කොරෝනා කාලේ ආදිවාසීන්ට කැලේ යන්නත් තහංචි වෙයි | Page 2 | සිළුමිණ

කොරෝනා කාලේ ආදිවාසීන්ට කැලේ යන්නත් තහංචි වෙයි

කොරෝනාවෙන් අසරණ වෙන බොහෝ ජන කොට්ඨාශ අතර ආදී වාසීන්ද සිටී. ලෝකයටම බලපාන වසංගතයක් ඔවුන්ට විතරක් නොදැනෙන්නට ඉඩ නැත. එනිසාම රතුගල ආදී වාසීන් කොරෝනා සමය ගත කරන ආකාරය ගැන අපි සොයන්නට සිතුවෙමු.

අම්පාර නගරයේ සිට නාමල්ඔය හරහා බිබිල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ 65KM පමණ ගිය තැන ගල්ගමුව ගම්මානය පසු කළ විට මාර්ගය දෙපස රතුගල ආදිවාසි ගම්මානය පිහිටා ඇත. ඉතාමත් ඌන පහසුකම්වලින් යුත් මෙම ගම්මානයේ පවුල් 100 කට අධික සංඛ්‍යාවක් ඇති අතර මේ වන විට ඉන් සෑහෙන පිරිසක් තම සම්ප්‍රදායික ජීවන උපාය අතහැර විවිධ රැකියාවල නිරතව සිටී.

එසේම මෙහි වෙසෙන සියලුම දෙනා ආදීවාසී පරම්පරාවට සම්බන්ධ නැති අතර පිටස්තරයන් පැමිණි පිරිස් ආදීවාසි පවුල් වෙනුවෙන් අවාහ විවාහ වීමෙන් සම්පූර්ණයෙන් වෙනස් වී සිටිති. වනජීවි හා පරිසර අණපනත් අනුව ඔවුන්ට ඔවුන්ගේ පාරම්පාරික දඩයම් හෝ වෙනත් රැකියාවල යෙදීමට ද අවසර නැත. ඒ නිසා බොහෝ දෙනෙකු තම ගෙවත්තේ වගා කටයුතු කිරීමට පෙලඹී සිටින අතර රජයෙන් ලබා දෙන සහනාධාර මතින් යැපීමට ද පුරුදු පුහුණු වී සිටිති.

මේ තත්ත්වය යටතේ පසුගිය මාස කිහිපය තුළ රටේ පැවති කොරෝනා වසංගත තත්ත්වයත් ඇදිරි නීතියත් නිසා මොවුන්ද සෑහෙන අපහසුතා හා දුෂ්කරතා රාශිකයකට මුහුණ පෑවෝය. විශේෂයෙන් ඉතාම සුපුරුදු ජීවනෝපායන් සදහා යෑමට නොහැකි වීම තුළ දැඩි ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු විය. එහෙත් රටේ කොරෝනා වසංගත තත්ත්වය පැවතිය ද ඔවුන් කිසිවකුටත් එම රෝගී තත්ත්වයට මුහුණ දීමට සිදු නොවීමත් වාසනාවකි.

එමෙන්ම ශ්‍රී ලාංකික සියලු ජනතාවගේ ආර්ථික දුෂ්කරතාවයන්ට පිළියමක් වශයෙන් රජය ගත් සහන සැලසීමේ පියවර තුළ රතුගල ආදීවාසීන්ටද ලැබුණේ නොසිතූ වාසනාවකි. සමෘද්ධිලාභී පවුල් වලට මෙන්ම සමෘද්ධි සහනාධාර නොලැබී සිටි අඩු ආදායම්ලාභීන්ට, එදිනෙදා ජීවනෝපාය කරගෙන යාමට නොහැකි පුද්ගලයින්ට, වැඩිහිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මෙන්ම ආබාධ සහිත පුද්ගලයින්ට සමසේ රු.5,000 ක දීමනාවක් ලබා දීමට ගත් තීරණය පිළිබඳ රජයට ප්‍රශංසාව පුද කරති.

