ලාංකේය මිනිස් අධ්‍යාත්මය විනිවිඳ දුටු පඬිරුවන | Page 2 | සිළුමිණ

ලාංකේය මිනිස් අධ්‍යාත්මය විනිවිඳ දුටු පඬිරුවන

උපන් දේශය හා උරුමයත් පිළිබඳ ඔහුට තිබුණේ අප්‍රමාණ ගෞරවාදරයකි. ආසියාතික කලා සංස්කෘතික උරුමය නමැති නැණ සයුරෙහි තෙර පත් ශාස්ත්‍රඥයකු වූ ඔහු අවිචාරවත් අන්ධභක්තිය බැහැර ලා තාර්කික විචාර බුද්ධියෙන් ලෝකාවලෝකනයක යෙදුණේය. කලා විචාරයේත් නිර්මාණකරණයේත් ස්වකීය අනන්‍යතාව වුයේ අවිචාරයෙන් විචාරයටත් අන්ධකාරයෙන් ආලෝකයටත් යොමු වූ ප්‍රභාස්වර වින්තනය හා පරිකල්පනයයි. මේ නිසාම සම්ප්‍රදාය අවිචාරයෙන් වන්දනා කළ ගතානුගතිකයන්ට ඔහු පෙනුනේ ශුද්ධ වස්තු කෙලෙසන්නකු ලෙසය. ඔහු විසින් ඉටු කරන ලද යුග කාරක මෙහෙයට ඒ නිසා වැඩි වශයෙන් ලැබුණේ පැසසුම් නොව ගැරහුම් සහ අවමන්ය. විදේශයකදී අවසන් ගමන් ගිය ඔහුගේ භස්මාවශේෂ සීගිරි කලා නිකේතනය අසල වැව් පතුලක ලක් පොළොවේ පසට රහසින්ම මුසු වී තිබෙන්නේ දිවි හිමියෙන්ම ඔහු මේ රටටත් එහි උරුමයටත් අප්‍රමාණ ලෙස ආදරය කළ නිසාය.

බැරගම ආරච්චිගේ ශ්‍රියාරත්න ගුනසිංහ ජන්ම ලාබය කළේ 1925 පෙබරවාරි 18 දින කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ලේ පනාපිටිය ග්‍රාමයේය. ගාල්ලේ අක්මීමන තොටගොඩ සිංහල මිශ්‍ර පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය ඇරඹූ ශ්‍රියාරත්න ගුනසිංහ ශිෂ්‍යයා ද්විතීයික අධ්‍යාපනය සඳහා ඇතුළත් වූයේ ගාල්ල මහින්ද විද්‍යාලයටය. එහි දී සිංහල, ඉංගිරිසි, ඉතිහාසය, පාලි, සංස්කෘත යන විෂයන් මහත් අභිරුචියෙන් හැදෑරූ ඔහු විෂය සම්මාන රාශියක් හා මහින්ද විද්‍යාලයීය කුලරත්න ස්වර්ණ මුද්‍රිකාව ද සමස්ත ලංකා පාලි ත්‍යාගය ද දිනා ගැනීමට සමත් විය.

1945දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ගුනසිංහ ප්‍රථම උපාධියට හැදෑරුවේ සංස්කෘත භාෂාව හා සාහිත්‍යයයි. 1948දී ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ප්‍රථම පන්ති සාමර්ථ්‍යයක් සහතිව සමත්ව 1949දී ලංකා විශ්වවිද්‍යාලයයේ සංස්කෘත අංශයේ කථිකාචාර්ය ධුරයකට පත් විය- 1952-55 කාලයේ පැරීසියේ සොර්බොන් විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතු අරඹා- 1955දී ගෞරව සම්මාන සහිතව ආචාර්ය උපාධිය දිනා ගැනීමට ඔහු සමත් විය. පැරීසියේ ගත කළ කාලය සිරි ගුනසිංහට ස්වකීය අනාගත නිර්මාණ ජීවිතයට ඉමහත් අනුප්‍රාණයක් ලැබීමට පසුබිම සැකසීය. මන්ද යත් සාහිත්‍ය සිනමා කලා ක්ෂේත්‍රවල අභිනව ප්‍රවණතා රැසකට පැරීසිය තෝතැන්නක් වීමයි.

