පෙරළිකාර රියාගේ කොරෝනා කවිය | Page 2 | සිළුමිණ

පෙරළිකාර රියාගේ කොරෝනා කවිය

කොරෝනාව විසින් ලෝ වැසියන් තුළ ඇති කළ කම්පනය තවත් සෑහෙන කලක් ගෙවෙන තුරු බැහැර වෙන එකක් නැහැ. ඒ නිසා තමයි අපේ රටත් ඇතුළුව ලෝකය පුරා විවිධ රටවල කලාකරුවන් මිනිස් සිත් සනහන විදිහෙ නිර්මාණ බිහි කරන්න පටන් අරන් තියෙන්නෙ. සෞඛ්‍ය ප්‍රතිකාර වගේම මානසික සත්කාරත් මෙවැනි සමාජ ව්‍යසනයකදි එකවගේම වැදගත්ය කියන කාරණය කොරෝනා අභියෝගය හමුවේ යළි යළිත් තහවුරු වෙමින් තිබෙන බවයි මින් පැහැදිලි වෙන්නෙ.

රියා සොකොල් කියන්නෙ පෝලන්තයේ තරුණ කිවිඳියක් හා සමාජ ක්‍රියාකාරිනියක්. කොරෝනාව අළලා මේ වන විට ලොව පුරා බිහිව තිබෙන දහස් සංඛ්‍යාත නිර්මාණ අතරට ඇයත් මෑතකදී කවියක් එකතු කළා. අන්තර් ජාලයේ මේ කවිය පළ වූ මුල් දවසෙම ලක්ෂකටත් වැඩි පිරිසක් විසින් එය සමාජ ජාලා ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබුණා. ඇත්තටම ඒ කවිය මේ වෙන විට මිලියන ගණනක ලෝ වැසියන්ගේ මහත් ප්‍රතිචාරයට ලක් වූ නිර්මාණයක් බවට පත් වී හමාරයි.

රියාගෙ ඒ කවිය ගැන මිතුරු පවුර ඔස්සේ පොඩි කතාබහක් කරන්න කල්පනා කළා. නන්නාඳුරන මිනිසුන් ලක්ෂ ගණනක් එකම මිනිස් පවුරක් බවට පත් කරන්න සමත් වූ මේ තරුණ කිවිඳියට ප්‍රණාමයක් දැක්වීම එහි එක අරමුණක්. ඒ ගමන්ම ඇය මතු කරන සමාජ කතිකාවේ වැදගත්කම ඔබ අවධානයට ලක් කිරීමත් කාලෝචිතය කියා හිතුණා.

කොරෝනාව පසුබිම් කරගෙන ලෝ ප්‍රකට සම්මානනීය කලාකරුවන් විසින් නිමැවුණු අපමණ නිර්මාණ අතරින් රියාගේ කවිය ඉස්මත්තට ආවේ කෙසේද...? මා හිතන විදිහට ඊට ප්‍රධානම හේතුව තමා ඇගේ සමාජ දෘෂ්ටිය. ඒ වගේම තම කටහඬින්ම රියා එය ගායනා කරන හැඟුම්බර විලාසය.

කොරෝනාවේ බිහිසුණුකම, ඉන් ප්‍රවේසම් වීමේ ක්‍රමවේද වගේම ඊට එරෙහිව සටන් වදින වෛද්‍ය මණ්ඩල ප්‍රමුඛ විවිධ සේවාවන් ඇගයීමයි බහුතරයක් කලාකරුවන් අතින් සිදු වී තිබෙන්නෙ. ඒත් රියාගෙ ප්‍රවේශය ඊට හාත්පසින්ම වෙනස්. එය එක්තරා ප්‍රමාණයකට රැඩිකල් වගේම තවත් පැත්තකින් විරුද්ධාභාසීය ලක්ෂණ සහිත නිර්මාණයක්.

රියා එයට යොදා තියෙන THANK YOU CORONA – “තුති වේවා කොරෝනා වයිරසය” යන නමින්ම ඒක තහවුරු වෙනවා. අති බහුතරයක් ලෝ වැසියන් කොරෝනාව දකින්නෙ තමන් වනසන්න ආ මකරාක්ෂයෙක් හැටියට. ඒ මකරාගේ උපත සිදු වූයේ යයි සැක කරන චීනයට නෝක්කඩු කියන එක පවා තාම ඉවරයක් වෙලා නැහැ. එහෙම පසුබිමක කටක් ඇරලා තුති වේවා කොරෝනා කියා කවියක් කියන්න පුළුවන් වෙන්නේ සෑහෙන ආත්ම ශක්තියක් ඇති මනුස්ස ප්‍රාණියෙකුට විතරය කියලයි මට නං හිතෙන්නෙ.

