කොරෝනා අස්සේ රජයේ ඉඩම් කොල්ලකෑ හොරුන්ට වැඩ වරදී | Page 2 | සිළුමිණ

කොරෝනා අස්සේ රජයේ ඉඩම් කොල්ලකෑ හොරුන්ට වැඩ වරදී

පුරා මාස දෙකකට ආසන්න කාලයක් දිවයිනේ බොහෝ පළාත්වල ඇඳිරි නීති තිබුණෙන් බොහෝ ආයතන රාජකාරි සිදු කළේ නිවෙස්වල සිටය. ලංකාව පුරා විසිරී ඇති අක්කර දහස් ගණනක ඉඩම් නිරෝධායන ඇඳීරි නීති සමයේ ඔවුන් ආරක්ෂා කළේ සිය නිවෙස්වල සිටය. ඒ සියල්ල අකුරට ඉටු වූයේය. සියල්ල එසේ වෙද්දි රටේ මහ කරදර අස්සේ ඉඩම් හොරුත් නැඟිටින්නට විය. එහෙත් එක් පැත්තකින් කොරෝනා මර්දන සටන පැවතෙද්දී තවත් පැත්තකින් මේ ඉඩම් හොරුන්ගේ විවිධ අකටයුතුකම් මහත් වෙහෙසක් දරමින් වළකාලන්නට ඔවුහු මහා සටනක යෙදුණහ. එපමණක් නොව කොරෝනාවෙන් ඉදිරි ආර්ථිකයට ශක්තියක් වන්නට ඔවුහු වසරක කාලයකට යටත් වන සේ වගා සංග්‍රාමයක් ආරම්භ කළේ ‘රන්බිම නවෝදය‘ වැඩ සටහන යටතේය. මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව (LRC) පසුගිය කොරෝනා දිනවල කළ කී දෑය.

1972 අංක 1 දරණ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාවට කුඹුරු අක්කර 25 ක් හා ගොඩ ඉඩම් අක්කර 50 ක් විය. නමුත් 1975 අංක 39 දරණ එහි සංශෝධන පනතින් පෞද්ගලික සමාගම් යටතේ පවතින ඉඩම්ද මේ යටතට ඈදා ගැණුනු අතර මේ කාලය තුළ දළ වශයෙන් ඉඩම් අක්කර ලක්ෂ 11 කට ආසන්න ප්‍රමාණයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව සතු විය. එදා සිට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව සතු මේ ඉඩම් යෙදුණේ රටේ ආර්ථිකයට ඵලදායි වන වැඩ පිළිවෙළක් යටතේය. නමුත් මෙම කොමිසම් සභාව සතුව අයිති ඉඩම් ප්‍රමාණ සම්බන්ධයෙන් පසුගිය කාලයේ නිශ්චිත දත්ත ගබඩාවක් නොවූයෙන් විවිධ පුද්ගලයින් විසින් මේ ඉඩම් විවිධාකාරයෙන් අත්පත් කර ගන්නට යෙදුණි. ඒ සියල්ල හොර රහසේ සිදුවු අතර මේ හේතුවෙන් විශාල නඩු ගොන්නකට මුහුණ දෙන්නටද මේ කොමිසම් සභාවට සිදුවිය. දළ වශයෙන් නඩු 800 ක ප්‍රමාණයකට ඔවුන්ට මුහුණ දෙන්නට සිදුව ඇත.

නිරෝධායන ඇඳිරි නීති සමයේ බොහෝ ආයතන වසා දැමූ නිසාවෙන් මෙම කොමිසම් සභාව මේ සම්බන්ධ සියලු වැඩ සිදු කරන්නට වුයේ නිවෙස් තුළ සිට නවින තාක්ෂණය ඔස්සේය. කොරෝනාවෙන් රට කැළඹූ මොහොතේ රටේ ආර්ථිකය පිණිස වැඩට යෙදවු මේ ඉඩම් හොරෙන් හෝ අත්පත් කර ගන්නට සමහරක් මාන බැලුවේ පටු අභිමතාර්ථ සංසිදුවා ගන්නටය. එහෙත් ඒ සියල්ල සුණු විසුණු වි ගියේ මෙම නිලධාරින්ගේ උකුසු ඇසින් ගැලවෙන්නට නොහැකි වු නිසාවෙනි. මේ මහා වසංගතය අස්සේ ඔවුන් කළ ඒ මහා මෙහෙයුම් බොහෝ දෙනෙකුට දැනුණේ නැත.

