ආඥාදායකත්වයේ ගොදුරක් වූ පැරගුවේ ජනරජය | සිළුමිණ

ආඥාදායකත්වයේ ගොදුරක් වූ පැරගුවේ ජනරජය

ඈත අතීතයේ සිට ම ලොව බොහෝ රටවල් ආඥාදායක පාලනයට එරෙහිව සංවිධානය වී විමුක්තිය ලබාගැනීම සඳහා කටයුතු කළේ ය. එම උත්සාහයන් ඉක්මනින් සාක්ෂාත් කරගන්නට සමහර රටවලට හැකිවුව ද, තවත් සමහර රටවලට දීර්ඝ කාලයක් තිස්සේ එම ආඥාදායක පාලනයන්ගෙන් පීඩා විඳින්නට සිදු විය. ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදයෙන් නිදහස ලැබූ දකුණු අමෙරිකානු රටවල් අතර පළමු රට ලෙස සැලකෙන පැරගුවේ රාජ්‍යය ද දිර්ඝ කාලයක් තිස්සේ එසේ ආඥාදායකත්වයෙන් පීඩා විඳි රටකි.

1537 දී ස්පාඤ්ඤ යටත් විජිතයක් බවට පත්වන පැරගුවේ 1811 දී නිදහස ලැබුව ද, ඉන්පසු බොහෝ කාලයක් එරට පාලනය කරන ලද්දේ විවිධ ආඥාදායකයන් විසිනි. එක් මිනිසකු මත බලය කේන්ද්‍රගතව පැවති රටක් ලෙස පැරගුවේ රාජ්‍යයට ඒකාධිපති ආධිපත්‍ය ගැන දීර්ඝ ඉතිහාසයක් තිබේ. 1902 සිට 1954 දක්වා කාලය තුළ ආඥාදායක ජනාධිපතිවරුන් තිස්එක් දෙනෙකු එරට බලයට පැමිණ ඇති අතර, ඔවුන්ගෙන් වැඩිදෙනෙකු ධූරයෙන් ඉවත් කර ඇත්තේ බලහත්කාරයෙනි.

පැරගුවේ රාජ්‍යයේ පළමු ආඥාදායකයා වූයේ 1814 සිට 1840 දක්වා බලයේ සිටි ජෝසේ ගෑස්පර් රොඩ්රිගුස් ඩී. ෆ්‍රැන්සියා ය. ඔහුගේ අභාවයෙන් පසුව 1841 දී ඔහුගේ බෑණනුවන් වූ කාලෝස් ඇන්ටෝනියෝ ලෝපේස් බලයට පැමිණි අතර, ඉන්පසුව බලයට පත්වූයේ ඔහුගේ වැඩිමල් පුත්‍රයා වූ ෆ්‍රැන්සිස්කෝ සොලානෝ ලේපේස් ය.

1865 සිට 1870 දක්වා කාලය තුළ පැරගුවේ රාජ්‍යයට බ්‍රසීලය, ආජන්ටිනාව සහ උරුගුවේ යන රාජ්‍යයන් විසින් එල්ල කරන ලද ‘ත්‍රිත්ව සන්ධාන යුද්ධය’ ට මුහුණ දෙන්නට සිදුවී ය. දකුණු ඇමෙරිකාවේ එතෙක් පැවති වැඩි ම ලේ හැලීම් සහිත දරුණුතම යුද්ධය බවට පත්වූ මෙම ‘ත්‍රිත්ව යුද්ධයෙන්’ පැරගුවේ රාජ්‍යයට දරුණු පරාජයක් අත් වීය. තම භූමියෙන් 25%ක්, 30%ක් තරම් විශාල භූමි ප්‍රදේශයක් බ්‍රසීලයට හා ආජන්ටිනාවට ලබාදෙන්නට පැරගුවේ රාජ්‍යයට සිදු වීය. එමෙන් ම, අතිවිශාල යුද ණයක් ගෙවීමටත්, ඒ සඳහා ජාතික දේපල විශාල ප්‍රමාණයක් විකිණීමටත් සිදුවී ය. පැරගුවේ වැසියන්ගෙන් 50%ක් පමණ එහි දී මියගොස් තිබේ.