මේ පිළිබද අදහස් දැක්වූ ආදිවාසී නායක දානියලාගේ සුදා වන්නියැලැත්තෝ මෙසේ ප්‍රකාශ කරන ලදී. "මේ කොරෝනා වසංගතයෙන් අපිට ඒ තරම් දුෂ්කරතාවයන්ට මුහුණ පාන්ට සිදුවුණේ නැහැ. ඒකට හේතුව තමයි රජය මගින් ලබා දෙන සියලුම ආධාර අපිටත් ලැබුණා. වෙනත් සංවිධාන වලිනුත් බඩුමලු ආදිය ලැබුණා. නමුත් අපේ පාරම්පරික රැකියා වලට තහංචි වැටිලා තියෙනවා. කැලේට කොළේට ගිහින් අලයක් හාරාගෙන එන්න, මී වදයක් කඩාගෙන එන්න ආදායමක් සරි කරගන්න වනජීවි මහත්වරු ඉඩදෙන්නේ නැහැ. දර කෑල්ලක් කඩන්න කැලේට රිංගුවත් ඔවුන් අපේ අය අල්ලාගෙන නඩු දානවා.

මේ නිසා අපේ තිබුණු ආදායම් මාර්ග සියල්ල නැවතිලා. හදිසි කරදරයක් ආපදාවක් උණාම උදව් ඉල්ලන් විදිහක් නෑ. දුරකථන පහසුකම් නෑ. ජනාධිපතිතුමා මේ පහසුකම් දෙන්න කියලා නියෝග කරලා තියෙනවා; නමුත් ලැබුණේ නැහැ. හදිසියකට ලෙඩකට දුකකට බෙහෙත් ටිකක් ගන්න බොහෝම දුර යන්න ඕනි. බිබිලට ඉගිණියාගලට අම්පාර වගේ දුර තැන්වලට යන්න ඕනි.

ගල්ගමුවේ තියෙන්නේ පුංචි ඩිස්පැන්සරියක්. ඒක පුංචි ඩිස්පැන්සරියක්. ඒක ග්‍රාමීය රෝහලක් බවට පත් කරලා ගිලන් රථයක් ලබා දෙනවා නම් බොහෝම වටිනවා. අපේ අයගේ ගැටලුවක් ගැන කතා කරන්න මඩුල්ලට යන්න ඕනි; ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. සමහරවිට වැඩේ කරගන්න දවසකින් බැහැ. සමහර විට දවස් දෙකක් ඉන්න වෙනවා. මේවා තමයි අපිට තියෙන ප්‍රධාන ගැටලු. මේවා අපි අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දීලා තියෙනවා. එතුමා ඒවා ඉටුකර දෙයි කියලා විශ්වාසයකුත් තියෙනවා."

මඩුල්ල ප්‍රාදේශීය ලේකම් එස්.සී. වීරකෝන් මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. මගේ කොට්ඨාශයේ වැඩිම සහනාධාර හිමි වුණේ රතුගල ආදිවාසී ගම්මානයටයි. රතුගල වෙනම ග්‍රාම නිලධාරි කොට්ඨාශයක් නෙවෙයි. එය අයත් වන්නේ ගල්ගමුව ග්‍රාම නිළධාරි වසමටයි. රතුගල වෙනම ගම්මානයක් විදියට අරගත්තොත් ආදිවාසී පවුල් පමණක් 86 ක් ඉන්නවා. ඊට අමතරව ආදිවාසී නොවන පවුලුත් ඉන්වා. කෙසේ වෙතත් මෙහි දී රජයෙන් ලබා දුන් සහනාධාර යටතේ රතුගල ගම්මානයට සමෘද්ධි සහනාධාර වශයෙන් පවුල් 105 කටත් පොරොත්තු ලේඛනයේ පවුල් 19 කටත් රු.5000 බැගින් ආධාර ලබා දුන්නා.

