මේ අවස්ථාව මඟහැර ගැනීිම අපරාධයක් | Page 2 | සිළුමිණ

මේ අවස්ථාව මඟහැර ගැනීිම අපරාධයක්

දේශීය පෙහෙකම් නිර්මාණ හා අත්කම් නිර්මාණ, නවෝත්පාදනද සහිතව පුළුල් කිරීම පිණිස ජාතික ශිල්ප සභාව විසින් "ශිල්ප සෞභාග්‍යා" නමින් වැඩපිළිවෙළක් අරඹයි

කොරෝනා වසංගතයට මුහුණ දෙන අතර ම රට ඉදිරියට ගෙන යාම පිළිබඳ අවධානය යොමු වී තිබේ. එහිදී වසංගතයට පෙර පැවති පැවති තත්ත්වයට වඩා පශ්චාත් කොරෝනා තත්ත්වය වෙනස් වනු ඇති බව දැනටමත් සංවාදයට ලක්වන කාරණයකි. ගෙවී යමින් ඇති කෝරෝනා සමයේ නිෂ්පාදන කර්මාන්ත ව්‍යාපාර ආදී සෑම ක්ෂේත්‍රයක්ම පසුබෑමට ලක්ව ඇති අතර එය ආර්ථිකය මන්දගාමී වීමට ද බලපා තිබේ. සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් වසංගත ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා නිවසට සීමා වෙමින්ද, නිවෙස්වල සිටම රාජකාරිමය කාර්යයන්හි නියැළෙමින් ද ගෙවීයන කාල වකවානුවේ දේශීයත්වය පිළිබඳ වැඩි හැඟීමක්ද, අල්පේච්ඡතාවට වැඩි නැඹුරුවක්ද දේශීය නිෂ්පාදන සඳහා වැඩි ඉල්ලුමක් ද ඇතිවී තිබෙන අයුරු දැකිය හැකිය.

වසංගතය විසින් නිර්මාණය කර ඇති නව අභියෝග ජයගැනීම පිළිබඳ ඇතැම් අංශ මේ වන විටත් අවධානය යොමු කර ඇති අතර අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් කරමින් පවතී. ගෙවතු වගාව ද දිරිගන්වමින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇතිකිරීම සඳහා සෞභාග්‍යයා නමින් වැඩපිළිවෙලක් ඇරඹිණි. දේශීය පෙහෙකම් නිර්මාණ හා අත්කම් නිර්මාණවල කාලීන අවශ්‍යතාව ද හඳුනා ගනිමින් නවෝත්පාදනද සහිතව පුළුල් කිරීම පිණිස ජාතික ශිල්ප සභාව විසින් "ශිල්ප සෞභාග්‍යා" නමින් වැඩපිළිවෙළක් දියත් කරමින් සිටී.

"ශිල්ප සෞභාග්‍යා" පිළිබඳ අප සමඟ අදහස් දක්වමින් ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර පැවසුවේ, එළැඹෙන තත්ත්වය අලුත් රටක් නිර්මාණය කිරීමට ඇති හොඳම මෙන්ම වඩාත් ප්‍රායෝගික අවස්ථාව බවය. ඒ මේ තත්ත්වය ලෝකයටම අදාළ වන බැවිනි."රටක් හැටියට ගත්තොත් කලින් කලට විවිධ අර්බුද හා අභියෝග වලට මුහුණ දුන්නා. තිස් අවුරුදු යුද්ධය, සුනාමි ව්‍යසනය උදාහරණ. එම පශ්චාත් තත්ත්ව යටතේ අපි අලුත් රටක් ලෙස නැගී සිටීමට වෑයම් කළා.1977ට පෙර බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේ දී දේශීය නිෂ්පාදන දිරිගන්වමින් ස්වයංපෝෂි ආර්ථිකයක් බිහිකිරීමට ක්‍රියාමාර්ග ගත්තා. ඒත් ඒ ආණ්ඩුවත් වෙනස් කළා .මෙවැනි වෙනස්කම් බලහත්කාරයෙන්ම කරන්නත් බෑ. ලෝකයේම ඊට ගැළපෙන අන්දමින් වෙනසක් ඇතිවිය යුතුයි. දශක ගණනාවක ඉතිහාසයේ එවැනි අවස්ථාවක් පශ්චාත් කෝරෝනා තත්ත්වය තුළ නිර්මාණය වෙලා තියෙනවා. ආණ්ඩුවලට වගේම පුද්ගලයන් හැටියටත්. අපට දශක දෙකක් ආපස්සට යන්න වෙනවා. හැබැයි ඒ දුර අපට වේගයෙන් යන්න පුළුවන්. එතැන් සිට තමයි අපට ඉදිරි පිම්මක් පනින්න වෙන්නේ."