1870 සිට 1904 දක්වා දක්ෂිණාංශික කොලරාඩෝ පක්ෂ ආණ්ඩුවක් ද, 1904 සිට 1932 දක්වා ලිබරල් පක්ෂ ආණ්ඩුවක් ද එරට පාලනය කර තිබේ. 1922 පැරගුවේ පළමු සිවිල් යුද්ධයට හේතු වූයේ මෙම පාලක ලිබරල් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් හා එවකට රට පාලනය කරමින් සිටි ජනාධිපති යුසීබියෝ අයාලා විසින් අවලංගු කරන ලද ජනාධිපතිවරණය බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීමට ගන්නා ලද උත්සාහයන් ය.

1932 දී පැරගුවේ රාජ්‍යයට තවත් යුද්ධයකට මුහුණුදෙන්නට සිදුවී ය. ඒ, 1932 සිට 1935 දක්වා පුරා වසර තුනක් තිස්සේ බොලීවියාව සමඟ පැවති චාකෝ යුද්ධය යි. එම යුද්ධයෙන් ජයග්‍රහණය අත්කර ගත් පැරගුවේ රාජ්‍යය තම දේශයේ චාකෝ නමින් හැඳින්වෙන කලාපය තුළ ස්වෛරීභාවය නැවත ස්ථාපිත කරගත් අතර, අතිරේක භෞමික වාසි ද අත්පත් කර ගත්තේ ය.

1936 පෙබරවාරි 17 වන දින කර්නල් රෆායෙල් ෆ්‍රැන්කෝ හමුදා කුමන්ත්‍රණයකින් පැරගුවේ හි බලයට පත්වන අතර, එය ලිබරල් පක්ෂ පාලනයේ අවසානය සනිටුහන් කළේ ය. ෆ්‍රැන්කෝගේ රජය බොහෝ ප්‍රතිසංස්කරණ සිදුකළ අතර, ඉඩම් ප්‍රතිසංස්කරණය ඉන් ප්‍රධාන වී ය. 1937 අගෝස්තු 13 වන දින ෆ්‍රැන්කෝ බලයෙන් පහකරන ලද නමුත්, ඔහුගේ මෙන් ම, ‘ෆෙබ්රරිස්ටා’ නමැති ඔහුගේ විප්ලවවාදී කණ්ඩායමේ බලපෑම දිගට ම පැරගුවේ දේශපාලනයට එල්ල වී ය. 1947 දී එරට ඇති වූ දෙවන සිවිල් යුද්ධයත්, 1951 දී ‘ෆෙබ්රරිස්ටා’ දේශපාලන පක්ෂය බිහිවීමත් එහි ප්‍රතිඵල වේ.

එරට ඇතිවූ දෙවන සිවිල් යුද්ධය හෙවත් ‘පැරගුවේ විප්ලවය’ 1947 මාර්තු 07 දින සිට අගෝස්තු 20 දක්වා පැවතිණි. ඒ වනවිට එරට පාලන බලයේ සිටි හිගිනියෝ මොරිනිගෝ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සියලු දේශපාලන පක්ෂ තහනම් කළේ ය. ඊට එරෙහිව රට පුරා වැඩවර්ජන සහ ශිෂ්‍ය විරෝධතා පැන නැගිණි. 1947 දී දේශපාලන ක්‍රියාකාරකම් නීත්‍යනුකූල කිරීමට කටයුතු කළ මොරිනිගෝ, හිටපු ජනාධිපති රෆායෙල් ෆ්‍රැන්කෝගේ නිර්මාතෘත්වයෙන් යුත් ‘ෆෙබ්රරිස්ටා’ විප්ලවවාදී කණ්ඩායම හා එක්ව කැබිනට් මණ්ඩලයක් පිහිටුවන්නටත්, දක්ෂිණාංශික ‘කොලරාඩෝ’ පක්ෂය පිහිටුවන්නටත් කටයුතු කළේ ය. 1947 ජනවාරි 11 වන දින ‘ෆෙබ්රරිස්ටා’ කණ්ඩායම සන්ධානයෙන් ඉවත්වන්නේ ජනාධිපතිවරයා ‘කොලරාඩෝ’ පක්ෂයට වැඩි අනුග්‍රහයක් දක්වන බවට චෝදනා කරමිනි.

අනතුරුව ‘ෆෙබ්රරිස්ටා’ කණ්ඩායම හරහා එරට ‘ලිබරල් පක්ෂය’ හා ‘පැරගුවේ කොමියුනිස්ට් පක්ෂය’ සමඟ පොදු එකඟතාවකට පැමිණෙන රෆායෙල් ෆ්‍රැන්කෝ 1947 කැරැල්ලට නායකත්වය දුන්නේ ය. දක්ෂිණාංශික ‘කොලරාඩෝ’ පක්ෂය හැර අනෙකුත් සියලු ම දේශපාලන පක්ෂ, බැංකු කරුවන් හා පරිපාලකයන්, 80%ක් පමණ හමුදා නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් කැරැල්ලට සහාය දැක්වූ හ.

