කොවිඩ් වසංගතයෙන් බැට කන කලාකරුවන්ගේ ඉරණම විසඳෙන හැටි මෙන්න | Page 3 | සිළුමිණ

කොවිඩ් වසංගතයෙන් බැට කන කලාකරුවන්ගේ ඉරණම විසඳෙන හැටි මෙන්න

කෝවිඩ් වසංගතය හානියට පත් නොකළ ක්ෂේත්‍රයක් සොයන්නට කිවහොත් එය කිසිවකු නොමළ ගෙයකින් අබ සොයන්නාක් වැනි කරුණක් වනු නොඅනුමානය. මෙවැනි අවස්ථාවක බොහෝ රටවල සිදුවන්නේ රජයේ මැදිහත්වීම මත තම රටේ ජනතාවට සහන සැලසීමට ඉදිරිපත් වීමයි. ශ්‍රී ලංකාව තුළද රජයේ මැදිහත්වීම නියමිත ආකාරයෙන් සිදුවූ අතර සේවා ස්ථාන වසා දමන ලද මාසයේ සිට ජනතා සහනාධාර ලබාදීමට රජය විසින් කටයුතු සම්පාදනය කළේය.

නමුත් මේ ආකාරයට කර්මාන්ත උදෙසා ණය යෝජනා ක්‍රම මෙන්ම වෙනත් සහන සලසන විට මේ සියල්ලම අතරින් මගහැරුණු කොට්ඨාශයන් කිහිපයක්ම විය. ඒ අතරින් ප්‍රධාන වශයෙන් ගායක ගායිකාවන් ඇතුළු සංගීතවේදීන් මෙන්ම විවාහ මංගල කටයුතු සැපයුම්කරුවන්ද විය. මන්ද ඔවුන් මේ වන තෙක් කර්මාන්තයක් ලෙසින් නීතිගතව ලියාපදිංචි වී නොතිබීමය. දිවයින පුරා විසිරී සිටින මංගල ඡායාරූප ශිල්පීන්, මනාලියන් හැඩ ගන්වන්නත්, මංගල කාඩ්පත් සපයන්නන්, මල් සැකසුම්කරුවන් යන සියල්ලෝම සිටින්නේද මේ වන විට තම ආදායම් මාර්ගය ඇහිරී ගිය තත්ත්වයකය. මංගල උත්සව පවත්වන්නේ නම් එය පැවැත්විය යුත්තේ කවර ආකාරයට ද යන වග සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් කරුණු පහළොවක් යටතේ දක්වා පෙන්වී ය. යමකු මංගල උත්සවයක් පවත්වන්නේ නම් ඔවුන් අනිවාර්යයෙන්ම මෙකී කරුණු 15ට යටත් විය යුතුය.

කලාකරුවන්ගේ වෘත්තිය වන්නේ කලාවයි. ඔවුන්ගේ ආර්ථික ක්‍රියාවලි සියල්ලම සිදුවන්නේ මේ හරහා ය. නමුත් ඕනෑම ව්‍යසන අවස්ථාවක් පැමිණීමේදී කර්මාන්ත උදෙසා සහන ක්‍රම මෙන්ම ණය යෝජනා ගෙන ඒමේ දී ඔවුනට සහනයක් හිමි වන්නේ නැත. මන්ද ඔවුන් අයත් වන්නේ සංස්කෘතික අමාත්‍යාංශයට බැවිනි. එම නිසා කිසිසේත්ම මේ සම්බන්ධයෙන් ඔවුන්ට අන් සියල්ලන්ට ලැබෙනවා යැයි කියනු ලබන සහනය ලැබෙන්නේ නැත. එමනිසා ගායක ගායිකාවන් ඇතුළු සියලුම සංගීත ශිල්පීන් සම්බන්ධ ක්ෂේත්‍රය කර්මාන්තයක් වට පත් කිරීමේ යෝජනාව ඔවුන් විසින් වීරවංශ ඇමතිවරයාට ඉදිරිපත් කෙරිණි. එමෙන්ම කාලයක් පුරා පවතින ක්ෂේත්‍රයේ නිසි ප්‍රමිතියක් නොමැති වීම සම්බන්ධවද ගායක ගායිකාවන් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරු කීපදෙනෙක් කරුණු ඉදිරිපත් කළහ.

මේ පිළිබඳව ඔවුන් ඔවුන් ඇමතිවරයා සමඟ සාකච්ඡා කළහ. විවාහ මංගල් සැපයුම්කරුවන් සුරැකීමේ සංසදයේ ලේකම් නිශී හදුන්නෙත්තිගේ පවසා සිටියේ මේ අවස්ථාව වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල මනාළියන් හැඩගැන්වීම් සිට ඡායාරූප ශිල්පීන් හා කාඩ්පත් නිර්මාණය කරන්නන් පවා තමන්ගේ ජීවිකාව පවත්වාගෙන යා නොහැකි ලෙස අසරණව සිටිනා මොහොතක් බවත්; මේ හා සම්බන්ධව කටයුතු සාකච්ඡා කිරීමට විමල් වීරවංශ අමාත්‍යවරයා හා පැවැති සාකච්ඡාව ඉතා සාර්ථක වූ බවයි.