1977න් පසු දේශීයත්වය යටපත් විය. දේශීය නිෂ්පාදනය දිරිගැන්වීම වෙනුවට රටින් ගෙන එන ලාබදායී නිෂ්පාදනවලට වෙළෙඳ පොළ විවෘත විය. කුඹුරු ගොවිතැන් කර කරන ගොවියාද ගොවිතැන ද ජීවත් කරමින් අපේ බත සපයා ගැනීම වෙනුවට රටින් සහල් ගෙන ඒම ලාබදායක බව ඇතැම් පාලකයෝ කීහ. කෘෂිකර්මාන්තයට පමණක් නොව රෙදිපිළි අත්කම් ආදී දේශීය කර්මාන්ත සියල්ලටම පාහේ සිදුවූයේ එයය. ඉන්දියාව ,චීනය ආදී රටවලින් මිල අඩු භාණ්ඩ ගලා ආවේය. සුදත් අබේසේකර මහතා කියන්නේ දැන්වත් අප අලුතින් සිතිය යුතු බව ය.

"සෑම දෙයක්ම පිටරටින් ගෙන්වනවා වෙනුවට අපේ රට තුළම නිර්මාණය කරගැනීමට අවස්ථාව ප්‍රායෝගිකව ඇතිවෙලා තියෙනවා. ඒ අවස්ථාව අත් නොහැරීම වගේම විවේක බුද්ධියෙන් යුතුව අලුතින් සිතා බැලීමට ලැබී ඇති අවස්ථාවත් අත් නොහැරිය යුතුයි. විපත සැපතක් බවට පෙරළා ගන්නේ කොහොමද කියලා අපට කල්පනා කරන්න පුළුවන්. ග්‍රාමීය කර්මාන්ත වලදී එදිනෙදා පරිහරණය සදහා අවශ්‍ය භාණ්ඩ නිශ්පාදනයේදී පවා නවෝත්පාදන එක්වීම වැදගත්. නවෝත්පාදන කියන්නේ තාක්ෂණික මෙවලම් තැනීම පමණක් නොවෙයි. අපේ ජීවිතයට අවශ්‍ය දේ පරිසර හිතකාමීව නිර්මාණය කර ගැනීමටත් නවෝත්පාදන යොදා ගත හැකියි. " පශ්චාත් කොරෝනා සමයේදී දේශීය කර්මාන්ත නිෂ්පාදන මෙන්ම නව නිර්මාණ වලට ද විශාල ඉඩ ප්‍රස්ථා නිර්මාණය වනු ඇත. එම ක්ෂේත්‍රවල නියැළෙන්නන්ට අවැසි මග පෙන්වීම මෙන්ම රාජ්‍ය මට්ටමින් ලබාදිය හැකි අනුග්‍රහයන්ද "ශිල්ප සෞභාග්‍යා" යටතේ ලැබීමට නියමිතය.