පැරගුවේ රජය හා සම්බන්ධ වී සිටි ‘කොලරාඩෝ’ පක්ෂය එක්සත් ජනපදය හරහා දෙවන ලෝක යුද්ධයේ දී ඇමෙරිකන් හමුදා භාවිත කළ ‘එම්-1 ග්‍රේනෙඩ් රයිෆල්ස්’ හා ‘එම්පී-40 සබ් මැෂින් තුවක්කු’ වැනි නවීන අවිආයුධවලින් රජයේ හමුදාවන්ට යුද බලය සැපයී ය. ආර්ජන්ටිනාවේ ජනාධිපති ජෙනරාල් ජුවාන් පෙරෝන් ද පැරගුවේ ආණ්ඩුවට අතිවිශාල සහයෝගයක් ලබා දුන්නේ ය. මේ නිසා ඉතාමත් පහසුවෙන් කැරැල්ල පරාජය කිරීමට ආඥාදායක මොරනිගෝට හැකිවී ය. මෙම අසාර්ථක කැරැල්ලේ දී සිදුව ඇති මරණ සංඛ්‍යාව 2000ක් පමණ වන අතර, 4000ක් පමණ තුවාල ලබා තිබේ.

1954 සිට 1989 දක්වා පැරගුවේ රාජ්‍යය පාලනය කරන ලද්දේ ඒකාධිපති ඇල්ෆ්‍රෙඩෝ ස්ට්‍රොස්නර් විසිනි. එම කාලය තුළ දේශපාලන ප්‍රතිවාදින්ට වධහිංසා පැමිණවීම සහ ඔවුන් මරණයට පත්කිරීම සාමාන්‍ය දෙයක් බට පත්ව තිබිණි. විපක්ෂයේ ප්‍රබල ක්‍රියාකරුවකු වූ ඩොමින්ගෝ ලාඕනෝ 1982 දී රටින් පිටුවහල් කරන්නට ද ඇල්ෆ්‍රෙඩෝ ස්ට්‍රොස්නර් වරක් උත්සාහ කළේ ය. එහෙත්, එම මර්දනය නොතකා පෙළපාලි සංවිධානය කරන්නටත්, විපක්ෂය අතර ගැටුම් අවම කරන්නටත් ලාඕනෝ පෙරමුණ ගත්තේ ය.

එසේ ම, ස්ට්‍රොස්නර්ගේ ආණ්ඩුව මහජන පෙළපාලි කඩාකප්පල් කිරීම සඳහා පොලිස් නිලධාරීන් යෙදවී ය. විපක්ෂ නායකයන් ගණනාවක් සිරගත කරන ලදී. ජාතික සම්බන්ධීකරණ කමිටුවකට සහභාගිවෙමින් සිටි පුද්ගලයන් දෙසියදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබී ය. ලාඕනෝ සහ තවත් කිහිපදෙනෙකු මැතිවරණ දින උදේ අත්අඩංගුවට ගෙන පැය දොළහක් රඳවා තබන ලදී. මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය වූයේ ඒකාධිපති ඇල්ෆ්‍රෙඩෝ ස්ට්‍රොස්නර් 89%ක චන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීම යි.

දූෂිත මැතිවරණයකින් බලයට පත් ඔහුට එතරම් කාලයක් බලයේ සිටින්නට නොහැකි වූයේ, 1989 පෙබරවාරි 03 වන දින ජෙනරාල් ඇන්ඩ්‍රස් රොඩිරගුස් හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත්වීම නිසා ය.

ජනාධිපති රොඩිරගුස් සිය පාලන කාලය තුළ දේශපාලන, ආර්ථික හා නීතිමය ප්‍රතිසංස්කරණ ආරම්භ කරන ලද අතර, ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගීතාවකට ද මුල පිරී ය. ස්ට්‍රොස්නර්ට සහ ඔහුගේ සහචරයන්ට අයත්ව තිබූ අක්කර දහස් ගණනක ප්‍රයෝජනයට නොගෙන තිබූ භූමි ප්‍රදේශ ඔහු අත්පත් කරගත්තේ ය. ඒ වනවිට එරට ජනගහනය වූ මිලියන 4.1 න් අඩකටත් වැඩි ප්‍රමාණයක් ඉඩම් නොමැති අය වූ හ.

