‘මැවිසුරු ඊලියන්’ ගේ විදු වදන් පෙළහර | Page 3 | සිළුමිණ

‘මැවිසුරු ඊලියන්’ ගේ විදු වදන් පෙළහර

පනස්හයේ පෙරළියත් සමඟ සිංහල භාෂාව අරබයාද මහත් ප්‍රබෝධයක් ඇති විය. මෙහිදී රජයේ සියලු කටයුතු සියබසින්ම සිදු විය යුතු බවට තීරණය වූ අතර, ඉංග්‍රීසි වචනවලට සි‍ංහල පාරිභාෂික වදන් තනන්නා වූයේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවයි. කෙසේ වෙතත් එහිදී ඔවුන් සාදා දුන් වදන්, විදුලිය බඳු මහත් අනතුරුදායක ක්ෂේත්‍රයක අනිවාර්ය අවශ්‍යතාවක් වූ නිශ්චිතාර්ථ දැනවීමෙන් දුරස් බව විදුලිය බලධරයන්ට පෙනීගියෙන්, ඒ කටයුත්ත පැවරුණේ එවකට එහි ඉංජිනේරුවකු වූ ඊලියන් වෙතය.

 

මෙහිදී ඕනෑම කෙනකුගේ සිතෙහි පැන නඟින කුකුසකි. එනම්: මෙබඳු කර්තව්‍ය අරමුණු කරගෙනම පිහිටැවුණු රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව තැනූ වදන්වල වූ දොස කිමෙක්ද? යන්නයි. එයට පිළිතුර ලිපිය ඇරඹුමෙහි අප දැක්වූ දෙබස අවසන ගැබ්ව තිබේ.

"ඔබට ඕනෑ වදනක් හදාගන්න. හැබැයි අප වගකියන්නේ නෑ," යි නිලදරුවාගේ මුවින් ගිලිහෙත්ම එයට නිසිතම පිළිවදන ඊලියන්ගේ මුවට නැඟුණේය:

රජයෙන් සැකැසුණු සිප් වදන් මෙසේ සදොස් වීමට හේතුව කිම? ඊලියන් දුටු පරිදි එහි බලපෑ මූලික සාධකය ඔවුන් එයට පාදක කරගත්තේ සංස්කෘත භාෂාව වීමයි."

සංස්කෘතය කිසිම ජනකොටසක් කාර්මික ශිල්පයක් වැඩෙහි යෙදවීම සඳහා යොදාගත් බසක් නොවේ. ඒ නිසා සකු බසෙහි එවැනි වදන් අඩුයි. එහෙත් සිංහලය සියවස් ගණනාවක් තිස්සේ විවිධ ශිල්ප කර්මාන්ත පවත්වාගෙන ඒමට යොදාගත් භාෂාවක්. ඒ නිසා සිංහලයේ එබඳු වචන රැසක් තිබෙනවා සේම, නව වදන් තනාගැන්මේ පිළිවෙතක්ද දිස් වනවා."

වැවේ දිය 'බස්වන කොටුව' > බසවු කොටුව > බිසෝකොටුව වූයේත්, දිය හැරවීම කළ බැවින් 'සරවුව' > සොරොවුව වූයේත් අපටම උරුම වූ ඒ ශිල්පීය වදන් සැකසුම් පිළිවෙතට අනුවය. ඊලියන් කළේ ඒ සම්ප්‍රදාය හැඳින එය යළි තහවුරු කිරීමය.

මේ වදන් සඳහා ඔහු අපූරු නමක්ද හඳුන්වා දුන්නේය. ඒ 'ශිල්පීය වචන' යන අරුතැති 'සිප්යුරු වදන්' යන්නය. එපමණක් නොව, 'ටෙක්නොලොජි' යන්න ස‍ඳහා රජය දුන් 'තාක්ෂණය' යන වචනයම සංස්කෘත භාෂා නියමයන්ද උල්ලංඝනය කරන සැටි ඔහු පෙන්නා දුන්නේය. එබසෙහි ඇත්තේ 'තක්ෂ්' යනුවෙන් වදන් මුලක් මිස 'තාක්ෂ්' යන්නක් නොවේ. 'ඉක' යන ප්‍රත්‍යය එක් වීමේදී පමණක් එය 'තාක්ෂණික' බවට පත් වෙයි (හරියට නගර > නාගරික වන ආකාරයටමය). අනෙක් අතට 'තක්ෂ්' වදන්මුලෙහි අරුතද හුදෙක් 'වඩු කර්මාන්තය' යන්නය. පුළුල් 'ශිල්පීය භාවයක්' පිළිබඳ අර්ථයක් එයින් දැනවෙන්නේද නැත. මේ දොසද මඟහරවමින් ඊලියන් ඉතා නිරවුල් ලෙස 'ශිල්පීය ලක්ෂණ ඇත්තේ' යන අරුත දෙන 'සිප්ලකුව' යන වදන 'ටෙක්නොලොජි' යන්න සඳහා නොබියව යෙදුවේය.

