අඛණ්ඩව වසර 6ක් සාපෙළින් දකුණ ඉදිරියෙන් | සිළුමිණ

අඛණ්ඩව වසර 6ක් සාපෙළින් දකුණ ඉදිරියෙන්

දකුණු පළාත පසුගිය කාලයේ විවිධ අංශවලින් කප්ගැසුහ. ඉන් අධ්‍යාපන ක්ෂේත්‍රයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. මක්නිසාදයත් දකුණු පළාත මෙවර අ.පො ස සා පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව ද අඛණ්ඩව 06 වැනි වතාවටද ප්‍රථම ස්ථානය හිමිකරගැනිමට හැකිවිය.

අ.පො ස සාපෙළ ප්‍රතිඵල නිකුත්වුයේ කොරෝනා වසංගතය අස්සේය. මේ නිසා වෙනදාමෙන් රට්ටුන්ගේ වැඩි අවධානයක් සා පෙළ ප්‍රතිඵල කෙරෙහි යොමු නොවීය. එහෙත් සා පෙළ ප්‍රතිඵල නිකුත්වන විට දකුණ ඉන් කප්ගසා තිබුණි. දකුණු පළාතේ සා පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසු දරු දැරියන් අතුරින් සියයට 78.31 විභාගය සමත්වුහ. දකුණු පළාතේ සිසු දරු දැරියන් 38180 දෙනෙකු සා පෙළ විභාගය සඳහා පෙනී සිටි අතර ඉන් සිසු දරු දැරියන් 29898 දෙනෙකු අ.පො. ස උසස්පෙළ හැදෑරීම සඳහා විභාගය සමත්වුහ. ගණිතය සමඟ වැඩහයක් හා විෂයන් තුනක් සමත් සිසු දරු දැරියන්ගේ සංඛ්‍යාව 26333කි. ප්‍රතිශතය 68.97කි. විෂයන් නමයම අසමත් සිසුන්ගේ සංඛ්‍යාව 613කි; ප්‍රතිශතය 1.60කි.

මෙවර සාපෙළ විභාග ප්‍රථිපල වලට අනුව ලංකාවේ දිස්ත්‍රික්ක අතුරින් පළමු ස්ථානය බවට පත්ව ඇත්තේ රාජපක්ෂවරුන්ගේ බලකොටුවක් වන හම්බන්තොට දිස්ත්‍රික්කයයි. හම්බන්තොට දිස්ත්‍රික්කය පළමු ස්ථානය බවට පත්ව ඇත්තේ විභාගයට පෙනීසිටි සිසු දරු දැරියන් අතුරින් සියයට 80.51ක් සමත්වීමේ ප්‍රතිශතයක් අත්කරගෙනය. අධ්‍යාපන ඇමති ඩලස්අලහප්පෙරුම මහතා නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කය ලංකාවේ දිස්ත්‍රික්ක අතුරින් දෙවැනි ස්ථානය බවට පත්ව ඇති අතර විභාගය සමත්වීමේ ප්‍රතිශතය සියයට 79.22කි. ගාල්ල දිස්ත්‍රික්කය 05 වැනි ස්ථානය බවට පත්ව ඇති අතර විභාගය සමත්විමේ ප්‍රතිශතය සියයට 76.30කි. ලංකාවේ අධ්‍යාපන කලාප 98 අතුරින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල අධ්‍යාපන කලාපය පළමු ස්ථානය බවට පත්ව ඇති අතර විභාගය සමත්වීමේ ප්‍රතිශතය 86.22කි. මෙවර අ.පො.ස සා පෙළ විභාගයේ ජාතික සමත් ප්‍රතිශතය සියයට 73.84ක් වන අතර එම ප්‍රතිශතය ඉක්මවා දකුණු පළාතේ ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනම ඉහළට පැමිණ තිබේ.

