ධනවත් සංචාරක රැල්ලට අපේ වැල්ලත් හසුවන හැඩ | Page 3 | සිළුමිණ

ධනවත් සංචාරක රැල්ලට අපේ වැල්ලත් හසුවන හැඩ

ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තට ගිය අවුරුද්දේ අප්‍රියෙල් මාසය අප්‍රියජනක මාසයක් වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරය නිසාය. එයින් පසුව බලාපොරොත්තු නොවූ ඉක්මනකින් පිබිදුණු අපේ සංචාරක කර්මාන්තයට මේ අප්‍රියෙල් මාසය සංචාරක කර්මාන්තයෙන් ජීවිතය රැක ගන්නන් හතුරකුටවත් නොම වෙන්නට පතන තරමේ වාර්තා ගත ලෙස අප්‍රිය වු මාසයක්ම විය. එයට හේතුව වූයේ සංචරණ ඉතිහාසයේ කිසිදු සංචාරකයකු මේ පොළොවට පය නොතැබූ මාසයක් වීමය. එයට හේතුව නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසයයි. මෙම වයිරසය ලෝකයේ සෑම සීමාවක්ම පවුරක්ම බිඳ හෙළා ඇත.

එහෙත් අපට මේ කටුක අප්‍රියෙල් ඉතිහාසය සමරමින් ගත කරමින් හූල්ලන්නට ඉඩක් නොතබා වාසනාව කැන්ඳන රිදි රේඛා තැනින් තැන පායා එයි. පසුගියදා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය මේ ගැන අල්ජසීරා රූපවාහිනි නාලිකාවේ ඉන්සයිඩ් ස්ටෝරි වැඩසටහනට සහභාගී වෙමින් පැවසූයේ යුරෝපයේ ඇතැම් රටවල් සහ ඉන්දියාවේ සුපිරි ධනවතුන් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් හිඳින බවය. මේ සියලුම සංචාරකයන් ධනවත් ඉහළ පන්තියේ අය බව සංචාරක නියෝජිතයන් හරහා සන්නිවේදනය වූ කරුණක් බව ඇය මෙහිදී ලෝකයටම හෙළි කළාය. එය සැබැවින්ම ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් වැනිය.

ඇයගේ මේ කතාව හුදු හිතලුවක් නොවන බව තහවුරු කරන තවත් වාර්තාවක් පසුගියදා ජාතත්‍යන්තර ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය. එය සඳහන් කළේ ලෝකයේ සුපිරි පන්තියේ සංචාරකයන් මෙහෙයවන සමාගමක් වන බ්ලැක් ටොමැටෝ සමාගම විසින් කොවිඩ් 19 වසංගතයෙන් පසුව වසර 2020 වසර අවසානයේ සහ 2021 වසරේ ලෝකයේ ඉහළ පෙළේ සංචාරකයන් අතර වැඩිම ඉල්ලුමක් නිර්මාණය වන පෞද්ගලික වෙරළ තීර නිවාඩු සඳහා සුදුසුම රටවල් අතරට ශ්‍රී ලංකාවද එක් කර තිබුණේය.

මේ පිළිබඳව ෆෝබ්ස් සඟරාවට ලියන්නේ එහි ජ්‍යෙෂ්ඨ සංස්කාරකවරියක මෙන්ම පළපුරුදු සංචාරක තොරතුරු ලේඛිකාවක වන ඈන් ඇබෙල්ය. ඇය පවසන ආකාරයට මෙම වසංගතයෙන් පසුව එළැඹෙන ශීත සහ සරත් සමයන් යුරෝපයේ සංචාරකයන් වැඩි වශයෙන් සුභෝපබෝගී නිවාඩු සොයා විවිධ ගමනාන්ත වෙත ඇදීම නිසැක බවය. මේ ප්‍රවණතාව තවවත් වැඩි කරන සාධකයක් වී ඇත්තේ මේ ලොක්ඩවුන් මානසිකත්වයෙයි.

ලොක් ඩවුන් කාලසීමාවෙන් පසුව පිබිදෙන සංචාරක වෙළෙඳපොල තුළ වැඩි ඉඩක් මෙම ඉහළ වියදම් කිරීමේ හැකියාවක් ඇති සංචාරකයන් විසින් අත් පත් කර ගනු ඇත. එමෙන්ම දැනට ඔවුන් සිටින දැඩි මානසික පීඩනයෙන් මිදීමේ අවශ්‍යතාවයි. අනෙක ඔවුන් වෙසෙන පරිසරයෙන් වියුක්තව සිටීම් අවශ්‍යතාවයි. තවමත් ගුවන් සේවා සුපුරුදු රිද්මයට නොපැමිණ තිබුණද මෙම සංචාරකයො මේ වනවිටත් ඔවුන්ගේ අනාගත සංචාරක සැලසුම් සකස් කරමින් සිටිති. ඒ අතර ලෝකයේ සුපතල සුවදායක වෙරළතීර සොයා යාම අනිවාර්යයෙන්ම සිදුවන්නකි.

