ලංකාවේ යුද්ධයෙන් ආණ්ඩු හදන කැනේඩියානු දේශපාලකයෝ | Page 2 | සිළුමිණ

ලංකාවේ යුද්ධයෙන් ආණ්ඩු හදන කැනේඩියානු දේශපාලකයෝ

මැයි 18 දින යනු දියේස්පෝරාව දේශපාලනිකව කැ,ලඹෙන දිනයකි. දියෙස්පෝරාවේ එල්ටීටීඊ සාමාජිකයින් එය දෙමළ සමුලඝාතන දිනය ලෙස සැමරීමට කටයුතු කරන අතර එල්ටීටීඊ විරෝධීන් එය ත්‍රස්ථවාදයෙන් නිදහස් වීමේ දිනය ලෙස සමරති. මේ අතර තවත් තුන්වන පාර්ශ්වයක් බොරදියේ මාළු බාන්නට කටයුතු කරති. මෙම තුන්වන පාර්ශ්වය නම් දියෙස්පෝරාවේ රටවල දේශපාලඥයන්ය.

ඔවුන් මේ දිනවල එකිනෙකා පරයා දියෙස්පෝරාවේ දෙමළ ජනතාවගේ සිත් දිනා ගැනීමට ප්‍රකාශ නිකුත් කරති. භයානකම කාරණය නම් මෙම ප්‍රකාශවල අඩංගු දෑ සම්පුර්ණ අසත්‍ය කරුණු මත පදනම් වීමයි. ඔවුන්ට අනුව මැයි 18 දින ශ්‍රී ලංකාවේදී දෙමළ ජනයාගේ සමුල ඝාතනයක් සිදු වී තිබේ. විශේෂයෙන් ටෝරන්ටෝව සහ ඒ අසල ඇති ශ්‍රී ලාංකිකයින් බහුලව ජිවත්වන නගර සභාවල දේශපාලකයන් ගේ සිට පළාත් සහ ෆෙඩරල් පාර්ලිමේන්තුවේ දේශපාලකයින් දක්වා මෙලෙස ප්‍රකාශ නිකුත් කිරීම කරති.

ප්‍රකාශ වෙන අන්දමට දකුණු ආසියාවෙන් මෙපිට වැඩිම දෙමළ ජනගහනයක් සිටින්නේ කැනඩාවේය. එම ප්‍රකාශයටම අනුව කැනඩාවේ ලක්ෂ තුනක දෙමළ ජනගහනයක් වසති. එහි නිවරද්‍යතාව පිළිබද සැකයක් ඇතත් එම දෙමළ ජනයා ජන්දය ප්‍රකාශ කරන්නේ කණ්ඩායමක් ලෙස බව මේ දේශපාලකයන් විශ්වාස කරති.

ඔන්ටාරියෝ පළාතේ ඇති ආසන 125 න් ටෝරන්ටෝව අවට පවතින ආසන තිස්පහක (35) පමණ දෙමළ ජන්ද වලින් යම් බලපෑමක් එල්ල කළ හැකිබව මේ දේශපාලකයෝ විශ්වාස කරති. ඉන් අඩුම ගණනේ ආසන දහයක් දොළහක් අතර ප්‍රමාණයක් ජය ගැනීම රජයක් පිහිටුවාගැනීමට හැකි මඟ විවර කරගැනීමකි. ඒ හේතුවෙන් කැනේඩියානු දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාවට එරෙහිව සටන් වැද සිටිති. මේ තත්වය ඉතා මැනවින් දන්නා එල්ටීටීඊ ක්‍රියාකාරිකයින් තම සිතැගි ඉටුකර ගැනීමට අවශ්‍ය දේශපාලනික පසුබිම මෙම දේශපාලකයන් හරහා ක්‍රියාත්මක කරවා ගනිමින් සිටිති.

මුලින් එල්ටීටීඊයට එරෙහිව කටයුතු කළ, එය තහනම් සංවිධානයක් බවට පත් කළ කොන්සවේටිව් පක්‍ෂයද අද ක්‍රමක්‍රමයෙන් දෙමළ ජන්ද දායකයාගේ සිත් දිනාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවට එරෙහි විවිධ කටයුතු වල යෙදෙති. එහි උපරිමය ලෙස 2013 දී අගමැති ස්ටීවන් හාපර් විසින් ලංකාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍යනායක සමුළුව වර්ජනය කිරීම සැලකිය හැකිය. ලිබරල් සහ නව ඩිමොක්‍රටික් පක්‍ෂ වල තත්ත්වය ඊටත් වඩා භයන්කරය. ලිබරල් පක්ෂය නියෝජනය කරමින් දැඩි ඊලාම් මත වාදියකු වන ගැරී ආනන්දසංගරී වත්මන් කැනේඩියානු පාර්ලිමේන්තුවට පත්වී සිටිති. නව ඩිමොක්‍රටික් පක්‍ෂය කැනඩියානු ඉතිහාසයේ ප්‍රථම දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වන රතිකා සිට්සාබේසන් ඉදිරිපත් කළ පක්‍ෂයයි. මේ සියලු දෙනාම පැමිණෙන්නේ ඔන්ටාරියෝ පළාතේ ටෝරන්ටෝව අවට බහුතර දෙමළ ජනයා වෙසෙන ආසන වලිනි.

ශ්‍රී ලංකා රජය විසින් එල්ටීටීඊ සංවිධානයේ අයුධ සන්නද්ධ ත්‍රස්ත ව්‍යාපාරය නිහඩ කර වසර දහයක් ගතවුණු පසුගිය වසරේ තත්ත්වය වඩාත් බරපතළ විය. ඊළාම් වාදී කල්ලි විසින් මෙවර කැනඩියානු දේශපාලකයින්ට අලුත් මස් කටුවක් ලබාදී තිබුණි. ඒ අනුව ටොරන්ටෝ සහ බ්‍රැම්ටන් නගර සභා තුළ මැයි 18 දෙමළ සහමුලාඝාතන දිනය ලෙස නම්කර ප්‍රකාශන ඉදිරිපත් කරනු ලැබිණි.

