වැටුණු ආර්ථිකය ගොඩගන්නේ කෙසේද? | Page 3 | සිළුමිණ

වැටුණු ආර්ථිකය ගොඩගන්නේ කෙසේද?

ලොව දැවැන්ත රටවල් පවා විශාල ආර්ථික පසුබෑමකට ලක් කරමින් ලොව පුරා පැතිර යන කෝව්ඩ් 19 වසංගතය මෙරටටද එල්ල කර ඇති බලපෑම අති විශාලය. මෙරට මහා පරිමාණ සමාගම් කිහිපයකටම එළඹෙන ඉදිරි මාස කිහිපයේ සේවක වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.

මෙරට ලැයිස්තුගත විශාලතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් අප්‍රේල්, මැයි සහ ජූනි මාසවලට බලපැවැත්වෙන පරිදි පිරිවැය පාලන ක්‍රමවේද ලෙස වැටුප් කප්පාදුවට යොමු වීමට පියවර ගෙන ඇත. මේ වන විටත් ඒ සමාගම් හිමිකරුවන් සිය කාර්ය මණ්ඩලයවලට ඒ බව දැනුම් දී ඇත. සෙසු කර්මාන්ත සහ ව්‍යාපාර වෙත ද එල්ල වී ඇති බලපෑම ඊටත් වඩා කනගාටුදායකය. ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා මහ බැංකුව හරහා එම හානිය අවම කර ගැනීම සඳහා විවිධ සහන පැකේජ ගණනාවක්ම හඳුන්වාදී ඇති බව බලධාරීහු පවසති. කෙසේ වෙතත් එම ව්‍යාපාර යථා තත්ත්වයට පත් වන්නට සැලකිය යුතු කාලයක් ගත වන බව ඇතැමුන්ගේ අදහසයි. කෝවිඩ් 19 වසංගතයෙන් මෙරට ආර්ථිකයට එල්ල වූ බලපෑමෙන් රට යළි ගොඩගන්නේ කෙසේද යන කාරණාව සම්බන්ධයෙන් කළ අදහස් විමසීමකි මේ. .

 

කන්න තියෙනවා නම් ඕනෑම අර්බුදයකට මුහුණ දෙන්න රටකට පුළුවන්

මේ වෙනකොට ඉතා පැහැදිලිව පේනවා ගෝලීය ආර්ථිකය බරපතළ කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. ආර්ථික විශ්ලේෂකයන්ගේ විශ්ලේෂණ අනුව පේනවා; 1930 වසරේ ආර්ථික කඩාවැටීම හා සමාන කඩාවැටීමක් අවපාතයක් මේ වන ඒ වන විට ඇති වී තිබෙන බව. ඒ මහා අවපාතය අර්ධ වශයෙන් හෝ සමනය වන්න අඩුම වශයෙන් අවුරුදු තුනක් ගත වෙයි කියලා ආර්ථික ක්ෂේත්‍රයේ අදහස් පළ කරල තියෙනවා.

