කොරෝනා අස්සේ ‘ඩේටා’ සුද්දේ | සිළුමිණ

කොරෝනා අස්සේ ‘ඩේටා’ සුද්දේ

- දැනට ලංකාවේ ජංගම දුරකථන හා අන්තර්ජාල සේවා සපයන ප්‍රධාන ජාල 09 ක් 
- මුල්ම ජංගම දුරකථන ජාලය බිහිවී මේවන විට වසර 30 ක් 
- ටෙලිකොම්, මොබිටෙල් සහ හච් සමාගම් ඇරෙන්න ඉතිරි ඒවා තොරතුරු නොදෙයි

කොරෝනා කාලය තුළ බොහෝ පාරිභෝගිකයන් නිවෙසට කොටුවී සිටියදී වැඩිපුර අන්තර්ජාලයට යොමු වීම සාමාන්‍ය කරුණකි. එහෙත් ආර්ථික හා මානසික අපපාතයකට ගොදුරු වී සිටිද්දී සන්නිවේදන ආයතන ඩේටා හා දුරකතන ගෙවීම් හා සැපයීම් සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය බොහෝ දෙනකුගේ ප්‍රසාදයට ලක් වූයේ නැත. ඒ ඒ ආයතන සම්බන්ධයෙන් ‘....විරුද්ධවාදීන්ගෙ සංගමය, ඩේටා මංකොල්ලකරුවන්ගේ සංගමය‘ යනාදී වශයෙන් මුහුණු පොතේ සක්‍රිය කණ්ඩායම් පවා බිහි ව තිබිණි. එනිසාම මෙම ආයතන විසින් අන්තර්ජාල සේවා ලබාදී ඇති ආකාරය සහ ඒ සම්බන්ධයෙන් පාරිභොගිකයන් දක්වන ප්‍රතිචාර කෙබඳුදැයි පසුගිය කාලය පුරා අප නිරීක්ෂණය කළෙමු.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සන්නිවේදන සේවා දියුණුව අතින් ඉහළින්ම සිටින රටකි. දශක ගණනාවක් තිස්සේ සන්නිවේදන තාක්ෂණය අතින් කලාපයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ජංගම දුරකථන සහ සන්නිවේදන ජාලා වේගය අතින් මෙන්ම ව්‍යාප්තිය අතින්ද දකුණු ආසියාවේ අනෙක් සියලු රටවල් අබිබවන්නට අපට හැකි විය. මෙනිසා නූතන ලෝකයේ ජංගම දුරකථන ජාල දියුණුව කරා යන ගමනේදී කලාපීය බොහෝ රටවලට සාපේක්ෂව සියලු සන්ධිස්ථාන පසුකර යාමට ශ්‍රී ලංකාව සමත් විය. 2G, 3G, 4G වැනි තාක්ෂණ භාවිත ලෝකයට හඳුන්වා දුන් සැණින් ඒවා මෙරටට පැමිණි ආකාරය සලකා බලන විට මෙය පැහැදිලිව දැකගත හැකිය. මෑතකදී හඳුන්වාදුන් 5G ජාල පවා මේ වන විට ශ්‍රී ලංකාවේ සක්‍රීයව පවතී.

ශ්‍රී ලංකාවේ මේ වනවිට ජංගම දුරකථන හා අන්තර්ජාල සේවා සපයන ප්‍රධාන ජාල 06 ක් ඇත. හච් (හොංකොං කේන්ද්‍ර කර ගත් CK හචිසන් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් හි අනුබද්ධ හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ලංකා පුද්ගලික සමාගම මගින් ඉකුත් 2019 වසරේදී, එටිසලාට් ශ්‍රී ලංකා සමාගම අත්පත් කර ගැණිනි. ), ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග්, මොබිටෙල්, එයාර්ටෙල්, සහ ලංකාබෙල් එම සමාගම්ය. මෙම ප්‍රධාන ජාල 06ට අමතරව යුරේකා ටෙක්නොලොජි පාර්ට්නර්ස් (පුද්ගලික) ලිමිටඩ්, ටාටා කොමියුනිකේෂන්ස් ලංකා ලිමිටඩ් සහ ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලය යන ආයතන 3ද මෙරට අන්තර්ජාල සේවා සැපයීම සඳහා කටයුතු කරයි. ඒ අනුව මෙරට අන්තර්ජාල සේවා සපයන ආයතන 9කි.

