වසර දෙසියකට පසු දුර්ලභ කළු කොටියෙක් පණ පිටින් හසුවෙයි | සිළුමිණ

වසර දෙසියකට පසු දුර්ලභ කළු කොටියෙක් පණ පිටින් හසුවෙයි

අසේල කුරුළුවංශ හා මස්කෙළිය සමූහ

ගාමීණී බණ්ඩාර ඉලංගන්තිලක

කළු කොටි ගැන අප කොතරම් කතා අසා තිබුණත් වසර එකොළහකට මෙපිට කාලය තුළ මෙරට කිසිවෙවකුත් පියවි ඇසින් කළු කොටියකු දැක තිබුණේ නැත. පිටදෙණිය මාවුල්දෙණිය ප්‍රදේශයේ නව ලැහැබක අටවා තිබූ මද්දකට හසුව මියගොස් සිටියදී කළු කොටියෙකු හමුවූයේ 2009 වසරේදීය. ඊට ඉහත අවස්ථා දෙකකදී කළු කොටි හමුවී තිබෙන අතර එම සතුන්ද දැක ගැනීමට ලැබී ඇත්තේ උගුල් වලට හසුව මරණයට වැළඳගෙන සිටියදීය.

කළු කොටියෙකු ලෙස අපට දකින්නට ලැබුණේ ගිරිතලේ වනජීවී කෞතුකාගාරයේ ඇති පිටදෙණිය මාවුල්දෙණිය ප්‍රදේශයේ මද්දකට හසුව මියගොස් සිටි කළු කොටියාගේ සම යොදාගෙන වනජීවි නිලධාරීන් විසින් සකස් කළ අනුරුව පමණි. එතැන් පටන් මෙරට කිසිදු වනාන්තරයකින් හමු නොවුණු කළු කොටියකු පිළිබඳව අපට අසන්නට ලැබුණේ පසුගිය ඔක්තෝම්බර් මාසයේදීය. ඒ වනජීවි දෙපාර්තමේන්තුව මගින් සිදු කළ ගවේෂණයකට අදාළව ශ්‍රිපාද අභය භූමිය ආශ්‍රිත රිකාටන් ප්‍රදේශයේ අටවා තිබූ දුරස්ථ චලන සංවේදී කැමරාවක කළු කොටි රුවක් සටහන්ව තිබීමත් සමඟය. ශ්‍රී පාද රක්ෂිතයේ කළු කොටියකු සිටින බව එලෙස තහවුරුකර ගැනීමට හැකිවුවත් පසුගිය 26 දින දක්වා එම කොටියා පියවි ඇසින් දකින්නට කිසිවකුත් සමත්ව සිටියේ නැත.

කොටියා පියවි ඇසින් දැක ගැනීමට ලැබීම වාසනාවක් වුවද අවාසනාවකට ඌ ඒ වනවිටත් මන්දකට හසුව තුවාල ලැබ සිටියේය. වයස අවුරුදු හයක් පමණ වයසැති කළු කොටියා අඩි 06 ක පමණ දිග හොඳින් වැඩුණු එකෙකි. අඩි තුන හමාරක් පමණ උස කොටියා කිලෝ 50 ක පමණ බරින් යුත් බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ ප්‍රධානි ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසුවේය. පැන්තරා පාදුස් වර්ගයට අයත් පිරිමි සත්ත්වයකු වන මෙම කළු කොටියා එළවළු කොරටුවට ඇතුළු වන සතුන්ට අටවන ලද කම්බි මද්දකට හසුවී ඇත්තේ (26) දා අලුයම් කාලයේය. නල්ලතන්නිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ ප්‍රධානි ප්‍රභාෂ් කරුණාතිලක මහතා වහා දැනුවත් කිරීමෙන් පසු එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සිද්ධිය වූ ස්ථානයට පැයක පමණ කාලයක් තුළ ළඟාවී ඇත.

වහා ක්‍රියාත්මක වූ උඩවලව ඇත් අතුරු සෙවණේ වෛද්‍ය මාලක අබේවර්ධන හා රන්දෙනිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිනිදෙනිය තවත් කණ්ඩායමක් සමඟ පස්වරු 1.00 පමණ වනවිට ලක්ෂපාන වතුයායේ, වාලමලේ කොටසට පැමිණයහ.