එය ඇත්තටම විද්වතුන් කියන්න අවශ්‍ය නැහැ .රටේ ආර්ථිකය නගා සිටුවීම පිලිබඳ සාමාන්‍ය ජනතාව ටත් දැනෙන්න පටන් අරගෙන තියෙනවා. අපිට මේ අභියෝගයේ බරපතළකම මෙන්ම එයින් නැගී සිටීමට අවස්ථාවක් තියෙනවා. අපි සතුටු වෙන්න ඕන කාරණාවක් තියෙනවා; අපිට හොඳ නායකත්වයක් තියෙනවා. මහා ඛේදවාචකයන් හමුවේ නැවත නැඟී සිටියේ නිවැරැදි නායකත්වය ඇති වීම භාග්‍යයක් කොට සලකන්න ඕන. යුද්ධයෙන් පසුව නැවත නැගිටින්න මහා දේශපාලන පෞරුෂයක් නායකත්වයක් එක්ක තමයි එය සිදුවුණේ. අපිට මේ වන විට යුද්ධයට පසුව නැවත නැඟීමට තිබු අවශ්‍යතාවට වඩා නැගිටිමේ අවශ්‍යතාවක් මතු වී තිබෙනවා. ඒ සඳහා නායකත්ව පෞරුෂයක් තියෙනවා. කෙසේ හෝ රට දියුණු කළ යුතුයි අපේක්ෂාව තියෙනවා. ජනතාවට බලාපොරොත්තුවක් තියෙනවා ආර්ථිකය නගා සිටුවීමට. මෙතෙක් ආපු විදිහට මේ ආර්ථිකය ගොඩනැගීමට බැහැ . සම්පූර්ණයෙන්ම රටේ තියෙන ආර්ථික මොඩලය වෙනස් කළ යුතුයි. පරිභෝජන ඉල්ලුම මත ආර්ථික මොඩලය වෙනුවට නිෂ්පාදනය මුල් කරගත් දේශීය නිෂ්පාදනය මුල්කරගත් මොඩලයකට අපි යන්න ඕන. එය ශක්තිමත් කළ යුතුයි. එසේ ම ණය සහනාධාරයක් දුන්නා කියලා මේ රට වෙනස් කරන්න බැහැ. විශේෂයෙන්ම ග්‍රාමීය ආර්ථිකය නංවන්න ඕන. බහුතරයක් ජනතාවට හොඳ නිෂ්පාදන මොඩල් එකට යන්න ඕන. කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත නඟා සිටුවන්න ඕන. නිෂ්පාදන පද්ධතියේ විශේෂයෙන් ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවිමට ඉඩප්‍රස්ථා ලැබෙන නිෂ්පාදන ක්‍රමයකට යා යුතුයි. දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට සියයට පනස් දෙකක් නිපදවන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසිනුයි. අපනයනයට දායකවන්න ඒ අයට ප්‍රාග්ධනය නැහැ; ගුණාත්මකභාවය වැඩි කිරිමට පහසුකම් නැහැ; අවශ්‍ය සහය නැහැ; වෙළෙඳපොළක් නැහැ;

දැනුම නැහැ. මේ නව ආර්ථික මොඩලයක් ඇතුළෙ ඒ අය දිරිගන්වන ධනය සපයන්න ඕනේ. මෙතෙක් අපි දැක්ක ආර්ථිකයෙ එකම පැතිකඩ පමණයි. එනම් සැපයුම් පාදක සහ ඉල්ලුම් පාදක ආර්ථිකය රටාවක්. ඒක විකෘති ආර්ථික රටාවක්. ඉල්ලුම් නැති තැනක සැපයුමට මොනතරම් මැදිහත්වීම් කළත් ගොඩ දාන්න බැහැ. වෙළෙඳපොළ අවශ්‍යතා නිර්මාණය වන්නේ නැත්නම් බදු සහන යටතේ මෙරටට ගෙන එන විදේශ නිෂ්පාදන වලින් පලක් වන්නේ නැහැ .

අපෙ ජනගහනයෙන් හතරෙන් එකක් ගොවිතැනින් ජීවත් වෙන්නේ. ඉඩම් සංයුතිය ගත්විට අක්කර දෙකකට වඩා අඩු ප්‍රමාණයක තියෙන්නෙ අති විශාල පිරිසකට. මේ අයගේ ආර්ථිකයට ලබාගත හැකි දායකත්වය යම් සීමාවක් තියෙනව. බෝග වගාව සහ කිරිගොවිතැන එක තැනක කරන්න හැකියි නම් එහිදී ගොවියාගේ ආදායම් මට්ටම වැඩි වෙනවා. ගොවිතැන් ක්‍රමය වෙනස්වී ඵලදායිතාව වැඩි වෙනවා. වෙළෙදපොළේ විකෘතිය වෙනස් කරන්න නම් සැපයුම් ක්ෂේත්‍රය වෙනස් කරන්නම ඕන.එතැන යි යතුර තියෙන්නෙ.

මිනිස්සුන්ට කන්න තියෙනවනම් ඕනම රටක් ස්ථාවරයි . පරිභෝජන සංස්කෘතිය වෙනස් කළ යුතුයි; ආහාර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න ඕන. දේශීය ආර්ථික රටාව සහ දේශීය ආහාර පරිභෝජනය කිරීමට අපි හුරුවිය යුතුයි. ආහාර සුරක්ෂිතතාව තමයි මූලිකම දේ. කන්න තියෙනවා නම් රටකට ඕනෑම අර්බුදයකට මුහුණ දෙන්න පුළුවන්

----------------------

දැනට අපිට ඕනේ හයේ හතරෙ ඒවා  ගහන්න නෙමෙයි විකට්ටුවෙ රැදෙන්නයි

මේ සෞඛ්‍ය වසංගතය හරහා ලෝකයේම ආර්ථීක අර්බුදයක් කරා යනවා. මෙය වැළැක්විය නොහැකි කාරණාවක්. වෙන වෙලාවකට වඩා වඩා ආරක්ෂා වෙන්න ඕන අවස්ථාවක අපි ඉන්නෙ. අපිට කළ හැකි එකම ක්‍රමවේදය තමයි තමන්ගේ රටේ නිෂ්පාදනය පිළිබඳ විශ්වාසය තැබීම.