සාහිත්‍ය විචාරයෙන් ඇරඹි ඔහුගේ සාහිත්‍ය කලා පර්යටනය කාව්‍යය, නවකතාව, චිත්‍රපටය, චිත්‍ර කලාව, කලා විචාරය හා ශාස්ත්‍රීය පර්යේෂණ වැනි පුළුල් ක්ෂේත්‍ර කිහිපයක් කරා විහිද ගියේය. සිරි ගුනසිංහයන්ගේ නිර්මාණාත්මක හා ශාස්ත්‍රීය සම්ප්‍රදානය යුග කාරක මෙහෙවරක් සේ හැඳින්වීම යෝග්‍යය. අඳුරට හුරු වූ දෑස් ඇති සමාජයකට ඔහු විසින් විදා හරින ලද නිර්මාණාත්මක වූත් තීක්ෂණ වූත් විචාරශීලී වූත් ප්‍රභාවලිය දරා ගත නොහැකි විය. ලාංකේය සමාජ අධ්‍යාත්මය අභීත ලෙසත් තීක්ෂණාකාරයෙනුත් විනිවිද දුටු ඔහුගේ නිර්මාණ හා විචාර සමාජයේ බහුතරයකගේ විරෝධයට ලක් විය. ඔහු තරම් පරිභවයට හා නිර්දය විවේචනයට ලක් වූ වෙනත් සාහිත්‍යකරුවෙකු මෑත භාගයේ ලංකාවේ පහළ නොවූ විරූය.

1956දී පළ වූ මස් ලේ නැති ඇට නමැති නිදහස් කාව්‍ය සංග්‍රහය සිරි ගුනසිංහයන්ගේ ප්‍රථම කලාත්මක ප්‍රවේශය වුවද එය පෙරපර දෙදිග සාහිත්‍ය සම්ප්‍රදායන් පිළිබඳ අභ්‍යාසවෘද්ධ කවියකුගේ පරිණත කවිත්වය පෙන්නුම් කළ කෘතියක් විය. 1998දී සිරි ගුනසිංහගේ නිදහස් කාව්‍ය නිර්මාණ සමුච්චයක් ඉංග්‍රීසියට පරිවර්තනය කළ හේමමාලි ගුනසිංහ එම කෘතිය නම් කොට තිබුණේ BEYOND WORDS යන නමිනි.

සිරි ගුනසිංහගේ කාව්‍ය නිර්මාණ අරබයා මහත් කලබැගෑනියක් ඇති කර ගත් බොහෝ දෙනා ඒ කලබැගෑනිය ඇති කර ගත්තේ ඔහුගේ කවියේ වචන සමගය. හේමමාලි ගුනසිංහ තම පරිවර්තන කෘතියට දුන් නමෙහි අරුත අනුව එනම් වචනවලින් ඔබ්බෙහි ඇති සංකල්පමය අරුත ඔස්සේ සිරි ගුනසිංහගේ කවි වටහා ගැනීමට මෙරට සාහිත්‍ය සේවීන් සහ විචාරකයන් උත්සුක වූයේ නම් සිංහල කවියත් පොදුවේ සිංහල සාහිත්‍යයත් අද පත්ව තිබෙන ශෝචනීය වූත් පසුගාමී වූත් තත්වයට පත් නොවන්නට ඉඩ තිබිණ.

සිංහල කාව්‍යය විෂයයෙහි විපුල සම්ප්‍රදානයක් කළ සිරි ගුනසිංහ විසින් රචිත ප්‍රථම සිංහල නවකතාව වන ‘හෙවනැල්ල‘ කෘතියද නූතන සිංහල සාහිත්‍ය විකාශනයෙහි සන්ධිස්ථානයක් සලකුණු කළ කෘතියකි. 1960 වර්ෂයේදී පළ වූ මේ කෘතියද ඔහුගේ කාව්‍ය නිර්මාණ සේම සම්ප්‍රදායවාදීගේ දෑස් නිලංකාර කිරීමට හේතුකාරක විය. 1920 දශකයේ මෙරටට අලුතෙන් හඳුන්වා දෙන ලද විශ්වවිද්‍යාල නමැති බටහිර මාදිලියේ ශාස්ත්‍ර ගවේෂණ මධ්‍යස්ථානය කරා හතළිහ පනහ දශක වන විට සිංහල ග්‍රාමීය මධ්‍යම පන්තික විද්‍යාර්ථින්ගේ ප්‍රවේශයද ඇරඹිණ.