දැන් කෙනකුට නැඟෙන පැනය වන්නේ සාමාන්‍යයෙන් බටහිර පන්නයේ පැවැත්මක් උරුම වෘත්තියක යෙදුණකු සිත මෙතරම් දැඩි භාෂා ප්‍රේමයක් ජනිත වූයේ කෙසේද යන්නයි. සැබවින්ම එහි මුල ඊලියන් කොළඹ ආනන්දයේ අධ්‍යාපනය ලැබූ පාසල් අවධිය දක්වාම විහිද යන්නකි.

එහිදී පෙරපර දෙදිග සාහිත්‍යයෙහි හසළ දැනුමැති, ඒ.වී. ගුණපාල නම් අපූරු ගුරුවරයෙක් කුඩා ඊලියන්ට හමු විය. මුලින් එගුරු ඇසුරෙන් කුමරතුඟු පොතපත රසවිඳි ඊලියන්, පසුව තනිවම ඒවා කියවා, 'හීන්සැරය' බඳු කුඩා ප්‍රබන්ධයක වුව ගැබ්ව ඇති පුළුල් දැක්ම වටහාගන්නට සමත් විය. කෙමෙන් වැඩෙත්ම කුමාරතුංගයන්ගේ දෙසුම් පැවැත්වෙන තැන් සොයා යෑමට ඔහු පුරුදු විය. මේ අතර කුමරතුඟු දෙටු පුත් ගෝමින් සිටියේද ආනන්දයේ ඊලියන්ගේ පන්තියේමය.

ස්වර්ණාභරණ වෙළෙඳසල් හිමියකු මෙන්ම හොඳ සංගීත කලා රසිකයකුද වූ 'තොටවත්තගේ දොන් මැනුඑල් ජූලියස් ද සිල්වා' පියාණන්ට දාව සිසිලියා සෙට්ටිආරච්චි මාතාවගේ කුසින් 1926 ඔක්තෝබර් 31දා බොරැල්ලේදී කුඩා ඊලියන් මෙලොවට බිහි විය. ඔහුගේ ලොකු අයියා සැම්සන් නීති වෘත්තිය තෝරාගනිද්දී පොඩි අයියා ෆ්රැන්සිස් යොමු වූයේ ව්‍යාපාර ක්ෂේත්‍රයටය. එකම මල්ලී ටයිටස් චිත්‍රපට හා රූපවාහිනී ක්ෂේත්‍රවල පතළ දැවැන්තයකු බවට පත් විය.

පවුලේ බඩපිස්සිය වූ බියට්‍රිස් කලක් ගුරු වෘත්තියෙහි නිරතව සිටියාය. ආනන්දයෙන් පාසල් අධ්‍යාපනය සපිරූ ඊලියන් එවක පැවති මැට්‍රිකියුලේශන් විභාගය ඉහළින්ම සමත්ව මහා බ්‍රිතාන්‍යයේ ලංඩන් විශ්වවිද්‍යාලයට පිවිස ඉංජිනේරු උපාධිය හිමි කරගත්තේය. ඉක්බිති මෙරටට පැමිණ රජයේ සේවයට එක් වූ හෙතෙම 1956දී බොරැල්ලේ ළමා රෝහලේ වෛද්‍යවරියක වූ මල්ලිකා කීර්තිරත්න මෙණෙවිය හා අතිනත ගත්තේය. ඔවුන් ලත් පුත් වරුණද මැනවින් ඉගෙන, තෝරාගත්තේ ඉංජිනේරු වෘත්තියයි.

රජයේ සංස්ථා හා මණ්ඩල කිහිපයකම සභාපති ධුර හෙබවූ ඊලියන් තම විශ්‍රාම දිවිය සම්පූර්ණයෙන්ම කැප කළේ නිවෙසෙහි පුස්තකාලයට වැද, ලිවීමේ සහ කියවීමේ යෙදීමටය. භාෂාව සම්බන්ධ විවාදාපන්න අදහසක් පළ වූ කල්හි ඕනෑම ජගතකු සමඟ වාදයට එළඹීමට පැකිළුණේ හේ නොවේ.

වරෙක අකුරැටියේ අමරවංස නාහිමියන් සමඟද වරෙක මහැදුරු දිසානායකයන් සමඟද ඔහු එලෙස පුවත්පත් මඟින් වාදාභිමුඛ වූයේය.අවසන් සමයේ ඊලියන් මහතාගේ සුරත ඔහුට අවසඟව ගියේය.

එහෙත් 2015 සැප්තැම්බර් 23දා මෙලොව හැර යන තෙක්ම වාගේ හෙතෙම වමතේ ඇඟිල්ලක් පරිගණක යතුරුපුවරුව මත මෙහෙයවමින් සිප්යුරු වදන් තැනුමෙහි නිරතව සිටියේ තම අචල භාෂා ප්‍රේමය ප්‍රකට කරමිනි.

Comments