ඉතාම කෙටි කාලයක් තුළ දී ඇමතිවරයා තම අමාත්‍යාංශය යටතට ඔවුන් ඇතුළත් කරගෙන එම සියලු දෙනාට සහන ලබාදීමට කටයුතු කිරීම අගය කළ යුතු බවයි. මෙතෙක් කාලයක් කිසිදු අමාත්‍යවරයකුට යටතේ පවතින අමාත්‍යංශයක් වෙතින් මේ ආකාරයේ ප්‍රතිචාරයක් නොලැබී ඇති බවද පැවසීය.මොවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගත් ඇමැතිවරයා මෙම ශිල්පීන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කොට තම ව්‍යවසායන් පවත්වා ගෙන යා හැකි පරිද්දෙන් පහසු කම් ලබා දීමට කටයුතු කරන ලදී.

එමෙන්ම ගායක-ගායිකා සංවිධානයේ ලේකම් රොහාන් ද සිල්වා ප්‍රකාශ කරන්නේ මෑත ඉතිහාසය තුළ සුනාමි, ගංවතුර ව්‍යසන, පාස්කු ප්‍රහාරයන් ආදී සියලුම දෑ මධ්‍යයේ අන් හැම කර්මාන්තයක් උදෙසාම කර්මාන්ත වෙනුවෙන් ලබාදෙන සහන ක්‍රමවේද ලබාදුන්නද ගායන ශිල්පීන්ට ලබාගැනීමේ හැකියාවක් නොමැති වූ බවයි. ඒ මහතා තවදුරටත් මෙසේද පැවසීය;මේ අවස්ථාවේදීත් ගායන ශිල්පීන්ට හා සංගීත ශිල්පීන්ට වුණෙත් මේ කාරණය. ගැටලුව ජනාධිපතිතුමා ළඟටත් ගියා. එතුමා හරිම සාධාරණ විදිහට මේ ගැටලුව දිහා බලලා කර්මාන්තයක් විදිහට නීතිගත කිරීමට සුදානම් කිරීමත් බුද්ධිමය දේපළ පනත සම්බන්ධයෙන් කටයුතු අධිකරණයහි ලියාපදිංචි කිරීමටත් උපදෙස් ලබා දුන්නා. පසුගිය සතියේ විමල් වීරවංශ ඇමතිතුමා සමඟ සාකච්ඡාව ඉතා සාර්ථක වුණා.

එතුමා මේ ප්‍රශ්නය හොඳින් අවබෝධ කරගෙන විනෝදාස්වාදය සම්බන්ධයෙන් කර්මාන්තයක් ලෙසින් ලියාපදිංචි කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා . මුල්ම හමුව සාර්ථකයි කියලා තමයි කියන්න තියෙන්නේ. බුද්ධිමය දේපළ පනත සම්බන්ධයෙනුත් අපි එදා සාකච්ඡා කළා. මීට කාලෙකට ඉස්සර එංගලන්තෙ තිබුණු පනතක් මෙහාට ගෙනාපු එක තමයි කරේ. හරියටම කියනවනම් ඒක කාබන් කොපියක්. මේ නීතිය හොඳයි එංගලන්තයට; ඒක ලංකාවට සුදුසු නැහැ. ඒත් මේ සියල්ල ඉදිරියේදී නිරවුල් වේවි.

බුද්ධිමය දේපල පනත යටතේ ගීතයක අයිතිය සම්බන්ධයෙන් වරින් වර නොයෙක් නොයෙක් අදහස් ඇතිවුණි. කෙසේ වුවත් අවසානයේ දී සිදුවන්නේ ගායකයා විසින් රචකයාට මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයාට මුදල් වියදම් කරමින් සංගීත කණ්ඩායමට මෙන්ම ශබ්දාගාරයට මුදල් වියදම් කරමින් නිර්මාණය කරනු ලබන ගීතයේ අයිතිය රචකයාට මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයාට හිමිවීමය.

කෙසේ වෙතත් මේ හා සම්බන්ධ සියලු කටයුතු සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා මුණගැසුණු ජනප්‍රිය ගායන ශිල්පී භාතිය ජයකොඩි පවසන්නේ මෙවැන්නකි."තම ක්ෂේත්‍රයේ සිටිනා 100%ක්ම ජීවත්වන්නේ මේ කලා කටයුතු වලින් හිමිවන ආදායමින්. මේ යන ආකාරයට සියල්ල පහව ගොස් සංගීත සංදර්ශන පැවැත්වීමට අවම හෝ ඉඩකඩක් ඇති වන්නේ ඔක්තෝම්බර් මාසයේ පමණ මුලින්ම අපි ඇමතිතුමා එක්ක සාකච්ඡා කළේ අපේ ශිල්පීන්ට ව්‍යාපාරික ණය මුදලක් හෝ ලබා ගැනීම සඳහා සංගීත ශිල්පීන් වෙනුවෙන් යම් කර්මාන්තයක් නම් කර ඒ සදහා ඇතුළත් කරගන්න කියලා.

