ගිංගගේ විලාපයෙන් වේවුලුම් කන ලංකාගම මිනිස්සු | Page 2 | සිළුමිණ

ගිංගගේ විලාපයෙන් වේවුලුම් කන ලංකාගම මිනිස්සු

කොරෝනාවෙන් අසරණව සිටියදී කොරේ පිටට මරේ කීවාක් ලෙස ගංවතුර හා අධික සුළං වලින්ද අපි බැටකමින් සිටින්නෙමු. මිලිමීටර් 200 ක වැඩිම වර්ෂාපතනයෙන් බැට කෑ ලංකාගම කවදත් ගංවතුර අනතුරෙන් පීඩා විඳින ගම්මානයකි. නමුත් වෙනදාට වඩා සිය දේපොළ බේරා ගැනීමට ඒ ගම්මාන වැසියන්ට හැකි වූයේ මෙවර දහවල් කාලයේ ගංවතුර ආ නිසාය.

ගිංගඟ වරෙක මොරවක් කෝරලේ සහ හිනිදුමපත්තුවේ ජීවත් වන අහිංසක ගැමියන්ට ආශිර්වාදයක් වන අතරම වරෙක ප්‍රචණ්ඩ රුදුරු රකුසකු ලෙසින් ඒ ජනතාවගේ සේසතම හිත් පිත් නැතිව විනාශ කරන්නේය. වරෙක අහිංසකව ගලා බසිමින් ගිංගඟේ මිටියාවතේ වෙසෙන ගැමියන්ට සතුට සොම්නස හා සශ්‍රීකත්වය ගෙන දෙන අතර; විටෙක මහා දුක්බර අනුවේදනීය අවස්ථාද ළඟාකර දීමට මේ ගිංගඟම පසුබට නොවේ.

වසර පුරාම නිරන්තර වැසි ලැබෙන හිනිදුමපත්තුවේ වැසියන්ට වැස්ස මහත් ආශිර්වාදයකි. ඒ ප්‍රධාන ආදායම් මාර්ගය තේ වගාව වන අතර වැසි ලැබුණ විටදී ළා වන් තේ දල්ල ගස්වලින් මතුවීමට රුකුලක් වන හෙයිනි. මේ වැසියෝ වර්ෂාවට ගරුකරන්නේ ඉමහත් භක්තියෙනි.

දෙවැනි ආදායම් මඟ වන වී ගොවිතැන වැඩි වශයෙන් සිදු කරනුයේ අහස් දියෙනි. මේ නිසාම හිනිදුමපත්තුවේ වැසියන්ට වැස්ස මෙන්ම ගිංගඟේ ගංවතුරද ඔවුනට උරුම දායාදයක් බඳුය. ගිංගඟ සැමදාම අනුකම්පාවක් නොදක්වන බව මේ ගැමියෝ හොඳාකාරවම දනිති.ඔවුන් දහදිය වගුරවමින් හරිහම්බ කළ ගේ දොර ඉඩ කඩම් මෙන්ම වටිනා ජීවිතද වරින් වර අහිමි කළද මේ ගැමියෝ අදටත් ගිංගඟ සමඟ අමනාප නොවෙති; වෛර නොකරති. මන්ද ඔවුන්ගේ අහිමි වූ, අහිමි කළ දේපළ වලට වටිනාකම්ද අලුත් කිරීමට උදව් වන්නේ ද මේ ගිංගඟම නිසාවෙනි.

2003. 05. 17 දිනය එදා මුළු මහත් නෙළුව නගරයම ඇතුළු නගර පහක් බිමට සමතලා කරමින් මීට වසර 17 කට ඉහතදී ගිංගඟ අඩි විස්සක් ඉහළට නැඟුණි.. සිදු කළ හානියට ලක්ෂ ගණනින් වන්දි මුදල් ලබාගෙන තමන්ට අහිමි වූ දේපළ නැවත ගොඩනගා ගැනීමට හැකි විය. එසේ ගොඩනගා ගත් දේපළ නැවත වරක් 2017. 05. 27 වැනි දින ගිංගඟ දෙගොඩ තලා යෑමෙන් හිනිදුමපත්තුවේ වැසියන්ට තමන් උපයා සපයා ගත් දේපළ නැවත වරක් අහිමි කළේ ගිංගඟ අඩි 15 – 18 තරම් උසට නංවමිනි. මේ වසරවල ඉහළ නැඟුණු ගිංගඟේ ගං වතුර එදා නෙළුවේ ජනතාව හැඳින්වූයේ ගං වතුර නොව පිං වතුර කියාය. රජයෙන් සහ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ආධාර ගංවතුරට යට වූ යට වඩා ගංවතුරට හසු නොවූ පුද්ගලයන්ගේ අතට පත්වීම නිසා ඔවුන් මේ ගංවතුර පිංවතුර සේ හැඳින්වීමට පුරුදුව සිටියහ.