මද්දට සිරවීම නිසා කොටියාගේ ඉදිරි දකුණු පාදයේ ඉහළ කොටසේ අඟල් හතරක් පමණ පළල අඟල් තුනක් පමණ ගැඹුරක් සහිත තුවාලයක් සිදුව තිබිණි. එම තුවාල වලට වහා ප්‍රතිකාර කිරීමෙන් පසු පස්වරු 3.00 ට පමණ කොටියා විශේෂිත යකඩ කූඩුවක දමා ඉතා ආරක්ෂිත අයුරින් සිද්ධියවූ ස්ථානයේ සිට මීටර් 300 ක් පමණ දුරින් පිහිටි වතු මාර්ගය වෙත ගෙන එනු ලැබුවේ වනජීවි දෙපාර්තමේන්තුවේ හා ලක්ෂපාන වතුයායේ කම්කරුවන් විසිනි.

මෙහෙම සිද්ධ වෙන්නේ ඉතාම කලාතුරකින්. මේ නිසාම කළු කොටියා කියන්නේ ඉතාම දුර්ලභම සතෙක්.මේ දුර්ලභත්වය නිසාම සතාට ලැබී තිබෙන වටිනාකමත් ඉතා ඉහළයි. කළු කොටියකුගේ පැටවෙක් කළු පාටම වෙන්නේ නැහැ. මේ වගේ සතෙක් ආරක්ෂාකර ගැනීම ඉතාම වැදගත් වෙන්නේ ඒ නිසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහචාර්ය අශෝක දංගොල්ල පවසයි.

මෙයාට පැටව් දෙන්නෙක් ඉන්නවා. ඒ අය සාමාන්‍ය කහපාට අඟේ කළු පුල්ලි තියෙන කොටි. මන්දට අසුවූ ස්ථානය හා මීට කලින් කැමරාවට මේ කළු කොටියා අසුවූ ස්ථානය අතර කිලෝ මීටර 08 ක පමණ දුරක් තියෙනවා.

මෙයට සති කිහිපයකට පෙර කොටියෙක් මන්දකට අහුවෙලා මන්දත් එක්ක ගහකට නැගලා ඉද්දී අපි ප්‍රතිකාර කළා. ඒත් සතා මැරුණා. වාසනාවකට මේ කළු කොටියගේ බෙල්ල තමයි මන්දට අහුවෙලා තිබුණේ. බෙල්ල හිරවෙලා සතා නොමැරුණොත් අපිට එයාව බේරාගන්න තියෙන අවස්ථාව වැඩියි. පශු වෛද්‍යවරු ප්‍රතිකාර ලබාදී සතාව උඩවලව පශු රෝහලට රැගෙන ගියා. මේවන විට සතා හොඳින් ඉන්නවා. අපිට තවත් දින කිහිපයකින් මෙයාව හිටිය පරිසරියටම මුදාහරින්න පුළුවන්. මෙයාව වෙනත් තැනකට දාන්න බැහැ; මොකද මෙයාගේ දඩයම් සීමාව මේක. වෙන තැනකට දැම්මොත් ඒ සීමාව රකින කොටියා මෙයාට පහර දෙන්න පුළුවන්‘ නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ ප්‍රධානි ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසුවේය.

උඩරට වතුකරය තුළ පසුගිය වසර පහක කාලය තුළ කොටි 35 දෙනෙකු පමණ මරණයට පත්ව තිබේ. ඒ වාර්තාවී තිබෙන ප්‍රමාණය පමණි. මදු වලට අසුව මරණයට පත්වූ කොටි තවත් බොහෝ දෙනෙකුගේ සිරුරු හොර රහසේම විනාශ කර දැමූ අවස්ථාද තිබෙන්නට පුළුවන. පසුගිය මාස දෙක තුන තුළ සතුන් දඩයම් කිරීමට අටවන ලද මදු දහසකට වැඩි ප්‍රමාණයක් ගලවා ඉවත්කර තිබෙන බව නල්ලතන්නිය වනජීවි කාර්යාලය පවසයි. දඩයම්කරුවෝ මස් පිණිස සතුන් අල්ලා ගැනීමට මදු ගසති. ඊට අමතරව ගොවිතැන් කටයුතු වන සතුන් ගෙන් බේරා ගැනීමටද ගොවි බිම් ආශ්‍රිතිව මදු ගසන පුද්ගලයෝ සිටිති. කුමන කාරණයක් සඳහා කළද සතුන්ට මදු ගැසීම නීතියෙන් තහනම්ය. කළු කොටියා අසුවූ වගා භූමිය හිමිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුගියදා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. මෙසේ කළ පමණින් වන සතුන්ට මදු ගැසීම නවතින්නේ නැත. ඒ සඳහා මෙම වන සතුන්ගේ වටිනාකම පිළිබඳව දැනුම හා අවබෝධය ඒ ප්‍රදේශවාසීන්ට ලබාදිය යුතුය. ඒ ඔස්සේ දඩයම්කරුවන්ට එරෙහි සමාජ මතයක් ගොඩනැගීමට කටයුතු කරනතාක් මෙයට නැවතීමේ තිත තැබිය නොහැකිය.

Comments