පළමු අදියර හැටියට අපි ඒ ශිල්පීන්ගේ දත්ත ගොනුවක් නිර්මාණය කරගෙන යනවා. දැනට ලියාපදිංචි ශිල්පීනුත් අපි අලුතෙන් ලියාපදිංචි කරනවා. ඒ කියන්නේ ලියාපදිංචිය අලුත් කිරීමක් සිදුවෙනවා. මේ කටයුතු ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින්ම දියත් කරනවා. මේ අවස්ථාවේ ඒ සෑම දෙනෙක් වෙනුවෙන්ම රුපියල් රුපියල් 5000ක දීමනාවක් ලබා දුන්නා.අලුත් පරම්පරාව තුළ මේ ක්ෂේත්‍ර ගැන ආකර්ෂණයත් නැඹුරුවක් ඇති වීම වැදගත්. ඊට රුකුලක් වන අයුරින් වැඩිහිටි හා තරුණ පරම්පරා දෙකම සම්බන්ධ කරගෙන "ශිල්ප සමාජ"ඇති කිරීමටත් අපි කටයුතු කරනවා. එවිට මේ පරම්පරා දෙක අතර දැනුම හුවමාරුවත් සිදුවෙනවා. එවැනි සමාජ අතරත් දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට පුළුවන්. සක්‍රීය ජාල හැටියට අපි මේවා පුළුල් කරනවා. බැංකු ණය පහසුකම් ලබා දීමට ක්‍රමවේද සැකසීම වැනි ක්‍රියාමාර්ග ඉදිරියේ දී දියත් කරනවා."ශිල්ප සෞභාග්‍යය" පිළිබඳ ඉදිරි කාලයේදී මාධ්‍ය මගින් දැනුවත් වීමට පුළුවන්. මේ සඳහා අවශ්‍ය මගපෙන්වීම ගරු අමාත්‍යතුමාගෙනුත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ ලේකම්තුමාගෙනුත් ලැබෙනවා."

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කිහිප දෙනෙකු සමඟ ද අප කතා කළේ වර්තමානයේ ඔවුන් මුහුණ දී සිටින තත්ත්වය මෙන්ම දුෂ්කරතා මැදින් එළැඹෙන නව අවස්ථා සඳහා සූදානම් වීම ගැනත් "ශිල්ප සෞභාග්‍යා" වැනි වැඩපිළිවෙලක වැදගත්කම ඔවුන් දකින අයුරු දැනගැනීම සඳහාත්ය.'ෂෙලීන් හෑන්ඩ්ලූම්ස්' අධ්‍යක්ෂිකා (ව්‍යාපාර සංවර්ධන) ෂෙලීන් පීරිස් මහත්මිය අප සමග කීවේ මේ කාරණය දෙස කෙටිකාලීන හා දීර්ඝකාලීන යන දෙයාකාරයෙන්ම බැලිය යුතු බවය. "ශිල්ප හා අත්කම් ක්ෂේත්‍රයේ සිටින අප වැනි අය වෑයම් කරන්නේ බංකොළොත් නොවී සිටීමටයි. මේ වෙනකොට සුඛෝපභෝගී භාණ්ඩ අවශ්‍යමයි කියලා, හුඟක් වෙලාවට ආසාවට ගත්තත් දැන් එවැනි නැඹුරුවක් ඇති වෙන්නෙ නෑ. ඒ වෙනුවට දැන් ඉල්ලුම තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩ වලට. දීර්ඝකාලීනව බැලුවොත් ඉදිරියටත් ලොකුම අභියෝගය වෙනවා ඇත්තෙ මේ තත්ත්වය වෙනස් වෙලා රට තළ සාමාන්‍ය තත්ත්වයට පත්වීම. මට හිතෙන හැටියට නම් ඒකට අවුරුද්දක් විතර ගතවේවි. පළමු කාරණය වෙන්න ඕන අපේ නිෂ්පාදනගත අවශ්‍යතාව සපුරාලීම.

මම නම් කියන්නේ අපි මේ අවස්ථාව අත් නොහැරිය යුතු බවයි. ඉදිරියේදී භාණ්ඩ මිලට ගන්නා විට පාරිභෝගිකයන් මේක දේශීය නිෂ්පාදනයක් ද කියන ප්‍රශ්නය මතු කරාවි කියලා මම හිතනවා. සාරි, සරම් සෙල්ලම් බඩු වගේ හෑන්ඩ්ලූම් අපි අපනයනය කරනවා.මේ ඇතිවෙලා තියෙන තත්වය යටතේ අපටත් කිසිම ආදායමක් නෑ. මේ දිනවල අපි අවශ්‍යතාව අනුව මුවආවරණ නිර්මාණය කරනවා. අපි දැවැන්ත සමාගම් වගේ නෙවෙයි. අපිත් එක්ක වැඩ කරන්නෙ ගම් වල අය. ඒ අයට වෙන රැකියා අවස්ථා නෑ. ඒ නිසා "ශිල්ප සෞභාග්‍යයා "වැනි වැඩ පිළිවෙළකින් අපට මඟ පෙන්වීම ,දිරිගැන්වීම, අනුග්‍රහය ලැබීම වැදගත්.

