තාරුණ්‍යයේ මහ ගෙදරින් වගා සංග්‍රාමයක් | සිළුමිණ

තාරුණ්‍යයේ මහ ගෙදරින් වගා සංග්‍රාමයක්

ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්‍ෂ ජනරාල් තෙෂාර ජයසිංහ

කොවිඩ් 19 ගෝලීය වසංගතයේ අඳුරු සෙවණැලි අතර ජීවත් වීම හැමදාමත් කළ නොහැක්කකි. ඒ අඳුර අතරින් අරුණලු දකින්නට හැකි නම් තවදුරටත් අප මෙම වසංගතයේ උරුමකරුවන් නොවනු ඇත. කොවිඩ් 19 පරදා රට යළි නැඟී සිටිමින් සිටින මොහොතක මෙරට ජනගහනයෙන් හතරින් එකක් පමණ වන තරුණ පරපුරට ඒ පිළිබඳ විශේෂ වගකීමක් පැවරී තිබේ. කොවිඩ් 19 වසංගතය සමස්ත ලෝකයාටම ඉතිරි කර යන යන අනාගත අභියෝග අතර රැකියා වියුක්තිය සහ ආහාර හිඟය මෙරට තරුණ පරපුරට ද අභියෝග ගණනාවක් නිර්මාණය කරනු ඇත. අභිමානවත් තාරුණ්‍යයක්, සෞභාග්‍යවත් හෙටක් උදාකරලීම සඳහා කැපවී සිටින තාරුණ්‍යයේ මහ ගෙදර, ජාතික තරුණ සේවා සභාව එම අභියෝග ජයගැනීමේ අභියෝගයට සූදානමින් සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය සමඟ පෙරට යමින් රටේ සංවර්ධනයට උරදෙන ජවසම්පන්න තරුණ පරපුරක් බිහිකිරීමට තාරුණ්‍ය බලගැන්වීම ජාතික තරුණ සේවා සභාවේ මුඛ්‍ය අභිප්‍රායයි. ඒ වෙනුවෙන් එහි සභාපති, අධ්‍යක්‍ෂ ජනරාල් තෙෂාර ජයසිංහ මහතාගේ මූලිකත්වයෙන් මේ වන විටත් වැඩසටහන් රාශියක් සැලසුම් කර තිබේ.

ලොව පුරා පැතිරී යන කොවිඩ් 19 වසංගතය හමුවේ ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයට පිළියම් වශයෙන් ශ‍්‍රී ලාංකේය තරුණ තරුණියන් වගා කටයුතු සඳහා උනන්දු කරවීමේ අරමුණින් ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලබන 'අපේ ගෙවත්ත' නම් දීපව්‍යාප්ත ගෙවතු වගා තරගය එවැනි විශේෂ වැඩසටහනකි.

ස්වයං භාවිත කෘෂි කාර්මික රටාවක් නිර්මාණය කර ගැනීම සඳහා ශ‍්‍රී ලාංකේය තාරුණ්‍යයට ආදර්ශයක් ලබා දීමේ අරමුණින් ජාතික තරුණ සේවා සභාව දිවයින පුරා පිහිටි සිය දිස්ත‍්‍රික් හා පළාත් කාර්යාල, තරුණ මධ්‍යස්ථාන හා ගොවිපළ මධ්‍යස්ථාන අතර මෙම තරගය පවත්වනු ලැබේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නිරෝධායන ඇඳරි නීතිය තුළ නිවෙස්වලට සීමා වූ තරුණ පරපුර පසුගිය දිනවල වැඩි වශයෙන් ගෙවතු වගාව සඳහා යොමු වූහ. එම ප්‍රවණතාව රටේ ඉදිරි කෘෂිකාර්මික අභියෝග ජයගැනීම සඳහා උපයෝගී කර ගැනීමේ අරමුණින් ජාතික තරුණ සේවා සභාව 'අපේ ගෙවත්ත' ගෙවතු වගා තරගය සැලසුම් කර ඇත. කොවිඩ් 19 වයිරසය පැතිරීම වැළැක්වීමට අනුගමනය කරන සමාජ දුරස්ථභාවය එලෙසම තබාගනිමින් සහ තරුණ පරපුරට සමීප තාක්ෂණ භාවිතය තුළින් මෙම ගෙවතු තරගය සඳහා සහභාගි වීමට පහසුකම් සලසා තිබීම විශේෂත්වයකි.