සිංහල බෞද්ධ ග්‍රාමිය සමාජ පරිසරයක ඉපදී මවගේ අසීමිත රැකවරණයක් යටතේ හැදී වැඩුණු ජිනදාස නමැති තරුණ විද්‍යාර්ථියා තමාට සපුරාම නුහුරු නාගරික උසස් සහ මධ්‍යම පන්තික බහුතරයක් වෙසෙන විශ්වවිද්‍යාල පරිසරයට ප්‍රවිෂ්ට වූ මොහොතේ සිට මුහුණ දෙන විවිධ අවස්ථා කතුවරයා විසින් නව්‍ය ආඛ්‍යාන රීතියකින් නිරූපණය කර තිබේ. බාහිර තොරතුරුවලට වඩා පුද්ගලයකුගේ අභ්‍යන්තර තත්ත්ව විෂය කර ගත් හෙවනැල්ල නවකතාව සිරි ගුනසිංහගේ කාව්‍ය නිර්මාණ සේම සංකේතාශ්‍රිත සංකීර්ණ අධ්‍යාත්ම ගවේෂණයකි.

නිර්මාණකරුවකුගේ භූමිකාවට අමතරව සිරි ගනසිංහ විසින් කලා විචාරය සම්බන්ධයෙන් කරන ලද සම්ප්‍රදානය ද විශේෂ වැදගත්කමක් උසුලයි. ලංකාවේ ආරාමික චිත්‍රකලා සම්ප්‍රදායයන් පිළිබඳ මහත් උද්‍යෝගයක් දැක්වූ සිරි ගුනසිංහ එම බිතු සිතුවම් අධ්‍යයනය කොට සාරගර්භ ලිපි රැසක් ඉංග්‍රීසි සහ සිංහල භාෂා ද්වයයෙන් ම පළ කර අතර ඉන් කිහිපයක් 1960 දශකකයේ සංස්කෘතික අමාත්‍යාංශය මගින් පළ කෙරුණු කලා සඟරාවෙහි පළ විය. ලංකාවට කලා විචාරය සම්බන්ධ සිරි ගුනසිංහගේ පරිචය එතරම් වැදගත් සේ නොපනුණද තත් විෂයය සම්බන්ධයෙන් ඔහුට ජාත්‍යන්තර මට්ටමෙන් ලැබුණේ උසස් පිළිගැනීමකි.

සාහිත්‍ය කලා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූ දින පටන් සිරි ගුනසිංහ තත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සුවිශද වූත් නිරාකුල වූත් පදනමක පිහිටා කටයුතු කෙළේය. එනිසාම ඔහුට වරින් වර හැව ඇරීමේ අවශ්‍යතාවක් නොවිණ. නොසැලෙන ගුණයෙන් යුක්තව ස්වකීය සාහිත්‍ය කලා පර්යටනයෙහි සතිසම්පජානව නියැළීමට හැකි වූයේ එබැවිනි. ඔහුගේ පරපුරෙහි වැඩි දෙනෙකු සාම්ප්‍රදායික සදාචාරවාදී බෞද්ධ සාහිත්‍ය උරුමයන්හි ගිලෙන විට ඔහු පෙරදිග සහ අපරදිග සාහිත්‍යාර්ණවයන්හි පතුල තෙක් කිමිදී අනගි මිණිරුවන් මතු කර දුන්නේය. සමාජයකට එබඳු දුලබ මිණිරුවන් සප්‍රයෝජනවත් බව අවබෝධ නොවීම සිරි ගුනසිංහයන්ගේ දෝෂයක් නොවන්නේය.

 

Comments