මෙරට ජංගම දුරකථන ඉතිහාසය පිළිබඳව විමසා බැලීමේදී, ශ්‍රී ලංකාවේ මුල්ම ජංගම දුරකථන ජාලය බිහිවී මේවන විට වසර 30 කි. ශ්‍රී ලංකාවේ මුල්ම ජංගම දුරකථන ජාලය ලෙස සෙල්ටෙල් ශ්‍රී ලංකා ආයතනය 1989 අවුරුද්දේ ජූනි 18 වැනි දා සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය. ඒ මුළු ලෝකයේම 36 වැනි ජංගම දුරකථන ජාලය ලෙසය. මෝටරෝලා ආයතනයේ TACS තාක්ෂණය ඔස්සේ සේවා සැපයීම සිදු විය. එවක සෙල්ටෙල් ආයතනයට සතුව විශාල ඒකාධිකාරයක් පැවතිණ. 1998 අවුරුද්දේ ඩයලොග් ආයතනය GSM තාක්ෂණයෙන් ඉදිරියට පැමිණෙන තුරුම මෙරට ප්‍රධානම ජංගම දුරකථන සේවා සපයන්නා වූයේ සෙල්ටෙල්ය.

පසුකාලීනව අනිකුත් සමාගම්වල නැඟී සිටීමත් සමඟ ඔවුන්ගේ වෙළඳපොළ ක්‍රමයෙන් බිඳ වැටිණි. 2007 වසරෙදී ඇමරිකාවේ මිලිකොම් ඉන්ටර්නැෂනල් ආයතනය Celltel මිල දී ගෙන Tigo ලෙස නම වෙනස් කළේය. එය ජනප්‍රිය වෙමින් පවතින අතරවාරයේ එනම් 2010 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Etisalat ආයතනය විසින් මිලදී ගත්තේය. Etisalat ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සේවා සම්පාදකයන් අතරින් ඉදිරියට ආවේය.

මෙරට ආරම්භ වූ දෙවැනි ජංගම දුරකථන ජාලය වන්නේ 1991 වර්ෂයේ මෙහෙයුම් ආරම්භ කළ “හච්” ජාලය යි. මෙහි මුල් නම වුණේ “කෝල්ලින්ක්”යන්න ය. මින් සෙල්ටෙල් ජාලයට විශාල අභියෝගයක් එල්ල වූයේ නැත. මෙමඟින් අඩු මිලට අත්‍යාවශ්‍ය සන්නිවේදන සේවා සැපයිනි. මේ වනවිට මෙරට මුල්ම ජංගම දුරකථන ජාලයවන Etisalat ජාලයද පසුගිය වසරේ සිට ඔවුන් සතුවිය.

ජංගම දුරකථන ජාලය ලෙස “මොබිටෙල්” ආයතනය 1993 දී මෙහෙයුම් ඇරම්භ කළේය. ඒ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ඕස්ට්‍රේලියාවේ සන්නිවේදන දැවැන්තයා වූ Telstra ආයතනයේ එකමුතුවෙනි. මෙය සම අයිතිය සහිත සමාගමක් ලෙස පැවතුණු ද ආරම්භයේ සිටම තම නාමය වෙනස් නොකළ පැරණිතම ජංගම දුරකථන ජාලය වේ. “මොබිටෙල්” ආයතනය විශාල දියුණුවක් අතපත් කර ගත්තේ 2002 වර්ෂයේ දීය. ඒ එය SLT වෙත පූර්ණ වශයෙන් පවරා ගැනීමත් සමඟය. 2004 දී 2.5 G ජාලය හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තයන් දෙදෙනාගෙන් කෙනෙක් බවට පත් වීමට මෙය සමත් විය. 3G, 3.5G, 4G, 4.5G වැනි තාක්ෂණයන් සේවාදායකයින් අතරට ගෙන ඒම ඉක්මන් කරන්නත්, ලංකාව පුරා මේ නව තාක්ෂණය ව්‍යාප්ත වීම ශීඝ්‍රයෙන් ඉහළයාමටත් මේ තරගය පැහැදිලිවම හේතු විය. මොබිටෙල් මේ වන විට බොහොම පුළුල් සේවා ප්‍රමාණයක් ලබා දෙන රාජ්‍ය අනුග්‍රහය සහිත ආයතනයකි. අන්තර්ජාලය වේගවත්ව ලබාදීම සඳහා ෆයිබර් තාක්ෂණය ලබාදෙන එකම ජාලය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයයි.