එම නිෂ්පාදනයේදී අපිට මහා පරිමාණ නිෂ්පාදන වලට යන්න බැහැ පළවෙනි කාරණාව එයයි. කාර්මික නිෂ්පාදන ප්‍රමාණයක් අපිට නිෂ්පාදනය කරගත හැකි කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය වන කෘෂි උපකරණ එදිනෙදා භාවිතයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කිරීම සම්බන්ධවද නිෂ්පාදනය කරන අයට බදු සහන ලබාදීමට අපිට ආණ්ඩුව සැලැස්මක් ඇති කළ යුතුයි. පොහොර දෙවර්ගයම මේ අවස්තාවේ දී නිෂ්පාදනය කරගැනීමට හැකියි.

කුණු ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. බීජ නිෂ්පාදනය සදහා බහුජාතික සමගම් වල මත යැපෙන්න බැහැ. සාම්ප්‍රදායික ක්‍රමවේදයන් වලට යොමු වෙන්න ඕනෙ. කෘෂිකර්මාන්ත ආර්ථිකය නගාසිටුවීම මේ අවස්ථාවේදී කරන්න පුළුවන් රජය සහනාධාර ලබාදෙන්නට ඕනේ. සහනාධාර නොදී ලෝකෙ කිසිම කෘෂිකර්මාන්තයක් දියුණු කර නැහැ.

ඇමරිකාව, එක්සත් ජනපදය ,එක්සත් රාජධානිය, නවසීලන්තය වැනි රටවල ගොවියාට සහනාධාර ලබාදෙන්නට කටයුතු කරනවා. එසේ කළහොත් ගොවිය නගාසිටුවීම පුළුවන්.

එමෙන්ම අපනයනය වෙළද පොළෙන් යම් ප්‍රමාණයක් අත්පත් කරගැනීමට හැකි වේවි. දැනට අපිට ඕනේ පිට්ටනියට ගිහින් හයේ හතරෙ ඒවා ගහන්න නෙමෙයි විකට්ටුවෙ රැදෙන්නයි.

 

------------------------------------

අපි තේරුම් ගන්න ඕන අපේ සම්පත් ඉතුරු කරගන්නේ කොහොමද කියලා

අපට මේ තත්ත්වය දරාගන්න බැරි අපේ රටේ නිෂ්පාදනවලට වඩා, අපේ කර්මාන්ත වලට වඩා පිටරටින් ආනයනය කරන දේවල් මත අප යැපෙන්න පුදුරු වී සිටීමයි. මෙවැනි ගෝලීය අර්බුදයකදී අපිට දරාගන්න අමාරුයි.

නිෂ්පාදන මත කර්මාන්ත මත යැපෙන රටවල්වලට සිද්ධ වෙන ඒ අනතුරම තමයි අපටත් බලපාන්නෙ. අපට කියා ස්වාධීන ආර්ථිකයක් නැති තැන අපට ස්වාධීන වූ නිෂ්පාදන ක්‍රියාදාමයක් නැති තැන ගෝලීය මට්ටමේ කරදරයක් අපට සෘජුවම බලපානවා. අපේ කියලා යම්කිසි දෙයක් අද අපට තිබුණ නම් ඒ දේ විතරයි අද අපිට ඉතුරු වෙන්නේ. අපේ කෘෂිකර්මාන්තය ගත්ත ම අපි සහලින් ස්වයංපෝෂිත වෙච්ච රටක්. ඒක අපිට ලොකු දෙයක්. නැති නම් අද අපිට වෙන්නේ කන්න නැතුව ඉන්න.