“ පසුගිය කාලයේ අපි නිවයේ සිට මේ සියලු වැඩ කටයුතු සාර්ථකව මෙහෙය වූවා. අපේ දිස්ත්‍රික් කාර්යාල 20 ම වැඩ කළේ නිවසේ සිට. අපේ ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති එස්.එම් චන්ද්‍රසේන, හිටපු රාජ්‍ය ඇමැති එස්.බි දිසානායක, අමාත්‍යාංශ ලේකම් අමිත කිත්සිරි රණවක, හා රාජ්‍ය ලේකම් චන්දන රොද්‍රිගෝ යන අයගේ උපදෙස් මත මෙහි සියලු වැඩ මෙහෙයවුවා. මේ වන විට අපිට පැමිණිලි 50 ක් පමණ වාර්තා වුණා. සමහරක් තැන්වලින් පැමිණිලි ලැබුණෙත් නැහැ. පාදුක්ක හල්පේ හේවාම් වත්ත කොටසේ අපේ ඉඩම් අක්කර 5 ක් තිබුණා. මෙහි දෙමළ පාසලක් තිබු තැනක්. මේ ඉඩම වගා කටයුතු කරන්න දෙදෙනෙක් අපෙන් ඉල්ලා සිටියා. නමුත් එයින් එක් අයෙක් මේ ඉඩමට හොරෙන් ඇතුළු වී ඉඩම සුද්ද පවිත්‍රකර කම්බි වැටක් පවා ගසා තිබුණා. ඒ LRC මඟින් අවසරය දුන් බව කියමින්. කෙසේ හෝ කොරෝනා අස්සේ අපි ඒ ස්ථානයට ගිහින් ඔහුව ඉඩමෙන් ඉවත් කර ඔහුට විරුද්ධව අවශ්‍ය නීතිමය පියවර ගත්තා.

ඒ වගේම තවත් පැමිණිල්ලක් ආවා, අගලවත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨශයේ කුකුලලන්ද වත්ත ප්‍රදේශයෙන්. මෙහි අපේ ඉඩම් අක්කර 10 ක් තිබුණා. LRC ඉඩමක් කියලා දැන ගත්තහම පිරිසක් මෙයට බලෙන් ඇතුළු වි නිවෙස් සාදා ගෙන පදිංචි වෙලා. එහි පදිංචි වු පවුල් දෙකකට හැර අනිකුත් සියල්ලන්ටම ඉඩම් තියෙනවා. කෙසේ හෝ අපි ඔවුන් ඉවත් කළත් ඉදිරියේදී කච්චේරි ක්‍රමය හරහා මෙය ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මැද ගෙදර වත්තේ අපේ අක්කර 600 ක් තියෙනවා. මේ ඉඩමත් පසුගිය සති කිහිපයේ පිරිසක් අත්පත් කර ගෙන ගස් කපලා, නිදන් හෑරුවා. විශාල අක්‍රමිකතා රැසක් සිදු වෙලා. ඒ වගේම පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 9 කැළේ ගෝනයාය වතුයායේ අපේ අක්කර 9 ක ඉඩමක් තියෙනවා. එයත් විවිධ පිරිස් අල්ලා ගෙන තියෙනවා. මෙය පස්සර පොලිසියේ මැදිහත් වීමෙන් මෙය නිරාකරණය කළා. මේ නිසා මම සෑම දිස්ත්‍රික්කයකින්ම, කලාපයකින්ම වාර්තාවක් කැඳවලා තියෙනවා, නිරෝධානය කාලයේ විවිධ අත්පත් කර ගැනිම් සම්බන්ධයෙන්.....“ ඒ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාවේ සභාපති නීතීඥ නිලන්ත විජේසිංහ මහතාය.