ශ්‍රී ලංකාවේ හතර වන ජංගම දුරකථන ජාලය 1993 දී MTN Networks නමින් (අද වන විට Dialog) ආරම්භ විය. ඒ 1995 වර්ෂයේදී මුළු දකුණු ආසියාවෙන්ම මුල් වරට ඩිජිටල් ජංගම දුරකථන තාක්ෂණය හඳුන්වා දෙමින් නව GSM ඩිජිටල් ජාලය ආරම්භ කිරීමත් සමගම ඔවුන් Dialog GSM ලෙස නව සන්නාමයක් හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ සැබෑම වෙනසක් සිදු කළ බොහෝ තාක්ෂණ මෙරටට හඳුන්වා දීමේ පුරෝගාමියා Dialog ය.

මේ වන විට මිලියන 12 කට අධික සේවාදායකයන් පිරිසකගෙන් සමන්විත Dialog ආයතනයට කාලයක් තිස්සේ සිදු කර ඇති ඩොලර් බිලියන 1.96 කට අධික ආයෝජනය ශ්‍රී ලංකාවට ලැබුණු විශාලතම තනි සෘජු විදේශ ආයෝජනය ලෙස සැලකේ. Dialog මේ වන විට ශ්‍රී ලංකාවට 5G තාක්ෂණය හඳුන්වා දීමේදී පෙරමුණ ගෙන සිටියි.

මෑත කාලීනව සන්නිවේදන ක්ෂේත්‍රය ලැබූ අසීමිත දියුණුවට ප්‍රධානතම සාධකයක් ලෙස Mobitel සහ Dialog අතර කාලාන්තරයක් තිස්සේ පවතින තරගකාරීත්වය සැලකීම වරදක් නොවේ.

2009 ඉන්දියාවේ විශාලතම සන්නිවේදන සමාගමවන Bharti Airtel සමාගමේ සන්නාමයෙන් මෙරටට පැමිණි Airtel ජංගම දුරකථන ජාලය ඉතා කෙටි කලකින් මෙරට තුළ ව්‍යාප්ත විය. නමුත් සන්නිවේදන තාක්ෂණයේ ඇති වුණු ශීඝ්‍ර දියුණුවත් සමඟ එයින් වැඩි ප්‍රතිලාභ ලබන්න ඔවුන්ට හැකි වුයේ නැත. එසේ වුවත් Local caching වැනි ක්‍රම භාවිතයෙන් ශ්‍රී ලංකාවේ වේගවත්ම 3.5G හා 3.75G ජාලය බවට පත් වීමට ඔවුන්ට හැකිව තිබේ.