වයස අවුරුදු 15 - 29 ත් අතර පසුවන ශ‍්‍රී ලාංකේය තරුණ තරුණියන්ට www.nysc.lk / gar සහ Face Book වෙත පිවිසීමෙන්මෙම ගෙවතු තරගය සඳහා ලියාපදිංචි විය හැකිය. එමෙන්ම ප්‍රදේශයේ තරුණ සේවා නිලධාරි මාර්ගයෙන් හෝ තරුණ සේවා කාර‍ෙයාලයට පැමිණීමෙන් ද ඒ සඳහා ලියාපදිංචි විය හැකිය. 2020 මැයි 31 දා දක්වා අයැදුම්පත් බාර ගන්නා අතර අවසාන වටයේදී තෝරා ගන්නා 'හොඳම අපේ ගෙවත්ත' සඳහා ප‍්‍රාදේශීය, දිස්ත‍්‍රික් හා ජාතික මට්ටමින් ජයග‍්‍රාහකයන් 360 දෙනෙකු තෝරාගැනීමට ද නියමිතය.

ජයග්‍රාහකයන්ට රුපියල් 10,000 සිට රුපියල් 100,000 දක්වා මුදල් ත්‍යාග පිරිනැමීමටත් තරගයට සහභාගී වන සියලු දෙනාට සහතිකයක් පිරිනැමීමටත් කටයුතු යොදා ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්‍ෂ ජනරාල් තෙෂාර ජයසිංහ මහතා පැවසීය. ඊට අමතරව තරගයේ ජයග‍්‍රාහකයන්ට කෘෂි කටයුතු ක්ෂේත්‍රයේ විශේෂඥයන් මාර් ගයෙන් සතියක නේවාසික පුහුණුවක් ලබා දීමට ද අපේක්ෂා කෙරේ.

මෙම වගා සංග‍්‍රාමය තුළින් ජයග‍්‍රහණය කරනු ලබන කාර් යාල සඳහා මූල්‍යමය ත්‍යාග පිරිනැමීමත් ඒ තුළින් ගෙවතු වගාවන් ආරම්භ කිරීමට සේවකයන් තුළ උත්තේජනයක් ඇති කිරීම හා තරුණ ගෙවතු වගා කරුවන්ට ආදර්ශයක් ලබාදීමත් ජාතික තරුණ සේවා සභාවේ අපේක්ෂාවයි. සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ රජයේ අභිලාෂයට දායක වීමේ අදිටනින් ශ‍්‍රී ලංකාව පුරා අක්කර 196 ක භූමි ප‍්‍රමාණයක් අස්වැද්දීම ජාතික තරුණ සේවා සභාවේ අපේක්ෂාව වන අතර ඒ සඳහා මෙම ගෙවතු වගා තරගය කදිම ප්‍රවිශ්ටයක් වනු නිසැකය.

තරගය සඳහා සහභාගි වීමට තරුණ තරුණියන් දිරිමත් කරනු ලබන දක්ෂතම තරුණ සේවා නිලධාරීන්, දිස්ත‍්‍රික් තරුණ සේවා නිලධාරීන්, සහකාර අධ්‍යක්‍ෂවරුන් හා පළාත් අධ්‍යක්‍ෂවරුන් ඇගයීමද මෙම ගෙවතු වගා වැඩසටහන තුළින් සිදුවේ. තරගය පිළිබඳ සියලු විස්තර සහ තරග කොන්දේසි වෙඩ් අඩවියෙන් සහ තරුණ සේවා නිලධාරීන් මඟින් ලබාගත හැකිය.

