රමසාන් ආවර්ජනා | සිළුමිණ

රමසාන් ආවර්ජනා

සිංහල අවුරුදු, වෙසක් වගේම රමසානුත් නිහඬවම ඇවිත් ගියා. රමසාන් වලට දින කීපෙකට උඩින් සිදු වුණ දුක්මුසු සිද්ධියක් නිසා මනුස්සකම ගැන අලුත් කතාබහකුත් සමාජයේ මතු වුණා. දෙමළ තරුණියකගේ දිවි ගලවා ගැනීමට ගොස් දිවි පිදූ රිස්වාන් නමැති මුස්ලිම් තරුණයා ගැන වගේම තලවකැලේ පොලිස් ස්ථානාධිපති රුවන්ගේ වීර ක්‍රියාව ගැනත් මේ දවස්වල ජනමාධ්‍ය මගින් ඇති පදම් කතා කළ නිසා මිතුරු පවුරත් ඒ වෙනුවෙන් කැප කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

විවිධ ජන කොටස් ජීවත් වන සමාජයක එකිනෙකාගේ සමාජ, සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කරමින් සාමයෙන්, සමගියෙන් ජීවත්වීමේ වටිනාකම මෙවැනි සිදුවීම් වලින් යළි යළිත් තහවුරු වෙනවා. ඒත් කනගාටුවට කාරණය තමා සමාජ සංහිඳියාවේ අගය සමහර අයට ඉක්මනටම අමතක වීම. ජාතික එකමුතුකමේ වැදගත්කම තහවුරු කරනු පිණිස බොහෝ වෙහෙසක් දරා ඉදි කෙරෙන සහෝදරත්වයේ පාලම් හා මිතුරු පවුරු එක ගිනිකූරකින් දවා හළු කරන්නට තරම් දරුණු මානසික රෝගීන්ද අප අතරම වෙසෙන බවත් අමතක කරන්න නරකයි.

තමන්ගේ යහපත් මතක පෙන්ඩ්රයිව් වලත් අයහපත් මතක හිත් වලත් තැම්පත් කරගන්නා මිනිසුන් බහුතරයක් වාසය කරන සමාජයක් වෙනස් කිරීම එතරම් පහසු නැහැ. පහසු නොවුණත් අසීරුවෙන් හෝ කළ යුතු සමාජ සත්කාර්යය වන්නේ යහපත් මතක පෙන් ඩ්රයිව් වලින් හදවත් වලට කාන්දු කරවන සමාජ මෙහෙයුමක් දියත් කිරීමයි. එවැනි මෙහෙයුමක නියමු කාර්යභාරය ඉටු කළ හැක්කේ ආගමික නායකයන්, කලාකරුවන්, මාධ්‍යවේදින් ප්‍රමුඛ විද්වත් පර්ෂදයකටයි.

රමසාන් සමයේ සිදු වූ රිස්වාන්, ශ්‍රියාණි හා රුවන් යන ජනවර්ග තුනකට අයත් මිනිසුන් තිදෙනාගේ අනුවේදනීය කතා පුවත ඇසූ සැණින් මගේ මතකයට ආවේ මීට වසර කීපයකට පෙර රමසාන් උත්සව දවසකදිම ලැබූ අපුරු අත්දැකීමක්. ඒ යහපත් සිදුවීම පෙන්ඩ්රයිවයක හෝ කැමරා ගබඩාවක හිර කර තබන්නේ නැතිව මෙවැනිම සටහනක් මගින් ඒ කාලයේම සමාජය සමග බෙදාහදා ගත්තා. ඒත් සමාජයක ඉදිරි ගමනට රුකුල් දෙන පුවත් නිතර නිතර සිහිකැඳවීම සමාජ විරසකකම හා වෛරය වපුරනවාට වඩා වැඩදායක නිසා මිතුරු පවුර සවිමත් කරනු පිණිස පුනරාවර්ජනයක යෙදෙන්නට කල්පනා කළා. ඒ වගේම පහු ගිය දවස්වල කෝරෝනා ප්‍රශ්නය උඩ රටේ ලොකු අවධානයක් යොමු වූ අකුරණ ප්‍රදේශයම මේ සිද්ධියටත් පසුබිම් වීමත් මගේ පරණ මතකය අලුත් කිරීමට තුඩු දුන් බව සිහිපත් කරන්න කැමතියි.

කොනකලගල විජිත රජ මහා විහාරය පිහිටා තිබෙන්නෙ අකුරණ නගරයට කිලෝ මීටර් දෙක තුනක් එපිටින්. මේ විහාරයේ නායක පදවිය දරන්නෙ කොනකලගල උදිත හිමි.

