මුඩු බිමක් ගොවි බිමක් කළ බුදු පුතුන් | Page 3 | සිළුමිණ

මුඩු බිමක් ගොවි බිමක් කළ බුදු පුතුන්

1. දින හතලිස් පහක් ගතවද්දී පුරන් කුඹුරේ සරුවට වැවුණු එළවළු. 2. අස්වැන්න නෙලීම.

රටට විපතක් වන සෑම අවස්ථාවකදීම, මෙන්ම අතිශය තීරණාත්මක අවස්ථාවන්හිදී මහා සංඝරත්නය පෙරට පැමිණීම ඉතිහාසය පුරාම දක්නට ඇති විශේෂ ලක්ෂණයකි. අතිගෞරවණීය ලෙස සිදුවූ එම අවස්ථා අදට ද සිහිපත්කරන්නේ අභිමානයෙනි. දේශපාලනීකරණය වීම තුළ මෑත භාගයේ සංඝරත්නයේ ඇතැම් මැදිහත්වීම් විවේචනයන්ට ලක්වුව ද රටේ යහපැවැත්මට සෑම මොහොතකම අත්‍යවශ්‍ය සාධකයක්ව ඇත්තේ මහා සංඝරත්නයේ මැදිහත්වීම් ය.

ඒ් මැදිහත් වීෙම් ප්‍රතිඵල ලෙස වගා නොකර වසර ගණන් අතහැරදමා තිබූ මුඩුබිම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා අතින් ගොවිබිම් බවට පත්වූයේ රටටම ආදර්ශ සපයමිණි. ඒ අතුරින් කිරින්ද පුහුල්වැල්ල පූර්වාරාම පිරිවෙණත් එහි පරිවේණාධිපති ශාස්ත්‍රවේදී කළුබෝවිටියන කස්සප හිමියෝත් ප්‍රධාන ය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනයට ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් දෛනික ආදායම් මාර්ග අවහිරවීමත්, ආහාර සපයා ගැනීමේ ගැටළුවත් ජනතාවය පීඩනයට පත්වූ ප්‍රධාන කාරණා ය.

තමන්වහන්සේ ඇතුළු පිරිවෙන්වාසී මහා සංඟරත්නයට නොකඩවා දානය සැපයූ ජනතාවට මේ මොහොතේ පිහිටවන්නේ කෙසේ ද යන්න කස්සප හිමියෝ සිතන්නට වූහ. එහිදී උන්වහන්සේගේ හිතට නැඟුණේ වසර පහක සිට වගා නොකර පුරන්ව තිබෙනා කුඹුරු යායයි.

“මේ මොහොතේ කොරොනා වසංගතයෙන් මිනිස්සු කොතරම් පීඩනයට පත්වුණාදැයි වචනයෙන් විස්තර කරන්න තරම් අමාරුයි. එදිනෙදා කීයක්හරි හම්බකරගෙන ජීවත්වුණු මිනිස්සු ඒ අතරින් ප්‍රධානයි. මේ ප්‍රශ්නය මගේ හිතට නිතර වද දුන්නා. මේ මිනිස්සු වෙනුවෙන් මොනවාහරි කරන්න ඕන කියල නිතරම හිතුවා. ඒ අතරෙදි තමයි පුරන් කුඹුර සුද්දකරල ඉක්මණින් ඵලදාව ලැබෙන බෝග වගාකරල ගමේ මිනිස්සුන්ට කන්නදෙන්න ඕන කියල සිතුණෙ. අපේ ලොකු හමුදුරුවන්ට මේ ගැන කියල අවසර අරගෙන පිරිවෙණේ හාමුදුරුවරු එක්කරගෙන හොඳ හිතිං වැඩේ ආරම්භ කළා විතරයි කිසිදු භේදයකින් තොරව ගමේ වැඩිහිටි, තරුණ මේ හැමෝම වැඩේට බැස්සා” තම වගා සංග්‍රාමයේ ආරම්භය කස්සප හිමියෝ එලෙස පැවසූහ.

ගතවූයේ දින දෙක තුනකි. කැලෑ රොදක්ව පැවති කුඹුරු යාය වගා බිමක් බවට පත්වූයේ ය. කස්සප හිමියන් සමග සාමනේර හිමිවරු ද දහම්පාසල් දරුවන් ද ගමේ තරුණ තරුණියෝ මෙන්ම වැඩිහිටියන් ද කඩි ගුලක් ඇවිස්සුනාක්මෙන් වැඩ කළහ. ඉක්මණින් ඵලදාව ලැබෙන මුං, රාබු, බණ්ඩක්කා, මෑකරල්, නිවිති, බඩ ඉරිඟු, රටාවකට ගොඩනැගූ පාත්තිවල රෝපණය කළහ. ගමේ කෘෂිකර්ම නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ද ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් හෙට්ටිආරච්චි මහතා ද ස්වේච්ඡාවෙන්ම උදව් කිරීමට ඉදිරිපත් වූහ. කස්සප හිමියන්ගේ ඉලක්කය වූයේ දින හතළිස් පහක් තුළ අස්වැන්න නෙළා ගම්වාසීන්ට ආහාර පිණිස ලබාදීමයි. සැකසුණ වගා බිමේ සිටවූයේ එලෙස දින හතළිස් පහකින් අස්වැන්න ලැබෙන බෝග ය.

