‘කෝවිඩ්’ මාරයා අපෙන් උදුරාගත් තොරණේ කතන්දරේ | Page 3 | සිළුමිණ

‘කෝවිඩ්’ මාරයා අපෙන් උදුරාගත් තොරණේ කතන්දරේ

මැයි මාසය යනු ලංකාද්වීපයේ ආලෝකවත්ම මාසයයැයි පැවසුවොත් වරදක් නැත. එවන් වූ ප්‍රීතිමත් මානසිකත්වයකින්‍ යුක්ත වූ වෙසක් සමය සමරන්නට අපේ ඇත්තන් මුලපිරුවේ සැබැවින්ම මැයි මාසයට මාස ගණනකට පෙර සිටය. මේ සූදානම වෙසෙසින්ම වූයේ සිරිලකටම අනන්‍ය කලාංගයක් බවට විකාශනය වී ඇති 'තොරණ' ඉදිකිරීම් අරඹනු පිණිසය.

පළමුවම සුදුසු කතාපුවතක් නිර්ණය කරගත යුතුය; ඉක්බිති විරිදු සහිත පිටපත ඒ කටයුත්තට නිපුණයකු ලවා ප්‍රබන්ධ කරවාගත යුතුය; එය සංගීතවත් කර සුදුස්සන් ලවා ගායනා කරවා, දෙබස් කියවා, පසුබිම් කථනයද මුසු කර පටිගත කරගත යුතුය; නිරූපණයට උචිත රූපරාමු සඳහා සිතුවම් සමර්ථ සිත්තරකු ලවා අඳවාගත යුතුය; මනරම් විදුලි ආලෝක රටා ශූර ශිල්පියකු ලවා සකසාගත යුතුය; ඒ සැලසුමට අනුව රැහැන් එළා විදුලි බුබුළු සවි කළ යුතුය; ආලෝක රටා මවන 'ෆ්ලෑෂර් කොටය' නිමවාගත යුතුය; රුකුල් කණු සපයාගත යුතුය. අවසන මේ සියල්ල මූලික සැලසුමට අනුව එකලස් කළ යුතුය. අඩි පනහක හැටක, විටෙක ඊටත් වඩා උස් වූ, පසු පසට පසු පසට වන්නට ස්තර කිහිපයකින් යුත් වූ ඇටවුමක මේ සියල්ල සීරුවට පරිස්සමට කළ යුතු කටයුතුය.

මෙකියන සමය අදින් වසර හැට-හැත්තෑවකට එපිට යුගයයි. ඒ වන විට අප රටේ තොරණ යනු අලංකාර සිතුවම් නිමවා, හුදෙක් ආලෝකයක් සපයා නැරඹීමට සැලැස්වූ නිමැවුමක් පමණක් විය. මේ ඔස්සේ සිත මෙහෙයවූ කොළඹ නැව්තොටෙහි විදුලි අංශයේ වැඩමූලිකයකු වූ තොටළඟ 'ආරි අයියා' ගේ කල්පනාවට අපූරු සිතිවිල්ලක් නැඟුණේය. ඒ ඔස්සේ දිගින් දිගටම අත්හදාබැලීම් කිරීමෙහි ප්‍රතිඵලය වූයේ එවසරේ වෙසක් සමයේදී 'තොටළඟ තොරණක බුදුරැස් විහිදෙනවා!' යනුවෙන් පුවතක් රට පුරා පැතිර යෑමයි. 'බුදුරැස්' නැරඹීමට මිනිස්සු දසදෙසින් තොටළඟට රැස් වන්නට වූහ. ලෑල්ලෙන් නිමැවූ විසල් බෙරයක් බඳු බඳක කිසියම් රටාවකට තඹ පතුරු ඇලවිණි. විදුලි බුබුළුවලින් එන එකිනෙක රැහැන් කෙළවර මේ බඳෙහි ස්පර්ශ වන සේ ස්ථානගත කෙරුණු අතර, ලී බඳ කෙමෙන් භ්‍රමණය වන්නට සැලස්විණි. මෙහිදී එක් රටාවකට අයත් බුබුළුවල රැහැන් කොන් අදාළ තඹ පතුරු රටාවේ ගැටී බල සැපයුම සම්පූර්ණ වීමෙන් ඒ විදුලි බුබුළු දැල්වී සිටී. ලී බඳ කැරකෙන විට ඊළඟ රටාවට අයත් තඹ පතුරු සහ රැහැන් අග්‍ර සම්බන්ධ වීමෙන් ඒ රටාව දැල්වෙයි. පසුකාලීනව එල්ඊඩී සහ සියුම් පරිපථ මතු නොව, ඩිජිටල් තාක්ෂණයද මුසු වී මහා තාක්ෂණික පෙළහරක් බවට තොරණ පත්ව ඇතද, එවන් තාක්ෂණයක් හෝ මෙබඳු චිත්තාකර්ෂණීය ආලෝක රටා හෝ සිප්ලකුවෙන් අගතැන්පත් ජපානයේ හෝ චීනයේවත් මෙතෙක් බිහි වූයේ නැතැයි කීම අතිශයෝක්තියක් නොවේ.