එකල ලේක් හවුසියෙන්ම පළ කළ “නමස්කාර” බොදු සඟරාවට ලිපි පෙළක් ලියන්න උඩරට පළාතේ කළ සංචාරයෙදියි අපි මේ විහාරස්ථානයටත් ගොඩ වුණේ. ආවාස ගෙට පිවිසෙන විටම අපේ නෙත් ගැටුණේ හරිම චමත්කාර දසුනක්. මුස්ලිම් හිස්වැස්මක් පැළඳගත් මැදි වියේ පුද්ගලයෙක් හා යෞවනයෙක් ලොකු හාමුදුරුවන්ට කිසියම් පාර්සලයක් පිරිනමමින් සිටියා.

“අපේ මොහොමඩ් මහත්තයා පන්සලට රමසාන් අරං ඇවිත්නෙ මහත්තයෝ” අපේ පැමිණීම කල් ඇතිව දැන සිටි නායක හාමුදුරුවෝ කරුණු පැහැදිලි කළා. ඇත්තම කියනවා නම් එදා රමසාන් දවස බව ඒ වෙනකොටත් අපි දැනන් හිටියෙ නැහැ.

අකුරණ යනු මුස්ලිම් ජන ප්‍රජාව බහුල වශයෙන් ජීවත් වන ප්‍රදේශයක් බව මේ වෙන විට ඔබ කවුරුත් දන්නා කාරණයක්. මහනුවර මාතලේ ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා තියෙන අකුරණ නගරය තමා මේ ප්‍රජාවගේ ආර්ථික මධ්‍යස්ථානය. ගම්මිරිස්, කරාබු, සාදික්කා හා පුවක් වැනි සුළු අපනයන බෝගයන්ගේ සිට රථ වාහන අලෙවිය දක්වා වූ මහා පරිමාණ වාණිජ කටයුතු වල කේන්ද්‍රස්ථානයක් හැටියටත් අකුරණ හඳුන්වන්න පුළුවන්. පන්සලට රාමසාන් අරන් ඇවිත් හිටපු මොහොමඩුත් ඒ වණික් සමාජයේ කෙනෙක්.

“මේක අපි කාලයක් තිස්සෙ කරන චාරිත්‍රයක් මහත්තයා... පුතාවත් එකතු කරගෙන ආවෙ අපි නැති දවසක වුණත් මේ සිරිත දිගටම පවත්තගෙන යන්ඩ ඕනා නිසා...” මොහොමඩ් තමන් සමඟ සිටි අහමඩ් පුතාව හඳුන්වා දෙමින් අපිත් එක්ක කතා කළේ ප්‍රමෝදබර හඬකින්.ලොකු හාමුදුරුවොත් අපේ කතාවට එක්වෙමින් පැවසුවේ අකුරණ ප්‍රදේශයේ සිංහල, දෙමළ හා මුස්ලිම් යන ජන වර්ග තුනම දිගු කාලයක සිට සාමයෙන්-සමගියෙන් ජීවත් වන බවයි. “සුහදතා පදනම” නමින් එකමුතුවකුත් විහාරාධිපති හිමිගේ ප්‍රමුඛත්වයෙන් පිහිටුවා තිබෙන බවත් දැනගන්න ලැබුණා. විහාරස්ථානයේ පින්කම්, පෙරහැර ඇතුළු සැම කටයුත්තකටම මුස්ලිම් ප්‍රජාවගෙන් ලැබෙන සහයෝගය උන්වහන්සේ මහත් සේ අගය කළා.

“මිනිස්සු අතර බේද වපුරන්න වගේම සුහදත්වය ගොඩනගන්න පුළුවන් වෙන්නෙත් මිනිසුන්ටම බව මේකෙන් හොඳට පැහැදිලි වෙනවා නේද මහත්තයො...?” මොහොමඩ් හා පුතා සමුගත්තට පස්සෙ උදිත හාමුදුරුවො අපෙන් ඇහැව්වා.

මීට අවුරුදු කීපෙකට කලින් කොනකලගල විජිත රජ මහා විහාරයෙදි උදිත නායක හාමුදුරුවො කරපු ඒ ප්‍රකාශනය මගෙ හිත පත්ලේ තාමත් තැම්පත් වෙලා තියෙනවා. අපේ පුංචි රටේ අනාගත දියුණුව රැඳිල තියෙන්නෙ සෑම ජන කොටසකටම අයත් ජන නායකයෝ උදිත හාමුදුරුවො හා මොහොමඩ්ලා වගේ පුළුල් මනසකින් සමාජය දිහා බැලුවොත් විතරයි නේද...?

Comments