නියං සමයේ ඇරඹි වගා බිම තම අරමුණ කරා ගෙන යාම කස්සප හිමියන්ට අභියෝගයක් විය. ඒ බීජ පැළවී වර්ධනය වන තෙක් ජලය සැපයිය යුතුවීම නිසා ය. ඒ අභියෝගය ද විහාරවාසී හිමිවරු බාරගත්හ. ඒ අනුව සෑම දිනකම සවස ගොවි බිමට ජලය දැමීම අරඹන හිමිවරු එය රාත්‍රී නවය වනතෙක්ම සිදුකළේ කස්සප හිමියන් ද සමග ය.

“අපිට වගා බිම සැකසීම වගේම එය රැකගැනීමත් අභියෝගයක් වුණා. වැසි පොදක්වත් නැතිව තිබූ මහා නියඟයේ දි තමයි අපි වගාව පටන්ගත්තේ. බීජ හිටවල පැල ඇදෙනකම් සහ පැළ වර්ධනය වෙද්දි දිගටම වතුර දමන්න සිදු වුණා. අපේ පොඩි හාමුදුරුවරු ඒ වැඩේ හරියටම සිදුකළා. තවත් අය උදව්කළා. රැයක් දවාලක් කියා බැලුවේ නෑ. කොරෝනා නිසා ලැබුණු නිවාඩුව කවුරුත් බොහොම ඵලදායීව ගතකළා”

තම අරමුණුගත ඉලක්කයට ගමන්කළ ආකාරය කස්සප හිමියන් සිහිකරන්නේ ඉතා සතුටිනි. බීජ රෝපණය කර එය පැළ බවට පත්ව ක්‍රමික වර්ධනයක් ඇතිවෙමින් තිබියදී මෙම සත්ක්‍රියාවට සොබාදහම ද සතුටු වූවා සේය. පැළ මෝරමින් තිබිය දී පොද වැසි ඇදහැලෙන්නට පටන්ගත්තේ ය. දින සති ගතවෙද්දී පුරන් කුඹුර බෝගවගාවන්ගෙන් සරුසාරවී දුටුවන්ගේ නෙතු පිනවන දසුනක් බවට පත්ව තිබුණේය. එය දුටු කස්සප හිමියන් ඇතුළු වෙහෙස මහන්සිවූ සැමගේ සිත් සතුටින් ඉපිළෙමින් තිබුණි.

“අපි යහපත් අරමුණෙන් පටන්ගත්තු මේ වැඩේට වැස්සවලාහක දෙවියොත් උදව්කළා. පැල මෝරන වෙලාවේ වැස්ස ලබාදුන්නා. පැල මෝරා එනවා දුටුවාම සිතේ ඇතිවුණ සතුට කියන්න බැරිතරම්. අපි ඒ දිහා බපාගෙන ඉන්නවිට හිත හොඳට සන්සුන්වුනා. මහන්සි නොවී කළ භාවනාවක් වගේ සිත සැහැල්ලු වුණා. මේකට මහන්සිවෙච්ච හැමෝම ඒ සතුට වින්දා” කස්සප හිමියන් සතුටින් පැවසූහ.

“කස්සප ස්වාමීන්වහන්සේ විසින් කළ මේ වැඩෙත් සමග අවට විහාරස්ථාන වලටත් ඉන් ආදර්ශයක් ලැබුණා. අවට විහාරස්ථානත් බෝග වගාවන් ආරම්භ කළා. ආරම්භය කස්සප හුමුදුරුවන්ගේ. මෙහි විශේෂත්වය වන්නේ රජයේ මැදිහත්වීමක් හෝ කාගේ හෝ බලපෑමකින් තොරව මෙය සිදුකිරීමයි.

මෙය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා කෘෂිකර්ම අංශයන්ගේ දායකත්වය ලැබිය යුතුව තිබෙනවා. මෙය හොඳ ප්‍රවණතාවයක්. අපි මෙය ඉදිරයටම යාම මිස පසුගාමී නොවන ආකාරයෙන් තියාගත යුතුයි. කෘෂිකර්ම උපදෙස් අනිවාර්යයෙන්ම අවශ්‍යවෙනවා. එසේ නොමැතිව වගාවන්ට ගැටලු ඇති වුවහොත් මේ ප්‍රවණතාව නැතිවෙනවා. එකපාරටම මතුවී නැතිවී නොයන ආකාරයෙන් මෙම තත්වය ආරක්ෂා කර ගත යුතුයි” කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කුසලක නානායක්කාර මහතා කීවේ ය.