තොරණ අරබයා පුරාවිද්‍යාත්මක සාක්ෂි එසේ වන කල, ලිඛිත මූලාශ්‍රය රැසකින්ද විවිධ තොරණ වර්ග පිළිබඳ තොරතුරු සමුදායක් අනාවරණය වේ. ඒ අනුව ලක්දිව එළිමහනක ඉදි වූ තොරණ ගැන ලේඛනගත මුල්ම සඳහන දැක්වෙනුයේ චීන ජාතික 'ෆා ෂිඇන්' හිමියන්ගේ දේශාටන වාර්තාවෙහිය. අනුරපුර මහානාම රජදවස (410-32) ලක්දිවට පැමිණ දෙවසරක්ම (412-14) මෙහි නැවතී සිටි උන් වහන්සේ අභයගිරියේ පැවති දළදා දැක්ම ගැන කරන විස්තරයේදී ජාතකකතා සිතුවමට නැඟූ පුවරු මඟ දෙපස ප්‍රදර්ශනය කළ බව පවසති. එය අපේ නූතන තොරණෙහි මූලික අවස්ථාවක් වූවාට සැක නැත.

මේ අතර ජාතක පුවත් පාදක කරගත් සාහිත්‍ය කෘතිවල මෙන්ම සංදේශ කාව්‍යවලද නගර සැරසුම් ලෙස කෙරුණු විවිධ තොරණ විශේෂ ගැන විස්තර දක්නට ලැබේ. මේ අපට බෙහෙවින් සමීප 'උම්මග්ග ජාතකයෙනි: "එක් දවසක් රජ්ජුරුවෝ පණ්ඩිතයන් හා සමඟ උයනට ගියාහ. එදවස් එක් බොහොඬෙක් (කටුස්සෙක්) තොරණ අගැ වසන්නේය." මේ පවසන්නේ උයන් දොරටුවේ පිහිටුවා තිබුණු, හුනු බදාමයෙන් තැනුණු ස්ථිර ඉදිකිරීමක් විය යුතුය. එයතර "මරාමණි තොරණෙ'පුරේ, සල මුතුලැලින් වැජඹෙන" (මුවදෙව්දාවත), "රත මිණි තොරණ රැස්, රැසින් රතෙ'පුරෙ සුපුන් සඳ" (කව්සිළුමිණ), "යොදා දෙපස රන් තොරණේ" (ගුත්තිලය) යනාදිව ජාතක කාව්‍යවලද, "ඇත දොර දොර රත් ඉඳුනිල් මිණි තොරණ" (පරෙවිය), "බිඳ ගනඳුර එළි කරතත් රන් තොරණ" (හංසය) යනාදිව සංදේශ කාව්‍යවලද නගරාලංකරණ වශයෙන් කළ තොරණ ගැන කියවෙතත් ඒවා කාව්‍යෝක්ති බව පැහැදිලිය.