කොරොනා කාලය තුළ මෙම සමාගම් විසින් සිය පාරිභෝගිකයන් නොසලකා හැරි බව සමාජ මාධ්‍ය මඟින් චෝදනා එල්ල විය. ඊට ප්‍රතිචාර දක්වමින් බොහෝ දුරකථන ජාල විවිධ පැකේජ, සහන මිලට හා නොමිලේ කිසියම් ඩේටා ප්‍රමාණයක් ලබාදීමටත් බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමටත් කටයුතු කළේය. බොහෝදෙනා මොබිටෙල් හා ටෙලිකොම් ආයතනය ඩේටා සහන ලබාදීමට කටයුතු කිරීම පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් කතා කළ ද බිල්පත පමා වූ සැණින් ජාලය විසන්ධි කිරීම පිළිබඳව මැසිවිලි නැඟිය. ඩයලොග් ආයතනය සමාජ මාධ්‍ය හරහා එල්ල වූ දැඩි විවේචනය හමුවේ සිය පාරිභෝගිකයින්ට බොහෝ සහන සැලසූ අතර අදාළ කාලය තුළ බිල්පත් නොගෙව්වද ජාලය අවහිර කිරීමෙන් වැළකී සිටියේය. සමස්තයක් වශයෙන් මේ කාලය තුළ විවිධ අඩුපාඩුකම් මධ්‍යයේ වුව මෙම සියලු ආයතන තම පාරිභෝගිකයන් සතුටු කිරීමට කටයුතු කළේය.

මේ පසුගිය කොරෝනා කාලසීමාව තුළ එල්ල වූ පාරිභෝගික ප්‍රතිචාර පිළිබඳ අප කළ සමීක්ෂණයක ප්‍රතිඵල වාර්තාවයි. 

පුබුදු - “ සේරම සිම් අයින් කරල කට්ටියත් එක්ක පරණ ක්‍රමයට කෝල් වෙනුවට ලියුම් යැව්ව නම් මීට හොඳයි”

අනූ සම්පත් - “ඩයලොග්” එකේ මගෙ සිම් එකක් තිබ්බා. ඒක සති 3යි අරන්. ඒකටත් එයාලා ලෝන්, ෆ්‍රරී මිනිට් සහ ෆ්‍රී ඩේටා දුන්නා. “හච්” එකේ අය රු15 ගානේ සතියක් දුන්නා.

මංගලා ඒ මුණසිංහ - මේ සේවාවන්වලින් අඩුම ගානේ නයිට් ටයිම් ඩේටා ටික ඩේ ටයිම් කරලා දෙනව නම්. අපි නයිට් ටයිම් ඩේටාවලට පාවිච්චි නොකරම ගෙවනවා. ඒ ගැන ඇහුව්වම, ඒක නොමිලෙ දෙන්නෙ කියනවා. පාවිච්චි කරන්න බැරි ඩේටා නොමිලෙ දුන්නත් වැඩක් තියෙනවද? ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ මිත්‍රයෙක් කියනවා මෙහේ පැකේජ්වල ගාණටම එහේ එනි ටයිම් ඩේටා අන්ලිමිටඩ් දෙනවලු.

කසුන් චන්දිම - “එක එකා ඡන්ද කාලවලට වයිෆයි නොමිලෙ දෙනව කියපු රටක්නෙ ඉතින් මේක. ”

සෙනුරි සුලෝචනා - මටත් සල්ලි දාන්න විදියක් නෑ. ඩේටා දැම්ම ගමන් කපා ගන්නවා. ප්‍රසිද්ධම දුරකතන සමාගමක ටවර් එක ගෙදරටම පේනව. ඒත් 4G සිග්නල් නෑ. එපාම වෙලා ඉන්නෙ.

වාසනා රුවන්ති - 1GB දෙන්නත් ගිණුම් ශේෂය 0 වෙන්න ඕනිලු. ඩේටා 0 වෙන්න ඕනිලු. අර නයිට් ටයිම් ඩේටා ටික anytime කළා නම් ඒක කරගන්න තිබුණා. Night time data 0 නැති නිසා 1 GB දෙන්නෙ නෑ.

හන්සිකා තිලකරත්න.- energency data 1GB දෙනවා. 0 වෙන්න ඕනි නෑ.7 days වලින් ආයෙත් අලුත් කරගන්නත් පුළුවන්! Data mart app එක දාගන්න. මොනව උනත් මොබිටෙල් හොඳයි... අනික පොඩි අඩු පාඩු ඇති ඒත් අපේ දෙයක්. අපේ දේ අපි රැක ගන්න ඕනි

චමිල ගමගේ - මොබිටෙල් මම පාවිච්චි කළේ. වරදක් නෑ. Night time deta ක්‍රමය නම් අපිට පාඩුවක්.

