දැනුම වැඩුම | සිළුමිණ

දැනුම වැඩුම

පච්චා කෙටූ විට මිනිස් සම ඉවත්ව ගියද එය පවතින්නේ කෙසේද?

 

දුලන්ති රත්නායක - මාතර

 

චර්මය සහ අපිචර්මය ලෙස මිනිස් සම කොටස් දෙකකය බෙදෙනවා. මෙයින් මතුපිට සම අපිචර්මය ලෙසත් යටි සම් ස්ථරය චර්මය ලෙසත් හඳුන්වනවා. මාස තුනක් හයක් පමණ කාලයේදී අපිචර්මීය සෛල මියගොස් නව සෛල වර්ධනයවීම සිදුවේ. මෙලෙස වර්ධනය වූ අපිචර්මය ව්‍යවහාරයේදී නව සමක් ලෙස හඳුන්වයි. ස්නානය කරන විට කුණු ලෙස ගැලවී ඉවත්ව යන්නේ මියගිය අපිචර්මීය සෛලයි. පච්චා කොටන විට තීන්ත මිශ්‍රණයක් යටි හම තෙක් කාවැද්දීම සිදු වේ.මෙහිදී එහි සළකුණ සටහන් වන්නේ අපිචර්මයට ඇතුළතින්. එමනිසා අපිචර්මය ඉවත් වන විට මෙම පච්චා සළකුණ ඉවක් වන්නේ නැහැ. ඇතැම් විට එහි මූලිකව තිබූ තද පැහැය අඩුවන්නට පුළුවනි.

 

අකුණු ඇති වන්නේ කෙසේද?

 

අමන්දි වික්‍රමාරච්චි - ගම්පහ

 

වැසි සහිතව හෝ වැසි රහිතව අකුණු ඇතිවන අවස්ථා තිබේ. අකුණු මගින් ඇතැම් විට ජීවිත හානි මෙන්ම දේපොළ හානිද සිදු වෙයි. අකුණු ඇතිවන්නේ වළාකුළු මත ඇති වන ස්ථිති විද්‍යුත් ආරෝපණ හේතුවෙනි. පිරිමැදීම හෝ එකට ඇතිල්ලීම නිසා ද්‍රව්‍ය මතුපිට හටගන්නා විද්‍යුත් ආරෝපණ ස්ථිති විද්‍යුත් ආරෝපණ නම් වෙයි. වලාකුළු මත ඇති කුඩා ජල බිඳිති එකිනෙක ගැටීම නිසා ඒ වායේ ස්ථිති විද්‍යුත් ආරෝපණ හටගනී. මෙලෙස වළාකුළු මත ස්ථිති විද්‍යුත් ආරෝපණ රැස්වීම නිසා ආරෝපිත වළාකුළු අති වේ. ආරෝපිත වළාකුළුවල එක් රැස් වන විද්‍යුත් ආරෝපණ විදුලි පුළිගුවක් ලෙස වෙනත් වළාකුළු වෙත හෝ පොළොව වෙත පැනීමෙන් අකුණු ඇති වේ.

 

වයස් ගත වන විට හිසකෙස් සුදු වන්නේ ඇයි?

 

දිලිනි සමරසිංහ - උඩුගම්පොළ

 

කෙස් ගසකට කළු පැහැය ලැබෙන්නේ මෙලනින් නම් වරණකය හේතුවෙනි. මෙම මෙලනින් කණිකා නිපදවන්නේ කෙස් ගස මුල ඇති විශේෂ සෛල වර්ගයකනි. මෙම සෛල මිය යාම නිසා මෙලනින් කණිකා නිපදවීම නතර වේ. එවිට කෙස් ගස සුදු පැහැ ගැන්වේ. හිස කෙස් මළ ද්‍රව්‍යයක් නිසා ඒ තුළන් කිසිවක් ගමන් නොකරයි. එනිසා කෙස් එකවරම සුදු නොවේ. කෙස් ගස මුල සිට ක්‍රමක්‍රමයෙන් සුදුවීම සිදු වේ. මහලු වියට පත්විමේ දි ස්වභාවිකවම මේ සෛල මිය යයි. හිස කෙස් සුදුවීම මහලු අය අතරේ වැඩිපුර දක්නට ලැබෙන්නේ එනිසා වේ. මීට අමතරව මෙලනින් කණිකා නිපදවන සෛලවලට අවශ්‍ය පෝෂණ සංඝටක නොලැබීම, නිසියාකාරව රුධිරය නොලැබීම,පීනස,හොරි වැනි තත්තව අකාලයේ මෙම සෛල මිය යාමට හේතු වෙයි.ඇතැම් විට ප්‍රවේණි ගත රෝගයක් ලෙස ද මෙම තත්ත්වය දක්නට හැකියි.

 

ශාක පත්‍ර කහ පැහැවන්නේ ඇයි?

 

අනුෂිකා දසනායක - වාරියපොළ

 

ශාක පත්‍රයක් වර්ණවත් වන්නේ හරිතප්‍රද සහ කැරටිනොඩ් වර්ණක හේතුවෙනි. හරිතප්‍රද කොළ පහැයෙන් යුතු අතර කැරටිනොඩ් කහ පැහැය ගනී. මෙයින් හරිතප්‍රද නිර්මාණය වීමට මැග්නීසියම් ලවණ අවශ්‍ය වේ.

නමුත් පසක මැග්නීසියම් හිඟ වේ.එනිසා ශාක පත්‍ර මිය යන විට හරිතප්‍රදවලඇති මැග්නීසියම් අයන නැවත ශාකයට උරා ගැනීම සිදුවේ. එවිට හරිතප්‍රද බිඳවැටී ශාක පත්‍රය වසා පැතිරීතිබූ කොළ පැහැය ඉවත් වේ. එවිට එතෙක් කොළ පැහැයෙන් වැඩී තිබූ කහ පැහැය නිරාවරණය වෙයි.

 

පක්ෂින්ගේ මළපහ මත සුදුපාට පටලයක් වැනි යමක් දක්නට ලැබෙන්නේ ඇයි?

 

එරංග රත්නායක - වේයන්ගොඩ

 

මිනිසා සහ බොහෝ ක්ෂිරපායීන්ගේ මුත්‍ර ලෙස බැහැර කරන නයිට්‍රජනීය අපද්‍රව්‍ය වන්නේ යූරියා නම් ද්‍රව්‍යයකි. මේවා ජලයේ දියවෙන නිසා යම් ජල ප්‍රමාණයක් ද ඒ සමඟ පිටවේ. නමුත් පියෑඹීමේ දී සිරුර සැහැල්ලු ලෙස තබාගත යුතු නිසා පක්ෂීන් පානය කරන ජල ප්‍රමාණය අඩු වේ. මේ නිසා පක්ෂීන්ගේ මුත්‍ර ලෙස පිට වන්නේ ජලයේ දිය නොවන යූරික් අම්ලයයි.

පක්ෂීන්ගේ මළ හා මුත්‍ර පිටවන්නේ එකම මාර්ගයකිනි. එනිසා මළ පිට වෙන විට අද්‍රාවී යූරික් අම්ලය සුදු පැහැති පටලයක් ලෙස මළ මත දක්නට ලැබෙයි. පක්ෂීන් ළැඟුම් ගන්නා ගස් යට, වාහන වීදුරු මත සුදුපැහැ පැල්ලම් දක්නට ඇත්තේ මේ නිසයි.

Comments