1977 විවෘත ආර්ථික ඇති කරලා ගෙනාපු මුදලාලිකරණය ඒ ඇස්බැන්දුම හරහා සිද්ධ වෙච්ච අනතුර අද මිනිස්සුන්ට පේනවා. අද මිනිස්සු 70 සහ 72 දශකය ගැන කතා කරන්න පටන් අරගෙන තියෙන්නේ. මිනිස්සු ඒ කතිකාව අද නැවත ගොඩනඟලා තියෙනවා. රටක් ලෙස සමාජ-ආර්ථික ක්‍රමවේදය වෙනස් කළ යුතු කාලයක් ඇවිත් තියෙනවා. රට පුරාම කුඹුරු තියෙනවා. රට පුරාම මුහුද තියෙනවා. අල පලා එළවළු තියෙනවා. මෙරට ආහාර අහේනියකින් මිනිස්සු මරණයට පත් වෙන්නෙ නැහැ. කාලා බීලා අපිට ඉන්න පුළුවන්. අපි තේරුම් ගන්න ඕන අපේ සම්පත් ඉතුරු කරගන්නේ කොහොමද කියලා. හොඳින් ඉර පායන රටක් මේක. ඔක්කොටම හොඳ අවස්ථාවක් මේක.

 

----------------------------

මෙහි බලපෑම අවුරුද්දක් විතර තියෙන්න පුළුවන්

කොරෝනා වසංගතය නිසා වූ කඩා වැටුණු ආර්ථිකය ගොඩගන්න රජය සහන මාලාවක් දී තියෙනවා. ඒ අනුව බිලියන 50ක් වෙන් කර තියෙනවා. වසංගතයට ගොදුරු වූ වෙනත් රටවල් දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 3.5කට වඩා වෙන් කරලා තියෙනවා.

අප යෝජනා කරනවා ඒ මුදල වැඩි කරන්න කියලා. වෙනත් රටවලට සාපෙක්ෂව අපේ රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට දශම පහක් වගේ තමයි වෙන් කර තියෙන්නෙ කාරක ප්‍රාග්ධනය සඳහා. එදිනෙදා වියදම් සඳහා (working capital) වලට සියයට 25ක් දක්වා දෙන්න කියලා අපි යෝජනා කරන්නේ.

එයින් කර්මාන්තශාලා හිමිකරුවන්ට තාවකාලිකව පඩි ගෙවා ගැනීම වැනි දේවල් කරන්න පුළුවන්. ප්‍රධාන පෙළේ සමාගම් පවා වැටුප් අඩු කිරීමට තීරණය කර තියෙනවා. රස්සාව නැති කරලා ගෙදර යවනවාට වඩා ඒක හොඳයි. පඩියෙන් බාගයක් හරි ගෙවන එක මේ අවස්ථාව අනුව හොඳයි.

මහා පරිමාණ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටත් කරන්න වෙන්නෙ ඒ දේ තමයි. අලුත් රැකියා අවස්ථා මේ වසංගතය හරහා ඇති වෙලා තියෙනවා ගොවිපළවලට යන්න කිව්වට මිනිස්සු ගොවිපළවලට යන්න බයයි. ඒ නිසා ආහාර නිෂ්පාදනය යම්තාක් දුරට අඩු වෙන්න පුළුවන්. මේක අමාරු අවස්ථාවක් රටටම පමණක් නෙමේ ලෝකෙටම. එක යෝජනාවක් තිබුණා අර්ථසාධක අරමුදලේ තියෙන මුදලින් සියයට විස්සක් ලබාදෙන්න. ඒවා තාවකාලික පිළියම්. මෙහි බලපෑම අවුරුද්දක් විතර තියෙන්න පුළුවන්.

 

------------------------------

පීඩාවට පත්වී නැති එකම පිරිස රාජ්‍ය සේවකයින් පමණයි

ලෝකයේ බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද මුහුණ දී සිටින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වනවිට සති හයකට ආසන්න කාලයක් මෙරට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම නිසා සිය ආර්ථික කටයුතු කරගෙන යාමට නොහැකිවීමෙන් බොහෝ දෙනෙකු පීඩාවට ලක්වී සිටිනවා . මේ තුළින් වඩාත් පීඩාවට ලක්වී සිටින්නේ එදාවේල හරි හම්බ කරගත් කුලී වැඩ කරන ජනතාව සහ ස්වයං රැකියා කරන ජනතාවයි.

මේ නිසා, මිලියන 04 කට ආසන්න වැඩකරන ජනතාවක් නියෝජනය කරන මෙම අඩු ආදායම්ලාභී ජන කණ්ඩායම වෙනුවෙන් අර්ථවත් සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක් වන අතර එවැන්නක් නිසි පරිදි සිදු නොවුණහොත් එය රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතින කොවිඩ් -19 ට එරෙහි සටනටද බාධාවක් විය හැකිය. මෙම අර්බුදය නිසා ආදායම අතින් යම් කිසි මට්ටමකින් හෝ පීඩාවට පත්වී නැති එකම පිරිස වන්නේ රාජ්‍ය සේවකයින් පමණි.