කොරෝනා අස්සේ එවන් අකටයුතුකම් සිදුවන අතර ඒ සියල්ල වළක්වාලමින් මේ නිලධාරීන් ඉදිරියේදි රටට එල්ල විය හැකි විවිධ ආර්ථික අභියෝග සම්බන්ධයෙන්ද රටට ඉටුවිය යුතු වගකිම් ඉටු කරන්නට මේ අය වෙහෙසුණහ. ඒ ‘රන්බිම නවෝදය‘ වැඩ සටහනට දායක වෙමිණි. “ කොරෝනා නිසා ඉදිරියේදි රටේ ආර්ථික අර්බුදයක් ඇති වෙන්න පුළුවන්. මේ නිසා කෘෂි ආර්ථිකයට ගැළපෙන ඉඩම් තෝරා ගෙන අපි ඒ ඉඩම්වල ප්‍රධාන බෝග වර්ග 16 ක් වසරක කාලයක් වවන්න තීරණය කළා. කවුපි, ලොකු ළුණු, සුදු ළුණූ, කහ, ඉඟුරු, අමුමිරිස්, තල, රටකජු වගේ මේ බෝග ඉදිරියේදි බොහෝ සෙයින් හිඟ වෙන්න පුළුවන්. ඉඩම් කොමසාරිස් යටතේ, වන සංරක්ෂණය යටතේ, මහවැලි අධිකරිය යටතේ මෙන්ම LRC යටතේ අස් නොවැද්දූ විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයෙන් අක්කර එක් ලක්ෂ පනස් දාහකට වැඩි ඉඩම් ප්‍රමාණයක් තියෙනවා; වගා කළ හැකි ඉඩම්. ඒ වගේම පසුගිය කාලයේ විවිධ තැන්වලට බදු දුන් ඉඩම් තියෙනවා. මේවායෙත් වගා කළ හැකියි. ඉදිරියේදි මේ වැඩ සටහනට ඉඩම් ඉල්ලූ අයටත් මේ වැඩ පිළිවෙළට දායක කර ගනිමින් මේ ඉඩම්වල වගාකරන්න අපි මේ ඉඩම් අවුරුද්දක කාලයකට ගොවි සමිතිවලට ලබා දෙනවා. අපේ දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරු , ක්ෂේත්‍ර නිලධාරින් මෙවා අධීක්ෂණය කරනවා. ඒ වගේම පුරන් කුඹුරු විශාල ප්‍රමාණයකත් අස්වැද්දීමට ලබා දෙනවා. අවුරුද්දක කාලයක් ගිය පසු යම් ගොවි සමිතියකට මෙය පවත්වා ගෙන යාමට අවශ්‍ය නම් අපි සාමාන්‍ය බදු ක්‍රමය යටතේ මෙය ලබා දෙනවා...“ ඒ සභාපතිවරයාගේ අදහසයි.

කෙසේ වෙතත් පසුගිය කාලයේ ඔවුන් මේ පිළිබඳවද අවශ්‍ය කටයුතු සිදු කළේ කොරෝනා වසංගතය මධ්‍යයේය. මේ කටයුතු කර ගෙන යාමේදි ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව හා එක් වු අය බොහෝ බව සභාපති නීතීඥ නිලන්ත විජේසිංහ මහතා සඳහන් කරන්නේ සතුටිනි. ඒ සියලු දෙනා නිවසේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සිට මේ කටයුතුද නොපිරිහෙලා ඉටු කර ඇත. විධායක අධ්‍යක්ෂ කිරිබණ්ඩා දිසානායක, අධ්‍යක්ෂ ජනරාල් වික්‍රමසිංහ, ප්‍රධාන කාර්යාලයේ පැවරීම් - අධ්‍යක්ෂ පද්මසිරි ලියනගේ, අධ්‍යක්ෂ - ව්‍යාපෘති නිහාල් විජේසිංහ හා ප්‍රදීප් එදිරිසංහ, අධ්‍යක්ෂ - නීති නීතිඥ රාජපක්ෂ, අධ්‍යක්ෂ -උපරිම අංශය කුමුදු ධර්මප්‍රිය, අධ්‍යක්ෂ - පාලන ජගත් හපුආරච්චි, අධ්‍යක්ෂ - රාජ්‍ය ආයතන ශ්‍යාමලි රත්නායක, අධ්‍යක්ෂ- මුදල් සිසිර සේනානායක යන මහත්ම මහත්මින්ද සහකාර අධ්‍යක්ෂකවරු, ක්ෂේත්‍ර නිළධාරින් මෙන්ම අනිකුත් කාර්ය මණ්ඩලයද මේ සඳහා උපරිමයෙන් දායක වෙති.

Comments