කස්සප හිමියන් මෙන්ම පූර්වාරාම පිරිවෙන් විහාරස්ථානය අවට පන්සල් ද වගාකටයුතු සහා යොමුවද්දී කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවෙන් ලැබුනේ ඉහළ දායකත්වයකි. වගාබිම් සැකසීමට බැකෝ යන්ත්‍ර ලබාදීමත්, කොම්පෝස්ට් පොහොර නොමිලේ ලබාදීමෙන් දුන් සහාය පිළිබඳ සභාපති සනත් හෙට්ටිආරච්චි මහතා මෙසේ පැවසීය.“මෙතෙක් කල් අපේ ජනතාව පිටරටින් ගේන දේ අනුභව කර පිටරටින් එන බේතුත් ගත්තා. ඒ විවිධ රෝගාබාධ ඇතිකරගෙනයි. මේ දැන් ඇතිවී තිබෙන තත්වය එම තත්වය වෙනස්කරන්න ලොකු අවස්ථාවක් වී තිබෙනවා. වස විස කනවා වෙනුවට වස විස නැති පිරිසිදු ආහාර ටිකක් මේ ගෙවතු වගා තුළින් දැන් අපේ ජනතාවට ලබාගන්න පුළුවන්. ඒ නිසා ලෙඩ රෝග වලට බෙහෙත් ගන්න ලොකු මුදලක් යවනවා වෙනුවට නිරෝගීව ඉන්නත් පුළුවන්. අපි පිට රටින් එනකං නොසිට අපේ දේ පිට රටට යවන තත්වයට මේ ආදර්ශයත් සමග පත්විය යුතුයි. මේ වෙනුවෙන් සභාවක් ලෙස කරන්න පුළුවන් හැම සහයක්ම නිරතුරු ලබාදෙනවා”

ඇතිවෙමින් පවත්නා මෙම ප්‍රවණතාව පිළිබද හිටපු තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙලෙස පැවසීය.“විහාරස්ථාන පසුබිම්කරගෙන අද වන විට ඇතිවී තිබෙන වගා සංග්‍රාමය පිළිබද ඇත්තේ පුදුම සතුටක්. දිස්ත්‍රික්කය පුරා ඇවිදින විට එය දැකීමෙන් ලොකු සතුටක් ඇතිවෙනවා. මෙතෙක් කල් පන්සල් සතු කුඹුරු ඇතුළු වගාබිම් බදු දීලයි තිබුණේ. අද එම තත්ත්වය වෙනස්වෙලා ස්වාමීන්වහන්සේලා මූලික වී පන්සලේ මෙහෙයවීමෙන් වගාකටයුතු ආරම්භ කර තිබෙනවා. එය හේතු දෙකක් නිසා අපිට ඉතාම වැදගත්. මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක ගුවන් ගමන්, වරාය කටයුතු අඩපන වෙනවිට පිටරටින් එන දේ නැති වුණා. ජනතාවට බඩු ගැනීමේ ප්‍රශ්න ආවා. මෙහෙම තත්වයක් තිබුණාම එහෙම පසුතැවෙන්න වෙන්නේ නෑ. අපේම කියා නිෂ්පාදන තිබෙනවා. අතේ සල්ලි තිබෙනවානම් ඕනෑම වෙලාවක ඕනෑම දෙයක් ගන්න පුවවන් කියා ජනතාව අතර මතයක් තිබුණා. කොවිඩ් ප්‍රශ්නෙදි එය වෙනස්වුණා. අතේ සල්ලි තිබිලත් බඩුගන්න වෙහෙසෙන්න සිදුවුණා. මෙය ඒකට විසඳුමක්. ඒ වගේම අපේම කියා ආර්ථිකයක් ගොඩනගා ගන්නත් මෙය කදිම ආදර්ශයක්. අපේ ප්‍රදේශයේ තිබෙන පැරණිම පන්සලක් තමයි පූර්වාරාම පිරිවෙන් විහාරස්ථානය. එහි හිමරතන නායක හාමුදුරුවෝ හැමදාම ගමට හරිමග පෙන්වු නායකත්වය දුන් හිමිනමක්. එහි වැඩවසන කළුබෝවිටියන කස්සප හිමියන් නායක හිමියන්ගෙ මග යමින් ඉතා හොඳ ආදර්ශයක් අද ගමටත්, දිස්ත්‍රික්කයටත්, මුළුමහත් රටටත් ලබාදී තිබෙනවා. එම ආදර්ශය තුළ අද දිස්ත්‍රික්කයේ පුරන්ව තිබූ බිමි වගාබිම් බවට පත්වෙමින් තිබීම සතුටක්”

Comments