නෙවිල් ජයවීර දිවිමඬලෙන් සමුගනී | Page 3 | සිළුමිණ

නෙවිල් ජයවීර දිවිමඬලෙන් සමුගනී

“මට ආරංචියි ඔබ ශිෂ්‍යත්වයක් ලබා ඇමෙරිකාවට යෑමට සූදානමින් සිටින බව. එහි යන්න එපා. මට ඔබේ සේවය අවශ්‍යයි." 1966 වර්ෂයේ දිනක් එවකට ගුවන්විදුලි හා ප්‍රවෘත්ති කටයුතු අමාත්‍යවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මෙසේ පවසා සිටියේ ශූර සිවිල් නිලධරයකු ලෙස ඒ වන විට මහත් කීර්තියක් අත් කරගෙන සිටියද, අලුත් ආණ්ඩුව තමා ගැන සිතා සිටි අන්දම ගැන මුසුප්පුව උන් නෙවිල් ජයවීර අමතමිනි.

සැබැවින්ම එකී රජය නෙවිල් ජයවීර අරබයා යම් බඳු වැටහීමක සිටියේ නම් එයට හේතු වූයේද ඔහුගේ කාර්යශූරත්වයම විනා අන් කිසිවක් නොවේ. ඉන් පෙර පැවති රජය සමයේ දමිළ බස වහරන ජනතාවගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටි පිරිස් යාපනයේ කච්චේරියට කිසිවකුට ඇතුළු වන්නට නොදී සත්‍යග්‍රහයේ යෙදුණු අවස්ථාවේ, ඔවුන් සමඟ කථිකා කොට ඒ ගැටලු රජය වෙත ගෙන ආවේ රජයේ ඒජන්ත ලෙස එහි යැවුණු නෙවිල් ජයවීරය. මෙහි ප්‍රතිඵලය වූයේ සිරිමා අගමැතිනිය නෙවිල් කෙරෙහි පැහැදීමත්, විපක්ෂය ඔහු 'මැතිනිගේ කෙනකු' ලෙස ගැනීමත්ය. මේ පසුබිමෙහි පැවැත්වූ මැතිවරණයෙන් පැවති රජය පරදවා බලයට පත් ආණ්ඩුව නෙවිල් දෙස වපරැසින් බැලීමේ කවර අරුමයක්ද? කෙසේ වෙතත් තියුණු ඇසක් ඇති දේශපාලන‍ඥයකු වූ ජේආර් කාටත් වඩා හොඳින් නෙවිල් නිරීක්ෂණය කළාට සැක නැත.

මැතිවරණයෙන් ජය ගත්තද, පැවති රජයට ගුවන්විදුලියෙන් ලැබුණු විශේෂ සහයෝගය ජේආර්ගේ අවධානයට පාත්‍ර වූ කරුණක් විය. මැතිවරණ වේදිකාවල පවා ඔහු ඒ බව සඳහන් කළේය. මෙහිදී ඔහු නෙවිල්ගෙන් අපේක්ෂා කළේ ලංකා ගුවන්විදුලි දෙපාර්තමේන්තුව භාරගෙන, එය සංස්ථාවක් බවට පත් කිරීමට අවැසි නීති කෙටුම්පත් කිරීමයි. ඒ අනුව සැකසුණු පනත අගමැති ඩඩ්ලි වෙත ඉදිරිපත් කරන ලදුව ඔහුගේ සංශෝධනද සහිතව 1966 අංක 37 දරන පනත ලෙස සම්මත කරගනු ලැබීය. එනයින් 1967 ජනවාරි 5 වැනි දින ස්ථාපනය කරනු ලැබූ ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රථම සභාපති මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාද වූයේ නෙවිල් ජයවීරය.

ඉහළ වෘත්තීය පරිචයක් ප්‍රකට කළ නෙවිල් කෙරෙහි පැවති ගැඹුරු සමාජ දෘෂ්ටිය ඉස්මතු වන්නට වූයේ ඔහු ගුවන්විදුලිය මෙහෙයවන්නට වූ කල්හි යැයි පැවසීමේ වරදක් නැත. මෙහිදී ඔහු දියුණු වෙමින් පවතින රටක් ලෙස ලංකාවට උචිත සන්නිවේදන ආකෘතිය ලෙස හැඳිනගත්තේ 'සංවර්ධන සන්නිවේදනය' යි. 'ජනසන්නිවේදනය' විෂයයක් ලෙස මෙරට සරසවියක නූගැන්වූ එසමයෙහි ඔහු ඒ පිළිබඳ හැදෑරීමට සුදුස්සන් සුදුසු විදෙස් රටවලට යැවීමට පියවර ගත් අතර, විෂය‍ ඥානය තහවුරු කිරීමත්, නව දැනුම අත්පත් කරගැනීමත් අරමුණු කරගෙන ගුවන්විදුලියේ 'පුහුණු හා පර්යේෂණ ඒකකය' පිහිටුවීය. එහිදී පර්යේෂණ අංශ ප්‍රධානියා ලෙස සී. ද ඇස්. කුලතිලක පත් කිරීමත්, වසර පහළොවක් තිස්සේ ගුවන්විදුලියෙන් නෙරපනු ලැබ සිටි සුනිල් සාන්තයන් යළි කැඳවීමත්, කණ්ඩායම් සංගීතය බඳු නව ප්‍රවණතා සඳහා දොරටු හැරීමත් ප්‍රකට කරනුයේ නෙවිල්ගේ දැක්මෙහි පෘථුලත්වයයි.