2017. 05. 27 ඇති වූ මහ ගංවතුරින් පසුව ගිංගඟ උතුරා ගියේ වසර තුනකට පසු එනම් 2020. 05. 19 දින ගතවූ සතිය තුළදීය.මෙවර ගිංගඟ පිටාර යෑමට නෙළුව ප්‍රදේශයට මිලිමීටර් 200 ක වර්ෂාපතනයක් ලැබී තිබුණද එය දිවයිනේ වැඩිම වර්ෂාපතනය වුවද මෙවර ගංවතුර පිංවතුරක් නොවී ගංවතුරක් පමණක් විය.2020. 05. 19 දින ඇතිවූ ගංවතුර පිංවතුරක් නොවී ගංවතුරක්ම වූයේ ඇයිද සොයා බැලුවෙමි.

එදින පාන්දර පහට පමණ සිංහරාජ වනාන්තරය ආශ්‍රිත ලංකාගම සහ ගිංගඟේ ඉහළ ප්‍රදේශ වලට මහ වැසි පතිත විය.එම මහ වැස්ස එකදිගට පැය හතරක් පමණ පැවතිණි. මුලින්ම ගිංගඟේ ඉහළ ප්‍රදේශයක් වන ලංකාගම විදුහල අසල මාර්ගය ප්‍රථමයෙන් යටවී ගිංගඟ දෙගොඩ තලා වේගයෙන් ගලාගෙන ආවේය; ගත වූයේ පැය කිහිපයකි, ඉහළින් ආ ජලකඳ නෙළුව නගරය හරහා ඇදී ගියේ නෙළුව අවට පහත බිම් යටකර දමමිනි. දිවා කාලයේ මේ මහ ජලකඳ පැමිණි නිසා ගිංගඟ දෙපස පදිංචිකරුවන්ට තම දේපළ මෙන්ම ජීවිත ගලවාගෙන ගංවතුරින් බේරීමට හැකි විය.

මිලිමීටර් 200 ක වැඩිම වර්ෂාපතනයෙන් ඇතිවූ මේ හදිසි ගංවතුර තත්ත්වයට නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සිදුකළ මෙහෙයුම සම්බන්ධව අදහස් දැක්වූ නෙළුව ප්‍රාදේශීය ලේකම් චතුරංග ගුණසේකර මෙසේ පැවසීය.

“ මැයි මාසය කියන්නේ නෙළුව ප්‍රදේශයට ගංවතුර ලැබෙන මාසයක්. අපි මෙවරත් සුදානමින් සිටියා ගංවතුර ඇතිවෙන බවට. කෙසේ වුවත් අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන අංශය සමඟ ඒකාබද්ධ වී ගංවතුර ඒමට පෙර ආපදා කළමනාකරණ සැලසුමක් සකස් කළා. මෙම සැලසුමට ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ආයතනයේ නිලධාරින් සහ ගාල්ල නාවික හමුදාවේ අණු ඛණ්ඩයේ නිලධාරීන් සහ නෙළුව පොලිසිය, ප්‍රාදේශීය සභාව, අප කාර්යාලයේ ආපදා සහන අංශය, ග්‍රාම නිලධාරින්,සංවර්ධන නිලධාරීන්ගේ සහයෝගය ලබා ගත්තේ අප නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ සැලැස්මට අප සුදානම්ව සිටි නිසා අපට මෙවර සාර්ථකව මුහුණ දීමට හැකි වුණා.”

නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන නිලධාරි නලීන් චින්තක මෙසේ අදහස් දැක්වීය.“මැයි 19 වැනි දින අලුයම සිට මහ වැසි පතිතවීමත් සමඟ ලංකාගම ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක් ඇති වන බව අප දැනගත්තා. ගතවූ පැය කිහිපය තුළ නෙළුව ප්‍රදේශයේ පහත් බිම් ජලයෙන් යටවීමට පටන් ගත්තා. මේ වන විට නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සවි කර ඇති වර්ෂාපතන මාපකයේ මිලිමීටර් 200 ක වර්ෂාපතනයක් බව සටහන්වී තිබුණා. අප ප්‍රාදේශීය ලේකම්තුමා සමඟ එක්වී ගිංගඟේ දෙපස පදිංචි කරුවන්ට පහත් බිම් වලින් ඉවත් වන ලෙස දැනුම්වත් කළා.”

නෙළුව ධර්මපාල විහාරස්ථානයේ විහාරාධිපති ගම්මැද්දෙගොඩ විපුලසාර හිමියන් අදහස් දක්වමින් “මැයි මාසය සාමාන්‍යයෙන් ගිංගඟ පිටාර යෑමෙන් ගංවතුර තත්ත්වය ඇති වෙනවා. මම පැමිණි සෑම ගංවතුරකටම මුහුණ දී තිබෙනවා. 2003 වසරේ තමයි ලොකුම ගංවතුර ආවේ. ඉන්පසු 2017 ඉන්පසුව 2020. 05. 19 මෙදින නෙළුවට මිලිමීටර් 200 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. මේ වර්ෂාව ලැබී තිබෙන්නේ නෙළුව ප්‍රදේශයට පමණයි.

මේ වර්ෂාව තවලම, හිනිදුම, නාකියාදෙණිය, උඩුගම යන ප්‍රදේශවලට මේ වර්ෂාව ලැබී තිබුණා නම් පෙර වර්ෂවල මෙන් විශාල ගංවතුරක් බලාපොරොත්තු වෙන්න තිබුණා. නෙළුව ප්‍රදේශයේ ජනතාව ගංවතුර ගැන හොඳ අවබෝධයෙන් සිටීම ගැන මම සතුටු වෙනවා.” නෙළුව පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක යු. අරුලානන්දම් මහතා. “ඇති වූ ගංවතුර තත්ත්වයට අප සුදානමින් තමයි පසු වුණේ.ගාල්ල නාවික හමුදා අණු කණ්ඩයේ නිලධාරින් සහ නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ නෙළුව ප්‍රාදේශීය සභාව එක්ව අප මෙම ගංවතුර තත්ත්වයට මුහුණ දීමට සුදානමින් පසුවූවා.”

නෙළුව ජාතික පාසලේ විදුහල්පති ධර්මදාස කුමාරගේ මහතා අදහස් දක්වමින් “මම නෙළුවේ ඇති වූ ගංවතුරට මුහුණ දුන් අයෙක්. මෙවර නෙළුවට පමණක් මිලිමීටර් 200 ක පමණ වර්ෂාපතනයක් ලැබී ඇති බව දැනුම් දීමත් සමඟම ආරක්‍ෂිත ස්ථාන කරා යෑමට සුදානමින් සිටියා. නෙළුව ප්‍රදේශය ගංවතුරින් ආරක්ෂාවීමට ගොඩ බිමක් සොයා ටික දුරක් යන්න සිදුවෙනවා. මගේ අදහස නම් මේ වගේ ඉදිරියේදී ආපදා අවස්ථාවකදී ගිංගඟ දෙපස පදිංචි කරුවන්ට ඉවත්වන ලෙස සයිරන් නලා පද්ධතියක් සකස් කරනවා නම් හොඳයි. දැන් නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා තිබෙන්නේ උස ස්ථානයක. තට්ටු තුනකින් සමන්විත ගොඩනැගිල්ලක් තිබෙන්නේ. මෙම ගොඩනැගිල්ලේ හදිසි සංඥා පද්ධතියක් සවිකිරීම කාලෝචිත බව මගේ විශ්වාසයයි.”

නෙළුව ග්‍රාම නිලධාරි ටි. ඒ. ඩබ්ලිව් දිසානායක මහත්මිය අදහස් දක්වමින්. “මෙවර ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් කිසිවකුට එතරම් හානියක්, ආපදාවක් සිදුවුණේ නැහැ. නමුත් අප පෙර සුදානම් වීම සහ මහ ජනතාවගේ දැනුම්වත් වීම නිසා පැමිණි ආපදා තත්ත්වයට මුහුණදීමට හැකි වුණා."

 පියරත්න ජයවික්‍රම - නෙළුව

Comments