කොළඹ තේ වෙන්දේසියේදී ලංකාෙව් තේවලට වාර්තාගත ඉහළ මිලක් | Page 3 | සිළුමිණ

කොළඹ තේ වෙන්දේසියේදී ලංකාෙව් තේවලට වාර්තාගත ඉහළ මිලක්

ශ්‍රී ලංකාව පිළිබඳ ජත්‍යන්තර අවධානය දිනා ගැනීමට ප්‍රධාන වශයෙන් බලපෑ කරුණු දෙකක් තිබේ. එකක් ක්‍රිකට්ය; අනෙක තේ ය. ලෝක කුසලානය දිනාගැනීමත් සමඟ ලෝකයම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කතා කළේය. ක්‍රිකට් වලින් අප ගැන දැනගන්නට පෙර ලෝකය කතා කළේ අපේ තේ ගැනය. සිලෝන් ටී එකක රස විඳින්නට බොහෝ රටවල ඇත්තන් දෙවරක් නොසිතා පෙලඹුණේ එහි තිබූ අමුතුම රසය නිසාය. දේශගුණික විවිධත්වයත් පසෙහි සාරවත් බවත් නිසා අපේ රටේ නිෂ්පාදිත තේ දල්ලක රසය අබිබවා යන්නට වෙනත් කිසිදු රටකට නොහැකි වීම නිසා ලෝක වෙළෙඳ පොළේ ශ්‍රී ලංකා තේ වලට කවදත් තිබුණේ හොඳ ඉල්ලුමකි.

තේ අපනයනය මුදල් උනන උල්පතක් වීම නිසාම කූඨ වෙළෙඳුන් අපනයන ක්ෂේත්‍රයට ඇතුළුව ගුණාත්මක භාවයෙන් අඩු තේ ජත්‍යන්තර වෙළෙඳ පොළට යොමු කිරීම නිසා පසුගිය කාලයේ ශ්‍රී ලංකා තේ වලට තිබූ ඉල්ලුම සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගියේය. මේ සමඟ අපට හිමි ජත්‍යන්තර වෙළෙඳ පොළ අවකාශය ඩැහැ ගැනීමට තරඟකාරී රටවල් විවිධ ක්‍රියාමාර්ග ගත්තේය. කොවිඩ්-19 වසංගතය ලොව පුරා පැතිර යාම ආරම්භ වනවිට රටක් ලෙස අප තේ අපනයන අංශයෙන් සිටියේ තරමක කඩා වැටීමකට ලක්වය. අවසන් වරට පැවැති කොළඹ තේ වෙන්දේසියේදී යළිත් ශ්‍රී ලංකා තේ වලට ජත්‍යන්තරය තුළ ඇති ඉල්ලුම ඉහළට ඔසවා තබන්නට අපට හැකිවිය.

පසුගිය කාලයේදී රුපියල් 80.00 -100.00 ත් අතර අගයක පැවැති අමු තේ කොළ කිලෝවක මිල අවසන් වරට පැවැත්වුණු කොළඹ තේ වෙන්දේසියේදී රුපියල් 130.00 ක් දක්වා ඉහළ ගියේය.එය වාර්තාගත ඉහළ යාමකි. එලෙසින්ම නිමි තේ කිලෝවකට හිමිවූ මිලද සැලකිය යුතු ලෙස ඉහළ ගියේ මෙරට තේ කර්මාන්තය සම්බන්ධව නැවුම් බලාපොරොත්තු ඇති කරමිනි. රුපියල් 450.00 ත් 550.00 ත් අතර අගයක පැවැති නිමි තේ කිලෝවකට රුපියල් 750.00 ක ඉහළ මිලක් එහිදී හිමිව තිබිණි. මෙරට සමස්ත තේ වගා භූමි ප්‍රමාණය හෙක්ටයාර් 188000 කට ආසන්නය. උඩරට, මැදරට හා පහත රට ලෙස තේ වගාව ඛාණ්ඩ තුනකට බෙදා වෙන්කර තිබෙන්නේ භූ ගෝලිය සාධක අනුවය. සමස්ත තේ වගා භූමි ප්‍රමාණයෙන් 60% ක පාලනය පවතින්නේ කුඩා තේ වතු හිමියන්ට වන අතර ඉතිරි 40% වතු සමාගම් යටතේ පාලනය වෙයි. වාර්ෂිකව ලංකාවෙන් තේ කිලෝ ග්රෑම් මිලියන 320 ත් 340 ත් අතර ප්‍රමාණයක් අපනයනය කරන බවත් ඉන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක පමණ මුදලක් උපයන බවත් ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.

