කොරෝනා කාලේ මළ ගෙදරක තාලේ | සිළුමිණ

කොරෝනා කාලේ මළ ගෙදරක තාලේ

කොරෝනා කාලයේ ප්‍රකට සංගීතවේදී ජයන්ත රත්නායකගේ අවසන් කටයුතු සිදු වූ අවස්ථාව

ගේ ආදරණීය පියාණන් අප හැර දමා සඳහටම දෙනෙත් පියාගෙන තවමත් සති 3 ක් ගත වී නැත. වසරකට වැඩි කාලයක් පිළිකා රෝගයට ගොදුරු වී සිටි මගේ පියාණන් මෙලොවින් සමු ගන්නා විට 85 වැනි විය සපුරා තිබිණි. ඔහු දීර්ඝායුෂ භුක්ති විඳීම ගැන සතුටු විය හැකි වුවද කුඩා වියේ අප සුරතල් කරමින් අප සමඟ සෙල්ලම් කරමින් ගත කළ අවදියත්; අප උස් මහත් කිරීමට ගත් වෙහෙසත් ජීවිතයට එක්ව තිබූ අත්වැල ගිලිහී යෑමත් සිහි වන විටදී නම් ඇති වන්නේ ශෝකයකි. පියකුගේ වියෝව ඕනෑම දරුවකු තුළ වේදනාවක් ඇති කරන අතර ඒ දුක, ශෝකය මට ද උරුමය. එහෙත් මා මෙය රචනා කරන්නේ පියකුගේ සෙනෙහස හෝ පිය ගුණ වර්ණනා කිරීමට නම් නොවේ. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මරණයක් සිදු වූ විට මුහුණ දුන් සුවිශේෂී අත්දැකීම් පාඨක ඔබට ද සුවිශේෂී වන නිසාය.

ජා - ඇල කපුවත්තේ පදිංචි වී සිටි මගේ පියා වන එල්. ඒ. සුගතදාස මා පදිංචි වී සිටින මීගමුව කදිරාන ප්‍රදේශයට පැමිණියේ පෙබරවාරි මාසයේදීය. මාසයක් පමණ මෙහි ගත කර නැවතත් මහ ගෙදරට යෑමේ අපේක්ෂාවෙන් පැමිණි පියාණන්ට ආපසු මහ ගෙදරට යෑමට නොහැකි වූයේ හදිසියේ පැනවූ ඇඳිරි නීතිය හේතුවෙනි. දුර්වල ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වුවද නිවස තුළ එහා මෙහා ඇවිදිමින් ආහාර පාන ගනිමින් සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කළ පියා ඇඳට වැටුණේ අප්‍රේල් 24 වැනිදා ය. දිනෙන් දින දුර්වල තත්ත්වයට පත් වූ ඔහු මැයි 08 වැනිදා සවස් භාගයේදී අවසන් සුසුම් හෙළීය. සාමාන්‍ය පිළිවෙතට අනුව වෛද්‍යවරයකු විසින් මරණය සහතික කළ පසුව ග්‍රාම නිලධාරි විසින් මරණය සහතික කරනු ලබන අතර; ඉන්පසුව මෘතදේහය මල් ශාලාවකට රැගෙන යෑමට එම ලියකියවිලි ප්‍රමාණවත් වේ. මම ග්‍රාම නිලධාරී ඇමතුවේ එබැවිනි.

“මේ දවස්වල කොරෝනා නිසා ග්‍රාම නිලධාරීන් ඔය වැඩෙන් අයින් වෙලා ඉන්නේ. ඔයාලා කෙලින්ම කටාන පොලිසියට යන්න. ඊට පස්සේ පොලිසියේ අය ඇවිත් මළසිරුර ඉස්පිරිතාලෙට අරන් යයි. ඉස්පිරිතාලේදී කොරෝනා නැහැ කියල සහතික කළාට පස්සේ තමයි හදිසි මරණ පරීක්ෂක ඔයාලාට මරණය සහතික කළ වාර්තාව දෙන්නේ. ඊටපස්සේ ඔයාලට පුළුවන් මල්ශාලාවකට බාර දෙන්න. ස්වභාවික මරණයක් වුණත් පිළිකාවෙන් මැරුණත් අද තත්ත්වය තමයි මම කිව්වේ.” ඔහු දීර්ඝ දේශනයක් පැවැත්වීය. ඔහු පැවසූ තොරතුරුවලට අනුව දුම්රියට පැන සිය දිවි හානි කරගත් අයකුගේ වුවද කොරෝනා ආසාදනය වී නැති බවට තහවුරු කළ යුතු නොවේදැයි මට කල්පනා විය.

