මේසපන්දු ශ්‍රේණිගත කිරීමට තරගාවලි 4ක් | සිළුමිණ

මේසපන්දු ශ්‍රේණිගත කිරීමට තරගාවලි 4ක්

කොවිඩ් 19 නිමාවීමෙන් අනතුරුව මේ වසර තුළදී (2020) අවම වශයෙන් සමස්ත ලංකා මේසපන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලි හතරක් වත් පැවැත්වීමට සිදුවන බවද, එසේ නොමැති වුවහොත් ජාතික තරගාවලිය පැවැත්වීමට නොහැකි වීමේ අවදානමක් පවතින බවද ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ ආරංචි මාර්ග සදහන් කරයි.

“මේ අවුරුද්දට අපි පළවෙනි ශ්‍රේණිගත කිරීමේ තරගාවලිය තියන්න සැළසුම් කරලා තිබුණෙ අප්‍රේල් මාසෙයි. එත් කොවිඩ් 19 වසංගතය හින්දා තරගාවලියේ සංවිධායකයන්ට ඒක මැයි මාසෙට කල් දාන්න සිද්ද වුණා. දැන් එය දින නියමයක් නැතුවම කල් දාන්න වෙලා තියෙනවා.” යැයි මේසපන්දු සංගමයේ ප්‍රකාශකයකු ප්‍රකාශ කළේය.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කල් දැමීමට සිදුවූ වූයේ මහනුවර නගරාධිපති කුසලාන තරගාවලිය වන අතර සබරගමුව පළාත් මේසපන්දු සංගමයේ සංවිධානයෙන් එය අප්‍රේල් මස 4 වැනිදා සිට 6 වැනිදා දක්වා මහනුවර නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබිණ.

අපි කලින් සැලුසුම් කරලා තිබුණෙ සැප්තැම්බර් මාසෙ වෙනකොට සියලුම තරගාවලි පවත්වලා ඉවර කරලා, ඔක්තෝබර් මාසෙ ජාතික මේසපන්දු තරගාවලිය පවත්වන්න. ඒත් දැන් ඒ සැලසුම් වෙනස් කරන්න වෙනවා. මොකද අවම වශයෙන් සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ තරගාවලි හතරක්වත් තියන්නෙ නැතුව ජාතික තරගාවලිය තියන්න බැහැ.

මහනුවර නගරාධිපති කුසලාන තරගාවලියට අමතරව අප්‍රේල් මාසයේදී තවත් සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබූ අතර කොළඹ දිස්ත්‍රික් මේසපන්දු සංගමයේ සංවිධානයෙන් එය අප්‍රේල් මස 25 වැනිදා සිට 27 වැනිදා දක්වා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණ.

එම තරගාවලි දෙක හැරුණු කොට තවත් සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ තරගාවලි තුනක් මේ වසරේ මේසපන්දු දින දර්ශනයට ඇතුළත්ව තිබේ.

මහීපාල හේරත් අභියෝග කුසලාන තරගාවලිය ජූනි මස 20 වැනිදා සිට 22 වැනිදා දක්වාද, ටිබාර් මේසපන්දු තරගාවලිය සැප්තැම්බර් මස 5 සහ 6 යන දිනවලදීද, කනක හේරත් අභියෝග කුසලාන තරගාවලිය සැප්තැම්බර් මස 26 සහ 27 යන දිනවලදීද පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජාතික කනිෂ්ඨ මේසපන්දු තරගාවලිය ඔක්තෝබර් මස 24 සහ 25 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ අතර ජාතික මේසපන්දු තරගාවලිය පැවැත්වීමට සැළසුම් කර තිබුණේ ඔක්තෝබර් මස 30 වැනිදා සිට නොවැම්බර් මස 1 වැනිදා දක්වාය.

තත්ත්වය යහපත් අතට හැරුණද නැවතත් මේසපන්දු තරග ආරම්භ කරන ස්ථිර දිනයක් පිළිබඳ සිතීම තරමක් අසීරු කාර්යයක් යැයි වාර්තාවෙයි. ජූලි සහ නොවැම්බර් මාසවලදී පාසල්වාර විභාග පැවැත්වීමත්, අගෝස්තු සහ දෙසැම්බර් මාසවලදී පිළිවෙලින් අ.පො.ස (උසස් පෙළ) සහ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාග පැවැත්වීමත් ඊට හේතුවයි.

මේස පන්දු ක්‍රීඩාවේ නිරත වන බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පාසල් වියේ පසුවන්නෝ වෙති. මේස පන්දු ක්‍රීඩාවට අත්‍යවශ්‍ය සාධකයක් වන තියුණු පෙනීම මෙන්ම ක්‍ෂණිකව ක්‍රියාකාරීවීම ඉහළම මට්ටමින් ඇත්තේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සතුවය.

මේ අතර ලොව පුරා කොවිඩ් 19 පැතිරයෑම හේතුවෙන් ලෝක මේසපන්දු ශූරතාවලිය (මාර්තු 22 සිට 29 දක්වා - කොරියාවේදී), ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමේ ආසියානු තරගාවලිය (අප්‍රේල් 6 සිට 12 දක්වා - තායිලන්තයේදී), දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලිය (අප්‍රේල් 17 සිට 19 දක්වා - බංග්ලාදේශයේදී) සහ දකුණු ආසියානු මේසපන්දු තරගාවලිය (මැයි 2 සිට 10 දක්වා - පාකිස්තානයේදී) ද කල් දමා තිබේ.

ඉෂාරා මධුරංගි, බිමන්දි බණ්ඩාර, එරන්දි වරුසවිතාන, හංසනී පියුමිලා සහ ජිතාරා වර්ණකුලසූරිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමටත් චමීර ගිණිගේ, සෙනුර සිල්වා, නිර්මල ජයසිංහ, මිලින්ත ලක්ෂිත සහ රොහාන් සිරිසේන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමටත්, ඇතුළත්ව සිටි බවද වාර්තා වෙයි පළමුව ජුනි 25 වැනිදා කල් දැමුණ ලෝක මේසපන්දු ශූරතාවලිය යළිත් වරක් සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට ලෝක මේසපන්දු සම්මේලනය පියවර ගෙන ඇතැයි එහි නිල වෙබ් අඩවියේ සඳහන් වේ. ඔලිම්පික් තරගාවලිය ලබන වසර (2021) දක්වා කල් දැමීම හේතුවෙන් ඊට සුදුසුකම් ලබාගැනීමේ ආසියානු තරගාවලියද ලබන වසරේදී පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ.

 

Comments