මෙම සුපිරි සංචාරකයන් හුදෙක් බැක් පැකර්ස්ලා හෝ පෞද්ගලිකව සංචාරය කරන්නෝ වෙති. ඔවුන් බොහෝ විට තම සුභෝපබෝගී නිවාඩුව සඳහා ලෝකයේ නමක් රැඳුණු සංචාරක නියෝජිතයන් සමඟ සම්බන්ධ වෙති. විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයන් මෙසේ සංචාරක නියෝජිතයන් සමඟ තම සංචාර සැලසුම් කරන අතර බ්ලැක් ටුමාටෝ නම් සංචාරක නියෝජිතායතනයද එවැනි විමසුමට ලක් වන ලෝක ප්‍රකට එකකි.

එහි සම නිර්මාතෘ ටොම් මාර්චාන්ට් කොවිඩ් ලොක්ඩවුන් ජීවිතයෙන් පසු සංචාරක පිපාසය සංසිදුවා ගන්නට සැරසෙන සංචාරකයන් ට පහසුව පිණිස අසිමිත ඉඩක නිදහස මැයෙන් the freedom of unlimited space සංචරණයට සුදුසු සීමා රහිත බිම් නම් කළේය. මෙම සීමා රහිත බිම් කොරොනා වසංගතයෙන් පසු කාගේත් ආකර්ෂණයට නිසැකවම ලක් වන්නේ මේ වනවිට බොහෝ දෙනා එකිනෙකාගෙන් ඈත් වි පෞද්ගලිකව ජීවිතය විඳීමේ දැඩි වුවමනාවකින් පෙළෙන නිසාය. මෙවැනි අසිමාන්තික අවකාශ සොයන අයට මුහුදු වැල්ල සහ නිල් අහස එකවර විඳිය හැකි සුන්දර වෙරළ තීර තරම් තවත් දෙයක් නැත. ලෝකයේම සංචාරකයන් අතර මෙවැනි වෙරළ තීරවලට ඇත්තේ දැඩි ඉල්ලුමකි.

මෙවැනි පෞද්ගලික ව තම නිවාඩුව විඳිය හැකි වෙරළ තීර සහිත රටවල් ලයිස්තුවක් සකස් කරන ටොම් මර්චානාට් එහි ශ්‍රී ලංකාවට වෙසෙස් තැනක් දෙයි. ඔහු පවසන්නේ පසුගිය වසරේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එහි පීඩා දරාගෙන සිටි ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යළිත් පිබිදෙන පසුබිමක පැවති බවයි. ඊළඟ සැලසුම් කරන ලද සංචාරයන්හිදී ශ්‍රි ලංකාව විශේෂ අත්දැකීම් ගෙන දෙන රටක් ලෙස බ්ලැක් ටොමැටෝ සංචාරක සමාගමේ හිමිකරුවා සඳහන් කරයි.

තවමත් සාපේක්ෂව සංචාරකයන් ඇදීම අඩු පසුබිමක් තුළ ශ්‍රි ලංකාවේ සංචාරය වඩාත් ප්‍රිය ජනක විය හැකි බවද ඔහු පවසා තිබුණි. බ්ලැක් ටොමැටෝ සමාගම එහි අමන්වැල්ල සහ කැෆේ වැලිගම යන හොටල්ද්වය තම ගනුදෙනුකරුවන්ට නිර්දේශ කොට තිබුණි.

මෙවැනි සංචාරක සමාගම් ප්‍රධානියකුගෙන් ශ්‍රී ලංකාවේ වෙරළ තීර සහ නිවාඩු පිළිබඳ ඇගයීමක් ලැබීම සෘජුව සහ වක්‍රව මෙරට සංචාරක ක්ෂේත්‍රයට බලපාන කරුණකි. එයින් ශ්‍රී ලංකාවේ නිවාඩුවක් පිළිබඳව විශේෂයෙන් යුරෝපීය සංචාරකයන්ගේ මනසට යම් උත්තේජනයක් සපයයි. විශේෂයෙන් අදාළ ප්‍රජාව අතර කීර්තියක් උසුලන පුද්ගලයකුගෙන්, වෙබ් අඩවියකින් හෝ සඟරාවකින් එවැනි ඇගයීමක් පසුපස විශාල වෙළෙඳපොළ අවස්ථාවක් ඇත. මෙරට විසූ ලෝ පතළ විද්‍යා ප්‍රබන්ධ ලේකන ශ්‍රිමත් ආතර් සී ක්ලාක් ට තම නිවාඩුව ගත කිරීමට හික්කඩුවේ පෞද්ගලික නිකේතනයක් තිබුණි. ඔහු කිමිදීම ප්‍රිය කළ අතර හෙක්ටර් ඒකනායක, රොඩ්නි ජොන් ක්ලාස් වැනි සගයන් සමඟ තම කිමිදුම් ජීවිතය වින්දේ එහිදීය. මේ බව එකල බොහෝ විදේශීය සංචාරක ප්‍රකාශනවල ලියවුණු අතර ඒ පසුපස මෙරට සංචාරක ව්‍යාපාරය හොඳ වර්ධනයක් ලැබුවේය.