දැඩි කන්සවේටිව් පාක්ෂිකයකු වූ ටෝරන්ටෝවේ නගරාධිපති ජෝන් ටෝරි විසින් ටොරන්ටෝ දෙමළ සමුලඝාතන ප්‍රකාශනය ඉදිරිපත් කළ අතර බ්‍රම්ප්ටන් ප්‍රකාශනය ඉදිරිපත් කළේ කාලයක් තිස්සේ ඊළාම්වාදීන් සමග සමීපව කටයුතු කල නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් විසිනි. එල්ටීටීඊයට සම්බන්ධ ඉදිරි සංවිධාන ජාලාව පසුබිමේ සිට ක්‍රියාත්මක වන මෙම ක්‍රියාවලියේ ඊළඟ අදියර වූයේ ඔන්ටාරියෝ පළාත් ව්‍යවස්ථාදායක සභාව ඉදිරියේ ඉදිරිපත් කළ අංක 104 දරණ Tamil Genocide Education Week Act, 2019 නමැති කෙටුම් පතයි. ඔන්රිටායෝ පළාත් ව්‍යවස්ථාදායක සභා ද්‍රවිඩ මන්ත්‍රී වරයකු වූ විජේ තනිගසලම් විසින් ඉදිරිපත් කළ මෙම කෙටුම්පත මගින් කරුණු තුනක් යටතේ මැයි 18 සිට එළැඹෙන සතියක කාලයක් ඔන්ටාරියෝ පළාත පුරා දෙමළ සමුලඝාතන සතියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට යෝජනා කර තිබුණි.

මෙම කෙටුම්පත ජන්ද 59ක් ලබා ප්‍රථම වර කියැවීම සම්මත වූ අතර Sri Lankan Canadian Action Coalition නම්වූ ශ්‍රී ලාංකික සංවිධානයේ බරපතළ මැදිහත් වීමෙන් සමහර මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වළක්වනු ලැබීය. දැනට එම කෙටුම්පත ඉදිරි කටයුතු සඳහා ස්ථාවර කාරක සභාව වෙත යොමු කර තිබේ. එහිදී එම පනත්කෙටුම්පත මහජනයාගේ විරෝධතා සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. පවතින විරෝධතා සලකා බැලීමෙන් පසුව එය එහිදී දෙවනවර කියවීම සදහා නිදේශ වීම හෝ නොවීම තීරණය වනු ඇත.

මෙම පනත කරුණු තුනක් මත පදනම්ව ඇති අතර, ඒවා නම් වසර 2009දී ශ්‍රී ලංකාවේ දී දෙමළ ජනයාගේ සමුලඝාතනයක් සිදුවුණු බව පිළිගැනීම, 1948 සිට මේ දක්වාවූ කාල පරිච්ජේදය තුළ දෙමල ජනයා ක්‍රමක්‍රමයෙන් සාමුලඝාතනය කිරීම සදහා ශ්‍රී ලංකාවේ රජය විසින් කටයුතු කරන බව පිළිගැනීම, සහ එම සමුලඝාතනයන්ට අදාළ තොරතුරු ඔන්ටාරියෝ පාසල්වල ඉගැන්වීමට කටයුතු කිරීම, යන කරුණුය. මෙය ශ්‍රී ලංකාවට එරෙහිව කෙරුණු අතිශය භයානක ක්‍රියාවක් වන අතර එමගින් කිසිදා ලංකාවේ සිදුනොවුණු කරුණක් සත්‍යයක් ලෙස මවා පෙන්වමින් එය ජනගත කිරීමට ඊළාම්වාදීන් ඉතා කූට ලෙස කටයුතු කරන බව පෙනෙන්නට තිබුණි.

කිසිවක් නොදත් පාසල් සිසුවාගේ මනසට මෙම අසත්‍යය කැවීමෙන් ශ්‍රී ලංකාවට එරෙහි අදහස් ශ්‍රී ලංකාව පිළිබඳ කිසිවක් නොදන්නා අන්‍ය වර්ගිකයින් තුළද ඇති කිරීම බලාපොරොත්තුව වී තිබු බව ඉතා පැහැදිලි විය. Sri Lankan Canadian Action Coalition ප්‍රමුඛ ශ්‍රී ලංකික දියෙස්පොරා ක්‍රියාකාරිකයින් ගේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ හෝ කොන්සල් ජෙනරාල් කාර්යාලයේ කිසිදු අනුග්‍රහයකින් තොරව ස්වාධීනව කරගෙන යන කටයුතු නිසා ඊළාම් වාදීන්ගේ දියෙස්පොරා කටයුතු තරමක් දුරට ඇනහිට තිබේ. එහෙත් එම කටයුතු කොයි මොහොතේ හෝ නැවතත් කරලියට පැමිණිය හැකිය. ඊළාම් වාදීන්ගේ ඊළඟ අරමුණ වන්නේ කැනේඩියානු පාර්ලිමේන්තුව වෙත මේ හා සමාන පනතක් ඉදිරිපත් කර ශ්‍රී ලංකාවේ සිදු නොවුණු සමුලාඝාතනයක් පිලිබදව අසත්‍යයක් ජනගත කිරීමයි. එහි ඉදිරි පියවර එක්සත් ජාතීන්ගේ සංවිධානයද විය හැකිය.

[email protected]

 

Comments