුපියල් 5000 දීමනාව ලැබුණා. ඒත් අපි ගොඩක් අමාරුකම් මැද ජීවත් වෙන්නෙ. මගෙ දුව මේ පාර උසස්පෙළ විභාගයට පෙනී සිටිනවා. ඉස්කෝලෙ වගේම ටියුෂන් පන්තිත් නැති එක ලොකු පාඩුවක්. ඔන්ලයින් උගන්වන ගුරුවරු පැයකට විශාල මුදලක් අය කරනවා. අපිට ඒ වගේ මුදලක් දරන්න අමාරුයි. අපිට තියෙන එකම බලාපොරොත්තුව දුවට හොඳින් උගන්වන එක. මේ කරදර අස්සේ ඒ බලාපොරොත්තුවත් ඉටු කරගන්න බැරිවෙයි කියලා ලොකු හිත් වේදනාවකින් මම ඉන්නේ"

ඇය මෙන්ම තවත් රිය පාලිකාවක වන අනූෂා චාන්දනී ද කීවේ මෙම තත්ත්වය තුළ ජීවිතය විශාල පසුබෑමකට ලක්ව ඇති බවය. යළි පාසල් විවෘත වන විට සුපුරුදු මෙහෙවරේ යෙදවීමට නම් ඒවා පෙර සූදානමක් කළ යුතු නොවේද? ඒ පිළිබඳ අප සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් කමල් ඉලංගරත්න මහතාගෙන් විමසුවෙමු.

"නිසැකවම ඒ සඳහා පෙර සූදානමක් අවශ්‍යයි. බලපත්‍ර කාලය අවසන් වාහන ඒවා නැවත අලුත් කරගත යුතුයි. ඒ වගේම පාසල් පටන් ගත්ත ගමන් ඩීසල් ගහන්න දෙමවුපියන්ගෙන් මුදල් ඉල්ලන්න බැහැ. ඒ වගේම පාසල් විවෘත කිරීමත් සමඟ අනුගමනය කරන සෞඛ්‍ය ක්‍රමවේද තුළ වෙනදා අපි ගෙනියන සිසුන් සංඛ්‍යාව එකවර ගෙනයෑමටත් නොහැකි වේවි. සමහර විට ගමන් වාර කිහිපයක් යෑමට සිදුවෙයි. එහෙම වුණා කියලා ගාස්තු වැඩි කරන්නත් බැහැ. එවැනි ප්‍රශ්න කිහිපයකට අපට මුහුණ දීමට සිදුවේවි. පසුගිය 12 වැනිදා ඇමතිතුමා හමුවූ අවස්ථාවේදී මම මේ ප්‍රශ්න ලිඛිතව එතුමාට ඉදිරිපත් කළා. පාසල් ආරම්භ කිරීමට පෙර වාහන නිසි ලෙස සූදානම් කරගැනීම සඳහා අපට තිබෙන ගැටලු විසඳා ගැනීමට සහන පොළියට ණය මුදලක් ලබාදෙන්න කියන ඉල්ලීමත් ලිඛිතව ඉදිරිපත් කළා. නමුත් තවම නම් ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබී නැහැ"

පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන හිමිකරුන්, රියදුරුන් සහ පාලිකාවන් මේ වන විට මුහුණ දී තිබෙන අසීරුතා පිළිබඳ උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.

"කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ රටේ හැම ක්ෂේත්‍රයක්ම වගේ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දී තිබෙනවා. පාසල් වැසීම නිසා පාසල් ළමුන් ප්‍රවාහන සේවයේ නිරතවූවන්ට ජීවනෝපාය අහිමි වී තිබුණත් රියදුරු, සහායක වැටුප් ගෙවීම්, වාහන නඩත්තු කටයුතු, ණය වාරික ගෙවීම්, බලපත්‍ර අලුත්කිරීම් ආදිය සිදුකළ යුතුව තිබෙනවා.

ඒ වගේම ආදායම් මාර්ග අවහිර වීම සහ වැටුප් අඩුවීම නිසා දෙමවුපියන් ද අසීරු තත්ත්වයකට පත්වී සිටිනවා. ඒ තත්ත්වය තුළ නිවාඩු මාස සඳහා ඇති හැකි දෙමවුපියන්ට පාසල් වෑන් රථ සඳහා ගෙවීම් කරන ලෙස පැවසීමෙන් තවත් ප්‍රශ්න රැසක් මතුවිය හැකියි. ඒ නිසා මෙයට රජයේ මැදිහත්වීමෙන් නිසි විසඳුමක් අවශ්‍යයි. එම නිසා එම නිසා වාහන හිමිකරුවන්, මවුපියන් යන පාර්ශ්ව දෙකටම සාධාරණයක් ඉටුවන නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට රජය කඩිනමින් මැදිහත් විය යුතු බව අපේ ස්ථාවරයයි"

 

Comments