ජනාධිපති සම්මානලාභී බතික් නිර්මාණ ශිල්පියකු ද වන රත්න බතික් හිමිකරු රත්නවිමල් අලුත්ගේ කියන්නේ කෝරෝනා වසංගතය හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අලුත් දේ ගැන සිතමින් කාලය ගත කිරීමට සිදුව ඇති බවය. "අපේ ආයතනයේ විසි දෙනෙකු පමණ සේවය කරනවා . මේ කර්මාන්තය රැකගැනීමට නම් අපි, නිර්මාණකරුවෝ සිටිය යුතුයි. වෙළෙඳපොලේ අමුද්‍රව්‍ය ලබා ගැනීමට පුළුවන් කමක් නෑ. අමුද්‍රව්‍ය තිබුණා නම් නිර්මාණ ටිකක් හරි කරන්න තිබුණා. මේ වගේ නිර්මාණවලට ඉල්ලුම වැඩි අවුරුදු කාලෙට ඒ ගැන සිතා සැලසුම් කළත් ඒ සියල්ල බිඳ වැටුණා. මේ තත්ත්වය යටතේ ඉදිරියත් අවිනිශ්චිතයි. අපි කොහොමත් කරන්නෙ උත්සව වැනි විශේෂ අවශ්‍යතා සඳහා ඇඳුම් පැළදුම්. එවැනි නිර්මාණ වලට වෙළඳපොළක් තියේවිද කියන එකත් දැන් ප්‍රශ්නයක්. එතකොට මේ නිර්මාණ, නිෂ්පාදන අලෙවි කර ගැනීම ප්‍රශ්නයක්. රජයේ මැදිහත්වීම ,අනුග්‍රහය ඒ සදහා ලැබෙනවා නම් එය හරිම වැදගත්. "ශිල්ප සෞභාග්‍යා"වැඩපිළිවෙළ මේ කාරණා ගැනත් අවධානය යොමු කරයි කියලා අපි සිතනවා. 

කංචන බතික් හිමිකරු ජනාධිපති සම්මාන ලාභී U.P ප්‍රගීත් කංචන මහතා කියන්නේ "සමාජ මාධ්‍ය වල පවාදේශීය දේ ඉහළටම ඔසවා තැබුවත් රැල්ලක් වගේ මතුවෙලා ඒක යලිත් අමතක වෙනවා. ඊට පස්සේ වෙන්නේ අපේ පන් පැදුර වෙනුවට කවුරුහරි ව්‍යාපාරිකයෙක් බාල නිෂ්පාදනයක් රටින් ගෙන්වන එක වගේ වැඩක්. ලාබෙට ලැබෙන කොට දේශීය ද කියලා බලන්න වුවමනාවක් නෑ; පරිසර හිතකාමී නැහැ. ඒත් ලාබ නිසා ගන්නවා. දැන්,මේ තත්වය යටතේ රටින් ගෙන්වන ඔයවැනි දේවල් නතර වෙලා තියෙන්නේ. ඒක අපට විශාල අවස්ථාවක්. දේශීය ව්‍යවසායකයාට, අත්කම් ශිල්පියාට තමන්ගේ නිෂ්පාදනය ඉදිරියේදී ඉහළ දමන්න පුළුවන් වේවි. බතික් නිර්මාණ සදහා ජාතික ශිල්ප සභාවේ බතික් පුහුණු ගුරු උපදේශ විදිහට මම සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට බතික් කර්මාන්තය ගැන උගන්වනවා. ලංකාවේ අංක1,2 වුණ සම්මානලාභී ශිල්පීන් ඔවුන් අතරින් බිහි කරන්න අපට හැකිවුණා. සාමාන්‍ය පෙළ අවසන් කරලා ත්‍රිරෝද රථ රියැදුරන් වනවාට වඩා මෙවැනි කර්මාන්ත වලට අපට මේ ළමයි යොමු කරන්න පුළුවන් නම් ඒක හරිම වටිනවා.ජාතික ශිල්ප සභාව ඒ කාර්යභාරයේ නියැළෙනවා. මේ ශිල්පය ඉගෙන ගන්න ළමයි ගෙදර අයත් එක්ක එකතු වෙලා මේ කර්මාන්තයේ නියැළෙනවා. කර්මාන්තකරුවන් උසස් නිර්මාණ කළත් පිටරටින් අඩු මුදලට බතික් නිර්මාණ ගෙන ඒම මේ කර්මාන්තයට බලපෑවා.