කොවිඩ්-19 වයිරස් ව්‍යාප්තියත් සමඟ නිවෙස් වලට සීමාවූ ලෝක ජනතාව පසුගිය මාස තුනක කාලය තුළ වෙනදාට වඩා තේ පානය කර තිබෙන බවත් මේ නිසා තේ වලට ජත්‍යන්තර වෙළෙඳ පොළේ ඉහළ ඉල්ලුමක් ඇතිව තිබෙන බවත් තේ අපනයනකරුවෝ පවසති. ලෝක වෙළෙඳ පොළ තුළ තේ සඳහා අපගේ ප්‍රධාන තරඟකරුවන් වන චීනය, ඉන්දියාව,කෙන්යාව වැනි රටවලින් ප්‍රමාණයත් තේ තොග නොපැමිණියේය. ඒ කොවිඩ්-19 වයිරසයේ බලපෑම එම රටවලට තදින් දැනීම හේතුවෙනි. අපටද වයිරසයේ බලපෑම එල්ලවූ නමුත් රටක් ලෙස අප එම බලපෑම අවම කරගනු ලැබුවේ නිසි සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමෙනි. පසුගිය දෙමසක පමණ කාලයේදී රටේ සියලු කර්මාන්ත අකර්මණ්‍ය වෙත්දී තේ නිෂ්පාදන කටයුතු අඩාළ වීමට ඉඩ නොදී පවත්වාගෙන යෑම අහම්බයක් නොවන්නේය. ඒ විධිමත් හා සැලසුම්සහගත වැඩපිළිවෙළක ප්‍රතිඵලයකි.

‘කොරෝනා අර්බුදය හේතුවෙන් අපේ රටේ ක්ෂේත්‍ර ගණනාවක් බිඳ වැටීමට ලක්වුණා. තේ කර්මාන්තය අර්බුදයකට යානොදී මුදවා ගැනීමට හැකිවීම අපි ලබපු විශාල ජයග්‍රහණයක්. මේ කොරෝනා ප්‍රශ්නය එන්න කලින් ඉඳලම අපේ තේ කර්මාන්තය යම්කිසි බිඳ වැටීමකට ලක්වෙලයි තිබුණේ. ලෝකයේ සෑම අංශයක්ම කඩා වැටෙද්දී අපිට තේ කර්මාන්තය රැක ගැනීමට හැකිවූ නිසා අද ලෝක වෙළෙඳ පොළට හොඳ තේ යොමු කරන්න ලැබීම රටක් ලෙස ලද ජයග්‍රහණයක්. මේ පිටුපස තේ දලු නෙළන කාන්තාවන්ගේ සිට ජනපතිතුමා දක්වා සියලු පිරිස් දම්වැලක් ලෙස සිටිනවා.

ඇත්තටම තේ වල ඉල්ලුම තීරණය වන්නේ එහි ගුණාත්මක භාවය මතයි. තේ දලු නෙළීම නතර කළොත් දරු මෝරනවා. ඒවායෙන් තේ නිෂ්පාදනය කළාම තේවල ගුණාත්මක භාවය අඩුවෙනවා. අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ කාරණය ගැන හොඳ අවබෝධයකින් හිටියා. මේ නිසා තේවතු වල වැඩකටයුතු රජයේ සහය ලබාගනිමින් අඛණ්ඩව කරගෙන යන්න අපට හැකි වුණා. කොවිඩ්-19 නිසා වැඩ නතර කළා නම් අපි විශාල ගැටලුවකට මුහුණ දෙනවා. වෙන්දේසියේදී සමස්තයක් ලෙස තේ කිලෝවක් රුපියල් රුපියල් 680.00ක පමණ මිලකට අළෙවි වුණා. පසුගිය මාර්තු මාසයේ තේ කිලෝවකට වෙන්දේසියේදී ලැබුණේ රුපියල් 580.00ක පමණ අගයක්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නිතර වතුවලට ඇවිත් සේවකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා පරීක්ෂා කළා. තේ දලු නෙළීම නතුර වුණොත් තමන් පත්වන අසීරුතාව තේරුම්ගත් වතු ජනතාව මේ වැඩකටයුතු වලට විශාල සහයක් දුන්නා‘බගවන්තලාව වැවිලි සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ෆෙරොස් මජිත් මහතා පවසයි.