1992 ජූනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රථම වතාවට පැරගුවේ රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් ස්ථාපිත කරන ලද අතර, 1993 දී එරට ප්‍රථම සිවිල් ජනාධිපතිවරයා ලෙස ජුවාන් කාලෝස් වස්මොසි තේරීපත් වී ය.

1996 අප්‍රේල් මාසයේ දී එවකට හමුදාපතිව සිටි ජෙනරාල් ලිනෝ ඔවියෙඩෝ, ජනාධිපති වස්මොසි නෙරපා දැමීමට ගත් උත්සාහයෙන් පරාජයට පත් වීය. ඉන්පසුව 1998 ජනාධිපතිවරණයට ‘කොලරාඩෝ’ පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඔවියෙඩෝ ඉදිරිපත් වුව ද, 1996 කුමන්ත්‍රණ චෝදනාව මත ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඔහු සිරගත කරන ලදි.

අනතුරුව බලයට පැමිණියේ ‘කොලරාඩෝ’ පක්ෂ අපේක්ෂකයකු වන රාහුල් කියුබාස් ය. බලයට පැමිණ ඔහු කළ පළමු කාර්යය වූයේ, ඔවියෙඩෝ නිදහස් කිරීම ය. පැරගුවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී යැයි ප්‍රකාශ කළේ ය. ඔවියෙඩෝගේ ආධාරකරුවන් විසින් එරට උප ජනාධිපති ලයිස් මාරියා අර්ගානා ඝාතනය කරන ලද්දේ මේ අතර ය. කියුබාස්ට එරෙහිව ගෙනා දෝෂාභියෝගය හමුවේ මාර්තු 28 වන දින ඔහුට ඉල්ලා අස්වන්නට සිදුවූ අතර, එදින ම කියුබාස්ගේ විරුද්ධවාදියකු වූ ලුයිස් ගොන්සාලෙස් මචී ජනාධිපති ලෙස දිව්රුම් දුන්නේ ය. ඔහුගෙන් පසුව 2003 දී නිකනෝර් ඩුආර්ට් ෆ්‍රෑටෝස් ජනාධිපති ලෙස තේරී පත්වී ය.

පැරගුවේ ඉතිහාසයේ කාන්තාවක් ජනාධිපති අපේක්ෂිකාවක ලෙස නම් කළ ප්‍රථම අවස්ථාව 2008 ජනාධිපතිවරණයේ දී උදා වී ය. ඒ පාලක පක්ෂය විසින් එරට අධ්‍යාපන අමාත්‍යවරියව සිටි බ්ලැන්කා ඔවෙලර් නම් කිරීමත් සමඟ ය.

එහෙත්, වසර 61ක ගතානුගතික පාලනය අවසන් කරමින් බ්ලැන්කා ඔවෙලර් පරාජය කොට බලයට පත්වූයේ ‘ලිබරල්’ පක්ෂ අපේක්ෂක ෆර්නැන්ඩු ලුගෝ ය. 2008 අගෝස්තු 15 ඔහු ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් අතර, එය පැරගුවේ ඉතිහාසයේ සාමකාමී ලෙස බලය හුවමාරු වූ පළමු අවස්ථාව වී ය.

ලුගෝගේ පාලන සමයේ ඇතිවූ දේශපාලන අස්ථාවරත්වය නැවත ‘කොලරාඩෝ’ පක්ෂයට මහජනයා අතරට යාමට මග පෑදී ය. 2012 ජූනි මස දෝෂාභියෝගයකින් ලුගෝ බලයෙන් පහකර උප ජනාධිපති ෆෙඩ්රිකෝ ෆ්‍රැන්කෝ බලයට පත්වී ය. ඉන්පසු 2013 අගෝස්තු සිට 2018 අගෝස්තු දක්වා හොරාසියි කාටෙස් එරට ජනාධිපතිවරයා ලෙස පත්වූ අතර, 2018 ගෝස්තු 15 සිට මේ දක්වා පැරගුවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ දක්ෂිණාංශික ‘කොලරාඩෝ’ පක්ෂයේ මාරියෝ අබ්ඩෝ බෙනටෙස් ය.