රජයේ කාර්යාල වල සිකුරාදා දිනයේ ඇඳීමට බතික් කමිසයක් අපි නිර්මාණය කළා. එය විශාල මෝස්තර සහිත නෙවෙයි. ලා පැහැ පසු බිමේ සියුම් පිපිරුමක් පෙනෙන චාම් විලාසිතාවක් ඇති ඇඳුමක්. මම බතික් ඉගෙනගත්තේ ඉන්දුනීසියාවේදී ඒ රටේ ජනාධිපතිවරයාගේ පටන් පාර අතුගාන කම්කරුවා දක්වා සිකුරාදාට අඳින්නෙ බතික්. බතික් කියන්නේ එරට ප්‍රධාන ආදායම් මාර්ගයක්. ඒ නිසා "ශිල්ප සෞභාග්‍යා"වැනි වැඩපිළිවෙළ දියත් වීම අපි අගය කරනවා. එය ඉදිරියට ගෙන යා යුතුයි.

මේ සියලු අදහස් ඔස්සේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග ගෙන් "ශිල්පා සෞභාග්‍යා" වැඩපිළිවෙළ පිළිබඳ අපි විමසුවෙමු. ඒ නවෝත්පාදන ගැනද අවධානය යොමු කරමිනි. "නවෝත්පාදන කියන්නේ යන්ත්‍ර සූත්‍ර පමණක්ම නෙවෙයි. සෑම ක්ෂේත්‍රකම නවෝත්පාදන කළ හැකියි. අපේ රටට සරුංගලය පවා පිටරටින් ගෙනාවා. දැන් මේවා නතර වෙද්දි අපේ ශිල්පීන්ට, නිර්මාණකරුවන්ට බොහෝ දේ කරන්න පුළුවන්. මේ වෙලාවෙ රටේ මූලිකම සෞඛ්‍ය ප්‍රශ්නය. අපි දැක්කා ,නව නිර්මාණකරුවන් රෝහල් හා සෞඛ්‍ය අංශ සඳහා නව ආරක්ෂිත, මෙවලම් උපකරණ හඳුන්වා දෙන ආකාරය. රොබෝ තාක්ෂණය පවා යොදා ගත්තා. ඒ වගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට ශිල්ප සෞභාග්‍යා හොඳ අවස්ථාවක් වේවි. අධි පරිභෝජනවාදී ජීවන රටාවක සිටි මිනිසුන් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ සැහැල්ලු , අල්පේච්ඡ දිවි පෙවෙතකට හුරු වුණා. සරල ජීවිතයකට යොමු වුණාම ජීවත්වීම විශාල බරකුත් නෙමෙයි. ඊට ගැළපෙන විදිහට අපට නොයෙක් දෑ තැනීමට නිර්මාණ කිරීමට පුළුවන්. අපේ ශිල්පීන්ට ඒ සඳහා අපට වඩා ඥානය තියෙනවා. අමාත්‍යාංශය විදිහට අපි ඔවුන් දිරි ගන්වනවා. බැංකු ණය වැනි පහසුකම් සලස්වනවා. ලුණු පොල් කට්ටේ පටන් අපට නිර්මාණශීලීව හා උසස් අන්දමින් ඒ වගේම පරිසර හිතකාමීව සෞඛ්‍යාරක්ෂිතව නව නිර්මාණ හඳුන්වාදී ප්‍රචලිත කිරීමට පුළුවන්. වසංගත සමයක වුණත් මේ එළැඹ ඇති අවස්ථාව අප මග නොහැරිය යුතුයි."

සැබෑවකි. එළඹ ඇති අවස්ථාව අප අතින් ගිලිහී ගියහොත් යළි අපට අවස්ථාවක් නොලැබෙනු ඇති.

Comments