අනිත් එක තමයි ක්ෂෙත්‍රයේ ඉන්න සියලුම දෙනා එක හා සමාන ආදායම් ලබන පිරිසක් නෙමෙයි. නොයෙක් අය සංගීත සන්දර්ශන වලට යනකොට තවත් අය හෝටල් වල සංගීත සපයන්න යනවා. කොහොම වුණත් විමල් අමාත්‍යවරයා මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ධනාත්මක විදියට බලලා සුබදායි පිළිතුරු කීපයක්ම ලබා දුන්නා. දැන් මූලික අඩිතාලම වැටිල තියෙන්නෙ. කැබිනට් අනුමැතිය ලැබුණාට පස්සේ අනෙකුත් ගැටලු වලට විසදුම් ලැබෙයි කියලා අපේ ලොකු විශ්වාසයක් තියෙනවා.

ඉන්පසු මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූවේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයෙකු වන සරත් ද අල්විස් මහතාය. ඔහු පවසන්නේ මේ මොහොතේ සියලු කලාකරුවන්ට ආර්ථික වාසියක් නොලැබෙන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ කර්මාන්තයක් ලෙස ලියාපදිංචි කිරීමට අමාත්‍යවරයා කටයුතු සූදානම් කළ බවය. එමෙන්ම දැනට මේ සියලු කටයුතු සඳහා අඩිතාලම ලබා තිබෙන අතර අනෙකුත් කටයුතු සිදු වන්නේ මහ මැතිවරණයෙනි පසුව බවත් මුල්ම සාකච්ඡා වටයේදීම එය සාර්ථක වූ බවත් පවසයි. එමෙන්ම විමල් වීරවංශ ඇමැතිවරයා මේ සඳහා කඩිනම් ප්‍රතිචාර ලබා දුන් බවද ඔහු පැවසීය

සංගීත කණ්ඩායම් නියෝජනය කරමින් එම සාකච්ඡාවට සම්බන්ධ වූ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු විමල් වීරවංශ අමාත්‍යවරයා හා සමගින් සම්බන්ධ වූ සාකච්ඡාව පිළිබඳව අදහස් දක්වන්නේ මෙසේය."දැන් වෘත්තිය බහුතරයක් විසින් සිදු කරන කොට ඒක ඉබේම කර්මාන්තයක් වෙලා ඉවරයි . ඒත් ගැටලුව වෙලා තිබෙන්නේ එය කර්මාන්තයක් විදිහට ලියාපදිංචි නොවී තිබීමයි.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න අපිට හැකියාව ලැබුණා. මේ සඳහා අපට හොඳ ප්‍රතිචාර ලැබුණා පලමු හමුවම සාර්ථකයි. එහෙම වුණත් කලාකරුවන් ඔවුන්ගේ පැත්තෙන් කලයුතු වගකීම් පවා ඉටු කළ යුතුයි. ආදායම් බදු ගෙවිය යුතු අය ඒවා නිසි අයුරින් ගෙවිය යුතුයි. එතකොට අපි දෙයක් දිලානෙ අපිත් දෙයක් ගන්නෙ. හැමදේම සාධාරණයක් තිබිය යුතුයි. කිසිම වෙලාවක් අපිව රස්තියාදු කරන්නේ නැතුව නියමිත වේලාවටම සාකච්ඡා පවත්වන්න අරගෙන මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා ඒක බොහොමයක් දුරට සාර්ථකයි.

එම සාකච්ඡාවෙන් පසු දිනක අපි බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡාවක් පැවැත් වුවා. එහිදී ඔවුන් කැමැත්ත පළ කළා ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනියේ සංගීත වැඩසටහන් හතරක් ලබාදීමට. ඒක අපේ සංගීත ශිල්පීන්ට මේ අවස්ථාවේ හැටියට ලොකු හයියක්. ඇත්තෙන්ම වෘත්තිය මට්ටමින් ගරුත්වයක් ලබා දීලා කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි රජයට ස්තුතිවන්ත වෙනවා.විමල් වීරවංශ ඇමතිවරයා සමග සාකච්ඡාවට සම්බන්ධ වීම සදහා භාතිය ජයකොඩි, රොෂාන් ප්‍රනාන්දු, සරත් ද අල්විස් සහ රොහාන් ද සිල්වා යන මහත්වරුන්ට අමතරව සන්තුෂ් වීරමන්, ජානක වික්‍රමසිංහ, රජිත් සුසිත සහ විජිත් ද සිල්වා යන මහත්වරු ද සම්බන්ධ විය. හැමෝගෙම හිත් සනසන කලාකරුවන්ගේ හිත් සැනසුණේ එසේය.

 

Comments