දකුණු පළාතේ ඇති අධ්‍යාපන කළාප 11 අතුරින් ඇල්පිටිය අධ්‍යාපන කලාපය හැරෙන්නට අනිකුත් අධ්‍යාපන කලාප 10 ම සා පෙළ විභාගයේ ජාතික සමත් ප්‍රතිශතය ඉක්මවා තිබේ. 2018 වර්ෂයේ සාපෙළ විභාග ප්‍රතිඵලවලට අනුව අධ්‍යාපන කලාප 11ම සා පෙළ විභාගයේ ජාතික සමත් ප්‍රතිශතය ඉක්මවා යාමට හැකිවිය. එහෙත් මෙවර ප්‍රතිඵලවලට අනුව ඇල්පිටිය අධ්‍යාපන කලාපය ජාතික මට්ටමෙන් පහළට ඇද වැටී තිබේ. ඇල්පිටිය අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාශ 05න් හතරක්ම විභාග ප්‍රතිඵලවලින් පහතට ඇදවැටී තිබේ. මෙය ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට ද යම් බලපෑමක් එල්ල කිරීමට සමත්වී ඇත. එමෙන්ම අම්බලන්ගොඩ හා දෙනියාය අධ්‍යාපන කලාප තුළ ජාතික මට්ටමේ ප්‍රතිශතය ඉක්මවාගොස් තිබුණද සා පෙළ ප්‍රතිඵලවලට අනුව යම්කිසි පසුබෑමක් දක්නට තිබේ. එහෙත් තංගල්ල අධ්‍යාපන කලාපය මෙවර සා පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව 07වැනි ස්ථානයේ සිට තුන්වැනි ස්ථානය බවට පත්ව තිබේ.

තංගල්ල අධ්‍යාපන කළාපයට අයත් අගුණුකොළපැලැස්ස, බෙලිඅත්ත යන කොට්ඨාශ මෙවර ප්‍රතිඵලවලට අනුව විශාල වර්ධනයක් දක්නට තිබේ. ඒ විතරක් නොව 2010 වර්ෂයේ දි සා පෙළ විභාග ප්‍රතිඵල අනුව හම්බන්තොට දිස්ත්‍රික්කය පත්ව තිබුණේ 17 වැනි ස්ථානයේය. එහෙත් වසර කිහිපයක් ඇතුළත හම්බන්තොට දිස්ත්‍රික්කයට සා පෙළ ප්‍රතිඵලවලින් පළමු ස්ථානයට පත්විමට හැකි විය. හමබන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර වැනි අති දුෂ්කර අධ්‍යාපන කොට්ඨාශයක් මෙවර ප්‍රතිඵලවලට අනුව සියයට 81ක පමණ වර්ධනයක් පෙන්වමින් ඉදිරියට පැමිණ තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් හම්බන්තොට, වලස්මුල්ල, හා තංගල්ල යන අධ්‍යාපන කලාප නිරන්තරයෙන් ප්‍රගතිය පත්වෙමින් ඉදිරියට පැමිණෙමින් තිබේ.

දකුණු පළාත සා පෙළ ප්‍රතිඵලවලින් හයවතාවක් කප්ගැසුවද මෙවර ප්‍රතිඵලවලට අනුව බස්නාහිර පළාත හා වයඹ පළාත දකුණු පළාත සමග කරට කර සටනක් ලබාදෙමින් සිටිති. බස්නාහිර පළාතේ විභාගය සමත්වීමේ ප්‍රතිශතය සියයට 76කි. වයඹ පළාතේ සියයට 75.27කි.දකුණු පළාතේ සියයට 78.31කි.එම පරතරය මේ වනවිට අඩුවෙමින් පවති.ඒ නිසා මේ ගැනද අධ්‍යාපන බලධාරින්ගේ අවධානය යොමුවිය යුතුව තිබේ.