සමන් ජයසිංහ - මම පාවිච්චි කරන්නේ “එයාර්ටෙල්” සහ “හච්” ඒ දෙක ගැන නම් කියන්න තරම් වරදක් නැහැ. ඔවුන් හැම වෙලේම පාරිභෝගිකයින්ට යම් සහනයක් දෙන්න උත්සාහ කරනවා.

මේ කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ආයතනික සන්නාම කොට්ඨාසය පවසා සිටියේ තම ආයතනය හැකි උපරිමයෙන් පාරිභෝගිකයන්ට සහන සැලසූ බවය. මේ කාලය තුළ රුපියල් මිලියන 350 ක් ආයෝජනය කර ඇති අතර, අතිරේක ජාල ධාරිතාව 50Gbpsකින් වැඩි කර ඇත. නව සේවා සඳහා රුපියල් මිලියන 100 ක් ලබා දී ඇති අතර අලුත්වැඩියා කටයුතු 100,000 ක් පමණ සිදු කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ඇමතුම් සඳහා වන අනුපාත 50% අඩු කර ඇත. දත්ත රුපියල් මිලියන 65 කට වඩා නොමිලේ ලබා දී ඇත. නිරෝධායන මධ්‍යස්ථාන 12 ක් සහ රාජ්‍ය ආයතන 18 ක් සඳහා විශ්ලේෂණ සහ රෝග විනිශ්චය සඳහා අවශය උපකරණ මිලදී ගැනීමට රුපියල් මිලියන170 ලබාදී ඇත. මීට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමඟ මහජනතාව දැනුවත් කිරීමේ හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කිරීම, විද්‍යුත් ඉගෙනුම් පහසුකම්, “ගෙදර සිට වැඩ” මුල පිරීම්, වීඩියෝ සම්මන්ත්‍රණ සඳහා පහසුකම් සලසා දී ඇත. සතියේ දින 7 ම පැය 24 පුරාම මෙහෙයුම් - දෝෂ මඟහැරවීමට සහ සහය ලබාදීමට කාර්ය මණ්ඩල සේවයේ යොදවා ඇත.

“හච් සිය පාරිභෝගිකයන් හට නිවසේ සිට කාර්යාල කටයුතු කිරීමේ පහසුව සලසමින් රජයේ වැඩපිළිවෙළට සහයෝගය දැක්වූ බව වාර්තා විය.

පාරිභෝගිකයන් වෙනුවෙන් නිරතුරු කැප වීමෙන් කටයුතු කරන හච්, ශ්‍රී ලංකාව COVID 19 වයිරස අවදානමට ලක්ව තිබෙන මෙවන් අවස්ථාවක, ස්වකීය පාරිභෝගිකයන් හට අඛණ්ඩ සන්නිවේදන සබඳතාව පවත්වා ගැනීම පහසු කරමින්, ඇමතුම් ලබා ගැනීම සඳහා දුරකතනයේ මුදල් නොමැති 078 හා 072 හච් අංක ඇති පාරිභෝගිකයන් වෙනුවෙන් සහන රීලෝඩ් දීමනාවක් පිරි නැමීමටද පාරිභෝගිකයන්ගේ ඩේටා ගැටලුවට විසඳුමක් ලෙස 100% ක් Any time data පිරිනැමීම සිදු කර ඇත. රීචාර්ජ් කාඩ්පත් පාරිභෝගිකයන් හට බෙදා හැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව හා අත්වැල් බැඳ ගැනිණි. එසේම නොමිලේ Data, SMS හා ඇමතුම් කාලයක් පිරිනමමින් ඩිජිටල් වෙසක් දීමනා වැඩසටහන දියත් කෙරිණි.

අනෙකුත් ජංගම දුරකථන ජාලවලින් අප ඔවුන්ගේ අදහස අප වෙත ලබාදෙන ලෙස සතියක සිට ඉල්ලා සිටියද මේ වනතෙක් ඒ සඳහා ප්‍රතිචාර නොලැබිණි.

Comments