කෙසේ හෝ මගේ වැඩිමහල් සොයුරිය සමඟ මම කටාන පොලිසියට ගියෙමි. කටාන පොලිසියේ පොලිස් පරීක්ෂක සෙනෙවිරත්නගේ උපදෙස් මත, මෘත දේහය රෝහලට රැගෙන යෑම සඳහා අවමංගල්‍ය රථයක් සොයා ගැනීමට පොලිස් කොස්තාපල් ආශෝක උදව් උපකාර කළේය. පොලිස් ජංගම රථය සහ අවමංගල්‍ය රථය නිවසට පැමිණෙන්නට පෙර අපි නිවසට ගියෙමු. මුඛ වැසුම් දමා ගත් අසල්වාසීන් මගේ නිවසට පැමිණ තිබුණේ මඟුලකදීත් මරණයකදීත් පිහිටට පැමිණීම අපේ සිරිතක් වන නිසාය. එහෙත් දේහය රැගෙන යෑමට පොලිසිය පැමිණි බව ඇසු ඔවුන් නිවසින් බැහැර වුයේ ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ රංචු ගැසී සිටීමේ වරදට ඔවුන්ව කුදලාගෙන යාවි යැයි සැකයක් ඇති වූ බැවිණි. නිවසේ ඉතිරි වූ පිරිස 05 කට සීමා විය.

කොරෝනා ඇඳුම් කට්ටල සහ මුහුණු ආවරණ පැළඳගෙන බූට් සපත්තු දමා මෘත දේහය රැගෙන යෑමට පැමිණි අවමංගල්‍ය සේවා ආයතනයේ සේවකයන් දුටු විට අපට ක්ෂණිකව සිහි පත් වූයේ අයි.ඩි.එච් රෝහල් කාර්ය මණ්ඩලයයි. ඔවුන් මගේ පියාගේ මෘත දේහය විශේෂිත බෑගයකට දමා ගත්තේ කොරෝනා රෝගයෙන් මිය ගිය අයගේ මළ සිරුරක් ඔතාලන ආකාරයෙනි. මා ඇතුළු පවුලේ අය රැගත් රථයත්, අවමංගල්‍ය රථයත්, පොලිස් ජංගම රථයේ ආරක්ෂාව මැද මීගමුව දිස්ත්‍රික් රෝහලට පැමිණෙන විට රාත්‍රී 8.00 ට පමණ විය. ඉන් අනතුරුව ප්‍රශ්න කිරීම ආරම්භ විය. මගේ පියාගේ හැඳුනුම්පතත් පිළිකා රෝගයට ප්‍රතිකාර ලැබූ කාඩ්පත් සහ වෛද්‍යවරයා විසින් මරණය පිළිබඳ සහතික කළ ලිපියත් පරික්ෂා කළ වෛද්‍යවරුන්ට දැනගැනීමට තිබුණු වැදගත්ම ප්‍රශ්නය වුයේ මගේ පියාට හුස්ම ගැනීමේ අපහසුවක් හෝ සෙම් රෝග තිබුණේද යන්නයි. ඕනෑම කෙනකුට මරණාසන්න මොහොතේ ඇති වන හුස්ම ගැනීමේ අපහසුව සහ සෙම බුරුල් වීම හැරුණු කොට සෙම ආශ්‍රිත රෝගයක් නොතිබීම පියාගේ වාසනාවකි. විදේශයක සිට නිවසට පැමිණියාද, විදෙස් ගත වී මෙරටට පැමිණි අසල්වාසීන් සිටීද ස්වයං නිරෝධායනයට ලක් වූ අය වට පිටාවේ සිටීද යනාදී වශයෙන් විමසා තොරතුරු සටහන් කර ගත් පසුව මැයි 09 වැනි සෙනසුරාදා මීගමුව රෝහලේ හදිසි මරණ පරීක්ෂක හමු වන ලෙස උපදෙස් ලැබිණි. මැයි 09 වැනි සෙනසුරාදා උදෑසන කටාන පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබා දී, පොලිස් නිලධාරියකු සමඟ හදිසි මරණ පරීක්ෂක හමුවීමට ගියෙමි. එහි රාජකාරි කටයුතු අවසන් කිරීමෙන් පසුව මයි 10 වැනි ඉරු දින පස්වරු 4.00 අවසන් කටයුතු සිදු කිරීමටත් 15 දෙනෙකුට නොවැඩි පිරිසක් අවමංගල්‍ය අවස්ථාවට සහභාගී කරවා ගන්නා ලෙසත් උපදෙස් ලැබිණි.