2009/2010 වර්ෂවල දකුණු පළාතේ විභාග ප්‍රතිඵල තිබුණේ 03 හා 04 වැනි ස්ථානවලය. පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් 2013 වර්ෂයේ දි දකුණ පළමු තැනට පත්විය. 2014 වර්ෂයේ පළමුවරට සා පෙළ ප්‍රතිඵලවලින් දකුණු පළමු ස්ථානයට පත්විය. මෙකී කාලයේ පළාත් අධ්‍යාපන ඇමති චන්දිමා රාසපුත්‍රය. ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාය. අධ්‍යාපන කටයුතු කරගෙන යාම සදහා කිසිදු දේශපාලන අතපෙවීමක් නොවිය. මේ සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආශිර්වාදය මෙන්ම මගපෙන්වීමද නොඅඩුව ලැබුණි. සැබවින්ම මෙකි විභාග ප්‍රතිඵලය ඉබේ ඇතිවුවාක් නොවේ. දකුණු පළාත පළමු ස්ථානයට ගෙන එම සඳහා විවිධ සැලසුම් සකස් කෙරිණි. පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරින්, කලාප අධ්‍යක්ෂකවරුන්, කොට්ඨාශ අධ්‍යක්ෂකවරුන්, විදුහල්පතිවරුන් විශේෂයෙන්ම ගුරුභවතුන් දිවා රැ නොබලා එම සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා හරි හරියට වැඩකළහ. වත්මන් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ ගැනද මෙහිදි සිහිපත් කළ යුතුය. දක්ෂ පරිපාලකවරයකු මෙන්ම කිර්තිමත් රාජ්‍ය නිලධාරියකු වන ආචාර්ය විලී ගමගේ නිලධාරින්ට නිදහසේ වැඩකිරීමට අවස්ථාව ලබාදී තිබේ. නිලධාරින්ට කිසිදු බලපෑමක් නැත.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී මෙකී ප්‍රතිඵලය ගැන මෙසේ කිවේය.

මෙම ප්‍රතිඵලය ගැනීම සදහා අධ්‍යාපන අංශයේ නිලධාරීන් දැඩි කැපවීමක් කරලා තිබුණා. සමහර තැන්වල අඩුපාඩු තියෙනවා. ඒවා හදාගන්න සැහෙන්න මහන්සි වීමට සිදු වෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය අම්බලන්ගොඩ ඇල්පිටිය යන කලාප ප්‍රතිඵලවලින් පහළට ගිහින් තියෙනවා. ඒ අඩුපාඩු හදාගන්න සැලසුම් සකස්කරලා තියෙනවා. දකුණු පළාත පිට පිට හයවැනිවරටත් පළමු ස්ථානයට පත්වෙලා තියෙනවා; ඒ ගැන සතුටු වෙනවා. හත්වැනිවරටත් දකුණු පළාත පළමු ස්ථානයට ගෙන එම සඳහා සැලසුම් සකස්කරලා තියෙනවා. කොට්ඨාශ හා පාසල් මට්ටමින් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඒ පදනම තවදුරටත් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. ගුරුවරු දිරිගැන්වීමට කටයුතු කරනවා. අංශ කිහිපයකින් වෙනස් ආකාරයට දිරිගැන්වීමට කටයුතු කරනවා. මේ ජයග්‍රහණය පළාතේ ප්‍රධානියා හැටියට අගය කරනවා.