යුරෝපීය සංචාරකයන් මෙලෙස ශ්‍රෙී ලංකාවේ නිවාඩුවක් පිළිබඳව උනන්දු වෙද්දී අසල් වැසි ඉන්දියානු ධනපතියන්ද ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව නිරන්තර උනන්දුවෙන් පසුවන බව පැසෙයි. මේ දිනවල ගුවන් සේව නිසි ලෙස ක්‍රියාත්මක නොවන පසුබිමක් තුළ ඔවුන්ගේ පෞද්ගලික ජෙට් යානාවලින් පැමිණීමට ඔවුහු බලාලොරොත්තුව සිටිති. මේ වනවිට කොවිඩ් 19 වසංගතය ඉන්දියාවට පුරා දරුණු ලෙස පැතිරීමත් ඊට සාපෙක්ෂව ශ්‍රී ලංකාව ආරක්ෂිත වීමත් තුළ ඔවුන් ශ්‍රී ලංකාව ගැන උනන්දු ටවති. පවුල් පිටින් මෙහි පැමිණ සෞඛ්‍යාරක්ෂිතව රැඳී සිටිමින් ඔවුන්ගේ ව්‍යාපාර මෙහෙයවීම පිළිබඳව ඔවුන් සිතන බවයි මේ පිළිබඳව සිළුමිණට කරුණු හෙළි සංචාරක නියොජිතයකු ප්‍රකාශ කළේ.

කෙසේ වුවද සංචාරක සභාපතිනිය කිමාලි ප්‍රනාන්දු මහත්මිය පසුගියදා අල්ජසීරා රූපවාහිනියට ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව කෙරෙහි ලොව පුරා ඇති හැකි සංචාරකයන් උනන්දු වීම කළු වලාවේ රිදී රේඛාවක් බවය. එසේ වුවද කොවිඩ් 19 වයිරසය පාලනය කර ඇති පසුබිමක එය තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත රටක් බවට පත්කිරීමේ මූලික සෞඛ්‍යමය මඟ පෙන්වීම් අනුව කටයුතු කළ යුතු ය. මෙම පිළිවෙත් අනුව ශ්‍රී ලංකාවේ සංචාරක බලධාරීන්ද බලාපොරොත්තු වන්නේ මුල් අදියරේදී ශ්‍රී ලංකාව බලාටපාරොත්තු වන්නේ සාපෙක්ෂ්ව දිගු කාලයක් රැඳී සිටින සංචාරකයන් සම්බන්ධයෙන් බවය. ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර කොවිඩ්වලින් තොර බවට සෞඛ්‍ය සහතිකය අනිවාර්ය වන අතර ශ්‍රී ලංකාවට පැමිණි පසුව දින 14ක නිරෝදායනට ලක් විය යුතු වේ.

එයින් පසුව ඔවුන්ට මෙරට සංචාරය කළ හැකිය. දිගු නිවාඩුවක් සැලසුම් කරන සහ යහමින් වියදම් කළ හැකි සංචාරකයන්ට මෙම ගමනාන්තතය බාධාවක් නොවනු ඇත. කෙසේ වුව ද වසංගතයේ අනාගත හැඩරුව අනුව පෙනී යන්නේ එය කෙමෙන් ජනතාව අතරින් ඈත්වීමේ ඉඩක් ඇති බවය. එසේ වුහොත් සංචාරක ව්‍යාපාරයට සුපුරුදු රිද්මයට පා තැබිය හැකිය.

එවැනි අවස්ථාවදී ලෝකයෙන් ශ්‍රී ලංකාව පිළිබඳව ලැබෙන ඇගයුම් ඩොලර් මිලියන ගණනක් වැය කොට සිදු කරන ප්‍රවර්ධනයෙන් ලැබිය නොහැකි තරම් ඉහළ වටිනාකමක් දරනු ඇත.

Comments