වසරක් තුළ ගෙවීයන සති 52 ක කාලය තුළ සති පනහකදීම තේ වෙන්දේසිය පැවැත්වෙයි. තේ වෙන්දේසිය වෙනුවෙන් කැලැන්ඩරයක් සකස්කර තිබෙන අතර එයට අනුව තේ වෙන්දේසිය සිදු නොවන්නේ සිංහල අලුත් අවුරුද්ද හා නත්තල නිමිත්තෙන් පමණි. තේ වෙන්දේසිය සිදුව තිබෙන වසර 150 ක පමණ ඉතිහාසය තුළ කිසිදු හේතුවක් නිසා අත් නොහිටුවන ලද වෙන්දේසිය පසුගිය මාර්තු මස 16 වෙනිදායින් පසු නතර විය. ඒ තිස්වරසක් පුරා ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදයට හෝ 88-89 කාලපරිච්ඡේදයේදී ක්‍රියාත්මකවූ භිෂණයටවත් කළ නොහැකිවූ දේ සිදු කළේ කොරෝනාව බව මජිත් මහතා පැවසුවේය. එය ජයගැනීම සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට තේ වෙන්දේසිය ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට තේ අපනයන කරුවන්ගේ සංගමය,තැරුව්කරුවන්ගේ සංගමය හා තේ මණ්ඩලය පියවර ගත්තේය.

තේ වෙන්දේසිය සතියකම කොළඹදී පවත්වනවා. ඔන්ලයින් ක්‍රමය භාවිත කරමින් පළමු වරට තේ වෙන්දේසිය සිදු කළේ පසුගිය අප්‍රේල් මාසේ 08 වෙනිදා. වෙන්දේසිය මේ ආකාරයට පවත්වපු නිසා අපේ ෆැක්ටරිවල තේ කොළඹ ගියා. වෙන්දේසියේදී ඒවාට හොඳ මිලක් ලැබිලා රටින් පිටට ගියා. කොරෝනා නිසා සෙනඟ එකතු වීමේ අවධානමක් තිබුණා.එයට විසඳුමක් ලෙස තමයි ඔන්ලයින් ක්‍රමය පාවච්චි කළේ. කොවිඩ්-19 ප්‍රශ්නයත් එක්ක ටී ඉන්ඩස්ට්‍රි එක කඩා වැටෙයි කියලා හිතුවත් අපි නව ක්‍රම ඔස්සේ ගැටලු වලට විසඳුම් සොයා ගත්තා.අනිකුත් ක්ෂේත්‍ර වලටත් මේ විදිහේ නව ක්‍රම අත්හදා බලමින් අලුත් ගමනක් යාහැකියි...මජිත් මහතා පැවසුවේය.

තේ නිෂ්පාදන අංශය හා සෘජුව හා වක්‍රව ලක්ෂ 20ක පමණ පිරිසක් සම්බන්ධව සිටිති. ඔවුන් සැමගේ හෙට දවස තීරණය වන්නේ තේ වලට නියමවන මිල මතය. උඩරට වතුකර ජනතාව අතරින් අති බහුතරයක් තාමත් ජීවත් වන්නේ ලයින් කාමර වලය.කොවිඩ්-19 වතුකරයට ඇතුළු වූයේ නම් එය පාලනය කිරීම ලෙහෙසි පහසු නොවන්නේය.