එබැවින් මේවායේ මැණික් හා රත්‍රන් පසෙකින් තැබුවද, ඒ ඒ කාව්‍යයන්ගෙන් වර්ණිත සමයන්හි කෙසේ වෙතත් යටත් පිරිසෙයින් ඒවා රචිත කාලවල හෝ නගර අලංකාර වශයෙන් තොරණ විශේෂ ඉදි කිරීමේ සම්ප්‍රදායක් මෙරට පැවතුණහයි සිතීම යුක්ති යුක්තය. ඕනෑම කාව්‍යක්කාරයකු අතින් ලියැවෙන ප්‍රබන්ධයකට ඔහුගේ සමීපාශ්‍රිත අත්දැකීම් සහ නිරීක්ෂණ වැදගැනීම නිරායාසයෙන්ම සිදු වන බැවිනි. අප මෙතෙක් ගෙනහැර දැක්වූ සාහිත්‍යාගත නිදර්ශන සියල්ලෙන්ම දැක්වුණේ තිර ලෙස ඉදි කරන ලද කැටයම් හා මූර්ති සහිත නිමැවුම්ය. ඒ අතර 'ෆා ෂිඇන්' හිමි වාර්තා කළ බඳු සිතුවම් සහිත පුවරුමය නිමැවුම් පිළිබඳවද ඇතැම් සාහිත්‍ය කෘතියක දැක්වේ. ගුත්තිලයේ එන "ඇඳ සිතියම් සිත තුටු කර ඇමගේ" යන්න එයට මනා නිදසුනකි.

මූර්ති වේවා, සිතුවම් වේවා මේ සියල්ල අයත් වන්නේ රූපමය මාධ්‍ය ගණයටය. එයින් ඉඳුරාම වෙනස් වන තොරණ ප්‍රභේද කිහිපයක්ද අපට තොරණ පුරාණය සොයා යෑමේදී හඳුනාගැනීමට පිළිවන. නොමේරූ පොල් කොළ වියමනින් තනනු ලබන 'ගොප් තොරණ' ද, නේක වර්ණ රෙදිවලින් කරනු ලබන 'පිළි තොරණ' ද, විවිධ මලින් සදනු ලබන 'මල් තොරණ' ද, බුලත් කොළ අමුණා නිමවනු ලබන 'බුලත් තොරණ' ද, පහන්වලින් ආලෝකවත් කරනු ලබන 'පහන් තොරණ' ද, කෙසෙල් ගස් සිටුවා සකසනු ලබන 'රඹ තොරණ' ද, පොල් තල් පුවක් ඈ ගෙඩි වර්ග බැඳ තනනු ලබන 'ගෙඩි තොරණ' ද ඒ අතර ප්‍රමුඛය. වෙසෙසින් ඈත අතීතයකට උරුමකම් කියන අපේ යාතු කර්ම හා අවියෝජනීය ලෙස බැඳුණු ගොප් කොළ නිමැවුම් කලාවක් හැටියට උපරිම දියුණුවට පත් දේශීය සංස්කෘතිකාංගයකි. "සිටුවා දොර දොර රඹ තුරු" (ගුත්තිලය) යනාදිව සාහිත්‍ය මූලාශ්‍රයන්හිද දැක්වෙන 'රඹ තොරණ' බුදුනුවන්ට මතු නොව, හින්දූන්ටද උරුම තොරණ විශේෂයකි. සශ්‍රීකත්වයෙහි සංකේතයක් වන 'ගෙඩි තොරණ' අද්‍යතනය වන විට කිතුනු මුනිවරුන්ගේ වාර්ෂික 'මංගල්ල' අවස්ථාවල දේවස්ථාන ද්වාර සැරසීමටද යොදාගනු දක්නා ලැබේ.

මන්දිර, සැරසිලි, උත්සව ආදිය ප්‍රභූන්ට සහ ආගමික ආයතනවලට සීමා වූ එදා මෙන් නොව, ඇති නැති භේදයකින් තොරව සැමට පොදු උරුමයක්ව ඇති අද ක්ෂණික තාක්ෂණික නිෂ්පාදන පහසුකම්ද එක්ව විවිධ අරමුණින් එක් පැහැර තැන තැන ඉදි වන වර්ණවත් තොරණ සුලබ දසුනක් වී ඇත. එහෙත් ඒ කවර නවාංග එක් වූවද, නේක වර්ණ විදුලි රටාවන්ගෙන් උජ්වලිත, අපටම උරුම විරිදු ගායනයන්ගෙන් සුසජ්ජිත, අපේ 'වෙසක් තොරණ' තරම් 'දැනෙන' අනෙක් තොරණක් නම් ලොව කොතැනකින්වත් බිහි නොවනු ඒකාන්තය!

Comments