එසේම ආදායම් අහිමි එක් පවුලකටත් ආබාධිත සහිත පුද්ගලයින් 06 දෙනෙකුටත් වැඩිහිටි දීමනා 19 දෙනෙකුටත් වකුගඩු රෝගීන් එක් අයෙකුටත් සහනාධාර මුදල් ලබා දුන්නා. මෙහි දී වැදි නායක සුදා වන්නියැලැත්තෝ ගත්තොත් සමෘද්ධි - වැඩිහිටි - ආබාධිත වශයෙන් ඔහුගේ පවුලට රු.15000 ක් හිමි වුණා. තවද නොමිලේ ද්‍රව්‍ය ආධාර මලු පවුල් 100 කටත් සහන මිල යටතේ ද්‍රව්‍ය ආධාර බඩු ලබා දුන්නා. මීට අමතරව වෙනත් ආයාතන මගින් මොවුන්ට ද්‍රව්‍ය ආධාර ලබා දුන්නා. රජයේ නියමය අනුව දෙවැනි වරටත් මේ ආධාර ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී මහේෂ් යාපා පවසා සිටියේ මෙවැන්නකි. "රතුගල මගේ කොට්ඨාශයේ විශේෂ ගමක් නිසා අපි විශේෂයෙන් නිතර සොයා බලනවා. ආදීවාසී නායක තුමා සමග නිතර සම්බන්ධකම් පවත්වමින් ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරනවා. පසුගිය කාලයේ රටේ ඇති වූ වසංගත තත්ත්වය තුළ මේ ගමේ කිසිවෙක් කොරෝනා රෝගයට ගොදුරු වූයේ නැහැ. අපි ගමේ අය දැනුවත් කරලා ගෙවල්වලටම වෙලා ඉන්න සැලැස්සුවා. මේ ගමේ තිබුණා සංචාරක හෝටලයක්. මේ සිද්ධිය වෙන අවස්ථාව වන විට මෙම හෝටලයේ විදේශීය ජාතිකයින් 40 ක් පමණ හිටියා.

80 ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි තුමා, මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් හා පොලිස් නිළධාරින් සමග ඔවුන් හමුවී කරුණු වටහා දී දින 14 ක් ඔවුන් එම රෝහලේම රඳවා නිරෝධායනය කිරීමට කටයුතු කළා. එයින් ඇති වන්නට තිබුණු අවධානමක් නැති වුණා. ඒ වගේම ගමේ පවුල් දැනුවත් කළා. ඔවුන්ට රජයෙන් ලබා දෙන රු.5000 ඇතුළු සියලුම සහනාධාර වියළි සලාක ආදිය ලබා දීමට කටයුතු කළා. ඒ නිසා මේ ගම තුළින් කිසිදු සිද්ධියක් වාර්තා වුණේ නැහැ. ගමේ අඩු පාඩු නම් කිහිපයක්ම තියෙනවා. විශේෂයෙන් පානීය ජල ප්‍රශ්න උග්‍ර ලෙස බලපාලා තියෙනවා.

ඒ වගේම සෞඛ්‍ය පහසුකම් හා නිවාස පහසුකම් ඇති කල යුතු වනවා. මේ පිළිබදව මේ වන විටත් ගරු ජනාධිපති තුමා ඇතුළු රජයේ මැති ඇමති වරුන් දැනුවත් කර තිබෙනවා. යථා කාලයේ දි ඒ අඩු පාඩු සපුරා ගැනීමට හැකිවේවි යැයි සිතනවා. "

ආදි වාසීන්ට ඔවුන්ටම ආවේණික වූ සිරිත් විරිත් ජීවන උපාය මාර්ග ඇත. විශේෂයෙන් වනාන්තරයේ හැදී වැනසී යන ඖෂධ වර්ග ඔවුන් ආහාරයට ගන්නා අල වර්ග ගඩා ගෙඩි මී වද ආදි සපයා ගැනීමට නිදහස ලබා දෙන්නැයි ඔවුන් නිරත්නරයෙන් කරන ඉල්ලීම් පිළිබද සලකා බැලීම වටි. එය විය යුත්තේ වන ජීවින්ට පරිසරයට හානියක් නොවන අයුරිනි.

 රවීන්ද්‍ර මැදගෙදර - අම්පාර සමූහ

Comments