ජ්‍යෙෂ්ඨ විද්යුත් සන්නිවේදිකාවක වන නන්දා ජයමාන්න පවසන පරිදි නෙවිල් සියයට සියයක නොව, සියයට එකසිය එකක නිරවද්‍යතාවක් අපේක්ෂා කළ පරිපාලකයෙකි. හරිහැටි නොදන්නා කිසිවක් මයික්‍රෆෝනය ඉදිරිපිටදී පැවසීම තහනම් විය. පූර්ව දැනුම්දීමකින් තොරව රාජකාරිය අනෙකකුට පැවරීම මෙන්ම කටයුතු පැහැරහැරීමද ඔහු නොයිවසීය. මේ ප්‍රමිතීන් කඩකරන්නන්ට එරෙහිව ගත යුතු පියවර ගන්නට සේම, ඒවාට අනුගතව කටයුතු කළ අය ඇගයීමටද ඔහු පැකිළුණේ නැත. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනි සුමනා ජයතිලක තමාට වරෙක කෙටි පුවත් ඉදිරිපත් කිරීමට පැවරුණු අවස්ථාවක ලැබුණු පිටපතෙහි, උදෑසන පුවත්පත් මඟින් දුටු පුවතකට පරස්පර විරෝධී පුවතක් ලියා තිබෙනු දැක ඉහළ නිලධරයා දැනුවත් කළ අන්දමත්, එය අත්හැර ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නට උපදෙස් ලද අන්දමත්, පසුව සභාපතිතුමන් තම ක්‍රියාපිළිවෙත ප්‍රශංසාවට ලක් කළ අන්දමත් සිහි කරයි.

ගුවන්විදුලි සන්නිවේදකයන් අනිවාර්යයෙන් ඉංග්‍රීසි බසෙහිද දැනුම් ඇතියන් විය යුතු බව නෙවිල් තරයේ ඇදහීය. මේ සඳහා අත්වැලක් ලෙස ඔහු ගුවන්විදුලි පුස්තකාලය වැඩිදියුණු කළේය. තමා වෙත පෞද්ගලිකව ලැබෙන පොතක් වුව මෙයටම පරිත්‍යාග කරන්නට නෙවිල් පුරුදුව සිටි සැටි ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදි ඩී.එස්. දයාරත්න සිහිපත් කළේ, ළදැඩියකු සේ ප්‍රකට පරිපාලකයා තුළ සිටි සංවේදි මිනිසකුගේ චරිතාංශුවක්ද අනාවරණය කරමිනි. දිගු කලක් ජපානයේ වැස දිවයිනට ආ අලුත දිනක් මහාචාර්ය සරච්චන්ද්‍ර කිසියම් අවශ්‍යතාවකට ගුවන්විදුලියට විත් නික්ම යනගමන් "දැන් ගුවන්විදුලියේ ප්‍රධානියා කවුරුදැයි" විමසා ඇත. නෙවිල්ගේ නම ඇසෙත්ම "හා! මගේ ශිෂ්‍යයෙක්නේ" කියමින් ආපසු හැරුණු ඔහු සභාපතිගේ කුටියට පිවිසුණේය. සරච්චන්ද්‍ර දුටු නෙවිල් වහා හුනස්නෙන් නැඟී සිට ඔහු තමා ඉදිරිපිට ඇති අමුත්තන්ගේ පුටුවක හිඳුවා, තෙමේ පෙරළා නිල අසුනට නොගොස් අමුත්තන්ට වෙන් කළ අනෙක් පුටුවේ හිඳ කතාබස් කළේය. නික්මෙන්නට සූදානම් වූ සරච්චන්ද්‍ර ඒ අලුත නිකුත් වූ තම කෘතියක පිටපතක් අස්සන් කොට, නෙවිල් අත තැබීය. දයාරත්න මහතා දුටුවේ පසුවදාම ඒ පොත ආයතනික පුස්තකාලයේ ඇති අන්දමයි.

