පෙර පාසල් සහ ළමා දිවා සුරකුම් වලටත් උපදෙස් | Page 2 | සිළුමිණ

පෙර පාසල් සහ ළමා දිවා සුරකුම් වලටත් උපදෙස්

ජන ජීවිතයේ ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබියදී කටයුතු කළයුත්තේ කෙසේදැයි මග පෙන්වමින් පෙර පාසල් සහ ළමා දිවා සුරකුම් මධ්‍යස්ථාන වෙතද සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

පරිශ‍්‍රයට ඇතුළු වන ස්ථානයේ අත් සේදීම සඳහා පහසුකම් සපයා තිබිය යුතු බවත්, කාර්ය මණ්ඩලයට ප‍්‍රමාණවත් ලෙස මුව ආවරණ සපයාදී යුතු බවත් එහි සඳහන්.

මුව ආවරණ නිසි ලෙස පැළඳ සිටීමට කාර්ය මණ්ඩලය කටයුතු කළයුතු බවද උපදෙස්වල දැක්වේ.

කෙසේ වෙතත් මුව ආවරණ පැළඳීමට දරුවන් දිරිමත් නොකළ යුතු බවයි අවධාරණය කර ඇත්තේ.

ශ්වසන අපහසුතා ඇති විමේ අවදානම හේතුවෙන් වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට මුව ආවරණ පැළඳීමෙන් වැළකිය යුතු බව ද එහි සඳහන්.

කෙසේවෙතත් වයස අවුරුදු 03ත් 05ත් අතර පෙර පාසල් දරුවන්ට මුව ආවරණ පිළිබඳ සංකල්පය හඳුන්වා දීම සුදුසු බව මෙම උපදෙස් මාලාවේ දැක්වේ.

වෛරස ආසාදනයට ඉඩ සලසන කණ්ඩායම් ක‍්‍රියාකාරකම් වෙනස් කිරීමට හෝ නතර කිරීමට සලකා බලන ලෙසද උත්සව සහ විශේෂ ප‍්‍රසංග අවලංගු කිරීමට හෝ කල් දැමීමට කටයුතු කරන ලෙසද මෙහි වැඩිදුරටත් සඳහන්.

දරුවෙකු අසනීප වුවහොත් වෙන් කර තැබීම සඳහා සුදුසු හුදෙකලා කාමරයක් හෝ ස්ථානයක් සකස් කර තබන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය පෙර පාසල් සහ ළමා දිවා සුරකුම් මධ්‍යස්ථාන වෙත උපදෙස් දී තිබේ.

ළමා දිවා සුරකුම් මධ්‍යස්ථානවල නිදන මෙට්ට සහ පැදුරු මීටරයක පරතරය පවත්වා ගනිමින් ස්ථානගත කරන ලෙසද, දරුවන් මුහුණට මුහුණලා නිදි කරවීමෙන් වළකින ලෙස ද උපදෙස් මාලාවේ සඳහන්.

සෙල්ලම් බඩු විෂබීජ නාශක දියර යොදා හෝ සබන් යොදා පිරිසිදු කළ යුතුවේ.

දරුවන්ට පිසූ ආහාර නිවසින් රැගෙන ඒමට දිරිමත් කරන ලෙසද එක් එක් දරුවාට වෙන් වූ පිගන් කෝප්ප භාවිත කරන ලෙසද මෙම උපදෙස් මාලාවේ සඳහන්.

සෑම පෙර පාසලක්ම සහ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්ම අදාල උපදෙස් පිළිපදින බවට එකඟතා ප‍්‍රකාශයක් සකස් කළ යුතුයි.

එහි එක් පිටපතක් අදාල පලාත් පාළන ආයතනය වෙතද තවත් පිටපතක් අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙතද භාර දිය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

පෙර පාසල් දරුවන්ගේ මව්පියන් විසින් පිළිපැදිය යුතු උපදෙස් සමූහයක්ද සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර තිබේ.

පහසුවෙන් සේදිය හැකි ඇදුම් පමණක් දරුවාට අන්දවන ලෙසයි එමගින් උපදෙස් දී ඇත්තේ.

අත්‍යාවශ්‍ය නොවන ආභරණ හෝ රිබන් වැනි දෑ දරුවාට පැලදවීමෙන් වලකින ලෙසද උපදෙස් දී තිබේ.

විෂබීජනාශක හෝ සබන් යොදා දරුවාගේ පොත් බෑගය, පොත් සහ වෙනත් උපකරණ දිනපතා පිරිසිදු කරන ලෙසද මෙම උපදෙස් මාලාවේ සඳහන්.

Comments