“ තුති වේවා ඔබට, දැන් අපි සිටින්නේ කලින් හිතා හිටියාට වඩා හාත්පසින්ම වෙනස් තැතිගන්වනසුලු තැනක බව පෙන්වා දුන්නාට ...

තුති වේවා ඔබට, කඩසාප්පු, බඩු භාණ්ඩ හා නිදහස පිටාර ගලන ලෝකයක අපි ජීවත් වූ වග සේම මෙතරම් කල් ඒ සියල්ල හිතුමතේ අපි භුක්ති විඳි බව මතක්කර දුන්නාට ...

තුති වේවා ඔබට, හැමදාමත් අපි කිසි වැදගැම්මකට නැති කලබලයක් මවාගෙන හිස් දේවල් පසුපස දුවමින් සිටි පිරිසක් බව තේරුම් කර දුන්නාට...ඥාති-මිතු දම් හා රැකියා ඇතුළු ලෝ දම් කිසිවක් කිසිදා වෙනස් නොවෙතැයි සිතා සිටි රොබෝවරුන් පිරිසක් බව පසක් කර දුන්නාට...

තුති වේවා ඔබට, මෙතෙක් කල් අපි ඉතා වැදගත් යැයි සිතා සිටි ප්‍රශ්න, ගැටලු ඈ සියල්ල පැත්තකට විසිකර දැමිය හැකි බොරු විකාර බව කියා දී ඇත්තටම වැදගත් දේ කුමක්දැයි තෝරාපාදා දුන්නාට...

තුති වේවා ඔබට, පරිසර දූෂණය නතර කරන ලෙස මිහිකත මෙතෙක් කළ ආයාචනා තුට්ටුවකටවත් මායිම් නොකර සිටි අපේ සියලු ක්‍රියාකාරකම් නතරකොට ඒ ගැන යළි හිතන්නට අප පෙලඹුවාට...

තුති වේවා ඔබට, බොහෝ කලක සිට මෙවැනි උවදුරක් ගැන ලද ඇඟවීම් නොතකා හුන් අපට දැන් මුඛ ආවරණ පැළඳගෙන සෙසු ප්‍රජාවත් සමග සහයෝගයෙන් අභියෝග වලට මුහුණ දෙන්නේ කෙසේදැයි යන පාඩම කියා දුන්නාට...

තුති වේවා ඔබට, අපේම ජීවිත දෙස ආපසු හැරී බලන්නට අවස්ථාවක් සලසා දුන්නාට.

තුති වේවා ඔබට, අවසානයේ අප සැම එක පෙළට සිටුවා සාමුහිකව ජීවත් විම යනු කුමක්දැයි වටහා ගන්නට අපට අවකාශ සලසා දුන්නාට...

තුති වේවා ඔබට, ලෝකයට තවදුරටත් මෙයාකරයෙන් පවතින්නට බැරි බව සේම ලෝක ගමන් මග වහා වෙනස් කළ යුතු බවද වටහා දී අලුත් ලෝකයක් ඉදිකිරීමේ වටිනාකම ගැන සිතා බලන්නට අපට බල කර සිටියාට...

තුති වේවා ඔබට, වයිරසයක් යනු අපේම නිමැවුමක් හා අපේ ජීවිතයේම අංගයක් බව සේම එය විසින් සමස්ත මානව වර්ගයාම කයින්, මනසින් සම කරනු ලබන සැටිත් පෙන්වා දුන්නාට...

තුති වේවා ඔබට, කළ ගුණ සැලකීම ප්‍රතිශක්තිය වඩවන්නක් වුවද ගැටලුවක් දෙස විවිධ කෝණ වලින් බැලිය යුතු බව අපට කියා දුන්නාට...

තුති වේවා ඔබට, මතු දින අපි කුමන මගක් තෝරා ගත්තද වැදගත්ම දේ වූ කලී සියලු දනන් ඒ ගැන දැනුවත් වීම බව අවධාරණය කර දුන්නාට...

සුනාමිය ආ කාලෙත් බොහෝ දෙනා අතින් මෙවැනි දේ ලියවුණා. ඒත් ටික දවසක් ගියාට පස්සෙ සියල්ල අමතක කර අපි පරණ ලෝකයටම ආපසු ගිය හැටිත් ඔබට මතක ඇති . ඒ වගේම කොරෝනාවත් අමතක කළොත් අපේ අනාගත පරම්පරාවට ගෙවන්න වෙන වන්දිය කොයි වගේ එකක් වෙයිද ඔබට හිතෙනවා ඇති...? රියා සෝකොල් කිවිඳිය මේ කවියෙන් අහන්නෙත් ඒ ප්‍රශ්නෙමයි නේද...?.

Comments