තමා සිවිල් සේවකයකු බව සැම විටම සිහියේ තබාගෙන කටයුතු කළ නෙවිල්, රජයේ කිසිදු ප්‍රබලයකුට ගුවන්විදුලියට අතපෙවීමට ඉඩ තැබුවේ නැත. කෙසේ වෙතත් රජයේ සංවර්ධන පුවත් ප්‍රවර්ධනයට ඔහු රාජකාරියෙන් බැඳී සිටියේය. මෙය කවර යුගයක වේවා රජයක විරුද්ධ පාර්ශ්ව ඉවසන කටයුත්තක් නොවේ. 1970 මැතිවරණයෙන් පැවති රජයට අත් වූයේ අන්ත පරාජයකි. ගුවන්විදුලියෙන් නෙරපුණු නෙවිල්ට රජයේ ඒජන්ත ලෙස ඈත පළාතකට යන්නට සිදු විය. රාජකාරි භාරගෙන වසරක් ඉක්ම යන්නට මත්තෙන් රටම ගිනියම් කළ 1971, ජවිපෙ කැරැල්ලට නෙවිල්ට මුහුණ දෙන්නට සිදු වූයේ ප්‍රධාන ගමන් මාර්ග කිහිපයක් කැපෙන මර්මස්ථානයක් වූ වව්නියාවේ සිටය. මෙහි තම අත්දැකීම් ගොනු කරමින් ඔහු තැබූ සටහන් The Vavuniya Diaries: Recollecting the First JVP Uprising, 5th April 1971 - 19th August 1971 නමින් පසුව ග්‍රන්ථාරූඪ කරනු ලැබීය.

මෙනයින් විවිධ අභියෝග මධ්‍යයේ ගත වුණු නෙවිල්ගේ සිවිල් සේවාව 1973දී යාපනය දිසාපති ධුරයට සමුදීමත් සමඟ නිමාවට පත් විය. කෙසේ වෙතත් මේ වනවිට ගෝලීය වශයෙන් ගොඩනැඟී තිබුණු ප්‍රතිරූපය නෙවිල් හට සැබෑ ඉසිඹුවක් උරුම කර දුන්නේ නැත. 1974දී ලංඩනයේ ක්‍රෛස්තව ප්‍රජාවගේ ලෝක සංවිධානයේ පර්යේෂණ සැලසුම් අධ්‍යක්ෂ ධුරය ඔහුට පිරිනැමුණු අතර, 1976-1983 සමයේ බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ මධ්‍යම කලාපීය උපදේශක කමිටුවේ සමාජිකත්වයත්, ලංඩන් අන්තර්ජාතික WACC ගුවන්විදුලියේ භාරකාර ධුරයත් ඔහු අතින් හෙබැවිණි. එකම දරුවා වූ මනෝහාරිගේ අකල් වියොවින් මහත්සේ තැවුණු සිතින් බිරිය ට්‍රික්සි, බෑනණු එඩ්මන්ඩ් හා මුනුපුරු මැක්සිමිලන් සම‍ඟ නෙවිල් මෙසමයේ දිවි ගෙවූයේ එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේය. යළිත් ලක් රජයෙන් ලද ආරාධනය පරිදි 1991-1994 සමයේ පිළිවෙළින් ස්වීඩනය, නෝර්වේ, ඩෙන්මාර්කය හා ෆින්ලන්තය යන රටවල ශ්‍රී ලංකා තානාපති ධුරය හෙබවීමට ඔහුට සිදු විය.

1930 ඔක්තෝබර් 23 දා රොබට්, කොන්ස්ටන්ස් යුවළට දාව බෙන්තොටදී මෙලොව එළිය දුටු නෙවිල් දරුවන් සිව් දෙනකුගෙන් යුත් පවුලේ තෙවැන්නා විය. ශා.තෝමස් හා ශා.පීතර විදුහල්වලින් අධ්‍යාපනය සපිරූ හෙතෙම 1955දී සිවිල් සේවයට එක් වන්නේ පේරාදෙණිය සරසවියෙන් දර්ශනය පිළිබඳ උපාධිය හිමි කරගැනීමෙන් අනතුරුවය. බදුලු, නුවරඑළි, වවුනියා හා යාපන දිස්ත්‍රික්වල දිසාපති ධුරය හොබවමින්, ගුවන්විදුලි සංස්ථා ව්‍යවස්ථාව කෙටුම්පත් කරමින් නොනැවත එහි ආරම්භක සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාද වෙමින් මෙහෙවරක යෙදුණු නෙවිල් ජයවීර මැයි17දා මියයන තෙක්ම ඔහු විසූයේ කෙන්ට්හි නිවෙසෙහිය.

 

Comments