බීමතින් කළ හොරණ ද්විත්ව ඝාතනයේ සුල-මුල | Page 2 | සිළුමිණ

බීමතින් කළ හොරණ ද්විත්ව ඝාතනයේ සුල-මුල

අයෙක් ඝාතනය වී සිටි ආකාරය

- ඝාතනයට හේතුව කොරෝනා සමයේ බහින්බස්වීමක් 
- හිස පාසාරු කරගෙන යන්නට කුළු ගෙඩියෙන් ගසා මුරකරුටද පහරදී පැන යයි
- සැකකාර වසන්ත ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

සුගිය කාලයේ හැලහොල්මනක් නොමැතිව තිබූ රටේ විවිධ පෙදෙස්වලින් මත් ජාවාරම්, කොල්ලකෑම්, මිනීමැරුම් ඇතුළු අපරාධ සිදුවීම්ද දිනෙන් දින වාර්තා වෙමින් තිබේ. ඒ අනුව පසුගිය 15 වැනිදා හොරණ ප්‍රදේශයෙන් වාර්තා වූයේ කුළු ගෙඩියකින් පහර දී සිදුකළ ද්විත්ව මිනීමැරුමක ශෝචනීය පුවතකි. මාස දෙකකට ආසන්න කාලයක් ඇඳිරිනීතිය නිසා හොරණ - මොරගහහේන පාරේ අරමනාගොල්ල කර්මාන්ත පුරයට ආසන්නව පිහිටි කර්මාන්ත ශාලාවක සේවකයන්ද සිය ගම්බිම් කරා යෑමට නොහැකිව සිරවී සිටියේය. ලී කුඩු අපනයනය කිරීමේ කර්මාන්ත ශාලාවක් වන එහි විසි දෙදෙනෙක් පමණ සේවයෙහි නියුතුව සිටියහ. ඒ සියලු දෙනා නවාතැන්ගෙන සිටියේ අවට බෝඩිම්වල සහ කර්මාන්ත ශාලා පරිශ්‍රයේම වූ කාමර තුනකයි.

පසුගිය කාලයේම හරිහැටි රාජකාරියක් නොකළ සේවකයෝ අතට කීයක් හෝ ලැබුණු සැණින් ‘අඩියක්‘ ගැසීමට පුරුදුව සිටියෝය. විශේෂත්වය නම් කර්මාන්ත ශාලාවේ සේවකයෝ සියලු දෙනා එලෙස මත්පැන් පානය කළත් ඒ තනි තනිවම වීමයි. පසුගිය 15 වැනිදා කර්මාන්ත ශාලාවේ සේවකයන් හට සිය පඩිපතෙන් යම් පමණක මුදලක් ගෙවා තිබුණේය. ඒත් සමඟ සිය නිවෙස්වලට යෑමට ද නොහැකිව සිරවී සිටි සේවකයෝ සුපුරුදු පරිදි මත්පැන් බිඳක් තොල ගාන්නට වූහ. 15 වැනිදා සවස් යාමයේම හොරණ නගරයට ගිය වසන්ත ලැබුණු මුදලින් ගතමනාවක් වියදම්කොට මත්පැන් බෝතලයක්ද රැගෙන පැමිණ තිබුණේ කර්මාන්ත ශාලා පරිශ්‍රයටයි. රාත්‍රිය උදාවෙද්දී පදමට සූර් වී සිටි වසන්ත කර්මාන්ත ශාලාවේ පාලකයන් ඇතුළු අවට සිටි මිතුරන්ටද තොරතෝංචියක් නැතිව බැණ වදිමින් කියවන්නට විය. ජගත් ගුණවර්ධන, ගණිත කුමාර සහ සාලිය පුෂ්පකුමාර ද වසන්තගේ කාමරයට යාබද කාමරයක සිටියවුන්ය. 

“ඒයි බිව්වනම් කෑවනම් කටවහගෙන හිටපන්... අපිටත් සැනසිල්ලෙ ඉන්න ඕනෙ...“

යම් පමණකට මත් වී සිටි ඔවුන් තිදෙනාගෙන් කෙනෙක්ද එලෙස වසන්තට සත්තම දැමීය. ඒත් එක්කම වසන්ත සහ තිදෙනා අතර බහින්බස් වීමක් සිදුවී ඇත. ක්ෂණයෙන් වසන්ත රිංගා තිබුණේ ඔහු තනිවම විසූ කාමරයටයි. වෙනත් දිනවලද පිරිස කා-බී එලෙස බහින්බස් වූවත් පසුදා එක බත්පත කා සමඟි සමාදානයෙන් සේවයෙහි නිරත වීම සාමාන්‍ය චර්යාවකි. දිගින් දිගටම වසන්තගේ කියවිල්ලේ අඩුවක් නොවූ තැන වසන්තගේ කාමරයට කඩා වැදුණේ ගුණවර්ධන, ගණිතකුමාර සහ සාලියයි.

ඒ වන විටත් තිදෙනා පැමිණ තමනට පහර දේවිදෝ යන බිය සැකෙන් තමා සිටි බව වසන්ත පසුව පොලිසියට කියා තිබුණේය. එම බිය නිසාම ඔහු සිය ඇඳ යට තිබූ විශාල කුළු ගෙඩිය අතට ගත්තේය. වේලාව හරියටම රාත්‍රි 9.30 පසුවෙමින් තිබිණි.