මෙරට රාජ්‍ය අංශයේ සේවය කරන මිලියන 1.2 ක් පමණ පිරිසට මෙම අර්බුදය මධ්‍යයේ වුවද බාධාවකින් තොරව සිය මාසික වැටුප හිමි වෙනවා. මේ අතර, සාම්ප්‍රදායික පුද්ගලික අංශයේ සේවය කරන මිලියන 1.8 ක් පමණ පිරිස අතරින් සැලකිය යුතු පිරිසකට සිය ආදායම යම් යම් කප්පාදු කිරීම් යටතේ වුවද හිමිවනු ඇතැයි උපකල්පනය කළ හැකි අතර පුද්ගලික අංශයේ සිටින ලක්ෂ 2 කට ආසන්න අත්‍යවශ්‍ය සේවකයින්ටද මෙයින් එතරම් බලපෑමක් නැහැ . නමුත්, මෙම කාණ්ඩයන්ට අයත් නොවන අනිකුත් පිරිස මෙම ඇඳිරිනීතිය හේතුවෙන් තම ජීවිකාව කරගැනීමට නොහැකිව අසරණව වෙලා.

මේ අනුව, ව්‍යාපාර අයිතිකරුවන්ගේ සිට එක් එක් ක්ෂේත්‍රවල පිරිස් මෙම තත්ත්වය හමුවේ විවිධ මට්ටම් වලින් පීඩාවට පත්වෙලා. නමුත්, මෙරට සිටින ස්වයං රැකියා කරන මිලියන 2.6 ක පිරිසත් එදාවේල හරි හම්බ කරගන්නා මිලියන 1.7 ක් පමණ ප්‍රමාණයත් වර්තමාන තත්ත්වය හමුවේ දැවැන්ත ආදායම් අර්බුදයකට ලක්වී තිබෙනවා. මොවුන්ගෙන් බොහෝ පිරිසකට තම ආහාරපාන සඳහා වියදම් කිරීම පවා අසීරු තත්ත්වයට පත්වෙලා. මේ දිනවල ආදායමක් නොමැති වුවත් මොවුන්ට ණය සඳහා වාරික ගෙවීම හෝ ලීසිං සඳහා මුදල් ආපසු ගෙවීමට කවදා හෝ සිදුවේ. ආදායමක් නොමැතිව වියදමක් පමණක් තිබෙන වාතාවරණයක් තුළ මෙම කණ්ඩායම කෙතරම් අසරණ වනවාදැයි ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීම අසීරු නැහැ.

ඔවුන්ට රජයෙන් සහනයක් ලබාදීමේ අවශ්‍යතාවය අවම මට්ටමක පවතිනවා. නමුත්, මිලියන 1.7 ක් වන එදාවේල හරි හම්බ කරන ජනතාවගේ ආදායම් අහිමිවී යාම දැඩි අවධානමක තිබෙන අතර ඔවුන්ට ජීවත්වීමට මගක් නොමැති තත්ත්වයට පත් වීමෙන් ජීවිකාව කරගෙන යාම සඳහා අඩුම ගණනේ සතිපතා මුදල් සහනයක් රජයෙන් අවශ්‍ය වේවි.

මේ අනුව, ශ්‍රී ලංකාවේ ගෘහස්ථ මිලියන 5.25 ක් ඇති තත්ත්වයක් තුළ සෑම ගෘහ ඒකක කාණ්ඩයකම පවුල් 5,25,000 ක් සිටී යැයි උපකල්පනය කළහොත් අර්බුදයට පත් කුටුම්බයන්ට මුදල් සහනයක් ලබාදීම සඳහා මාසිකව රුපියල් බිලියන 45.5 ක මුදලක් වැය වේ.

මෙරට ශ්‍රම බලකායෙන් අඩක් පමණ මෙරට අඩු ආදායම් ලාභී කාණ්ඩ 05 ට අයත් වේ. එනම් සමස්ත ශ්‍රම බලකාය වන මිලියන 08 ක ප්‍රමාණයෙන් මිලියන 04 ක ප්‍රමාණයක් අයත් වන්නේ අඩුම ආදායම් ලාභී කාණ්ඩ 05 ට. මේ අනුව, මෙම රුපියල් බිලියන 45.5 ක මුදල බෙදාහැරිය යුත්තේ මෙම මිලියන 04 ක් වන ප්‍රජාවටයි.