'අපේ ගෙවත්ත' ගෙවතු වගා තරගය තුළින් බලාපොරොත්තු වන අරමුණු පිිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින් සභාපති, අධ්‍යක්‍ෂ ජනරාල් තෙෂාර ජයසිංහ මහතා පැවසුවේ තිබෙන සම්පත්වලින් උපරිම කාර්යක්ෂමතාව ලබාගනිමින්, තාක්ෂණය, හිරුඑළිය සහ භූමියේ ඉඩකඩ භාවිත කරනු ලබන ආකාරය පිළිබඳ මෙම තරගයේදී විශේෂයෙන් සැලකිලිමත් වන බවයි. එමෙන්ම මෙම ගෙවතු වගා තරග විනිශ්චයේදී වැඩි අස්වැන්නක් සහිත ගෙවතු, කාබනික පොහොර භාවිතය, වසවිසෙන් තොරව එළවළු හා පලතුරු නිෂ්පාදනය කරනු ලබන ක්‍රියාවලිය පිළිබඳ ද වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.

මේ වන විටත් විවිධාකාරයෙන් ගෙවතු වගාවට යොමු වී ඇති තරුණ ප්‍රජාවගේ ගෙවතු වගා ජාතික තරුණ සේවා සභාවේ නිරීක්ෂණයට යොමුව ඇති අතර එහිදී බැල්කනි සහ වහල මත පවත්වාගෙන යන වගාවන්, ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම, කාබනික පොහොර භාවිතය තුළින් වස විස නැති පලතුරු සහ එළවළු වගාවන් ඒ අතර සුවිශේෂී වේ.

ගෙවතු වගාව කෙරෙහි තරුණ පරපුර තුළ ඇති එම උද්යෝගය මෙම ගෙවතු වගා සංග්‍රාමයට ආශිර්වාදයක් බවත් ඉදිරියේදී ජාතික තරුණ සේවා සභාව සතුව පවතින වගා නොකරන ලද ඉඩම් සංවර්ධනය කර වගා කිරීමෙන් විශාල ආදායමක් උපයාගැනීමට හැකිවනු ඇති බවත් සභාපතිවරයාගේ විශ්වාසයයි.

ජාතික තරුණ සේවා සභාව ආරම්භ කර දශක කිහිපයක් ගතවී තිබුණද එය කල්ඉකුත් වූ ආයතනයක් බවට පත්වීමට ඉඩ නොදී කාලයේ තාලයට හැඩ ගැසෙමින් තාරුණ්‍යයේ චින්තනයට සහ භාවිතයට අවශ්‍ය මඟ පෙන්වීම ලබාදීම සිය අරමුණ බව ද ජාතික තරුණ සේවා සභාපති, අධ්‍යක්‍ෂ ජනරාල් තෙෂාර ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. 'අපේ ගෙවත්ත' ගෙවතු වගා තරගය එම ප්‍රයත්නයේ එක් පියවරක් පමණක් වන බව පැවසූ සභාපතිවරයා ඉදිරියේදී තරුණයන් නවෝත්පාදනය හා ව්‍යාපාරකරණය සඳහා යොමුකිරීමට පියවර ගන්නා බව ද පැවසීය.

උපන් බිමට බරක් නැති සිය දෙපයින් ජීවිතය ජයගත් ජවසම්පන්න තරුණ පරපුරක් බිහිකිරීමට ජාතික තරුණ සේවා සභාවේ 'අපේ ගෙවත්ත' ගෙවතු වගා තරගය රුකුලක් වනු දැකීම ජාතියේ පැතුමයි. ඔබත් හෙට දින අභියෝගවලට මුහුණ දීමට කැමති ජවසම්පන්න තරුණයකු, තරුණියක නම් 'අපේ ගෙවත්ත' ගෙවතු වගා තරගය සඳහා එක්වීමේ ඉඩ ඔබටත් විවෘතය.

ටි.අනිල් සිරිවර්ධන

Comments