මධ්‍යම පළාතේ වැඩිම අවධානය යොමුකරමින් ආරක්ෂා කරගත යුත්තේ වතුකරය බව අපි මුල සිටම දැන සිටියා. වතුකරයට කොරෝනා වයිරසය ඇතුළු වුණා නම් එහි ව්‍යාප්තිය පාලනය කිරීම බරපතළ ගැටලුවක් වෙනවා. ඒ අනිත් පැත්තෙන් අපේ තේ නිෂ්පාදන ක්ෂේත්‍රයට තදින්ම බලපානවා. වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා උඩරට වතු පාලනාධිකාරියට ලබාදීමට විෂබීජ හරණ යන්ත්‍ර 300 ක් ලබාදුන්නා.මෙයට අමරතව සෞරක්ෂිත ක්‍රමවේද සම්බන්ධව සෞඛ්‍ය අංශ විසින් නිරන්තරව ඔවුන්ව දැනුම්වත් කළා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි. පසුගිය සති කිහිපයේදී ශ්‍රීලංකාවේ තේ වලට හොඳ මිලක් ලැබුණා. මාර්තු මාසයේ තේ කිලෝවකට ලැබුණු මිලට වඩා රුපියල් 120.00ක පමණ ඉහළ මිලක් අප්‍රේල් මාසයේදී ලැබුණා. මේ මිලත් සමඟ විදේශ වෙළෙඳ පොළත් රැක ගැනීමට නම් අපි ගුණාත්මක භාවයෙන් ඉහළ තේ නිෂ්පාදනය කරන්න ඕන. තේ අපනයන කරුවන් ශ්‍රී ලංකා තේ පිළිබඳව හොඳ ප්‍රචාරයක් ගෙන යන්නේ නම් තවත් අපේ වෙළෙඳ පොළ පුළුල්කර ගැනීමට පුළුවන්. මේක අපට ලැබුණු හොඳ අවස්ථාවක්. ශ්‍රී ලංකා තේ අපනයකරුවන්ගේ සංගමයේ සභාපති හා තැරැව්කරුවන්ගේ මාර්ගයෙන් තමයි අපි මේ ඔන්ලයින් ක්‍රමයට ඔක්ෂන් එක පවත්වන්න වැඩපිළිවෙළ සකස්කර ගත්තේ. ජනපතිතුමා මේ ගැන විශේෂ උනන්දුවක් දක්වලා මේ ක්‍රමයට යොමුවෙන්න උපදෙස් දුන්නා.

ඉන්දියාව, කෙන්යාව වගේ රටවල් වහලා තියෙද්දී අපේ රට තාක්ෂණය උපයෝගි කරගනිමින් ජත්‍යන්තර වෙළෙඳ පොළට තේ යොමු කිරීමට කටයුතු කිරීම ගැන ලෝකයෙන් අපට ඉහළ ප්‍රංශසාවක් ලැබුණා. කළු තේ වල ප්‍රතිශක්තීකරණය වැඩි කිරීමට අවශ්‍ය සංඝටක තිබෙන බවට ජත්‍යන්තර විද්‍යා සඟරා වල පළවු ලිපි අපි වෙළෙඳ පොළ දිනා ගැනීමට පාවිච්චි කළා. ආණ්ඩුවේ වගේම පුද්ගලික අංශයේත් සහය උපරිමයෙන් ලැබුණා. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා පැවසුවේය.

කොවිඩ්-19 ලොව බොහෝ දේ වෙනස්කර තිබේ. යහපතට මෙන්ම අයහපත පිණිසද එය බලපා ඇත. තේ කර්මාන්තය පැත්තෙන් ගත් කල කොරෝනා බලපෑම යහපත් දිශාවට හරවා ගන්නට අපේ තේ ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනා සමත්ව සිටිති. අභියෝගාත්මක රටවල් වැටී සිටියදී දැන් අපට ගමනක් යාමේ අවස්ථාව ලැබී ඇත. මතු දිනක ඔවුන් යළි නැගිටිනු නොඅනුමානය. එදිනට අප ශක්තිමත්ව ජත්‍යන්තර වෙළෙඳ පොළ ජයගෙන තිබුණහොත් ඔවුන් අපට අභියෝගයක් නොවනු ඇත. ඒ සඳහා කළ යුතු එකම දේ ගුණාත්මක භාවයෙන් යුතු තේ නිෂ්පාදනයට තව තවත් නැඹුරුවීමය.

Comments