මෙම මුදල උද්ධමනය සමග ගළපා බැලුවොත් එය රුපියල් බිලියන 52.3 ක් දක්වා ඉහළ යාවි. එදාවේල හරි හම්බ කරන ජනතාව සහ ස්වයං රැකියා කරන ජනතාව වෙනුවෙන් හිමිවිය යුතු මුදල් හෝ මේ අවස්ථාවේ රජය විසින් ගෙවා දැමීම අතිශය වැදගත්.

අවසාන වශයෙන් කිව යුත්තේ වර්තමාන ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් සමාජයේ දුප්පත්ම කාණ්ඩායමේ ආර්ථිකය ගොඩනැගීම රටේ ආර්ථිකය ගොඩනැගීමට පෙර ඔවුන් වෙනුවෙන් ඔවුන්ට ජීවත්වීමට ප්‍රමාණවත් මුදලක් වෙන් කිරීමට රජයට මැදිහත් වෙන්න ඔනෙ.

 

-----------------------------

අපි දැන් විකල්ප සොයා ගත යුතුයි

මේ පවතින කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අපේ මුළු ආර්ථිකයම කඩා වැටෙමින් තියෙන්නේ. මීට පෙර යම්කිසි අර්බුදයක් පැමිණී විට එය යම්කිසි කලාපයට පමණක් සීමා වෙනවා. ආහාර හෝ එසේ නැත්නම් තෙල් අර්බුදයක් වෙනත් ව්‍යසනයක් පැමිණී පසු ඒ සෑම අවස්ථාවකදී ම එක් කලාපයකට පමණයි බලපෑම් කළේ. නමුත් මේ අවස්ථාවේදී බලපෑම් කර ඇත්තේ මුළු ලෝකයටම බලපාන සිද්ධියක්.

ඒ ඔස්සේ සමස්ත ලෝකයෙම යම්කිසි පරිභෝජනය අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. පරිභෝජනය අඩු වෙන කොට නිෂ්පාදනය කරන පිරිසට ආදායම අඩු වෙනවා. ඒ හරහා තමයි මේ ආර්ථික අර්බුදය මතුවෙලා තියෙන්නේ. මෙහි දී බලපාන ගැටලුවක් වන්නේ රැකියා අහිමි වීමේ අවකාශ වැඩිවීමයි. ව්‍යාපාරිකයන්ට ආදායම අඩු වූවිට රැකියා අවස්ථා අඩු කිරීමට සිද්ධ වේ. රැකියා විරහිත ප්‍රමාණය සමාජගත වීමක් සිද්ධ වෙනවා. මේ ව්‍යයසනය මහා පරිමාණ මෙන්ම කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට බලපානු ලබන කාරණාවක්. ඒ නිසා ඒවා හරහා ඇතිවෙලා තියෙන රැකියා අඩුකිරීම යම්කිසි සමාජ ප්‍රශ්නයක් නිර්මාණය කිරීමට හේතුවක් බවට පත්වෙලා තියෙනවා. ආර්ථිකය නගාසිටුවන්න, රටට මුදල් උපයන්න රජය පැත්තෙන් පොලි අනුපාතය අඩු කිරීම ණය සහන ලබාදීම රජය කරනවා. ඒ වගෙම නිෂ්පාදනය මිලදී ගැනීම් අඩු කරන්නේ නැතුව පවත්වාගෙන යෑමෙන් ආණ්ඩුවට පුළුවන් මේ ව්‍යාපාරිකයන්ට, ගොවියන්ට උදව් කරන්න. ඒ මත මුදල් ගලා යෑම පවත්වා ගන්න හැකියාව තියෙනවා. ව්‍යාපාර සඳහා ලොකු ප්‍රශ්නයක් තමයි ණය බර. ඒ ණය කපා හැරීම් වගේ දේවල් දැන් මේ වෙනකොටත් රජය ආරම්භ කර තියෙනවා.