බලයට පත්වීමෙන් පසුව දූෂිත යැයි සැලකෙන අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට ඔහු සහාය දැක්වුව ද, එරට විශාල ඉඩම් හිමියන්ට පක්ෂව වසර සියයක පමණ සිට අනුගමනය කළ ප්‍රතිපත්ති නොකඩවා කරගෙන යමින් සිටී. 2018 සැප්තැම්බර් මාසයේ දී ඊශ්‍රායලය සමඟ ද, 2019 ජනවාරියේ දී වෙනිසියුලාව සමඟ ද ඔහු රාජ්‍ය තාන්ත්‍රික සබඳකම් බිඳ ගත්තේ ය. බෙනටෙස් ජනාධිපතිවරයා බලයට පත්වී වසරක් තුළ එනම් 2019 දී එරට ආර්ථික අවපාතයක් ඇති වී ය. ඉන් ගොඩ ඒම සඳහා එක්සත් ජනපදය බදු ප්‍රතිසංස්කරණ මාලාවක් එරටට හඳුන්වා දුන්නේ ය.

වර්තමාන ජනගහනය කෝටි 07ක් පමණ වන, වර්ග කිලෝමීටර 406,752ක විශාලත්වයකින් යුත් පැරගුවේ රාජ්‍යය ශ්‍රී ලංකාව මෙන් හය ගුණයක විශාලත්වයකින් යුක්ත ය. 2017 සංඛාලේඛනවලට අනුව එරට ආර්ථික වර්ධන වේගය 4.3% කි. එය 1980 වර්ධයට වඩා 7.4%ක අඩුවීමකි. කෘෂිකර්මාන්තයෙන් 17.9% ක් ද, කර්මාන්ත අංශයෙන් 27.7% ක් ද, සේවා අංශයෙන් 54.5%ක් ද එරට ආර්ථිකයට දායක වෙයි. එරට විරැකියා අනුපාතය 6.5%කි. 2015 සංඛාලේඛනවලට අනුව එරට ජනගහනයෙන් 22.2%ක් සිටින්නේ දරිද්‍රතා මට්ටමට පහළිනි. උපතේ දී ආයු අපේක්ෂාව කාන්තාවන්ගේ අවුරුදු 76 යි මාස 08ක් වන අතර, පිරිමින්ගේ එය අවුරුදු 72යි මාස 06ක් පමණ වේ.

ජල විදුලිය අතින් පොහොසත් රටක් වන පැරගුවේ 99.9 ක් ම විදුලිය නිෂ්පාදනය කරන්නේ ජල විදුලි බලාගාරවලින් වන අතර, ෆොසිල ඉන්ධන දහනයෙන් හෝ න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීම කොහෙත් ම සිදු නොකරයි.

ප්‍රජාතන්ත්‍රවාදීකරණයත් සමඟ එරට අධ්‍යාපනය ද ක්‍රමක්‍රමයෙන් දියුණුවට පත්ව තිබේ. අධ්‍යාපනය සඳහා වන වියදම් 2000 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.7% දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 1989 දී 1.7% කි. 2001 ජන සංගණනයට අනුව ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ගෙන් 15%ක් හා පිරිමින් 10%ක් නූගත් අය වුව ද, 2003 දී 94% දක්වා එරට සාක්ෂරතාව වර්ධනය වී තිබේ.

වෙනත් බොහෝ ප්‍රජාතාන්ත්‍රික රටවල මෙන් පැරගුවේ හි පවත්නා දූෂණය ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බිහිවීමට සහ තිරසාර ආර්ථික සංවර්ධනයක් ඇතිවීමට බාධාවක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ’ 2016 දූෂණ සංජානන දර්ශකයට අනුව රටවල් 176න් 123 වන ස්ථානයට පත්ව ඇත්තේ පැරගුවේ රාජ්‍යය යි.

පැරගුවේ යනු ඈත අතීතයේ සිට ම ඇමෙරිකන් ගැති රාජ්‍යයකි. එරට පාලකයන් එසේ වුව ද, ජනතා මතය ඊට වඩා වෙනස් බව පෙනේ. 2010 එක්සත් ජනපද ගෝලීය නායකත්ව වාර්තාවට අනුව පැරගුවේ වැසියන්ගෙන් 41%ක් එක්සත් ජනපද නායකත්වය අනුමත කරන අතර, 24%ක් එය ප්‍රතික්ෂේප කරති. අ

දහසක් නොදක්වන 35% න් ද ගම්‍ය වන්නේ ආඥාදායකත්වයට හා ඇමෙරිකානු ධනවාදයට එරෙහි විරෝධය යැයි දේශපාලන විචාරකයෝ මත පළකරති.

Comments