මේ ගැන දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වයි. වික්‍රමසිරි කීවේ මෙවැනි කතාවකි.මෙකි ප්‍රතිඵලය ලබාගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් දිගින් දිගටම අපි ක්‍රියාත්මක කළා. සිසුතරණ විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. දුර්වල දරුවන් හඳුනාගෙන එම දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළා. ගුරුවරුන් අගැයිම් කළා. විභාග ප්‍රතිඵල ගැන නිරන්තරයෙන් විදුහල්පතිවරු සමග මාස දෙකකට වරක් ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වුවා. කලාප කොට්ඨාශ හා විෂය අධ්‍යක්ෂකවරුන් සදහා එම වැඩපිළිවෙළ දිගින් දිගටම ක්‍රියාත්මක කළා. උපාධිධාරින් යොදවා පාඩම් කියාදිම ගැන වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක කළා. මේක සාමුහික ජයග්‍රහණයක්. පසුබෑමට ලක්ව ඇති අධ්‍යාපන කොට්ඨාශ යළි ඉදිරියට ගන්න වැඩපිළිවෙළක් සකස්කළා. මේ සඳහා වත්මන් ආණ්ඩුකාරතුමා විශාල සහයෝගයක් ලබා දෙනවා. ආචාර්ය විලී ගමගේ ආණ්ඩුකාරතුමා නිවරදි මගපෙන්වීම හා නිලධාරින්ට නිදහසේ වැඩකරන්න අවස්ථාව ලබාදී තියෙනවා. එතුමා අපේ යම්කිසි අඩුපාඩුවක් වුවහොත් එය පෙන්වාදීමට කටයුතු කරනවා. අපිට උපරිම සහයෝගය ලබාදෙනවා.

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පති සන්ධ්‍යා පතිරණවසම් මෙසේ කිවාය.අපේ පාසලේ වසර 08කට පසු හොඳම ප්‍රතිඵල මෙම වර්ෂයේ දි ලැබී තියෙනවා. විභාගයට පෙනි සිටි දරුවන්ගෙන් සියයට 99ක් සමත්වෙලා තියෙනවා. විෂයන් නමයටම A 9 ලබාගත් දරුවන් 96 දෙනෙකු ඉන්නවා; විෂයන් 08කට A ලබාගත් දරුවන් 31 දෙනෙකු ඉන්නවා. අඩුසාධන මට්ටම් ඇති දරුවන් හඳුනාගෙන ගුරුවරු විසින් පාසලේ දි අමතර පන්ති කළා. ගුරුවරුන්ට ස්තුතිකරන්න ඕන; මෙවැනි ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකිවීම ගැන. 01 - 13 පාසල් අතුරින් අපේ පාසල තමයි ප්‍රතිඵලවලින් ඉදිරියෙන් ඉන්නේ.

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණි ජයවර්ධන මෙසේ පැවසීය. පාසලක විෂය සමගාමි කටයුතු සමඟ ක්‍රීඩා කිරීමත් අවශ්‍යයයි. ඒ කටයුතුත් කරන ගමන් මෙවර සා පෙළ සියයට 95ක් සමත්වෙලා තියෙනවා. අපේ පාසලේ දරුවන් ලංකාවේ ප්‍රධාන හැම ක්‍රිඩාවකම නිරතවෙමින් විද්‍යාලයට ගෞරවය ලබාදෙමින් ප්‍රධාන පාසල් 10- 12 අතර සටන කරමින් දරුවන් මේ කරපු කැපවිම අගය කරනවා. දකුණු පළාතේ සියලුම ගුරුවරු මෙම ප්‍රතිඵලය ලබාගැනීමට දැඩි කැපවීමක් කළා.

මාතර රාහුල විද්‍යාලයේ විදුහල්පති එප් වෙලගේ මහතාගේ අදහස මෙසේය.සා පෙළ විභාග ප්‍රතිඵල අනුව අපේ පාසලේ සියයට 97ක් දරුවන් සමත්වෙලා තියෙනවා. විෂයන් නමයටම A 9 ලබාගත් දරුවන් 82ක් ඉන්නවා. මේ වර්ෂයේ දි අපේ ඉලක්කය සියයට 98ක ප්‍රතිඵලයක් ලබා ගැනීම. දරුවන්ට අන්තර්ජාලය හරහා ඉගෙනිම් කටයුතු කරනවා. මේ දිනවල පාසල් නිවාඩු වුණත් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින ලෙස දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මෙවර සා පෙළ විභාග ප්‍රතිඵල අනුව. ඕල්කට් පාසල් අතුරින් අපේ පාසල දෙවැනි ස්ථානයට පත්වෙලා ඉන්නවා.

Comments