මේ සියල්ලම ප්‍රතිපත්තියකට සීමා නොවී ක්‍රියාත්මක විය යුතුයි. ප්‍රතිපත්ති හරියාකාරව ක්‍රියාත්මක නොවීම වර්තමානයේ දකින අඩුපාඩුවක්. මේ වෙලාවේ ආර්ථිකය ගොඩනැගීම අපි කාගෙත් යුතුකමක් සහ වගකීමක්. එසේ නොවෙන්න විශේෂයෙන් සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රය ඇඟලුම් කර්මාන්ත කඩා වැටීමක් සිද්දවෙනවා. මේ ගැටලුව හරහා මතු වූ ප්‍රශ්නයක්. සංචාරකයන්ට විශ්වාසය දීලා මේ රටට පැමිණිය හැකි වාතාවරණයක් තියෙනවා කියන කරුණු ගැන පණිවුඩය විශ්වාසය අපි ඇති කළ යුතුයි. ඒ වෙනුවෙන් සියලුම දෙනා කටයුතු කළ යුතුයි. මේ සිදු වන දේවල් යථාර්ථයක් බවට තේරුම් අරගෙන රජයෙන් ලැබෙන සහනය ලබාගෙන; ප්‍රායෝගික නැති දේවල් ගැන වැරදි මානසිකත්වයකින් කටයුතු නොකර මේ වෙනස් වැඩ පිළිවෙළට හුරුවෙන්න සෑම කෙනෙක්ම උත්සාහ කරන්න ඕන. මේ කඩා වැටුණ දේශය ගොඩ නඟාගන්න එක සියලු දෙනාට අයිති පොදු කාරණාවක් මෙන්ම අත්‍යවශ්‍යය කාරණාවක්. අපි දැන් විකල්ප සොයා ගත යුතුයි. මේ හරහා ආර්ථිකය වැටෙන බව තේරුම් අරගෙන අපි ආර්ථිකය ගොඩ නඟාගන්න විකල්ප සොයන්න ඕන. මේ ව්‍යසනය හරහා වෙද්‍ය ක්ෂේත්‍රයේ ඉල්ලුම් වැඩි වෙලා තියෙන්. ඇගලුම් ව්‍යාපාර වලට ඉදිරියේදී අවස්ථා ලැබෙනවා.

කුඩා ව්‍යාපාරිකයන්ට සහ සාමාන්‍ය වෙළඳුන්ට ජංගම සංචාරක ව්‍යාපාරය කරමින් ව්‍යාපාර කරන්න පුළුවන්. නිවෙස් කරා ගිහින් ව්‍යාපාර කරන්න පුළුවන් අවස්ථාවක් උදාවෙනවා. ගම්වල වැටිච්ච සිල්ලර කඩේ පවා අද වෙනකොට හොඳ තත්ත්වයට ඇවිල්ල තියෙනව. විදේශ රැකියාවන්හි නිරත අපේ ව්‍යාවසායකයින්ට ඉල්ලුම අඩුවෙලා තියෙනවා; අපිට මේ හරහා උදාවෙන රැකියා රාශියක් තියෙනවා.

හෙද සේවාවන්ට අන්තර්ජාතික මට්ටමේ පිළිගත හැකි සුදුසුකම් ලත් 4 වසරක පුහුණුවක් ලබා දෙන්න පුළුවන් නම් හෙද සේවාවක් ඉදිරියේදී විශාල ඉල්ලුමක් තියෙනවා. ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිව්වා මෙම පාඨමාලාව අවුරුදු හතරක් කළ යුතුයි කියලා. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියුතුව කටයුතු කරන අයට ලෝකය පුරා ඇති අද සිදු කරන මේ දුරස්ථ රාජකාරි කිරීම හරහා අපේ සම්පත් දියුණු කරමින් තොරතුරු තාක්ෂණය කටයුතු දියුණු කළ හැකියි. මේ software development කිරිමට අපේ ලංකාවේ ඉන්නවා; තොරතුරු තාක්ෂණ දක්ෂයෝ. ඒ අයට පුළුවන් තමන්ගෙම ව්‍යාපාර පටන් ගන්න.

දේශීය වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන එළවළු වර්ග වී වගාව නව ක්‍රමවේදයන් යටතේ ක්‍රියාත්මක කරන්න වෙනම වැඩපිළිවෙළක් සකස් කරගත යුතුව තියෙනවා. ජනතාව මේ වන විට වගාව සඳහා යොමු වීම නිසා ගොවියාට අන්තර්ජාතික වෙළෙ‍ෙපාළ සකස් කරදිය යුතුයි .

Comments