මෘත දේහය මීගමුවේ සිට ජා - ඇල කපුවත්තේ මහ ගෙදරට රැගෙන ඒමට අපට අවසර ලැබිණි. එහෙත් එය කපුවත්තට රැගෙන ඒම පිළිබඳව ප්‍රදේශවාසින් තුළ විමතියක් හට ගෙන තිබුණේ පවතින වාතාවරණය එවැනි අවස්ථාවකටත් ඉඩක් ලබා නොදෙන බවට මතයක් ඔවුන්ගේ සිත් සතන් තුළ කිඳා බැස තිබුණු බැවිණි. සෙනසුරාදා පස්වරුවේ සිට ඉරිදා පස්වරුව දක්වා මෘතදේහය නිවසේ තැන්පත් කර තිබුණු අතර ප්‍රදේශවාසීහු හැකි පමණින් පැමිණ ගරුබුහුමන් දැක්වුහ. එහෙත් ඔවුන් නිවසේ රැදී සිටි කාලය කෙටි වේලාවකට සීමා විය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණ නිවසේ පිරිස ගැවසී සිටීමෙන් වළකින ලෙසටත් ආහාර පාන හුවමාරුව සීමා කිරීමටත් නියෝග පනවා තිබුණු බැවින් පැමිණෙන අයට සිරිතක් වශයෙන් නෙස්කැෆේ කෝප්පයකින් පමණක් සංග්‍රහ කිරීමට අපට සිදු විය. මැයි 09 වැනි සෙනසුරාදා රාත්‍රිය ගත කිරීමට සිටියේ නිවසේ සාමාජිකයන්ට අමතරව අසල්වාසීන් 5 දෙනකු පමණය. “ සුගතදාස මහත්තයාගේ මළගෙදර නෑවිත් කොහොමද ? මාව රස්සාවට දැම්මෙත් මහත්තයානේ” යනුවෙන් පවසමින් හොර රහසේ කැලෑ පාරවල් හරහා පැමිණි පිරිසක්ද මළගෙදරට සහභාගී වූ බව සඳහන් කරන්නේ රටේ නීතිය කඩ කිරීම ගැන වහසි බස් දෙඩවීමට නොවේ. 

උඩු වියන්, ඇත් දළ, විදුලි පහන් සහ මල් වඩම් කිසිවක් නොමැතිව පෙට්ටිය තුළ සාදාකාලික නින්දේ පසුවන පියාණන් දකින විට සිතට නැඟුණු වේදනාව වාවා ගැනීමට අසීරුය. කොරෝනා වසංගතය හේතුවෙන් ඇත් දළ, උඩු වියන්, විදුලි පහන් ඇතුළු කිසිවක් ලබා නොදෙන ලෙසටත් මෘතදේහය තැන්පත් කරන පෙට්ටිය සහ පොල්තෙල් පහන පමණක් අවමඟුල් උත්සව සඳහා සපයන ලෙසටත් මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් නියම කර තිබීමෙන් මගේ පියාට හිමි වූයේ චාම් අවමංගල්‍යයකි.

ඉරිදා පස්වරුවේ පාංශුකූලය දෙන අවස්ථාවට භික්‍ෂුන්වහන්සේලා දෙනමක් වැඩියහ. ඒ, භික්‍ෂුන්වහන්සේලා සොයා ගැනීමට දුෂ්කර වූ නිසා නම් නොවේ. රටේ පවතින වාතාවරණය අනුව සභාගීත්වය සීමා කර ඇති නිසාය. සිය ගණනකගේ ගරු බුහුමන් මැද අවසන් ගමන් යෑමට නියමිතව සිටි මගේ පියා 20 දෙනෙකුගේ සහභාගිත්වයෙන් අවසන් ගමන ගියේ කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වූ අතුරු ප්‍රතිඵලයක් වශයෙනි.ආදාහන කටයුතු අවසානයේ නිවසට පැමිණි අයට සංග්‍රහ කිසිවක් පිරිනැමුණේ නැත. බොහෝ දෙනකු සංග්‍රහ භුක්ති විඳින්නට නිවසේ රැඳුණේ ද නැත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නියමය පරිදි මළ බතද නිවසේ සාමාජිකයන්ට පමණක් සීමා විය.

හත් දවසේ පින්කම උදෙසා නිවසට වැඩම කර බණ දේශනා කිරීම භික්‍ෂුන්වහන්සේලා ප්‍රතික්ෂේප කළේ සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතු නිසාය. අනෙක ගම්පහ දිස්ත්‍රික්කය තුළ අඛණ්ඩවම ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය හමුවේ බණ ඇසීම සඳහා කිසිවකුට ආරාධනා කළ හැකි තත්ත්වයක්ද තිබුණේ නැත. හත් දවසේ දානය පන්සලට රැගෙන ගොස් පුජා කර මිය ගිය පියාට පින් පැමිණවීම සිදු කෙරිණි.

මෙය මගේ පියාට පමණක් උරුම වූ දෙයක් නොවේ. මාර්තු 20 වැනි දින සිට මේ දක්වා ලංකාවේ මිය ගිය උරුම වන ක්‍රමවේදයකි. මෙම වකවානුවේ මිය ගිය ජයන්ත රත්නායක, දයා තෙන්නකෝන්, තිස්ස විජේසුරේන්ද්‍ර වැනි ප්‍රවීණ කලාකරුවන්ට පවා හිමි වූ පොදු තත්ත්වයකි. රටේ පවතින නීතියට අප අවනත විය යුතුය; ඊට ගරු කළ යුතුය. ඒ පිළිබඳව කිසිදු විවාදයක් නැත. එහෙත් මෙම අත්දැකීම නම් අපුරුතම අත්දැකීමක් බව නම් සටහන් කළ යුතුමය. සමහර විට මෙය ජීවිතයේ එක් වරක් පමණක් මුහුණ දෙන අවස්ථාවක් විය හැකිය.

Comments