තිදෙනා කාමරයට ඇතුළුවීමත් සමඟ සැණින් ක්‍රියාත්මක වූ වසන්ත මුලින්ම යෝධ කුළු ගෙඩි පහර එල්ල කර තිබුණේ කාමරයේ විදුලි ස්විචයටයි. ඉන් මුළු කාමරයම ගන අන්ධකාරයේ පසුවෙද්දී වසන්ත කාමරයට පැමිණි තිදෙනාගේම හිස්ගෙඩි පසාරු කරගෙන යන්නට කුළු ගෙඩි පහරවල් එල්ල කර ඇත්තේ හිත්පිත් නැති තිරිසනකු විලසිනි. ඔහුගේ පහරවල් කෙතරම් දරුණු ද යන්න පසක් වූයේ පසුව පොලිසිය විත් පහර දුන් කුළු ගෙඩිය සොයාගන්නා විට එහි මිට දෙකට කැඩී ගොස් තිබූ ආකාරය දුටු විටයි.‍ 

තිදෙනාට පහර දුන් සැණින් සිය ගමන්මල්ලද කැටුව වසන්ත කර්මාන්ත ශාලාවෙන් පැන යෑමට තැත්කර තිබිණි. එහෙත් ඊට මුරකරුගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. අනතුරුව මුරකරුටද අසල තිබූ ගල් ඉන්නකින් පහර දුන් වසන්ත රාත්‍රියේම කර්මාන්ත ශාලාවෙන් පැන ගොස් තිබුණේය.

ඒ අතරේ රාත්‍රී 10.10ට පමණ හොරණ පොලිසියට ඇමැතුමක් ලැබුණේ හොරණ රෝහල් පොලිසියෙනි. ඉන් කියැවුණේ හිසට බරපතළ තුවාල ලත් පුද්ගලයකු 1990 සුවසැරිය ගිලන් රථයෙන් රෝහලට රැගෙන ආ බවයි. ඊට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ හොරණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස කුමාර මහතා ප්‍රමුඛ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා ඇතුළු කණ්ඩායම අදාළ කර්මාන්ත ශාලාව සොයා ගියේය. ඒ මොහොතේම හොරණ ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරි අශෝක වීරක්කොඩි මහතාද එම ස්ථානයට පැමිණියේය. එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් දුටුවේ අහස පොළොව නුහුලන අපරාධයකි. කාමරයක ඇඳන් අතර සිය හිස් ගෙඩිවලට වැදුණු කුළු ගෙඩිපහරවලින් කපා හෙළු කෙසෙල් කඳන් සේ දෙදෙනෙක් මැරී වැටි සිටියේ ලේ විලක් මැදය. ඒ ගුණවර්ධන සහ ගණිත කුමාරයි. ඔවුන් දෙදෙනා සමඟ කුළුගෙඩි පහර කෑමෙන් බරපතළ තුවාල ලත් සාලිය කර්මාන්ත ශාලාවේ සෙසු පිරිස විසින් රෝහල්ගත කර තිබුණේ 1990 සුවසැරියෙනි.

පොලිස් නිලධාරීන් සිය විමර්ශන ආරම්භ කළේය. ඒ අතරේ රාත්‍රී 11ට පමණ හොරණ පොලිසියට ගොස් තිබුණේ වසන්තයි. “සර්... මං තුන්දෙනෙකුට කුළු ගෙඩියකින් පහර දුන්නා... එච්චරයි මං දන්නෙ... මං හිතුවේ ඒගොල්ලො මට ගහයි කියලා...“ එලෙස පවසමින් වසන්ත එදින රාත්‍රියේම පොලිසියට බාර විණි. යුද හමුදා සේවයෙන් ඉවත්ව ඇති 32 හැවිරිදි සැකකාර වසන්ත ජයසිංහ ගල්නෑවේ පදිංචිකරුවෙකි. අවිවාහකයකු වන ඔහු මීට වසරකට පමණ පෙරදී එම කර්මාන්ත ශාලාවේ සේයට පැමිණ තිබේ. සිය යහළු මිත්‍රයන්ට තිරිසන් ලෙස පහර දී ඝාතනය කිරීම නිසා වසන්ත හොරණ මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

නිරපරාදේ ඝාතනය වූ 53 හැවිරිදි ජගත් ගුණවර්ධන එම කර්මාන්ත ශාලාවේ වැඩ පරීක්ෂකවරයෙකි. හෙට්ටිපොළ පදිංචි ඔහු විවාහකයෙකි. මියගිය ගණිත කුමාර කෑගල්ලෙ පදිංචි 33 හැවිරිදි තරුණයෙකි. බරපතළ තුවාල ලත් 20 හැවිරිදි සාලිය පුෂ්පකුමාර බඩල්ගම පදිංචිකරුවෙකි. මෙකී අපරාධය පිළිබඳ විමර්ශන පාණදුර කොට්ඨාස බාර පොලිස් අධිකාරි සංජය ඉරසිංහ මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරි අශෝක වීරක්කොඩි මහතාගේ උපදෙස් මත හොරණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස කුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා ඇතුළු උප පොලිස් පරීක්ෂකවරුන් වන අබේසිරි සහ බණ්ඩාර යන නිලධාරිහු සිදු කළහ.

Comments